මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, July 29, 2023

චිත්‍රපට සහ පොතපත ගැන මුහුණු පොත් තොරතුරු හුවමාරුව




පොතපත , චිත්‍රපට තුලින් වර්තමානයේ මිනිස් ප්‍රජාව ඈත්වෙමින් ඩිජිටල් මාධ්‍යයයේ තිබෙන වීඩියෝ , වීලොග් සහ ශ්‍රව්‍ය මාධ්‍යය වෙත යොමුවෙමින් තිබෙන අවධියක පොතපතට , චිත්‍රපටයට ආදරය කරන පිරිස් අතරට දැනුම ගෙනයන අය මේ සමාජයේ අඩුයි. වෙනස්වන සමාජයේ තරුණ පරපුරට සහ තාක්ෂණයට දොස් පවරමින් ඉන්නවාට වඩා වෙනස්වන සමාජ ප්‍රවණතා හරිහැටි හදුනාගෙන ඒ අනුව තොරතුරු ලබාදීම වැදගත් කියල මට හිතෙන්නෙ ඒ හින්දයි.  

මුහුණු පොත හරහා විවිධ අපචාර සහ කාලය නාස්තිකරන පුරාජේරුකම් සහ පෙන්වීම් අතරේ ඒ තුලින් හරවත්, ගුණවත් දේත් සමාජගත කරන පිරිස් දකින්නට ලැබීම සතුටට කරුණක්.

මින් පෙර මගේ සටහන් කිහිපයක් එවන් පිරිස් වෙනුවෙන් ලියා තිබෙනවා.

මුහුණු පොතේ කවි එකතු .....

http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_30.html

මුහුණු පොතේ පැරණි පතපොත ඩිජිටල් ගත කරන මෙහෙවර...

http://ahasgawwenehalokaya.blogspot.com/2023/05/blog-post_13.html


මේ සටහන ලියන්නට හිතුවේ මුහුණු පොතේ මා දුටු තවත් එවන් පිටුවක් හින්දයි . එහි නම Oasis. ඉංග්‍රීසි ශබ්දකෝෂයට අනුව Oasis කියන්නේ කාන්තාරයේ තිබෙන සරු බිමකටයි. මේ මුහුණු පොත් පිටුවට ගියාමත් මට දැනෙන්නේ එහෙමයි. ලෝකයේ විවිධ භාෂාවලින් නිමැවුණු චිත්‍රපට, පොතපත සහ රූපවාහිනී මාලා වැඩසටහන් ගැන ලියැවුණු විවිධ සටහන් ඔබට මේ මුහුණු පොත් පිටුවෙන් බලන්නට පුළුවන්. ඒ විස්තර කියවා මා බැලූ  චිත්‍රපට රැසක්ම  තිබෙනවා. ඒවගේම රූපවාහිනී මාලා නාටක කිහිපයක් ඉදිරියේදී ඉඩ ලැබෙන විදිහට බලන්නත් හිතාගෙන ඉන්නවා.


මේ පිටුවේ සදහන් පොත් කියවන්නත් ආසාවෙන් හිටියත් විදෙස් රටකදී ඒවා ලබාගැනීමට හෝ හුවමාරුවට ඇති අපහසුතා, මිලදී ගන්නට වන අමතර පිරිවැය හින්ද ඒ අදහසත් ඉදිරියට තියාගෙන ඉන්නවා. සතියකට අඩුම තරමින්  චිත්‍රපට 2 ක් වත් බලන්නට ඇබ්බැහිව ඉන්නා මම ඉන් සමහරක් ගැන බ්ලොග් අඩවියට ලියන කෙටි සටහන් Oasis හරහා බෙදාගන්නත් පුරුදු වෙලා ඉන්නවා. ඒ සදහා මට දෙන ඉඩකඩට ස්තුතිය පලකරන්නත් කැමතියි.


https://www.facebook.com/groups/540377603319142

ඉතින් ඔබත් ඉඩ ලැබෙන විදිහට මේ පිටුවට ගොඩවෙලා බලන්න. ඔබේ අදහස් ලියන්න. ඔබ කියැවූ පොතක් , බැලූ චිත්‍රපටයක් ගැන තහවුරු කල විස්තර කෙටි සටහනකට ගොනු කරන්න.  එහි තිබෙන සටහන් ඔබට තවත් පොතක් කියවන්න , චිත්‍රපටයක් බලන්න පාර කියාවි.


     
සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.   

