මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 26, 2021

ලෝකයේ ජනප්‍රියම තුංමං හන්දියේ වතුර මල ළග කාසියක් විසිකර බලමුද ?.......... අනුරුද්ධ වැලිගමගේ......

 

රෝම නගර සංචාරයක මතකය  2.....

Trevi Fountain

La dolce Vita  චිත්රපටියේ චිත්‍රපට නිලි සිල්වියා පැපරාසින්ගෙන් මිදී මාසෙලෝ සමග යන අතරේ එක්තරා වතුර මලක් ළගට යනවා . ඉතා හැගීම්බර ලෙසින් මාසෙලෝට එය ළගට එන ලෙස කියන දර්ශනය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහත් ඉහලින් සැලකු එකක් . දවසකට යුරෝ 3000 කට අධික කාසි තොගයක් එකතුවන මේ වතුර මලේ  Trevi  යන වදනේ අරුත තුන් පැත්තක් කියන එකයි . මංමාවත් තුනක් එකතුවන තුංමං හන්දියක තිබෙන මෙය තනා තිබෙන්නේ  මංමාවත් ආරක්ෂා කරන Trivia දෙවගන සිහිවීම පිණිසයි . මෙතැන ඉතා විශාල පිරිසක් එකතුවෙන තැනක් හින්ද ඉතා ලුවර් කෞතුකාගාරයේ මොනාලිසා වගේ ළගම ඉදන් හොදම ෆොටෝ ගන්න නම් උදෙන්ම යන එක හොදයි .  

අපි ගියේ හොදින් ඉර පායපු දවාලක වුණත් හවසකටත් මෙය ආලෝකමත් කරලා තියෙන හින්ද මෙතැන බලන්න පුළුවන්. 7 වන ක්ලෙමන්ස් පාප් වහන්සේ වෙනුවෙන්  Bernini මෙය සැලසුම් කලත් අධික වියදම හින්ද එක අවුරුදු 50 කට විතර පස්සෙ 1732 - 1762 කාලෙකදි  ඉදිවුනේ Nicola Salvi  ගේ අධීක්ෂණය යටතේ. ඉතා ජනප්‍රිය චිත්‍රපට රැසකට පසුබිම් තලය හැදු මේ වතුර මල මීටර් 30 ක් උසට තිබෙන්නේ Palazzo Poli ගොඩනැගිල්ල ඉදිරිපිටයි . එහි ඉතා අගනා මනරම් කැටයම් රැසක් නිමවා තිබෙන්නේ මුහුදු රැල්ලක හැඩයටයි .

මෙතැනට එන හැමෝම වගේ මෙයට කාසි විසි කරනවා . ඔබේ දකුණු අතින් වම් උරහිසට උඩින් වතුර මලට ඇස් වහගෙන කාසියක් විසි කලොත් ආයෙමත් දවසක රෝමයට එන්න ලැබෙනවයි කියනවා. එතකොට කාසි 2 ක් විසි කලොත් ඔබට රෝමයේදී ඔබේ ආදරය ලැබෙනවාලු.

Altar of the Fatherland

ගලින් කෙරුණු මේ සුවිසල් ස්මාරකය ඉදිකර තිබෙන්නේ ඉතාලිය එකමුතු කල පළමු රජු වන Victor Emmanuelසිහිවීම පිණිසයි . මෙය තිබෙන්නේ Pantheon සහ Colosseum එක අතරයි . මෙහි තිබෙන එම්මානුවෙල් රජුගේ තඹ ප්‍රතිමාව සුවිශේෂ එකක් . මෙහි පහත මාලයේ කුඩා කෞතුකාගාරයක් තිබෙනවා .

Roman Forum

මේ පරිශ්‍රය පැරණි රෝම රජයේ ගොඩනැගිලි සංකීර්ණයක්. අතීතයේදී රැස්වීම් පැවැත්වූ රැස්වීම් ශාලා , උසාවි සහ වෙළද සංකීර්ණ මෙතැන අතීතයේදී තිබු බවයි කියන්නෙ. කලින් කලට විවිධ අධිරාජ්‍යය වරුන්  විසින්  මේ සංකීර්ණයට විවිධ අංග එකතු කර තිබෙනවා .  

