මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 28, 2023

අත්හැර දමන ලද තැන් 500 ක් හරහා ලෝකය දකිමු.


 අත්හැර දමන ලද තැන්  වල අභිරහස් - Mysteries of the abandoned. 





පහුගිය මාස 4 තිස්සේ දිනකට එක බැගින් බෙහෙත් වඩියක් බොනවා  තරමට බලන්නට මම ඇබ්බැහිව සිටි වැඩසටහන් පෙලක්  තිබුනි. ලෝකයේ හතර දිග් භාගයේ විවිධ තැන්වල පිහිටි මේ වනවිට අත්හැර දමන ලද ඉදිකිරීම් සහ නිර්මාණ 500 කට වැඩි ප්‍රමාණයක් ගැන විනාඩි 45 වැඩසටහන් 108 ක් පුරා කතාකරද්දී ඉතිහාසය, දේශපාලනය , සමාජ විපර්යාස හරහා මම ලෝකය වටා කිහිප වරක් යන්නා සේ මට හැගුණි. ඒ  Science channel  මගින් නිෂ්පාදනය කර විකාශය වූ  Mysteries of the abandoned  වැඩසටහන් පෙලයි. ඉදිරියේදීත්  ඒ වැඩසටහන් මාලාවේම තවත් වැඩසටහන් පෙලක්‌ නිර්මාණය වන බව දැනගන්නට ලැබුණි.  

විශේෂයෙන්ම ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ ඉතිහාසය විෂය ක්ෂේත්‍රවල නිරත වන අයට වැදගත් විය හැකි වෙනස්ම වැඩසටහන් පෙලක් වූ නමුදු සංචාරය සහ ඉතිහාසයට ආසා කරන මා ඒ තුලින් ලද දැනුම සහ වින්දනය අති මහත්ය. ඒ වැඩසටහන් පෙලේ තේමාව , ආකෘතිය සහ විෂය ප්‍රවීණයන්ගේ දැනුම තුලින් කෙරුණු ඒ නිර්මාණ චාරිකාව කදිම ඉදිරිපත් කිරීමකි. කුතුහලය දනවන අයුරින් ඒ ගැන අපට කරන හදුන්වා දීම් , ඒ ඒ ඉදිකිරීම් ක්‍රියාත්මක වූ කාලයේ එහි සේවය කල අයවලුන් හෝ ඒ ගැන බොහෝ අධ්‍යන හෝ පර්යේෂණ කල පුද්ගලයින් ලවා අභිරහස් දිග හරින විට සේම ඒ අත්හැර දැමීමට හේතු හෙලිකරන්නේ රහස් පරීක්ෂක කතාවක පරිද්දෙනි.  

යුද්ධ , දේශපාලනය , බල ලෝභීත්වය සමහර ඉදිකිරීම් සදහා හේතු වූවා සේම ඒ තැන්වල විනාශයටත් එම සාධකම බලපා තිබුනේ අටලෝ දහම පසක් කරමිනි. සමහර ඉදිකිරීම් විනාශ වන්නට සොබාවික විපත් බලපා තිබුණි. තවත් විටෙක මිනිස් ක්‍රියාකාරකම් වෙනස්වීම නිසා පරිසරයට සිදුවුණු විනාශ ඒ සදහා බලපා තිබුණි . සමහර ඒවා අභාවයට යන්නට හේතුවී තිබුනේ කලින් කලට සිදුවුණු තාක්ෂණයේ දියුණුවයි. තවත් සමහර තැන් අත්හැර දමනු ලැබ තිබුනේ ඒ ඒ තැන් ඉදිකිරීමට මුල්වූ පුද්ගල චරිතවල අභාවයයි. තවත් විටෙක කාලය සහ සමාජ වෙනස්වීම් හමුවේ නොවෙනස්ව තිබීම ඒ සදහා හේතු වී තිබුණි

විශේෂයෙන්ම ජර්මනිය, ඇමෙරිකාව , රුසියාව , එංගලන්තය , ජපානය දෙවන ලෝක යුධ සමයේදී කල ඉදිකිරීම් සහ නව නිර්මාණ ලෝකයේ ඉදිරි ගමනට මහත් රුකුලක් වූවා සේම සෝවියට් සමුහාණ්ඩුව කඩා වෙන් කරන්නට බටහිර රටවල් කල දිගු කාලීන සැලැස්ම ක්‍රියාත්මක වීම තුලින් වෙන්වුණු රටවල් තාක්ෂණික බංකොලොත් භාවයට පත්වුණු හැටි පෙන්වන සාක්ෂි ලෙස මේ වැඩසටහන් පෙලේ තැන් රැසක්ම හමුවේ .