Saturday, July 22, 2023

චිත්‍රපට තියෙන්නේ සමාජයට පණිවිඩ දෙන්නමද ?

 



චිත්‍රපට කියන්නේ අත්දැකීම්, අත්විදීම් සහ පරිකල්පන වල එකතුවක් කියලයි පොදු මතය. එතකොට  චිත්‍රපට තියෙන්නේ සමාජයට පණිවිඩ දෙන්නමද ?. මට නම් හිතෙන්නේ ඒක අතුරුපලයක් විතරයි කියල. 

හැබැයි කෙනෙකුට චිත්‍රපට බලල දිරිය ගන්න පුළුවන්. ඒ වගේම නරක පුරුදු , ඇබ්බැහි කම් අත අරින්නත් පුළුවන්. තමන්ගේ සාධාරණ බලාපොරොත්තු වෙනුවෙන් අවසානය දක්වාම මහන්සියෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම පරිකල්පන හරහා හිතල අළුත් නිෂ්පාදන, ක්‍රමෝපාය, වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන්.

ඔය අතරේම දහසකුත් එකක් එදිනෙදා ප්‍රශ්න වලින් යම් කාලසීමාවකට මිදිලා සතුටින් කාලය ගෙවන්නත් පුළුවන්. එතකොට ලෝකෙ තියෙන ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ තමන්ට විතරක්ම නෙවෙයි කියලත් තේරුම් ගන්නත් පුළුවන්. හිතල බලන්න භාෂාව, ජනවර්ගය, පාට , භූ විෂමතාවය වෙනසක් නැතුව හැම පිරිමියෙක්ම, ගැහැණියක්ම ජීවිතයේ එක එක මොහොතට මුහුණ දෙන්නෙ එකිනෙකට වෙනස් විදිහට කියල ඔබටම තේරේවි. 

ඒ හින්ද වැඩියෙ හිතන්නෙත් නැතුව, අඩු තක්සේරුවකුත් නැතුව, ඉඩ තියෙන වෙලාවක  මේ චිත්‍රපට බලලා ඔබේ අදහස් ලියන්න . මාත් ඉඩකඩ තියෙන විදිහට බලන චිත්‍රපට ගැන කෙටි සටහන් ලියන්නම්.   

The African Doctor - French (2016 ) (original title: Bienvenue à Marly-Gomont)















මේ වෙනකොට කොංගෝ කියල හදුන්වන රට 1970 ගණන්වලදී හැදින්වුනේ Zaire කියන නමින්. ඒ කාලයේ මොබුටු ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වුණු සෙයොලෝ ප්‍රංශයේ උතුරු කොනේ කුඩා ගම්මානයක දොස්තර විදිහට පත්වීමක් අරගෙන රටින් විට වෙන්නේ රටේ තිබුණු දුෂිත පාලනය යටතේ වැඩ කරන්නට අකමැති වුනු හින්දයි. 

ප්‍රංශය කිව්වාම පැරීසියට යන බව හිතා සතුටින් යන ඔහුගේ බිරිද කළු මිනිසුන් නුපුරුදු Marly Gomont කියන ගමේදී අත්විදින්නේ පුදුම දුකක්. ගම්මු කළු දොස්තර ගාවට එන්නේ නැතුව ළගපාත අනෙක් ගම්වල දොස්තරලා හොයාගෙන යනවා. පුතාත්, දුවත් ගමේ පාසැලේදී පීඩනයට ලක් වෙනවා. වරෙක ඔවුන් බලන්නට එන බිරිදගේ නෑදෑයින් මැද්දේ දොස්තර සමච්චලයට ලක් වෙනවා. යුවල අතර ගැටුම කෙලවර වෙන්නේ ඈන් පවුල අතහැර බෙල්ජියමේ බ්‍රසල්ස් වල ඉන්නා නෑදෑයින් ළගට යෑමෙන්.

ප්‍රංශ පොලීසිය සංක්‍රමණ ගැටළුවක් යටතේ ඔහුව අත් අඩංගුවට ගන්නේ පුරවැසිකම ලැබෙන්නට ඔන්න මෙන්න තියෙද්දී . මේ අතරේ දුව ගමේ පාපන්දු කණ්ඩායමේ ප්‍රබල චරිතයක් ලෙසින් ජනප්‍රිය වෙනවා. හදිසියේ  දොස්තර ගාවට එන ගැබිණි ගොවි බිරිදක් බේරා ගැනෙන්නේ මේ අතරේදී. ඒක හින්ද දොස්තරගේ දස්කම් ගමට දැනෙනවා. ඒත් රස්සාව රැකෙන්න නම් දොස්තර ගේ එකම පිළිසරණ වෙන්නෙ තමන්ව ප්‍රංශයට ගෙන්වා ගත් ගමේ පුරපති වරයා මැතිවරණයෙන් දිනන එකයි.

