මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 30, 2024

ලීනා ද සිල්වා රංගන වේදිනියගේ මතක

ලියනගේ දොන් ලීනා පියසීලි ද සිල්වා , අප බොහෝ දෙනෙක් හදුනන්නේ ලීනා ද සිල්වා යන නමින්. ටොරොන්ටෝවට  නුදුරින් පිකරින් ප්‍රදේශයේදී පසුගිය දා අප අතරින් වෙන් වුණු ඇය ටොරොන්ටෝව අවට විවිධ සමාජ කටයුතුවලදී ඔබ නිතර හමුවුණු  චරිතයක්.

දොන් සයිමන් ද සිල්වා මහතාට සහ ඇලිස්  සිල්වා මහත්මියට දාව 1936 ඔක්තෝබර් තිස් වැනිදා , කොලඹ මාලිගාකන්ද ප්‍රදේශයේදී උපත ලද ලීනා ද සිල්වා දැරිය , කොලඹ ආනන්ද බාලිකා විද්‍යාලයෙන් තම  අධ්‍යාපන කටයුතු සම්පුර්ණ කළා.  පාසැල් කාලයේ සිටම විවිධ රංගන කාර්යයන්ගේ නිරත වූ ඇය,  ශේෂා පලිහක්කාර මහතාගේ  නැටුම් කණ්ඩායමේ සාමාජිකාවක් සිටියදී 1954 වසරේ තිරගත වූ  අහංකාර ස්ත්‍රී චිත්‍රපටයට රංගනයෙන් දායක වන විට පාසැල් යන නම වන ශ්‍රේණියේ ශිෂ්‍යාවක්.

ලීනා ද සිල්වා රංගන වේදිනිය 1956 දී සුරතලී චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ චරිතය රඟපාමින්  ප්‍රධාන සිංහල චිත්‍රපට රංගන ධාරාවට එකතු වුණා.  1958දී සොහොයුරෝ සහ සුනිතා, 1960 දී සුන්දර බිරිඳ සහ නළඟන, 1964 දී සුළලිත සෝභිනී සහ සුජාගේ රහස,1967දී රන් රස චිත්‍රපට බොහෝ ප්‍රේක්ෂක ආදරය දිනාගත් නිර්මාණ කිහිපයක්. අහංකාර ස්ත්‍රී චිත්‍රපටය දී ඇතිවූ දැනහැඳුනුම්කමක් මත 1960 දී ප්‍රවීණ නළු රවීන්ද්‍ර රූපසේන මහතා සමග විවාහ වූ ඇය කලක් සිනමා රංග කාරයයෙන් ඈත් වී සිටියා.

1980දී යලිත් ඇය රංගනයට පිවිසියේ සුමිත්‍රා පීරිස් මහත්මියගේ ගඟ අද්දර චිත්‍රපටය තුලින් . 1981 දී  වාලම්පුරි,  ආරාධනා සහ සාරංගා චිත්‍රපටවලත් 1982 දී කැලේ මල්,  කිරි සුවද,  මලට නොඑන බඹරු , පාරමිතා , යහළු යෙහෙළි නිර්මාණවලටත් රංගනයෙන් දායක වූ ඇය , 1983දී කලියුගය සහ සමනල සිහින,  1984 දී  හිතවතිය,  1985දී ආදර කථාව , කිරි මදු වැල් , වාසිටි කෙල්ල,  1986දී පෙරළිකාරයෝ, දුෂ්‍යන්ති , කොටි වලිගය ,  සිංහ පැටව්, දිනුම,  1988 දී   චණ්ඩින්ගෙත්  චන්ඩියා,  1989 දී සෙබලියෝ,  සිරි මැදුර , බදුලු කෝච්චිය, 1990 දී තණ්හා ආශා,  වීර උදාර,  1991දී රජකෙල්ලෝ සහ රජදරුවෝ චිත්‍රපටවලත් ප්‍රබල රංගනයන් ඉදිරිපත් කළා. 1994දී සුජාතා , 1995දී අවරගිර,  1996 දී සීමා පවුරු, 2000 දී   අනුරාගයේ අනන්තය සහ 2001 දී  පොරොන්දුව යන චිත්‍රපට වලට රංගනයෙන් දායක වූ ඇය කැනඩාවට සංක්‍රමණය වූ පසුව විශ්‍රාම ලබා කාලය ගත කළා .

