ශ්‍රී ලංකාවේ නව ආදායම් ඉපයීම අවස්ථා අතරේ මේ වන විට කතාබහට ලක්වෙන කෘෂිකර්මාන්තය, විදෙස් රැකියා මානව සම්පත් ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය කුමන ආකාරයෙන් නව රජය භාවිත කරයිද කියා බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් ඉන්නා මොහොතක රටට බරක් යයි හංවඩු ගසා සිටින ශ්‍රී ලංකා ගුවන් සේවය විසින් නිර්මාණය කළ දැන්වීමක් යූ ටියුබයෙන් දුටිමි.
එය නම් කර තිබුණේ Relive the epic of The Ramayana Trail යන නමිනි . ආත්තම්මා කෙනෙක් මුණුපුරාට කියන කතාවක ආකාරයෙන් ගලා යන ඒ දැන්වීමේ ධාවන කාලය විනාඩි පහකි. රාමා සීතා සහ රාවණගේ කතා පුවත ඒ හරහා දිගහැරේ . හින්දු ආගමිකයින්ගේ මහත් ගෞරවයට පත්වූ කතාව ඇසුරින් අත්තම්මා සහ මුණුපුරා අතර වන කතාබහ ඇතුලේ අවධානය යොමු කරන්නේ අපේ සුපුරුදු වට්ටෝරුවේ තිබුණු සාම්ප්‍රදායික සංචාරක ස්ථාන ලැයිස්තුවෙන් බැහැරව ගිය සංචාරක ස්ථාන දහයකි,
ඒවා මෙසේය
1. අම්බලන්තොට - උස්සංගොඩ ජාතික උද්‍යානය
2. ඇල්ල - රාවණ ගුහාව සහ රාවණා ඇල්ල
3. පුස්සැල්ලාව - මහා රාවණගේ රථ මාවත ( chariot path)
4. හක්ගල - උද්භිද උද්‍යානය
5. නුවරඑළිය - සීතා අම්මාන් කෝවිල
6. මන්නාරම - රාමසේතු ( ආදම්ගේ පාලම )
7. ගාල්ල - රූමස්සල
8. මාතලේ - දුනුවිල විල
9. ත්‍රිකුණාමලය - තිරුකෝනේස්වරම් කෝවිල
10. කැලණිය - කැලණි විහාරය
මේ දැන්වීම ශ්‍රී ලංකන් ගුවන් සේවයට සේම රටටත් වැඩදායක දැක්මක ප්‍රථිපලයක් ලෙස සුබවාදීව දකිමි . නිර්මාණයට දායක වූ සහ එය මෙහෙයවූ කණ්ඩායම පිළිබඳ තොරතුරක් නැති වුණත් මට හිතෙන හැටියට එය කාරණා කිහිපයකින් වැදගත් වෙයි.
1. හොඳ ආදායම් තත්ත්වයක් සහිත ඉන්දියාවේ අළුත් පරම්පරාව සංචාරය වෙනුවෙන් කැමැත්තක් ඇති සහ මුදල් වියදම් කිරීමට සූදානම් පිරිසක් නිසා ඉතා විශාල ජනගණයක් සිටින ඉන්දියාව ලංකාවට හොඳ වෙළඳපොලක් වීම .
2. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සඳහා ගතවන කාලය පැය 4 කට අඩු නිසා සහ ඒ වෙනුවෙන් ගෙවන්නට වන මුදල සාපේක්ෂව ඉතා අඩු එකක් නිසා පහසුවෙන් මෙය පිරිමැසුම් දායක සංචාරක ගමනාන්තයක් කල හැකිය.
3. ලංකාවේ මේ වන විට පවතින සංචාරක සේවා පහසුකම් මධ්‍යයේ සුඛෝපභෝගී සංචාරකයින් වෙනුවට පිරිමැසුම් දායක වැඩි පහසුකම් නොසොයන පිරිස් වැඩි ප්‍රමාණයක් ගෙන්වා ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩි ගමන් වාර ගණනකට හොඳ පිවිසුමක් සේම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන ආයතන වලට ඒ සඳහා කල් ගැනීමට හොඳ මඟකි.
4. මේ වෙළෙඳ දැන්වීමේ සඳහන් සංචාරක ස්ථාන දහයෙන් බහුතරය හම්බන්තොට සිට කෙටි දුරකින් පිහිටා තිබෙන නිසා දැනට භාවිතා නොවන හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැවත භාවිතයට ගන්නට හොඳ පිවිසුමකි.
5. මේ දැන්වීමේ සඳහන් අවධානය ඉන්දියාවේ පිරිස් අතර ඉහළ ගියහොත් ඉන්දියාවේ පිරිමැසුම් දායක ගුවන් සේවාවන් ද ලංකාවට ගුවන් ගමන් වාර එකතු කිරීමට ඉඩ තිබේ. ඒ හරහා ගුවන්තොටුපළ සේවා සැපයීමෙන් මෙන්ම සංචාරකයින්ගෙන් ද ලංකාවට තව තවත් ආදායම් උපයන්නට පුළුවන.
6. ඉන්දීය සංචාරකයින් සමාජ මාධ්‍යය වල සේයාරූ සහ වීඩියෝ පලකිරීමට මහත් උනන්දුවක් දක්වන පිරිසක් නිසා ඔවුන් මඟින් ලංකාවේ අනිකුත් සංචාරක ස්ථාන ගැනත් නොමිලයේම ප්‍රචාරයක් ලෝකයට ගෙන යාමට පුළුවන.
එනිසා කවුරුන් කල ද මෙය පාඩු ලබන ශ්‍රී ලංකා ගුවන් සේවය දෙපයින් සිටුවීමට කරන මෙහෙයක් සේම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද මහත් පිටි පහලක් වේවායි සිතමි.
ඔබට මේ දිගුවෙන් ඒ දැන්වීම බලන්නට පුළුවන්
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
No comments:
Post a Comment