පුරපති වරයා යලි පත්වෙනවා. ගම්මු දොස්තර ට තිබුණු අකමැත්ත පහව යනවා. ගමට තාත්තත්, දුවත් උවමනා වෙනවා. දොස්තර සම්මානවලින් පුද ලබනවා. බිරිද ආපහු ඇවිත් පවුලට එකතු වෙනවා. 2009 දී රිය අනතුරකින් මිය යන තුරුම මේ අප්‍රිකානු දොස්තර වරයා ගමට සේවය කරනවා.    

වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..

https://en.wikipedia.org/wiki/The_African_Doctor

Trailer  යු ටියුබ් දිගුව  


 



Travel Mates - Turkish (2017) ( Original Title : Yol Arkadasim )   

ඔනර් කියන්නේ වෙළද නියෝජිතයෙක්. දවස් තුනක් ඇතුලත ඔනර්ට ජයගන්න ප්‍රශ්න 3 ක් තියෙනවා. පලවෙනි එක ඈත නගරයක ඉන්නා ඔහුගේ පෙම්වතියගේ ගෙදර අය හමුවෙන එක. දෙවැනි එක මේ වෙනකොට අනතුරුදායක තත්වයක තියෙන තමන්ගෙ රස්සාව බේරා ගන්නා එක. තුන්වෙනි එක ගමන් වියදම් බෙදාගන්න හවුලට ගත්ත කිසිදා නොදන්නා සෙරෆ් එක්ක මේ ගමන යන එක.  

මේ ගමන යද්දී ඔවුනට එන බාධක, ඇතිවන ප්‍රශ්න මැද්දේ රස ප්‍රේමයන් එක්ක එකතුවන කාන්තාවන් හින්ද මේ චිත්‍රපටය ප්‍රේමයෙන් පිරුණු එකක් වෙනවා. භාෂාව නොතේරුණත් , නොදැනීම සතුටින් කාලය ගලායන මෙය හොද විනෝදාත්මක චිත්‍රපටයක්.  

වැඩි විස්තර සදහා IMDB යොමුව  …..

https://www.imdb.com/title/tt7535792/

Trailer  යු ටියුබ් දිගුව 


 

The Reader - English (2008)

1958 දී තරුණ මයිකල්  ස්කාලට් උණ හැදිලා පාරෙ වැටිලා ඉන්නකොට ඔහුව බේරගන්නේ හැනා කියන මැදිවියේ ඉන්නා ට්‍රෑම් රථ කොන්දොස්තරවරියයි. ඒ කල උදව්වට මල් අරගෙන ඇය බලන්න යන මයිකල් සහ හැනා අතර හාදකමක් ගොඩනැගෙනවා. අකුරු කියවන්නට සහ  ලියන්නට නොදත් ඇය මයිකල් ලවා පොත් කියවා ගන්නවා. දවසක ඔහු හා ඇය පල්ලියකදී ඇය බොහෝ හැගුම්බර වෙනවා. ගිම්හානය අවසානයේදී හැනා උසස්වීමක් අරගෙන වෙනත් ප්‍රදේශයකට යන නිසා ඔවුන් දුරස් වෙනවා.  

1966 දී නීති සිසුවෙක් වන මයිකල්ට පෝලන්තයේ පල්ලියකදී 300 ක පිරිසක් ගිනිතබා මරා දැමුණු නඩුවක් අහන්න ලැබෙනවා . එහි චුදිතයින් අතරේ හැනාත් ඉන්නවා. බොහෝ අය බොරු කියා බේරෙද්දී හැනා වරද පිලිගන්නා හින්ද ඇයට සිරගත වන්නට වෙනවා . ලියන්නට , කියන්නට නොදන්නා බව කියන්නට අකමැති වීම ඇගේ හිරගත වීමට බලපාන බව තේරෙන මයිකල් පස්සෙ දවසක ඒ ගැන තමන්ගේ ගුරුවරයාට කියනවා. ඔහු කියන්නේ ඒ බව උසාවියට කීවානම් තීරණය වෙනස් වන්නට තිබූ හින්ද ඒ ගැන හැනා ට නොකිව්වේ ඇයි  කියලයි. 


