මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 25, 2023

වාර්තා චිත්‍රපට ඇසුරින් ලෝක සංචාරයක්





වාර්තා චිත්‍රපට බලන්නට මගේ තිබෙන්නේ ඉතා ඉහළ මට්ටමේ උනන්දුවක්.  කර්මාන්තයක් විදිහට ගත්තාමත් වාර්තා චිත්‍රපට කියන්නේ විශාල පරාසයක විහිදෙන පුළුල් ක්ෂේත්‍රයක්. ඒ කොහොම උනත් අපට විශ්වීය මානවයෙකු වෙන්න ඉන් ලැබෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි.  මේ මම එහෙම මේ මෑත කාලයේ දී බැලූ වාර්තා චිත්‍රපට කිහිපයක්,




Behind The Attraction



වෝල්ට් ඩිස්නි ගේ ඩිස්නි ලෝකයට 2016 දී කල ගමන තවමත් මතකයේ තිබෙන එකක් . ඒ සංචාරයේ මතක එක්ක මෑතකදී මට බලන්නට ලැබුණේ එහි තිබෙන  සංචාරක අත්දැකීම් ගැන  කල මේ වාර්තා චිත්‍රපට  පෙලයි.ඩිස්නි සමාගම කලින් කලට අලුත් කරන විවිධ සංචාරක අත්දැකීම් අද ඔබ දකින ආකාරයට සකස් කෙරුණු හැටි පියවරෙන් පියවර විස්තරාත්මකව දකින්නට මේ වැඩසටහන් මාලාව ඔබට හොද අත්වැලක් සපයාවි. 



සැබෑව හා මායාව මුසු කරමින් විවිධ දක්ෂයින්  විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඔවුන් කරන වෙනස්කම් හින්දා ඔබ කොයි වයසෙ කෙනෙක් වුණත් මුදල් තිබෙනවා නම් හැම වසරකම වුණත් ඔබ ඒ පරිශ්‍ර වලට ගියොත් අත් දකින්නට ලැබෙන්නේ වෙනස් වෙනස් අත්දැකීම්. නිර්මාණ ශිල්පීන්,  ඉදිකිරීම් ශිල්පීන් , සේවකයින් වැනි පුළුල් වපසරියක පිරිසක් ඒ අත්දැකීම් දිහා මතක අවදි කරන හැටි ඔබට මේ වැඩසටහන් පෙළේ දී දකින්නට පුළුවන්.













Moulin Rouge - Yes we Can can



වසර එකසිය තිහකට වැඩි ඉතිහාසයක් තිබෙන පැරිසියේ Moulin Rouge   නර්තනාගාරය වැඩිහිටි විනෝදාස්වාදන කැබරේ නැටුම් සඳහා ලෝකයේ නම් දැරූ   එකක්.  වැඩි මිලක් ගෙවා එහි දර්ශන බැලීම විතරක් නෙමෙයි , එහි රංගනය ඉදිරිපත් කිරීම සඳහා රැකියාවක් ලබා ගැනීමත් ඉතා දුෂ්කර වැඩක්.



අඩනිරුවත කලාත්මකව ඉදිරිපත් වන එහි නර්තන අංගයන් සඳහා ඇඳුම් ආයිත්තම් සඳහා,  පුහුණුව වගේම ඒ නර්තන අංග ඉදිරිපත් කිරීම සඳහා දක්ෂතම නිර්මාණ ශිල්පීන් තෝරා ගැනීම් සදහා ඒ  ආයතනය අති විශාල මුදලක් වියදම් කරන හින්දා වරක් පමණක් බලන්නට තරමේ සුවිසල් මුදලක් ඔබට එහි දර්ශනයක් සඳහා ගෙවන්න වෙනවා.


එහි නිර්මාණ අධ්‍යක්ෂකවරිය වන ජැනට්  ඒ සඳහා අවුරුදු තුනේ කොන්ත්‍රාත් සඳහා නිරූපන ශිල්පීන්,  ශිල්පිනියන් තෝරා ගන්නා හැටි , ඔවුන් ඒ සඳහා නැටුම් ඉදිරිපත් කිරීමට පුහුණු කරන හැටි වගේම වාර්ෂිකව ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකට අලුත්ම විලාසිතා එක්ක නැටුමක් නිර්මාණය කරන හැටිත් ඔබට ඒ  වැඩසටහන් මාලාව තුළින් බලන්නට පුළුවන්.