ලෝකයේ බලවතුන් අතර තරඟය වෙනුවෙන් , ලෝකයේ යහපත සහ ශුභ සාධනය වෙනුවෙන් වැය කරන්නට තිබූ කෙතරම් ධනස්කන්ධයක් නාස්ති කර තිබේද යන්නත් , ගෝලීය උණුසුම ඇතුළුව පාරිසරික  සාධක නිසා කාලානුරූ පී ව වෙනස් වුනු තැන් දිහා බලනවිට අපටම අප ගැන හිතන්නට බොහෝ දේ තිබේ .

ඒ වැඩසටහන් පෙල වෙනුවෙන් ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ විද්වත් සම්පත් දායකයින් විශාල පිරිසක් දායක වී තිබෙනවා .ඒ අතරේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ඉංජිනේරුවරියක වන  Shini Somarathne ( Shini Somara) සිටිනු දැකීමත් සතුටට කරුණක්.  

https://en.wikipedia.org/wiki/Shini_Somara

මේ වැඩසටහන් මාලාවේ අදියර 9 ක් යටතේ වැඩසටහන් 108 ක් මේ වනවිට විකාශය වී තිබෙනවා . ඒ තුලින් කතා කෙරුණු තැන් 500 කට වැඩියි .  වැඩි විස්තර අවශ්‍ය නම්  මේ දිගුව ඔබට ඒ වෙනුවෙන් පාර කියාවි . ඉඩක් ලැබුණොත් ඔබත් වැඩසටහන් කිහිපයක් හෝ බලන්න .

https://thetvdb.com/series/mysteries-of-the-abandoned/allseasons/official

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ  එළිය කරාවි.

Saturday, January 21, 2023

සංචාරක ගවේෂක රොහාන් එක්ක රුසියාවට ....

 



සංචාරයට කැමති මට සිරස   නාලිකාව ඔස්සේ විකාශය වූ සංචාර වැඩසටහනෙන් අපූරු ගවේෂණාත්මක සංචාරකයෙක් දකින්නට ලැබෙනවා. වැඩසටහන් ගණනාවක් පුරා ලෝකයේ  රටවල් රැසක  ඔහු කරන ගමන් වලට ආසා කරන මම ඔහුගේ බ්ලොග් අඩවිය    sanchara.lk   සමගත් , මුහුණු පොත සමගත් බැදෙනවා.

https://www.sanchara.lk/

බොහොම වෙහෙස මහන්සියෙන් , හොදින් සැලසුම් කරගෙන ඔහු යන දුෂ්කර , ත්‍රාසජනක , ගවේෂණාත්මක සංචාර රසවිදින මට දැනෙන්නේ රොහාන් ඩිරෙක්ස් කියන්නේ සිංහල බසින් සංචාර කදිමට සන්නිවේදනය කරන කදිම සන්නායමක් 
        ( Brand එකක්  ) කියලයි.රොහාන්ගේ  වෙබ් අඩවියට අනුව ඔහු මේ වනවිට ලෝකයේ රටවල් 88 ක නගර 114  කට සංචාරය කර තිබෙනවා.  

මුහුණු පොත හරහා කල ආරාධනයෙන් රූපණ බලන ඔබ වෙනුවෙන් රොහාන් අපිත් එක්ක වැඩසටහන් 2 ක් සදහා කැමති වෙනවා. තවත් වෙනස්ම සංචාරයකට සුදානමින් සිටි මොහොතක ඉතාම නිහතමානීව ඔහු අප සමග බෙදාගත් දැනුම සහ දර්ශන වෙනුවෙන් අප ඔහුට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා.



අප මේ වැඩසටහනින් ඔබව කැදවාගෙන යන්නේ රුසියාවේ නොදුටු තැන් බලන්න. මේ බොහෝ දර්ශන රොහාන් මින් පෙර වෙනත් කිසිදු මාධ්‍යකට නිදහස් කර නැහැ .