ආපහු හැනා එක්ක හිතවත් කම් ගොඩනගා ගන්නා මයිකල් තමන් කියවන පොත් හඩ පට වලට පටිගත කරලා හිරගෙදර ඉන්න හැනා ට යවනවා. හැනා ඒ පොතේ මුද්‍රිත පිටපත හිරගෙදර පුස්තකාලයෙන් අරගෙන වචන ගලප ගලපා කියවන්න ඉගෙන ගන්නවා. 1988 දී ඇයව නිදහස් කරන්න සුදානම් වුනාම හිරගෙදරින් මයිකල් ට දන්වනවා. මුලින් අකමැති වුනත් මයිකල් ඇයව බලන්න ගිහින් ඇය වෙනුවෙන් ඔහු රැකියාවක් සහ නවාතැනක් සුදානම් කල බව කියනවා. ඒත් ඒ කතාබහ අවසන් වෙන්නෙ බහින්බස් වීමකින්.

නියමිත දවසෙ මල් පොකුරක් අරන් නිදහස් වන හැනා බලාපොරොත්තුවෙන් යන මයිකල්ට ආරංචි වෙන්නෙ හැනා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගත් බවයි. සිරගෙදරින් දෙන ඇගේ අවසන් කැමති පත්‍රය සහ සල්ලි දාපු ටින් එක ගන්නා මයිකල් ඒවා කියල තිබුණු විදිහටම නියමිත අයට බාර දෙනවා.  

 

 වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..    

https://en.wikipedia.org/wiki/The_Reader_(2008_film)

Trailer  යු ටියුබ් දිගුව  



BulBul Can Sing - Assamese (2018)  

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ දුෂ්කර කුඩා ගමක ඉන්නා බුල් බුල් කියන්නේ යොවුන් වියට පිය මනින තරුණියක්. අගේ හොදම යහළුවන් වෙන්නෙ බොනී සහ සමු. වැඩිවියට පත් වෙනකොට මේ තුන් දෙනා තම තමන්ගේ අනන්‍යතාවය හොයන්න වෙහෙසෙන හැටි මේ චිත්‍රපටයෙන් දකින්න පුළුවන්. 

හැබෑ ගැමි සුන්දරත්වයෙන් පිරි දසුන් මේ චිත්‍රපටය පුරාම තියෙන්නෙ ලස්සන ගමේ සරල දේවල් වලින් ඔවුන් විනෝද වුනු හැටි පෙන්වන්නයි. වැඩිවිය පැමිණීමත් එක්ක බුල්බුල් සහ බොනීට සාම්ප්‍රදායික තහංචි වැටෙනවා. සමු ට චෝදනා එල්ල වෙන්නෙ ඔහු සම්ප්‍රදායික පිරිමියෙක් විදිහට කටයුතු නොකරන හින්දයි. 

වෙනස්වන සමාජය එක්ක මේ තුන්දෙනා ගේ ජීවිතය ගලායන අපූරුව මේ චිත්‍රපටයේ රූප තුලට ගොනුකර තිබෙනවා .   

වැඩි විස්තර සදහා IMDB යොමුව  …..

https://www.imdb.com/title/tt8659050/

Trailer  යු ටියුබ් දිගුව  



Mimi - Hindi (2021)

මිමි කියන්නේ කුඩා ගමක ජීවත්වන තරුණියක්. නැටුම් ශිල්පිනියක් වන ඇගේ බලාපොරොත්තුව බොලිවුඩ් නිලියක් වෙන එකයි . නගරයේදී හමුවන බානු කියන ටැක්සි රියැදුරා මිමිට ඉක්මනින් සල්ලි හොයාගන්නට පුළුවන් විදිහක් කියනවා. ඒ ඇමෙරිකානු යුවලක් වන ජෝන් සහ සමර් වෙනුවෙන් දරු ගැබක් කුසේ දරන් ඉන්න එක. ඒකට ගාස්තුව විදිහට ඇයට ඉන්දියානු රුපියල් ලක්ෂ 20 ක් ලැබෙනවා.