 සිනමාවේදී විවිධ චරිත රඟපාමින් ගෞරවනීය චරිතයක් ලෙස සමාජයේ  බැබළුණු ඇය නිළිකම  ආභරණයක් කර නොගෙන ඉතා නිහතමානී ලෙස  ජීවත් වූ කාන්තාවකි. ටොරොන්ටෝව අවට  බොහෝ දෙනකුට නිතරම සිනහව පුරවාගත් ඇය ආදරණීය ලීනා ඇන්ටි වූයේ එනිසාය.  ජීවිතයේ  අසූ හත් වන සැතපුම් කණුව පසුකර අප අතරින් වියෝ වූ ලීනා  ද සිල්වා රංගනවේදිණියට රූපණ කණ්ඩායමේ  ප්‍රණාමය මෙසේ පලකර සිටිමු.














2024 මාර්තු  30 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.




https://rupane.com/2024/03/30/rupane-episode-393-march-30-2024/


*********************************************************************************

ඉදිරිපත් කිරීම  - සංජීව අබේරත්න 

පසුබිම් කථනය - මංජුලා වික්‍රමරත්න

සම්පත් දායකත්වය -   

ප්‍රවීණ රංගවේදී  අජිත් ජිනදාස මහතා 

නැසීගිය ලීනා ද සිල්වා රංගවේදිනිය ගේ  පුතු 

 බිමල් රූපසේන මහතා 

නැසීගිය ලීනා ද සිල්වා රංගවේදිනිය ගේ  දියණිය 

පුර්ණා රූපසේන මහත්මිය 

දර්ශන අනුග්‍රහය - හරේන් නාගොඩවිතාන මහතා 

                               තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සමාගම 

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

ඔෂවා නගරයේ රූපණ මැදිරියේ කෙරුණු පටිගත කිරීමකි.

***********************************************************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

Saturday, March 23, 2024

ඔටාවා සිදුවීම හරහා මතුවන සංක්‍රමණික ශ්‍රී ලාංකික ශිෂ්‍ය අභියෝග



ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍යය සහ ජනමාධ්‍යය විවිධ අර්ථකථන දෙමින් වාර්තා කල කැනඩාවේ ඔටාවා නගරයේ සිදුවූ සිදුවීම අප දකින්නේ පශ්චාත් කොවිඩ් සමයේ විදේශ අධ්‍යාපනය සදහා සංක්‍රමණය වූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව තුල කැකෑරෙමින් තිබූ ගැටළු සහ පීඩනය නමැති ගිනිකන්දේ සිදූවූ එක් පිපුරුමක් ලෙසටයි. මහා බ්‍රිතාන්‍යයේ සියදිවි නසා ගැනීමක් ලෙසින් වාර්තා වූ සිසු මරණයත් එවන් තවත් එකක් වන්නට පුළුවන්. 

2024 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන නව ආගමන නීතිරීති  අනුව තම සහකරුවා කැටුව එන්නට ලැබෙන්නේ පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි සදහා ලියාපදිංචි වන අයට පමණයි. විදෙස් සිසුන් සදහා වන විශ්ව විද්‍යාල ගාස්තු ඇතුළු බොහෝ වියදම් වැඩිවන පසුබිමක ඉදිරියේදී  කැනඩාවේ අධ්‍යාපන කටයුතු සදහා පැමිණීමට බලාපොරොත්තු වන අය මහත් සූදානමකින් එන්නට ඕනෑ බව අපේ අදහසයි. නිසි නියාමනයක් හෝ පාලනයක් නැති විවිධ ඒජන්සි කරුවන් සහ යූ ටියුබ් මාධ්‍ය කරුවන් වපුරවන අසත්‍ය තොරතුරු වලට නොරැවටී සැබෑ තත්වයන් හරිහැටි වටහාගෙන ඒවාට සූදානමින් එන එක නුවණට හුරුයි.