ඔබට මේ වැඩසටහනෙන් 

- ලෝකයේ ශීතලම ගම්මානය 
- ලෝකයේ දිගම දුම්රිය මාර්ගය (ට්‍රාන්ස්  සයිබීරියන් ) 
- මොස්කව් නගරයේ පොලොව යට බංකරය 
වගේම  රුසියානු කෑම ගැනත් දැනගන්න පුළුවන්.


https://rupane.com/2023/01/21/rupane-episode-331-january-21-2022/


*****************************************************************

සම්පත් දායකත්වය -  සංචාරක ගවේෂක රොහාන් ඩිරෙක්ස් 

ඉදිරිපත් කිරීම  -   අනුරුද්ධ වැලිගමගේ

කැමරාකරණය - ගොයුම් එරංග   

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග හිදෙල්ල ආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

****************************************************************
ළගදීම දවසක රොහාන් එක්ක ඉරාකයේ සහ කුර්දිස්ථානයේ ඔබ කිසිදා නොදුටු දසුන් ඔබට දකින්නට පුළුවන්.  

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, January 14, 2023

මන්නාරම් බස් එක…



 “අවුරුදු විස්සක්,” සපුමල් කිව්වෙ හිනාවෙලා “ඔව් බං දැන් අපි බැදලා අවුරුදු විස්සක්!”

මට සපුමල්ව හම්බවුණේ අනුරාධපුරයේ බැංකු ශාඛාවක වැඩ කරපු කාලෙ. සපුමල්ගේ ගෙවල් මීගමුවෙ කොච්චිකඩේ. මං රත්මලානෙ. දෙන්නම නැවතිලා හිටියෙ අනුරාධපුර නගරයෙ තිබුණු එකම නවාතැනක.

“මම මේ බඩු වගයක් අස් කරද්දි පරණ ෆොටෝ ටිකක් හම්බ වුණා. පරණ මතක අළුත් වෙන්නත් එක්ක ෂෙයා කළා” සපුමල් කිව්වා. වට්ස්ඇප් සංවාදය නිමවුනේ තවත් පෞද්ගලික තොරතුරු කිහිපයක් කතා කරාට පස්සෙ.

ෆොටෝවල තිබ්බෙ අපි අනුරාධපුරයේ ඉන්න කාලෙ නිවාඩු සෙනසුරාදාවක මිහින්තලේ සහ මහ කන්දරාවේ ගත්ත මතක සටහන් ටිකක්. දැන් බලනකොටත් පුදුමයි. ඒ කාලෙ දැන් වගේ ජංගම දුරකථනවලින් ෆොටෝ ගන්න කාලයක් නෙමෙයිනෙ. රීල් දාන කැමරාවකින් ෆොටෝ ගන්න ඕන. රීල් එක ඉවරවුණාට පස්සෙ ෆොටෝ ලැබ් එකකට ගිහින් බාර දීලා හෝදලා ප්‍රින්ට් කරගන්න තව දවස් කීපයක් බලන් ඉන්න ඕන.

මට එතකොටම මතක් වුණේ මන්නාරම් බස් එක. ඉන්දියාවේ හදපු ලොරි චැසියක ලංකාවේ බොඩි ගහපු ඒ ලේලන්ඩ් බස් එක. ඒකේ සුදුපාට බද වටේට එළියෙන් එක එක ස්ටිකර් අලවලා තිබ්බා. ගොඩක් ඒවා කහපාට සහ කළුපාටයි පෙනුනෙ. මතක හැටියට ඉස්සරහ ලොකු වීදුරුවෙ “රත්න එක්ස්ප්‍රස්” කියලත් ගහලා තිබුණා. බස් එක ඈතින්ම අඳුන ගන්න උදව් වුණේ ඒ සලකුණු තමයි.

අනුරාධපුරේ වැඩකරන කාලෙ සති දෙකකට සැරයක් කොළඹ එන්න හිතනකොට අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නෙ තමයි බස්. හවස දෙකෙන් පස්සෙ එක්ස්ප්‍රස් කෝච්චිත් නැහැ. සෙනග පොල් පටවන සාමාන්‍ය බස්වලට අමතරව ඉන්ටසිටි බස් කිහිපයක් තිබ්බත් දඹුල්ල කුරුණෑගල හරහා ආපු ඒවට කලින් ඔෆිස්වලින් පිටවෙන අය ගොඩක් පොරකන හින්ද අපිට ඒ වැඩේ හරි ගියේ නැහැ.