Arch of Constantine

Constantine අධිරාජ්‍යයා වෙනුවෙන් ඉදිවුණු මෙය  Milvian bridge  සටනේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඉදිවූ ස්මාරකයක් . කිස්තු වර්ෂ 315 දී ඉදිකර තිබෙන මෙය මීටර් 21 ක් උසයි . සොල්දාදුවන් , සිරකරුවන්  සහ සටන් දැක්වුණු කැටයම් මෙහි තිබෙනවා .

  

Colosseum

කිස්තු වර්ෂ 72-80 අතර Vespasian අධිරාජ්‍යයා විසින් රෝම නගර මධ්‍යයේ ඉදිකල ඕවලාකාර හැඩයේ ලෝකයේ තිබෙන විශාලතම එළිමහන් ක්‍රීඩාගාරය ( amphitheater) මීටර් 189 දිග ,මීටර් 156 පලල සහ තට්ටු 12 ක් උස ගොඩනැගිල්ලක තරමේ එකක් . එහි ක්‍රීඩා සදහා භාවිතා වන ඉඩ අද විශාල පාපන්දු ක්‍රීඩාගාරයක් තරම් . 50000 කට අධික පිරිසකට පහසුකම් සැලසු මෙහි ශක්තිමත් ග්ලැඩියේටර්  වරුන්ගේ සටන් , සිංහයින් ඇතුළු රුදුරු වනසතුන් සමග කෙරුණු දරුණු සටන් සදහා භාවිතා කෙරුණා .

අතීතයේදී දින 100 ක් පුරා එකදිගට පැවති සමහර අවස්ථාවලදී 10000 කට අධික සතුන් සහ විශාල තරගකරුවන් පිරිසක් මියගිය බව සදහන් .

ප්‍රේක්ෂකයින්ට හිරු එළියෙන් තරග නැරබීමට බාධා නොවනු පිණිස පියස්සක් , විශාල කාමර සංඛ්‍යාවක් , සතුන් සහ  ග්ලැඩියේටර්  වරුන් සිරකර තිබු දොරවල් 36 ක් තිබු , දොරටු 80 ක් තිබෙන මේ සුවිසල් පරිශ්‍රය විශාල ගල් කුට්ටි සහ කොන්ක්‍රීට් භාවිතයෙන් තනන්නට දහස් ගණනක සිරකරුවන් යොදා ගත් බව සදහන් . 

අතීත ලෝකයේ පුදුම 7 න් එකක් ලෙස සැලකෙන මෙය 2018 දී මිලියන 7.4 ක පිරිසක් පැමිණි ලෝක උරුමයක් .මෙය හා සබැදුණු චිත්‍රපට රැසක්ද නිමැවී තිබෙනවා . මේ පුදුම හත හරිම විවාද සම්පන්න එකක් හින්ද සමහර ලැයිස්තුවල මේක ඇතුලත් වෙන්නේ නැහැ . ඒ කොහොම වුණත් මේ ඉදිකිරීම නම් හරිම පුදුම එකක්

 තමයි.

රෝමයේදී බැලිය හැකි තැන්

·         Castel Saint Angelo

·         Palatine Hill

·         Galleria Borghese

·         Villa Borghese Gardens

·         Trastevere

·         Ponte Sant Angelo

·         Quirinale Palace

·         Plazza del poplo

·         Appian Way

මයිකල් ඇන්ජිලෝ  පලන්චියක දිගාවී ඇන්ද සිතුවම් බලන්නට ඊළග මාසයේදී වතිකානුවට යමු .

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන් 

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2020 පෙබරවාරි කලාපයේ පලවිය .


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

Canadian Minority Media Database | Dasatha


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, June 19, 2021

පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදි ......අනුරුද්ධ වැලිගමගේ

 


තවත් මව්වරුන්ගේ දිනයක් ගෙවී ගියේය. ඊළගට අප පිය නගන්නේ පියවරුන්ගේ දිනයටයි.සිංහල ගීත සාහිත්යය තුල පිය ගුණ ලකුණ ගැන කියවන්නට දරන කෙටි සටහනකි මේ.