https://ahasgawwenehalokaya.blogspot.com/2024/03/blog-post_10.html

මගේ කලින් ලිපියේ සදහන් කල අන්දමට සංක්‍රමණික ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මුහුණ පාන්නට සිදුවන අභියෝග ගැන දැනුවත් කිරීමක් වෙනුවෙන් ඒ ගැන දැනුම ඇති විද්වතුන් තිදෙනෙක් එක්කර ගනිමින් රූපණ අන්තර්ජාල රූපවාහිනිය වෙනුවෙන් වැඩසටහනක් සූදානම් කලා.    

ශ්‍රී ලංකාවේ වගේම කැනඩාවේත් රාජ්‍ය සේවයේ ඉහල නිලධරයෙකුව සිට විශ්‍රාම ලැබුවත් මේ වනතුරුත් කැනඩාවේ මැක්මාස්ටර් සහ ටොරොන්ටෝ විශ්ව විද්‍යාල වල කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන සමාජ විද්‍යාඥ ආචාර්ය සරත් චන්ද්‍රසේකර මේ වැඩසටහන් අන්තර්ගතය නිර්මාණය කරමින් එය මෙහෙයවනු ලැබුවා.


ඉතා කෙටි කලකින් මේ පටිගත කිරීම් කෙරුණු බැවින් අපේ සම්පත් දායිකාවන් දෙදෙනාගේ සේවා ස්ථාන වල නම් පලකරන්නට අපට අවසර නැහැ . කැනඩාවේ පිලිගත් උසස් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍ය කටයුතු සම්බන්ධ උපදේශිකාවක් වන රන්මලී කුලේන්ද්‍රන් සහ කැනඩාවේ ප්‍රමුඛ පෞද්ගලික බැංකුවක නීති නිලධාරිනියක වන අංජනා බණ්ඩාර කලක් තිස්සේ කැනඩාවේ වෙසෙමින් ලත් අත්දැකීම් මේ වැඩසටහන තුලදී බෙදා ගත්තා. 

ඒ හින්ද ඔබ හෝ ඔබේ හිතවත් කවුරුන් හෝ ශිෂ්‍ය කාණ්ඩය යටතේ කැනඩාවට සංක්‍රමණය වන්නට අදහස් කරනවා නම් මේ වැඩසටහන ඔවුනට බොහෝ ප්‍රායෝගික තොරතුරු සපයාවි. කවුරු කොහොම කිව්වත් , තමන් කාලය සහ ශ්‍රමය යොදවා අවශ්‍ය තොරතුරු නිවැරදි මූලාශ්‍ර වලින් එකතුකරගෙන ගමන එන්න කියලයි අපි කියන්නෙ.  

cic.gc.ca 

වෙබ් අඩවියේ යාවත්කාලීන තොරතුරු ඔබට බොහෝ උදව් වේවි.   










https://rupane.com/2024/03/23/rupane-episode-392-march-23-2024/

2024 මාර්තු 23 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි

***************************************************************

 ඉදිරිපත් කිරීම  - ආචාර්ය සරත් චන්ද්‍රසේකර 

සමාජ විද්‍යාඥ,

කථිකාචාර්ය ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය සහ මැක්මාස්ටර් විශ්ව විද්‍යාලය  


සම්පත් දායකත්වය -

කැනඩාවේ ප්‍රමුඛ විද්‍යාලයක ජාත්‍යන්තර සිසුන් සදහා වූ සේවා සපයන උපදේශිකාව රන්මලී කුලේන්ද්‍රන් 