Lost Car Rescue 



History  නාලිකාව වෙනුවෙන් නිපදවනු ලැබූ මේ කැනේඩියානු රූපවාහිනී වාර්තා චිත්‍රපට මාලාව british columbia පළාතේ සැඟවුණු වාහන සංරක්ෂණය කරන කණ්ඩායමක් කරන ගවේෂණ කටයුතු පාදක කරගෙන නිෂ්පාදනය වුණු එකක්, කණ්ඩායම් නායකයා  Matt Sager . ඔහුගේ කණ්ඩායමට කුඩා ගුවන් යානා පදවන නියමුවරියක වන Jessica James , වාහන කාර්මික ශිල්පී Steve Sager , වාහන බඳ අලුත්වැඩියා පිළිබඳ ප්‍රවීණ  Dave Mischuk  සහ දොඹකර ක්‍රියාකරු Lee Brandt අයත් වෙනවා.




කැනඩාවේ විවිධ දුර බැහැර පළාත් වල සැඟවී තිබෙන පැරණි වටිනා රථවාහන සංරක්ෂණය සඳහා ඒවාට තව දුරටත් හානියක් නොවන ආකාරයට ඒවා සංරක්ෂණය කරන මධ්‍යස්ථානයට ගෙන එන්නට සුවිසල් ට්‍රක් රථයට පටවා ගන්නා තෙක් කරන මෙහෙයුම සුවිසල් එකක්. මෑතකදී සංචාරක සටහනක ලියූ  Bush Plane එකක්, විශේෂී දොඹකරයක් සහ වාහන ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් භාවිතා කරමින් ඔවුන් කරන මෙහෙයුම් වලදී ඔවුන් ගස් සහ ස්වභාවික පරිසරය ආරක්ෂා කරගනිමින් විශාල කාර්යභාරයක් කරනවා.  ඒ වෙනුවෙන් ඔවුන් තොරතුරු එක් රැස් කර ගන්නා හැටි , වාහන සොයන හැටි බලන්න අපූරුයි.





The World’s Most secret Hotels



ප්‍රායෝගිකව මට යන්නට බැරි වුණත්  ලෝකයේ විශාල පරාසයක මහද්වීප අතර සැරිසරන්නට මම කැමතියි.  එහෙම යද්දි අපට නවතින්නට වෙනවා. තරු පන්තිය වෙනස් වුණත් නවාතැන් ගන්න තියෙන හෝටල් බොහෝමයක් එකම විදිහේ ඒවා. දැන් තියන ප්‍රවණතාවය පරිසර හිතකාමි නැවත නැවත පාවිච්චියට ගැනෙන දේ ඇසුරින් නවාතැන් ඉදි කරන එකයි.




 මේ වැඩසටහන් පෙළේ ඔබට එහෙම තැන් රැසක් බලන්න පුළුවන්. සමහරක් ඒවා බලනකොට ඔබට හිතේවි එහෙම තැනක මේ වගේ නවාතැනක් තියෙන්න පුළුවන්ද කියලා. විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතයෙන් නිවසේ ඉඳගෙන රැකියාව කරන තරුණ පිරිස් අතරේ මේ වගේ තැන් වගේම ජංගම නිවහන් ජනප්‍රිය වෙලා තියෙන්නේ නගරේ තියෙන අධික වියදම වගේම නිස්කලංක බවක් නැති හින්දයි.




Secrets of Royal travel 



බ්‍රිතාන්‍ය රාජකීයන්  තමන්ගේ ගමන් බිමන් සඳහා යොදාගත් දුම්රිය සහ ගුවන් යානා ගැන දැනගන්න පොදු මහජනතාව තුළ විශාල කැමැත්තක් තියෙනවා. දැන් දැන් රාජකීයත්වය පිළිබඳ වෙනස් කතිකාවතක් තිබුණත්  ඒ ඉතිහාසය සංරක්ෂණය කරන්න මහ  ජනතාවට ප්‍රදර්ශනය කරන්න මහා බ්‍රිතාන්‍ය කටයුතු කර තිබෙනවා.