ඇය ගෙදරට කියන්නේ චිත්‍රපට රූගත කිරීමකට මාස 9 කට නගරයට යන්න වෙනවා කියලයි. ශ්‍යාමා කියන මිතුරියගේ ගෙදර හැංගිලා ඉන්න මිමිට අවශ්‍ය සියළු දේ දීල බලාගන්න ජෝන් පවරලා තියෙන්නෙ බානුට. දරුගැබ දරාගෙන ටික කලකට පස්සෙ කරන පරීක්ෂණ වාර්තා බලන දොස්තර කියන්නේ කලලය දරුණු   රෝගයක ලක්ෂණ පෙන්වනවා කියලයි . ඒ ගැන අහන ජෝන් සහ සමර් කියන්නේ කලලය විනාශ කරන්න කියලයි.

මිමි ගබ්සාවට විරුද්ධ වෙලා ගෙදර යනවා. ගෙදරට ගිහින් කියන්නේ ඇය බානු එක්ක පැනලා ගිහින් කසාද බැන්ද කියලා . මාස 9 කට පස්සෙ මිමිට පිරිමි දරුවෙක් ලැබෙනවා. සුදු හම හින්ද කට්ටිය පුදුම වුණත් මිමි ඇගේ නිලි ආශාව පැත්තක තියලා දරුවා හදා ගන්න කැපවෙනවා.  

රාජ් කියන ඇගේ පුතා එක්ක මිමි නටන වීඩියෝවක් අන්තර්ජාලයේ ජනප්‍රිය වෙලා තියෙනවා දැකපු ඇමෙරිකන් යුවල දරුවාව ඉල්ලනවා. ඇය කැමති නොවුණු තැන ඔවුන් කියන්නේ උසාවි යනවා කියලයි. මේ ප්‍රශ්න අතරේ ඉන්දියාවේ ඉන්නා ඇමෙරිකන් යුවලට අනාථ නිවාසයකදී දකින තාරා කියන දැරියට හිත යනවා. ඔවුන්ට තාරා නීත්‍යානුකුලව දරුකමට හදාගන්නට ඉඩ ලැබෙනවා. ඒ හින්ද රාජ් මිමි ළග රැදෙද්දී ජෝන් සහ සමර් තාරා අරන් ඇමෙරිකාවට යනවා.   









වැඩි විස්තර සදහා විකිපීඩියා යොමුව  …..  

https://en.wikipedia.org/wiki/Mimi_(2021_Hindi_film)  

Trailer  යු ටියුබ් දිගුව  





 සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

                 

Saturday, July 15, 2023

පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම ...... අමයුරු කවි රස 14

 


අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.  

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම ගැනයි. 

 මේ ලෝක පුජිත කවි කිවිදියන් හත් දෙනෙකුගේ නිර්මාණ ඇසුරින් කෙරෙන විමසුමක් ......

  සුනේත්‍රා අලුත්දුන්නේ

සුනේත්‍රා අලුත්දුන්නේ මහත්මිය ගැන මම දැනගන්නේ චරණ රූපවාහිනියේ කවි 10 ට ගී දහයක් තුලින් හිත් ගන්නා විදිහට පරිවර්තන කවි ඉදිරිපත් කල සම්පත් දායිකාවක් විදිහටයි. ලන්ඩන් කවි කලාපයේත් නිතර කවි පලවන නිසා මට ඇගේ නම නම් අමුත්තක් නෙවෙයි. මින් පෙර රූපණ අමයුරු කවි රස තුලින් ඕස්ට්‍රේලියාවේ හෙල්මලී ගුණතිලක පරිවර්තිකාව එක්කත් වැඩසටහනක් කර තිබුණත් සාගරයක් වගේ විදෙස් කවි අතරින් තව ටිකක් අරගෙන වැඩසටහනක් කරන්න හිතාගෙන ඉන්න මම  සුනේත්‍රා අලුත්දුන්නේ මහත්මියට මුහුණු පොත් පණිවුඩයක් යවනවා. 

ඇගේ චරණ රූපවාහිනියේ කවි 10 ට ගී දහයක් යූ ටියුබ් දිගුව 


ලංකාවේ හොද නමක් තියෙන ,  ලස්සනට කවි විචාර කරන විද්වත් චරිත කිහිපයකට මීට පෙර අපේ වැඩසටහන් වලට කතා කලාම ලැබුණු .....කීයක් ගෙවනවද ? , ඔයගොල්ලො කවි ගැන කථා කරන්න දන්නවද ?, කී දෙනෙක් බලනවද ? , අපි හරි බිසී  වගේ උත්තර හින්ද බයෙන් ඉන්නා මට ඉක්මනින්ම පිළිතුරක් ලැබෙන්නේ  ඇගේ දුරකථන අංකයත් එක්ක. 