කැනඩාව ඇතුළු බටහිර ලෝකයේ රටවල පවුල් සංස්ථාව දෙස බලන විට මව, පියා සහ පරපුර සොයමින් අන්තර්ජාලය පීරන පිරිසට " පියවරුන්ගේ දිනය " වාණිජමය වශයෙන් අතිශ් වැදගත් වන්නේ වුවද , මව පියා දරුවන්ගෙන් සබැදුණු ශ්රී ලාංකික කුටුම්භය තුල මව සහ පියාගේ භූමිකාව අති ප්රබලය. පීතෘ මූලික ආසියාතික සමාජය තුල මුළු මහත් ජන ප්රජාවම තම තමන්ට ආවේණික ගති සොබාවන්ගෙන් විවිධ වුවද පවුලේ ප්රධාන ආදායම් උපයන්නා, ආරක්ෂකයා , තීරකයා වන්නේ පිය චරිතයයි. දරුවන් හදා වඩා රැක බලා ගනිමින් ගෙදර දොර විසිහතර පැයේ නොනිමි මෙහෙවර ඉටුකරන්නේ මවයි. එබැවින් සංඛ්යාත්මක වශයෙන් වැඩිමනක් මව් පිළිබද ගී ලියැවී ඇති බවට අනුමාන කල හැකිය.

සිංහල ගීත සාහිත්යය තුල පිය ගුණ ගීතද නැත්තේ නොවේ. එවන් පිය ගුණ ගීත අතරින් විවිධ මානයන්ගෙන් ලියැවුණු ගීත කිහිපයක් පිළිබදව සොයා බලමු.

කිරබ සුමංගල හිමියන් අතින් ලියැවුණු සුනිල් එදිරිසිංහයන් ගැයූ මෑත කාලීන ගීතයක් වන " රන්මැලි සෑය  විය දිවි අබරට නැගුණ " බෞද්ධ පසුබිමක ගොවි පියෙකුගේ සැබෑ ආදරය පදවලට කැටිකල මුතුහරක් ලෙස හදුන්වා දිය හැකිය. ශ්රී ලංකාවේ ජනප්රියම දාගැබ වන රුවන්වැලිසෑයට උපමා කරමින් පියා තමන්ට කෙතරම් සුවිසල් යන වගත්, සක්විති මග තනන සුදොවුන් රජ යන යෙදුමෙන් බුදුන්ට පිය වූ අසාමානය පිය චරිතයට තම පියා ආරෝපණය කරන අයුරු අපූරුය. ජීවිතයේ එන දහසකුත් එකක් අසනි වැසි, රුදුරු වග වලසුන් වැනි බාධක වලදී දරුවන් සුරකින සතර දෙව්වරුන් ලෙසින් තම පියාණන් දකින්නට රචකයා යෙදූ වදන් සාමාන් එදිනෙදා ජන වහරෙන් උකහාගෙන තිබීම රචකයාගේ වාග් ප්රතිභාව දක්වන්නකි. ලෙඩ වූ මොහොතේදී සුප්රකට වෙදැදුරු බුද්ධදාස රජතුමා මෙන් අත් බෙහෙත් කල බවත් ප්රමාණයෙන් කුඩා පැලක් වුවත් තම උපරිම කැපවීම හරහා එය තුසිතයක් ලෙස වාසනාවන්ත කර තිබූ බවත් කියයි. එම ගීතයේ අවසනට යෙදෙන " ලොව්තුරු සුව වීදී අප රජ වනු දැකලා " ලෙසින් වූ යෙදුම් තුලට කැටි කල පියෙකුගේ අව්යාජ සතුට ඔබටත් මටත් අපේ තාත්තා හෝ අප්පච්චි පිළිබද සුබදායක මතකයන් සිහිපත් කරනු නියතය.   


රන්මැලි සෑය විය  දිවි අබරට නැගුණ.......


කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන " අන්දර යායේ වැව් තාල්ලේ  සක්මන් කරනා අප්පච්චි " ගීතය තුලින් චිත්රණය කරන අප්පච්චි පිළිබද අදහස ගස්, වැල් , ඇල දොල සමග ගලන අපේ ජීවන කතාන්තරය තුල පියෙකුගේ සෙනෙහස සෙවණැල්ලක් මෙන් ගලනා අයුරු පිළිබදව මවන්නේ  " වලකුලේ දා බිදු  තවරා , දිවි ගමනේ ඉම කදු මුදුනේ හිද " වැනි යෙදුම් භාවිත කරමිනි. පියාගෙන් ලද පන්නරය තුල බාධක වැට කඩුළු බිද දමමින් ගමෙන් නගරයට , උපන් බිමෙන් විදේශයකට පියමන් කල ඔබටත් මටත් අභිමානයෙන් සතුටින් සිහිගැන්වෙන පිය චරිතය ආරෝපණය කර ගැනීමට කදිම පසුබිමක් මවන බව කිව හැකිය.