මේ වැඩ සටහනේ කොටස් දෙකින් පළමු වැන්න රාජකීය දුම්රිය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා දෙවැනි වැඩසටහන වෙන් ව තිබෙන්නේ රාජකීය ගුවන් යානා ගැනයි. 


අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, November 18, 2023

ලැව් ගිනි නිවන Bush Planes බලන්න යමුද?.





ගුවන් පථයක් නොමැතිව ජලය, අයිස්, හෝ ගොඩබිම මත බාන්නට හැකි කුඩා ගුවන් යානා හැඳින්වෙන්නේ Bush Planes  යන නමින්.  කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශය ඇතුළුව බොහෝ ජනශූන්‍ය ප්‍රදේශ සිතියම් ගත කරන්නට,  ලැව්ගිනි නිරීක්ෂණය කරන්නට අතීතයේදී මහත් දායකත්වයක් දැක්වූ එවන් ගුවන් යානා එකතුවක්   Sault Ste Marie. වල තිබෙන Canadian Bushplane heritage centre එකේදී ඔබට දකින්නට පුළුවන්.  උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශයේ සංචාරයේදී අද අපි ඇවිත් ඉන්නේ එවන් ගුවන් යානා එකතුවක් බලන්න ඒ Sault Ste Marie බලන්න යන අය යන Canadian Bushplane heritage centre.





Canadian Bushplane heritage Centre.


 


1924 දී ඔන්ටාරියෝ රජයේ ඉඩම් සහ කැලෑ ඇමතිවරයාගේ යෝජනාවකින් ඇරඹුණු The Ontario provincial air service හි මූලස්ථානය පිහිටුවූ පරිශ්‍රයේදී අද ඔබට මේ ගුවන් යානා කෞතුකාගාරය දකින්නට පුළුවන්. තිහකට අධික වෙනස් වර්ග වල ගුවන් යානා එකතුවක් මෙහිදී ඔබට දකින්නට ලැබෙන්නේ 1987 දී ගුවන් යානා වලට පෙම් බැඳි පිරිසක් එකතුව පටන් ගත් මේ මධ්‍යස්ථානය නිසා. මෙහි ඇති සමහර යානා සේවයෙන් විශ්‍රාම ගැන්වුණු  ඒවා. තවත් සමහරක් අනතුරුවලට ලක් වුණු ඒවා ප්‍රතිනිර්මාණය කිරීමෙන් පස්සෙ ප්‍රදර්ශනය කරනවා. ඒ අතර ලොව වටා ගුවනින් යන්නට උත්සාහ ගනිද්දී 1937 වසරේ අතුරුදහන් වුනු Amelia Earhart . ගේ ජීවන චරිතය ඇසුරෙන් 2009 දි නිපදවනු ලැබූ චිත්‍රපටයට යොදා ගත් Fokker. වර්ගයේ ගුවන් යානයත් වෙනවා.




කැනඩාවේ ගුවන් ඉතිහාසයට කාන්තාවන් ගෙන් ලැබුණු දායකත්වය , ලැව්ගිනි නිරීක්ෂණ සහ මර්දන කටයුතු ගැන තොරතුරු දැන ගන්නත් මෙය කදිම තැනක්.  ලැව්ගිනි මර්දනය පිළිබඳ කදිම චිත්‍රපටයක් ඔබට මෙහි තිබෙන කුඩා සිනමා ශාලාවේ දී ඔබට බලන්න පුළුවන්. වතුර බෝම්බ ලැව්ගිනි සඳහා හෙලන ක්‍රමවේදය ගැනත් ඔබට මෙහිදී හොඳ අවබෝධයක් ගන්න පුළුවන්.








 Entomica



 මුලින් වෙනත් ස්ථානයක තිබුණු කෘමි සතුන් පිළිබඳ කෞතුකාගාරයත්  දැන් මේ පරිශ්‍රයේ  පිහිටුවා තිබෙනවා.පාසැල් දරු දැරියන් ඇතුළු කෘමි සතුන් ගැන උන්න්නදුවක් දක්වන කාටත් අරුමැසි තොරතුරු රැසක් මෙතනදී දැනගන්න පුළුවන්.