ප්‍රමුඛ කැනේඩියානු පෞද්ගලික බැංකුවක නීති නිලධාරිනී

නීතිඥ අංජනා බණ්ඩාර 

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

*********************************************

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

Saturday, March 16, 2024

මගේ පත්තර රස්තියාදුව



 මම මුලින්ම පුවත්පතකට යමක් ලිව්වෙ මාතර රාහුල විද්‍යාලයේ හතරෙ පන්තියේ සිසුවෙක්  විදිහට. ඒ විජය පත්තරේට. ඒකට පාර කැපුනේ ඒ දවස්වල මකාගෙ  යලක් චිත්‍රකතාව ඇන්ද පියල් උදය සමරවීර මහත්මයා මගේ බාප්පගේ යාළුවෙක් වුනු හින්ද . දවසක් ඒ මහත්තයාගේ ගෙදර ගියපු වෙලාවෙ අතින් ඇන්ද චිත්‍රකතා කොටසක බෝඩ් එකක්ම දුන්නා මට මතකයි. විජය පත්තරේට පුංචි පුංචි දේ ලියන අතරේ පත්තරේක ටිකක් වැඩි ඉඩක් ලැබුනෙ අටේ පන්තියෙදි මිහිර පත්තරෙන් . දහයෙ පන්තියෙදි මගේ පරිවර්තනයක් විදුසර පත්තරේ පලවුනේ දෙනගම සිරිවර්ධන මහත්තයා රෝහල්ගත වෙලා මගේ තාත්තාට හමුවුනු වෙලාවක වුනු  දැන හැදුනුම්කමකින්. 87-89 කාලෙ වෙනකොට මගේ ලිපි නිතර නිතර මිහිර, නවයුගය, විදුනැණ, සිළුමිණ ( විශ්ව මහිම පිටුව) පත්තර වල පලවුනේ කිසි දැන හැදුනුම් කමකින් තොරවයි.


1990 දී  කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයට උසස් පෙළ කරන්න ආවාම ලේක්හවුස් එක්ක මගේ තියෙන ගණුදෙනුව වැඩිවෙලා පිටුව දෙක පිරෙන තරමේ ලිපි  මිහිර, විදුනැණ, නවයුගය පත්තරවල පලවුනා වගේම පොඩි පොඩි  චෙක් එහෙමත්  ඒවාට ලැබුණා මතකයි. මිහිරෙ කතුතුමා වුනේ නිව්ටන් පින්තු මහත්තයා වුණත් කාර්යබහුල එතුමා වෙනුවට ලේක්හවුස් ලොබියෙදී මාව හමුවුනේ ඒ කාලෙ පිටු සැලසුම් කල ඉදුනිල් වීරරත්න මහත්තයා තමයි. නවයුගයේ කතුතුමා ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහ මහතා වුනත් අපේ ගනුදෙනු තිබුනේ අනුර බණ්ඩාර රාජගුරු මහත්තයා එක්කයි.

ඔය අතරෙ තමයි පෙරමග සඟරාවට ලිපි දෙන්න සංඟරාජ මාවතේ තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට යන්නෙ. ඒ කාලෙ ආර් ප්‍රේමදාස  මහතාගේ ප්‍රචාරක කටයුතු කෙරුනු ඒකෙ කතුතුමා ඇන්ටන් අල්විස් මහත්තයා වුණත් මම නම් කවදාවත් එතුමා දැකලා නැහැ. ලියන අපි ගණුදෙනු කලේ වසන්ත ප්‍රිය රාමනායක මහතා එක්කයි.

ඒ කාලෙ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව  තිබුනෙ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට අයිති රතුපාට ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ. ඒක හරි අපූරු ගොඩනැගිල්ලක්. ලස්සන පඩිපෙලක් නැගල තමයි දෙවෙනි තට්ටුවේ තිබුණු දෙසතිය කාර්යාලයට ගියේ. මුල් කාලෙ එහි සංස්කාරක වරයා වුනේ ගාමිණී විජේතුංග මහත්තයා. එතුමා එක්ක මම කතාකරලා තියෙන්නෙ කිහිප වතාවක් විතරයි. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා , සුනේත්‍රා රාජකරුණානායක, සුමිත් මායාදුන්නේ වගේ පිරිසක් සම්බන්ධීකරණය කලේ හෙඩිම් ලියන්න දක්ෂ භාෂා විශාරද වින්සන්ට් පෙරියප්පෙරුම මහතා. පසුකාලීනව එතුමා සංස්කාරක වශයෙනුත් හිටියා වුණත් ඒ වෙනකොට රාජපක්ෂ වලව්වෙන් බිහිවුණත් නිදහස් මාධ්‍ය කලාවක් කල එයට දේශපාලන බලපැම් සෑහෙන්න එල්ල වෙලා තිබුනා. පසුකාලීනව  ගායකයෙකු ලෙස ප්‍රකට වූ රොහාන් ශාන්ත බුලේගොඩ . සිනමා විචාරක අජිත් ගලප්පත්ති , සිරස අධ්‍යක්ෂක අශෝක ඩයස් මම වගේම ඒ කාලෙ දෙසතියට නිදහස් ලිපි සම්පාදනය කල බව මතකයි. 