ඔහොම ඉන්නකොට මන්නාරම් බස් එක ගැන ඔත්තුව අරන් ආවෙත් සපුමල් තමයි. ඒ කාලෙ ඉන්ටසිටි බස් එකක් අනුරාධපුරේ ඉන් කොළඹට එන්න අඩුම ගානෙ පැය හයක් ගන්නවා. පොඩි න්ටසිටි බස්වලට පිරිස වැඩි හින්ද සෑහෙන වෙලාවක් පෝලිමේ ඉදලා කොළඹට එනකොට රෑ එකොහත් පැනලා. ඒත් පුත්තලම හරහා ආපු මන්නාරම් බස් එක ඊට වෙනස්.

“මචං ඒක නියම එක්ස්ප්‍රස් ලු . පැය පහෙන් කොළඹට යනවා කියලයි ආරංචි වුණේ” සපුමල් කිව්වෙ හරිම උද්‍යෝගයෙන්.

“අපි හතරට නැග්ගම මම අට හමාරට මීගමුවෙ. උඹ නමයට පිටකොටුවෙ. මොකද කියන්නෙ? මේ සිකුරාදාට මං යනවා, උඹත් එනවා නේ?” සපුමල් බස් එක ගැන තීන්දුවත් අරන් ඉවරයි.

ගමන් කාලය ඉතුරු කරගන්න බස් එකේ ඩ්‍රයිවර් රාජා අය්යා කළේ නගරවල ප්‍රධාන බස් නැවතුම්ප සහ නගරයේ මැද වීදි මග ඇරලා යන එකයි. බස් එක අනුරාධපුර ටවුමට ගියේ නැහැ. පුත්තලම ටවුමට ගියෙත් නැහැ. පුරුදුකාරයො හිටපු හින්ද සෙනග අඩුවක් තිබ්බෙත් නැහැ. බස් බාෂාවෙන් කියනව නම් “කට කපල එකයි”.

ගෙදර යන සිකුරාදාවල හවස හතර වෙනකොට මාත්, සපුමලුත් යාපනය හන්දියේ බස් හෝල්ට් එක ගාවට දුවල ඉවරයි. තවත් පුරුදුකාරයො කිහිප දෙනෙක් ඒ වෙනකොටත් එතන ඉන්නෙ මන්නාරම් බස් එක බලාගෙන. හැමෝගෙම ඇස් තෙල් සංස්ථාව ඉස්සරහ වංගුවට යොමුවෙලා තියෙන්නෙ කහ, කළු ඉරි තියෙන කඟවේනා එනකන් තමයි. බස් එක වංගුවෙන් මතුවෙන කොට කාගෙත් ඇස් දිලිසෙනවා තාමත් මතකයි.

පුරුදුකාර අපි නගින්නෙ ඉස්සරහින්. ඒ රාජා අය්යත් එක්ක වචනයක් කථා කරලා යන්න. ත්‍රිවිධ හමුදාපතිවරු නිදහස් උත්සවේ දවසෙ ජනාධිපතිතුමාපිරිවරාගෙන ඉන්නවා වගේ ඩ්‍රයිවර් සීට් එක පිටිපස්සෙ නිවාඩු යන ආමි, නේවි, පොලිස් තරුණයො කීප දෙනෙක් රාජා අය්යව වටකරගෙන ඉන්නවා. බලන්න එපායැ මැද තියෙන එන්ජිම උඩ තියෙන බෑග් කන්දරාව. නිවාඩුවට ගෙදර යන අය එහෙමනෙ.


“මල්ලී, අර කට්ටිය නැග්ගා” රාජා අය්යා කොන්දොස්තර කොලුවාට කියන්නෙ අපි ගැන. එතකොට එයා දන්නවා ඒ රහස් වචනෙ මොකක්ද කියල.

“මහත්තයා, අර කොළපාට සාරිය ඇන් ඉන්න කෙනා පණ්ඩුලගම හන්දියෙන් බහිනවා. අර රතුපාට ඇඳුම මතක තියාගන්න. එයා බහින්නෙ නොච්චියාගමින්” කොන්දොස්තර හෙමීට කට කරලා කියන්නෙ අපිට කිට්ටුවෙලා ඉන්න.

වැඩි දුරක් යන්නෙම නැතුව අපිට වාඩිවෙන්න ලැබෙනවා. වේග සීමා නැතුව විදුලි වේගයෙන් කුඹුරු, ලඳු කැලෑ පහු කරන, ගැස්සෙන, පැද්දෙන, රත්න එක්ස්ප්‍රස් එකේ බාර්වල එල්ලිලා ජිම්නාස්ටික් කරන කෙනෙකුට සීට් එකක් ලැබෙන එක සෑහෙන්න වටිනවා. ඒ අතරෙ ළ ඉන්න කෙනා නැගිට්ටොත් අපි සීට් මාරු කරගන්නවා. සිකුරාදාට යන පුරුදුකාරයො හින්ද කවදාවත් ඒ ගැන රණ්ඩු අල්ලන්න වෙලා නැහැ.