Soo Locks





සුපීරියර්  විල සහ හියුරන් විල අතර අඩි 20 ක උස පරතරය මගහරිමින් නාවික ගමනාගමනය සඳහා කැනඩාවේ ඔන්ටාරියෝ පළාත් අන්තයේ  එකක් සහ ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ  Sabin Lock, Davis Lock, Poe Lock,Macarthur Lock  නමින් Lock හතරක් පිහිටුවා තිබෙනවා ඒ වගේම මේ ජල කඳ ගලායාම භාවිතයෙන් ජල විදුලිය උත්පාදනය සඳහා  කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් දෙකම ජල විදුලි බලාගාර ඉදිකර තිබෙනවා.



1797 දී නාවික ගමනාගමනය සඳහා ඉදිකර තිබුණු Locks  1812 දී ඇතිවූ කැනඩා ආක්‍රමණයේදී ඇමරිකානු හමුදා විසින් විනාශකර දැමුනු හින්දා 1852 දී නැවත ඒවා ඉදිකරනතෙක්  වසර හතළිහක් භාණ්ඩ ප්‍රවාහන නෞකා වලට සුපීරියර් විල අන්තයේදී බඩු බාල හියුරන්   විල අන්තයට ගොඩබිමින් ගෙනිහින් ආයෙමත් වෙනත් නැවක පටවන්න සිදුවුණු බවයි කියන්නේ. මේ ප්‍රදේශය ගැන හොඳින්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නෙ Sault Lock Tour  යාත්‍රාවකින් ගිහින් තමයි.



Miss Marie Sault Lock Tours



 කැනඩා අන්තයෙන්  ක්‍රියාත්මක වන මේ චාරිකාවට  කැනඩා ඇමරිකා දේශසීමා දෙකේම ජල  ප්‍රදේශ භාවිතා වුණත් ගොඩ බහින්නට ඉඩක් නොලැබෙන හින්දා ඇමරිකානු වීසා හෝ කැනඩා ගමන් බලපත්‍රය ගෙනයන්න ඕනෑ වෙන්නේ නෑ . දවසකට දෙවරක් ක්‍රියාත්මක වන මේ චාරිකාවට පැය දෙකක් විතර යනවා. මේ චාරිකාවේදී යාත්‍රාව  canadian සහ american locks හරහා යනවා. මගීන් 100 දෙනෙකු ගෙනයන්නට පුලුවන් මේ යාත්‍රාව උදෑසන දහයට සහ සවස එකට මැයි සිට ඔක්තෝබර් දක්වා මාස වල දිනකට චාරිකා දෙකක් ක්‍රියාත්මක කරනවා. අන්තර්ජාලයෙන් හරි එතැනට ගිහිල්ලා හරි වෙන්කරවා ගන්න පුළුවන් මේ  Locks .හරහා යන චාරිකාවට අමතරව තෝරාගත් දවස් වලදී රාත්‍රී 7 සිට 9 දක්වා ඉර බහින මනරම් දසුන් බලන්නට විශේෂ චාරිකාවක් ද එම යාත්‍රාවම භාවිතා කරමින් ක්‍රියාත්මක කරනවා.






Metis Tours



St. Mary’s  ගඟ දිගේ මේටි  ජනයාගේ සංස්කෘතික සහ පාරිසරික සංචාරයක යෙදෙන්න පුළුවන් . කැනඩාවට ආවේණික Big Canoe එකක  දියෙන් හරි ගඟ අයින දිගේ  ඇවිදින සංචාරයකට හරි එකතුවෙලා හරි ඔබට ඒ අත්දැකීම ලබන්න පුළුවන්.



Crystal Falls 



Sault Ste mary .නගරයේ ඉඳන් විනාඩි 15ක විතර ගමනකට පස්සේ හමුවන kinsmen පාර්ක් එකේදි ඔබට crystal falls දියඇල්ල බලන්න පුළුවන්.


 ඒ වගේම මේ ප්‍රදේශයේ ප්‍රවේශය සංචාරය කරන කෙනෙකුට කුඩා දිය ඇලි කීපයක්ම බලන්නට පුළුවන්. Connor Road Falls, Root Cascade ඉන් කිහිපයක්.



ආපහු අපේ නවාතැනට ගියපු අපි හෙට දවසට  සූදානම් වුණා. ඒ ලෝකයේ විශාලතම මිරිදිය දූපතට යන්න. ලබන මාසයේ දී ඒ විස්තර ඔබට දැනගන්නට පුළුවන්.


අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.