 ලේක්හවුස් පුවත්පත් වලට ලියූ හින්ද දිවයින පත්තර වලට විශේෂයෙන්ම විදුසරට යන්න තිබුණු  ඉඩ ඇහිරුණා. මට මතක හැටියට කල්පනා සඟරාවේ කාර්යාලය තිබුනෙ මරදාන ඩීන්ස් පාරෙ මහජන බැංකු ගොඩනැගිල්ලක වෙන්න ඕන. සංස්කාරක තුමා ආතර් යූ අමරසේන මහත්මයා . ටික කලක් එයට ලිපි ලිව්වත්  ටික  කලකින්ම ඒක වැහිලා ගියා කියලයි මතක.

අවුරුදු තිස් ගාණකට පස්සෙ දැන් වෙනකොට සමහර අය නැතිවෙලා. සමහරු වෙනස්ම පාරවල් වල ගිහින්  විවිධ අංශවල නම ගිය අය බවට පත්වෙලා. බස් එකෙන් බස් එකට මාරුවෙලා , සමහර ගමන් ඇවිදගෙන ගිහින් , පැය ගණන් , වරු ගණන් ගත කල ඒ සුන්දර මතක මතක් වෙනකොට පොඩි ආඩම්බරයකුත්  දැනෙනවා. උසස් පෙළ කරන  කොලු ගැටයෙක් විදිහට ඒ කාලෙ නම් දරාපු වාර ප්‍රකාශන වල  මගේ නිර්මාණ පලකරවා ගන්න ලැබුණු  ඉඩ මට හරි වටිනවා. ලංකාවෙ සමාජ පිලිගැනීම් හන්ද දෙමාපියන්ගේ බලපෑම් වලින්  විද්‍යා අංශයෙන්  උසස් අධ්‍යාපනය කරලා රටේ පැවතුණු තත්වයත්  එක්ක බැංකුවක රස්සාවට  ගිය මට හිතෙන්නෙ නිර්මාණකරණයත් එක්ක තව රස්තියාදුවක්  ගහන්න  තිබ්බා නම් හොදයි කියලයි.     

මේ වෙනකොට මගෙ අතේ තියෙන්නෙ ඒ මතක වලින්  බොහොම  ටිකක් විතරයි. වේයන්ට, කාවොන්ට ගිය මගේ පත්තර මතක  සංරක්ෂණය  කරගන්න ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාස්ති  කල  දවස් දෙක වතුරෙ ගියා කියලයි  දැනුනෙ. මේ අතේ තියෙන මතක කිහිපයක්. 

මගේ රේඩියෝ  මතක ගැන ලියල තියෙන හින්ද  ඉඩ ලැබුණු වෙලාවක සිරස ආයතනයේ රූපවාහිනී මතක ගැන ලියන්නම්. 

අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

විජය පුවත්පත - පත්තර අරණෙන් 



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.  

Sunday, March 10, 2024

පිටරටකට ගිය පමණින් ජීවිතය ජයගත හැකිද ?



 පසුගියදා කැනඩාවේ සිදූවූ සය පුද්ගල මිනීමැරුම සමඟ කතාබහට ලක්වුණු කරුණු කාරණා ලංකාවෙන්  පිටරටවලට සංක්‍රමණය වන පිරිස් වලට අත්දකින්නට ලැබෙන දුෂ්කරතා ගැන කාගේත් අවධානය යොමුවූ අවස්ථාවක් බව පෙනේ. මියගිය කාන්තාවන් එක්වරම රූමත් කාන්තාවන් වන , චූදිතයින් උසාවිය වැරදිකරුවන් කරන්නටත් පෙර මිනීමරුවන් වන ශ්‍රී ලංකාවේ මාධ්‍යය එම සිදුවීම වාර්තා කල ආකාරය ගැන මා තුල එතරම් පැහැදීමක් නැත.මේ කැනඩාවේ මාධ්‍යය ඒ සිදුවීම වාර්තා කල ආකාරයයි.


https://ottawacitizen.com/news/local-news/six-people-dead-including-four-children-at-barrhaven-home-one-person-arrested

ඒ  අතරම ශ්‍රී ලංකාවෙන් බැහැරව විශාලතම සිංහල ප්‍රජාවක් වෙසෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ප්‍රදේශය ආශ්‍රිතව වැඩිවෙමින් පවතින දික්කසාද වීම් ඉහලයාම පිළිබද යූ ටියුබ් සංවාදයක් ද පහුගිය සතියේම අසන්නට ලැබුනි.

මේ එහි දිගුවයි.   


මේ දෙකම බලා අවසානයේදී මට හිතුනේ පිටරටකට ගිය පමණින් ජීවිතය ජයගත හැකිය යන අදහසින් පසුවන ශ්‍රී ලාංකිකයින් සැබෑව සහ සිහින  අතර අතරමං වන ආකාරයයි. ඉදිරියේදී හැකියාවක් ඇතොත් ඒ පිළිබද දැනුම ඇති කිහිප දෙනෙකු සහභාගී කර ගනිමින් රූපවාහිනී වැඩසටහනක් කරන්නට බලාපොරොත්තුවෙන් සිටිමි .

දියුණු යැයි සම්මත රටකට පැන ගත්තොත් ගොඩ යන කල්පනාවෙන් පසුවන බහුතරයක් අතරේ සිටිනා නෑදෑ හිතමිතුරන් කැනඩාව සහ සංක්‍රමණ විධි ගැන අසනා විට මා පවසන සමහර තොරතුරු අසා මා සමඟ  අමනාප වූ අයද මා වැනි සැබෑ තොරතුරු සහ මූලාශ්‍ර සපයන අය ගැන විවිධ පුද්ගලයින්ට කියා ඇත්තේ ඉරිසියාවට එසේ කියන බවය. 

කැනඩාවේ සංක්‍රමණික තොරතුරු සම්බන්ධ නිල වෙබ් අඩවියේ දිගුව 

https://www.canada.ca/en/services/immigration-citizenship.html

සංක්‍රමණය සම්බන්ධ රාජ්‍යයේ නිල වෙබ් අඩවිය අවශ්‍ය සියළු තොරතුරු පැහැදිලිව දක්වා තිබියදීත් , විවිධ වෙළද ආයතන සහ සමහර යූ ටියුබ්  වැඩසටහන් පතුරුවන අසත්‍ය තොරතුරු මත පදනම් ව විවිධ පුද්ගලයින්ට ලක්ෂ ගණනින් මුදල් දී විවිධ මාදිලියේ උසස් අධ්‍යාපන ආයතන වල ලියාපදිංචි වී නියමිත වීසා බලපත්‍ර නොමැතිව ජීවත් වන (ගල් වන) අයත් , සංචාරක වීසා මත පැමිණ සේවා වීසා, සරණාගත වීසා සකසා ගෙන දුෂ්කර පලාත්වලට යන අයගේ කථාවලිනුත් අඩුවක් නැති බව කිව යුතුය . 

ඉතා ඉහල නිවාස කුලියක් හෝ නිවාස ණය වාරිකයක් , අධික මිලක් ගෙවන වාහන රක්ෂණ වාරිකයක්, ඉහල මිලක ජංගම දුරකථන බිල්පත් අතරේ හිරවන අළුතින් රටකට සංක්‍රමණය වන කාහට වුවත් තමන්ගේ නියම සුදුසුකම් වලට සරිලන හොඳ රැකියාවක්, ගෙයක් , සුවපහසු අළුත් වාහනයක් ගන්නට සාමාන්‍යයෙන් අවුරුදු 3-5 අතර කාලයක් ගතවන අතර විවිධ හේතු මත ඒ කාලසීමාව අඩු වැඩි වන්නට පුළුවන් වන්නේ මේ වන විටත් උග්‍ර නිවාස සහ රැකියා අවස්ථාවල හිගයක් සහ ඉහල යන උද්ධමනයක් අතරේ අපේ අසල්වැසි මහා රාජ්‍යයෙන් පැමිණි විශාල විදෙස් සිසුන් ප්‍රමාණයක් ද රැකියා සහ නවාතැන් වෙනුවෙන් පොරකන කලකය.        

එදිනෙදා ජීවත් වන්නට අමතරව සමාජ මාධ්‍යය තුලින් තමන්ගේ හිත  මිතුරන් බලාපොරොත්තු වන සෞභාග්‍ය පෙන්වීම වෙනුවෙන් දහ අතේ ණය වන්නටත්, දිවා රෑ නොබලා විවිධ රැකියාවල නිරත වන්නටත් අළුත් සංක්‍රමණිකයින්ට සිදුවන්නේ එනිසයි. කුඩා දරුවන් බලාගැනීමේ සේවාවන් වෙනුවෙන් ඉතා ඉහල මිලක් ගෙවන්නට වන බැවින් දරුවන් සිටිනා පවුලක නම් බිරිඳට උසස් පාසැල දක්වා යනතුරු වැඩි වේලාවක් දරුවන් බලාගනිමින් නිවෙසේ ඉන්නට වන නිසා සැමියාට දිවා රෑ මුළුල්ලේ රැකියා කිහිපයක් හෝ අමතර ආදායම් මාර්ග සොයා යාමටත් සිදුවන්නේ  නිතැතින්මයි.

එබැවින් රට යන්නට බලාපොරොත්තුවෙන් සිටිනා අයත්, මෑතකදී පිටරටවලට සංක්‍රමණය වූ අයත් පවුලත් , ජීවිතයත් , තම තමන්ගේ ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යයත් රැකගැනීම වෙනුවෙන් හොඳ සූදානමකින් සහ දැඩි ඉවසීමකින් කටයුතු කිරීමත් ඉතා වැදගත් බව අවධාරණය කරන්නට කැමතියි.    

අනුරුද්ධ වැලිගමගේ 


     

        සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, March 2, 2024

නැවතිලා ඉමුද එක මොහොතක්….

 



මල් පිපෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිරියක් 

හිම වැටෙන්නේ නැතිනම් , කොයිද මේ හැටි සිසිලක් 

ඇහැ කොනින් බලනට බැරිනම් 

කිම දකින්නේ හැඩයක්

හැඩය අරුමැසි වෙනසක් 

සරු පසක් හිමි නැතිනම් , කිම හැදෙන්නේ පල වැල් 

හිරු එළිය දැක නැතිනම්, කිම දිලෙන්නේ දල්ලක් 

රැය විදින්නට බැරිනම් 

කිම දකින්නේ තරුමල් 

රටාවකි ඒ වියමන් 

හැඩ මවන්නට බැරිනම් , හැඩවේද හඳ මෙතරම් 

තනි රකින්නට බැරිනම් , හිත බැදේවිද මෙතරම් 

එසිත රඳනට බැරිනම් ,

සතුට දෙනවද පහසක් 

ලබැදි සුවයක හැඩයක් 

ඉවසලා ඉන්නට බැරිනම් , විසිරේද හැගුමන් මෙතරම් 

කලබලය අඩු නැත්නම් , පෙනේවිද සිරි මෙතරම් 

හති හලා දුවන මේ ලෝකෙන් 

නැවතෙමුද අනේ අපි පොඩ්ඩක් 

නැවතිලා ඉමුද එක මොහොතක් 

අනුරුද්ධ වැලිගමගේ  

2024 මාර්තු  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

















විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.