ඇයට කතා කලාම සහෝදරියක් වගේ හොදින් කතා කරලා ඉක්මණින්ම කවි කිහිපයක් පරිවර්තනය කරලා එවන්නේ මාව පුදුම කරවමින්. රස්සාව , පරිවර්තන වගේ වැඩ රාජකාරි බහුල කාලෙක කලින් වැඩසටහනට පාවිච්චි නොකල කවි එවල කල කතාබහ කිහිපයකට පස්සෙ එක වැඩසටහනක් වෙනුවට අපි වැඩසටහන් දෙකක් කරනවා. මේ කිසි දේකට මම අද වෙනකම් ඇයට මුදල් හෝ තෑගි මොනවත් දීල නැහැ . ඇය ඒ වගේ දෙයක් ගැන කතා කරලත් නැහැ.

වසංගත සමයේ 2021 දෙසැම්බර් මාසයේ වෙබ් ගත වුනු මේ වැඩසටහන් ගැන කල මේ සටහන පමා වුණත්, මේ වනවිට කලින්ම විශ්‍රාම අරගෙන වැඩි වැඩියෙන් නිර්මාණ කටයුතු වල යෙදෙන ඇයට ඒ සියළු කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරන්න මේ සටහන අවස්ථාවක් කර ගන්නවා.  

ඇගේ තවත් තොරතුරු සදහා  යූ ටියුබ් දිගුව       





පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම - පළමු කොටස


https://rupane.com/2021/12/11/rupane-episode-273-december-11-2021/


වැදගැම්මකට නැති කෙනා ......

මුල් පද - ඇමෙරිකානු කිවිදිය එමිලි ඩිකින්සන්

 ( I am Nobody )  




සරද සවසක .......                                 

මුල් පද - ජපන් කිවිවර සබුරෝ කුරෝඩා

 ( 3 O clock on an Autumn Afternoon)




කොතැන උන් සැගවුනද.......                                               

මුල් පද - නේපාල කිවිවර ක්‍රිෂ්ණ ප්‍රසායි

ඉංග්‍රීසි පරිවර්තනය - මහාචාර්ය මහේෂ් පෝද්වාල්

          


පරිවර්තන කවි තුලින් ජීවිතය කියැවීම -  දෙවන කොටස


ඉන්නිස්ෆ්‍රී අයිලය .......                                

මුල් පද -  අයර්ලන්ත කිවිවර ඩබ් බී යේට්ස් 
( The Lake Isle of Innisfree )    







        




සොරකම  .......                                 

මුල් පද -  ඉන්දියානු කිවිවර බාලචන්ද්‍රන් නායිර් 







මියගිය මා සිගිති පුතුට   .......                                

මුල් පද -  ඩෙන්මාර්ක් කිවිදිය ටෝව් ඩිටිල්ව්සන් 
(To my dead child )      

          


ඇසුණු සද මට වියත් තරු විදුදර දෙසුම    .......                               

මුල් පද -  ඇමෙරිකානු කිවිවර වෝල්ට් විට්මන්

( When I heard the learn’d Astronomer )

                         


https://rupane.com/2021/12/18/rupane-episode-274-december-18-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

*****************************************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - සුනේත්‍රා අලුත්දුන්නේ

ඉදිරිපත් කිරීම  - අනුරුද්ධ වැලිගමගේ

කවි ගායනා -  ජෝන් පෙරේරා

                      විශාරද හසන්තිකා කොඩිතුවක්කු                  

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

********************************************************************************


අමයුරු කවි රස - වැඩසටහන් පෙල 

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html

අපේ හත් වන වැඩසටහන -  සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/10/6.html

අපේ අට වන වැඩසටහන - අවුරුද්ද හා බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html

අපේ නව වන වන වැඩසටහන - බුදු දහම සහ බැදුණු කවිය සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2022/05/blog-post_14.html

අපේ දහ වන වැඩසටහන - පරිවර්තන කවියේ මිහිරියාව  සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/11/10.html

අපේ එකොළොස්වන  වැඩසටහන- හාස්‍ය කවියේ ගැබ්වුණු උපහාසය 

http://ahasgawwenehalokaya.blogspot.com/2022/07/11.html

අපේ දහතුන්වන වැඩසටහන -කවි කොලයෙන් සහ හිටිවන කවි මඩු තුලින් සිදුවූ සමාජ කාර්යභාරය

http://ahasgawwenehalokaya.blogspot.com/2022/01/13.htm

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ 
ඉදිරි නිර්මාණ එළිය කරාවි.