ඒ වගේමයි කොච්චර වේගයෙන් ගියත් මැදි වයසේ හිටපු රාජා අය්යා අතින් අපි ගිය අවුරුදු තුනට , කිසිම අනතුරක් වුණෙත් නැහැ.

සපුමල්ට නිශාදිව මුණ ගැස්සුවෙත් මේ මන්නාරම් බස් එකම තමයි. නිශාදි මැදවච්චියට කිට්ටු පාසැලක පත්වීමත් අරගෙන ආවෙ අපි මන්නාරම් බස් එකට හුරුවෙලා ටික කාලෙකට පස්සෙ. හලාවත නිශාදි, ඉකිරිගොල්ලෑවේ නවාතැනක හිටියෙ ඉස්කෝලෙට කිට්ටු හින්ද. පුදුමෙ කියන්නෙ නිශාදි දැක්ක පළමුවෙනි දවසෙ , සපුමල්ගෙ වෙනස කොන්දොස්තර කොලුවත් දැකපු එකයි.

“මහත්තය, ඉකිරිගොල්ලෑවෙන් නැග්ගෙ. මං හිතන්නෙ ටීචර් නෝනා කෙනෙක්!

අනුරාධපුරේ ඉන් පුත්තලමට යන පාර වැටිලා තියෙන්නෙ විල්පත්තුව වනෝද්‍යාන මායිමෙන්. තැනින් තැන ගස් මතුවෙලා එක එක චිත්‍ර මවන තබ්බෝව වැව තියෙන්නෙත් මේ පාර මායිමේ. වැහි වැටිලා තියෙන කාලෙට වතුර පිරිලා තබ්බෝව වැව හරියට බඩදරු අම්මා කෙනෙක් වගේ පිම්බිලා පාර මට්ටමටම වතුර පිරෙනවා බලන්න ලස්සනයි.

මේ පාර හරහා අලි මාරුවෙන අලි මංකඩ කීපෙකුත් තිබ්බා. සමහරදාට වල් අලි රංචු පිටින් මාරුවෙනකොට අපි ඉස්සරහ වීදුරුව ගාවට ම ඇවිත් බලන් ඉන්නවා. උන් යන්නෙ වෙලාව අරගෙන උන්ට ඕන විදිහට. කලබලකාරයෙක් අවුස්ස ගත්තොත් විනාසයි. කොහොමත් අලි මංකඩවල රාජා අය්යා යන්නෙ හෙමින් වගේම විමසිල්ලෙන්.

“මහත්තයො මේව උන්ගෙ තැන් , අනික අපට තියෙන කඩි කුලප්පුව කොහෙද උන්ට?” එහෙම කියන රාජා අය්යා ඒ පරක්කු වෙන වෙලාව අල්ලන්නෙ තේ බොන්න නවත්වන වෙලාව අඩු කරලා.

“අද කට්ටියම විනාඩි දහයෙන් තේ බීල එන්ඩෝ. නැත්තම් පරක්කු වෙනවා!” රාජා අය්යා කියන්නෙ කැෂියර් එකේ ඉන්න මුදලාලිටත් ඇහෙන්න.

උතුරෙ යුද්දෙ තිබිච්ච ඒ කාලෙ හැම ටවුමකම තැන් තැන්වල හමුදා කදවුරු, චෙක් පොයින්ට්ස්. සමහර වෙලාවට වෙනදා නැති තැන්වලත් හදිසියේ චෙක් පොයින්ට්ස් දානවා. ඊට අමතරව, අනුරාධපුර, කලාඔය, පුත්තලම, හලාවත, මාඔය ගාව, හමුදා කවුරු වගේ , වාහන සම්පුර්ණයෙන් ම චෙක් කරන්න පුළුවන් විශාල ප්‍රමාණයේ චෙක් පොයින්ට්ස් තිබුණා.

ගෙවල්වල ඉන් වැඩට යන, නිවාඩුවට ගෙදර එන හමුදා සහ පොලිස් සාමාජිකයින් මේ බස් එකේ යාවජීව සාමාජිකයින් වුණු හින්දා “රත්න එක්ස්ප්‍රස්” එකට මුරපොලවල දී එක්ස්ප්‍රස් සේවයක් ලැබුණා. ඒත් නිශාදි ආව දවසෙ ඊට වැඩියේ වෙනස්. කොටි සාමාජිකයින් පිරිසක් විල්පත්තු කැලෙන් ඇවිත් පුත්තලම කවුරට ගහනවා කියල තොරතුරක් ලැබිලා තිබුණු හින්ද එදා නම් යාළු හිතවත්කම් පැත්තක තියල වාහන හොටෝ චෙක් කළා. අමතර රෝද ගලවලා, බැටරි පෙට්ටි ඇරලා, බඩු එළියට අරගෙන ෆුල් චෙක් එකක්. බස් එක පැයකටත් වැඩිය පරක්කු වුණා.

“නෝනා මේ මහත්තුරු ගාවින් ඉන්න. මේ ගොල්ලො කාලයක් අපේ බස් එකේ යන බැංකුවෙ දෙන්නෙක්!” කොන්දොස්තර නිශාදිට සපුමල්වත්, මාවත් රෙකමදාරු කළේ ඒ විදිහට.

බස් එකේ කතා බස්, කෙටි පණිවුඩ දුර දිග ගිහින් සපුමලුත්, නිශාදිත් මේ වෙනකොට ලොකු මහත් වෙච්ච දරුවො දෙන්නෙකු ඉන්න අම්මලා, තාත්තලා.

එදා තිබුණු මන්නාරම් බස් එක තාම රූට්‍ එකේ දුවනවා ද කියන්න මං දන්නෙ නැහැ. රාජා අය්යා, කොන්දොස්තර මල්ලිලා දෙන්නා කොහොමද කියල දන්නෙත් නැහැ. මීගමුවේ මාළු සුවදට හුරුවෙලා හිටපු සපුමල්, හලාවත මුතුකුමාරි නිශාදිත් එක්ක එකතු වෙලා අනුරාධපුරේ කැදැල්ලක් හැදුවේ සේවා උසස්වීම් පහසුවෙන් ලැබුණු හින්දයි.

මං ටික කාලෙකින්ම කොළඹට මාරුවෙලා ගිහින් ඊට පස්සෙ පිටරටකට ගිහින් පදිංචි වුණා.

හිත් පිත් නැති යකඩ ගොඩක් වුණත් කහපාට, කළුපාට, ලේලන්ඩ් කඟවේනා තාමත් ගේ හිත ඇතුළෙ හැංගිලා ඉන්නවා. රාජා අය්යාගේ හැඩිදැඩි අත්වලට තෙරපිලා කීකරු ළමයෙක් වගේ එක පාරටම තෙල් සංස්ථා හන්දියෙන් මතුවෙන මන්නාරම් බස් එක තාමත් මට මැවිලා පේන්නෙ ඒ හින්දයි.

- අනුරුද්ධ වැලිගමගේ


















මේ කතාව මා ලද අත්දැකීම් රැසක  නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් නිමැවුණු පරිකල්පනයකි. 

මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල   2023 ජනවාරි  මස කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) 



හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා 
sisila.sangarawa@gmail.com ලිපිනයට
ඊ-මේලයක් යවන්න. 




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ  එළිය කරාවි.


Saturday, January 7, 2023

ලක්බිමට අවුරුදු පැතුමක්


පින්බිමයි , මේ බිමයි අපට අගනා 
වන්දනා කරන අයට ජයම ලැබෙනා 
සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා  
සාදු දී වදිනෙමි  මේ මව්බිම බැතිනා 

දවස ගානෙම හත් අට වටයක් යනෙනා 
සිරි දළදාවේ සුදු බුදු  රැස් බලෙනා 
සමන් ගිරෙන් තවත් අළුත් ඉරක් වඩනා 
හැටි බලන්න අපි රොක්වෙමු තුටිනා 

නමුණුකුල ගිරි හිස අහස් කුසම සිබිනා 
සුදු සේල වලා වැනි දියඇලි මවනා 
ඒ දියවර රටක්ම සරු  කරනා 
කෙත් වතු , නෙක තුරු පල බරිනා  
 
රන් වැලි සෑ මළු පිස එන පවනා 
රන්වන් බෝපත් සෙලවෙන සරිනා
ගුණ දම් දළු ලා දුකදුර දුරුකරනා 
නව වසරේ පතනෙමු ජය බැතිනා 

අනුරුද්ධ වැලිගමගේ


















2023 ජනවාරි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්  මාණ 
එළිය කරාවි.