අන්දර යායේ වැව් තාවල්ලේ  සක්මන් කරනා අප්පච්චි......


ටී එම් ජයරත්න ගයන මාලනී ජයරත්න ලියූ " අම්මා සදකි " ගීතය පියගුණ වංශ කථාවේ ජනප්රියතම ගීතය ලෙස හැදින්වීමේ වරදක් නැතැයි සිතේ. සියුමැලි අම්මා සදක් වන අතර දරුවන්ගේ ලෝකයට ආලෝකයක් , ශක්තියක් වන හිරු ලෙස එහි පියතුමන් ගේ චරිතය හදුන්වා දී තිබේ. වෛද් විද්යාවේදී මව් පිය ජාන සබැදි නිර්මාණය වන දෙවන පරපුර වන දරුවා තුල පියාණන්ගේ ලේ දුවන බව සදහන් කරන රචිකාව සැබෑ ලොවේදී සිදු නොවුණත් එම ලේ කිරි නොවන්නේ ඇයිදැයි ප්රශ්න කරයි. සාමාන්යයෙන් පුරුෂ පාර්ශවය ගති සොබාවක් ලෙස අඩුවෙන් ප්රදර්ශනය කරන ආදරය හා බැදියාව තුල පෙනුමට ආදරය නොකලත් හදවතින් පියවරුන් දරුවන්ට දක්වන සෙනෙහස  " පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ. අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ " ශ්රවණය කරන විට නෙතට කදුලක් උනන මොහොතක් වන්නේ එබැවිනි.    

අම්මා සදකි.......



 ක්රිෂාන්ත එරන්දක ගයන  " අව්වේ මුතු ඇට වපුරා " ගීතයෙන් නිර්මිත ගොචි පියාණන් කාෂ්ටක පොලොව සමග වැව් බැදි දනව්වේ දරන වෙහෙස , සතා සිව්පාවුන් පිරි මහ බැද්දේ පැණි සොයමින් වෙහෙසෙන දිරිය පියාණන් දරුවන්ට කෙතරම් ජීවන දර්ශනයක් මතුකර දෙන්නේද යන වග " සනසා නුබ අප වටකර දඩු වැට වෙද්දී , හිත හය්යට කලවැල පොට වරපොට වෙච්චි " යන පදවලට කැටි කර තිබෙන චමත්කාරය නිහඩව ගීතය විදීමෙන් පමණක් අත්කර ගත හැක්කකි.

අව්වේ මුතු ඇට වපුරා.....


අහිමි පියාණන් පිළිබදව ජිප්සීස් ගායක කණ්ඩායම් විසින් ගැයුණු " තාත්ත මට ඇනපු ටොක්ක " ගීතය සම්භාව් හා කණ්ඩායම් ගීත පිළිබද විවාදයකට තුඩු දුන් කරුණු කාරණා මැවුවද සුනිල් පෙරේරා නගන සැබෑ හඩ තුල  " එදා මට පෙනුණේ නුබ හතුරෙක් වාගෙයි තාත්තේ, අද මට පෙනෙන්නේ දෙවියෙකු වාගෙයි තාත්තේ " තුල තමන්ටද දරුවන් ඇතිව මැදිවියට එළබි කල්හි එදා තම පියාණන් තුල තම පවුලේ සංවරය පිළිබදව තිබූ දැක්ම සිහිගැන්වූ පසු විපරමක් ලෙස අගය කල හැකිය

 තාත්ත මට ඇනපු ටොක්ක.......


ඔබ සැමට යහපත් පියවරුන්ගේ දිනයක් වේවා ! .

 

අනුරුද්ධ වැලිගමගේ


2016 ජුනි මස දසත කලාපයේ පලවිය     

විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට 

http://dasatha.com/

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ ගීත නිර්මාණවලට දායක වූ සියළු නිර්මාණ ශිල්පීන්ට සහ යූ ටියුබයට එකතු කල සැමට ස්තුතියි.



මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි