මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 26, 2023

මාධ්‍යය හුවා දක්වන ලෝකය ඇතුලාන්තයට එබී බලන වාර්තා චිත්‍රපට පෙලක්.

 



ලෝකයේ බොහෝ දේ වගේම විවිධ පුද්ගලයින් අප හදුනාගන්නේ මාධ්‍යය අපට ඉදිරිපත් කරන තොරතුරු අනුවයි. පාක්ෂික, දේශපාලනික වගේම ව්‍යාපාරික අරමුණු අතරින් පෙරී , තේරී එන ඒ තොරතුරු සියයට සියයක්ම ඒ ඒ පුද්ගල චරිතවල හැබෑ ලෝකය නිරූපණය කරන්නක් නෙවෙයි. ඉඩ ලැබෙන විදිහට වෙනස් වාර්තා චිත්‍රපට බලන්නට වෙහෙසෙන මට හමුවුණු අපූරු රූපවාහිනී වැඩසටහන් කිහිපයක් ගැන ලියන්නට හිතුවේ ඔබටත් ඉඩක් ලැබුණොත් ඒවා බලන්නයි.   








A life in Ten pictures

කලක් ලෝකයේ ජනප්‍රිය චරිත බවට පත්ව තිබුණු කිහිප දෙනෙකුගේ ජීවිතයේ විවිධ අවස්ථා නිරූපණය කරන සේයාරූ 10 ක් යොදා ගනිමින් කරන මේ වැඩසටහන් මාලාව තුලදී ඔවුන්ට සැබෑ ජීවිතයේදී හමු වූ චරිත හරහා ඒ සේයාරූ කියැවීම සිදුවෙනවා. ඒ තුලින් ඔබට ඔවුන්ගේ ජීවිත කතාවේ විසල් පරාසයක් ගැන දැනගන්න පුළුවන්. මේ වනවිට Seasons 2 ක් වැඩසටහන් නිෂ්පාදනය කර තිබෙන මේ තුලින් ඉදිරිපත් කර තිබෙන චරිත මේවායි. 

Season 1

1. ගායක Freddie Mercury

2. රැප්  ගායක Tupac Shakur

3. නිළි Elizabeth Taylor

4. බොක්සිං ශූර Muhammed Ali

5. ගායක  John Lennon

6. ගායිකා  Amy Winehouse

Season 2 

1. සටන් නළු Bruce Lee

2. නළු Robin Williams

3. නිළි Carrie Fisher

4. මෝස්තර නිර්මාණ ශිල්පී  Alexander Mcqueen

5. ගායිකා  Ella Fitzgerald

6. හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති Nelson Mandela

How To become A Cult Leader 

ලෝකයේ කලින් කලට විවිධ මත සහ දර්ශන දරන පුද්ගලයින් පහල වෙනවා. ඔවුන් අනෙකා ආකර්ශණය කරගන්නේ තමන්ගේ ප්‍රබල සන්නිවේදනය හරහා. විවිධ මනෝ විද්‍යාත්මක විධික්‍රම සහ අලෙවිකරණ න්‍යායන් ඔවුන් ඒ සදහා උපයෝගී කරගන්නා බව පේනවා. පොදුවේ ගත්තාම ඔවුන් හොද කථිකයින්. Cult කියන වචනයේ සිංහල තේරුම විදිහට මට හොයාගන්නට ලැබුනේ ලබ්ධිය කියන වචනයයි. එයින් ඔබට මේ අදහස කොයිතරම් දුරට වැටහේවිද කියල මම දන්නෙ නැහැ. ඒ කොහොම වුණත් තමන් දරන මතය සහ අදහස වෙනුවෙන් යම් පිරිසක් තමන්ට නතු කරගෙන මිනීමැරුම්, සියදිවි නසාගැනීම් හෝ මරණය දක්වා ගෙනගිය පුද්ගලයින් ඉතිහාසය පුරා වාර්තා වෙලා තියෙනවා. ඔවුන් කිහිප දෙනෙකු ගැන කෙරුණු වෙනස් වාර්තා වැඩසටහන් පෙලක් විදිහට මෙය හදුන්වන්න පුළුවන්. 

ඒ වැඩසටහන් පෙල මෙහෙමයි.     

1. Manson Family - Charles manson

2. Peoples Temple - Jim Jones

3. Buddha Field - Jaime Gomez

4. Heaven's Gate - Marshall Applewhite 

5. Aum Shinrikyo - Shoka Asahara

6. Unification Church - Sun Myung Moon

 විශාල ලෙස මුදල් එකතු කරමින් නායකයින් ලෙස පෙනී සිටින්නට ඔවුන් කල උප්පරවැට්ටි, විජ්ජා සහ ඒවායේ අවසානය ගැන මේ වැඩසටහන් තුලින් ඔබට යම් අවබෝධයක් ලැබේවි.  

Keep Sweet: Pray & Obey 

වර්තමාන ලෝකයේ බොහෝ රටවලදී කෙනෙකුට නීත්‍යානුකුලව සිටිය හැක්කේ එක සහකරුවෙකු හෝ සහකාරියක් විතරයි. ඒ විවාහ ක්‍රමය හැදින්වෙන්නේ Monogomy කියලයි. සහකරුවන් හෝ සහකාරියන් රැසක් සිටින විවාහ ක්‍රමයට කියන්නේ Polygomy කියලයි. 2002 දී තමන්ගේ පියාගේ මරණයෙන් පස්සෙ

FIDS - Fundamentalist church of jesus christ of latter day saints හි නායකත්වයට පත්වුණු Warren Jeffs කියන්නෙ බිරින්දෑවරු 78 දෙනෙක් සිටි කෙනෙක්.  ඔහුගේ බිරින්දෑවරු අතරේ අවුරුදු 12 තරමේ ගැහැණු දරුවන්ද සිටි බව කියැවෙනවා. කොහොම නමුත් Warren ළමා අපයෝජනය යටතේ 2006 දී අවුරුදු 20 කට සිරගත කෙරුණු හින්ද වන්නට තිබුණු තවත් ළමා අපචාර වැලකී තිබුනා. Warren තමන්ගේ ලිංගික අපයෝජනයට අමතරව විවිධ කාන්තාවන් තමන්ට පක්ෂපාත වැඩිහිටි පිරිමි සාමාජිකයින් සදහාද සපයා තිබුණු හැටි ගැන මේ වැඩසටහන් පෙල තුලින් ඉදිරිපත් වෙනවා.      

  


Wild Wild Country

භගවාන් ශ්‍රී රාජ්නිෂ් ( Osho) කියල කියන්නේ දක්ෂ කථිකයෙක් වගේම විශාල අනුගාමිකයින් පිරිසක් පිරිවරා සිටි නායකයෙක්. ලොව දස අත විසිරුණු අනුගාමිකයින් සිටි ඔහුට වරෙක හමුවූ පුද්ගලික සහායිකාව  Ma Anand Sheela  ඔහුගේ ගමන බොහෝ සේ වර්ධනය කල කෙනෙක්. ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ අක්කර 64,000 ක ඉඩමක් අරගෙන 1981 දී ඔවුන් තැනූ ලෝකය හැදින්වුනේ Rajneeshpuram නමින්. ළගම තිබුණු කුඩා ගමත් ආක්‍රමණය කරමින් වෙනමම ගුවන් තොටුපලක් , ගුවන් යානා පවා තිබු එහි ..... වෙනුවෙන් රෝල්ස් රොයිස් රථ 93 ක් තිබුණු බව කියැවෙනවා. Ma Anand Sheela ජර්මනියට පලායාමත් Osho වෙත සංක්‍රමණික චෝදනා එල්ල වීමත් එක්ක 1985 දී මේ පරිශ්‍රය වසා දැමුනා. මුදල් , බලය  සහ පුද්ගල හැසිරීම් පිළිබද බොහෝ තොරතුරු මේ වැඩසටහන තුලින් ඔබටත් දැනගන්න පුළුවන්.    

   

Pamela, A love story 









Pamela Anderson කලින් කලට ලෝකයේ පුවත් මැවූ නිළියක්. Playboy සගරාවේ නිරූපිකාවක් විදිහටත් ,   Baywatch  කථා මාලාවේ සරාගී චරිතයක් ඉදිරිපත් කල නිලියක් ලෙසත් ජනප්‍රියව සිටි ඇය ටැබ්ලොයිඩ් සගරා වලට කලින් කලට විවිධ පුවත් එක් කලා. වර්තමානයේ සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රබල ක්‍රියාකාරිනියක වන ඇය ආදරය සොයා ගිය ඇගේ ජීවිතය ගැන කරන හෙලිදරව්වක් මේ වැඩසටහන තුල තිබෙනවා.    

අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                        සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, August 19, 2023

ඊරි විලට බහින්නෙපා තාම සීත දැනෙන්නේ !






 ගමනක මතකය

අද අප කථා කරන්න යන්නෙ  ගිම්හානයට  ඊරි විල ආශ්‍රිතව ඔබට යන්නටපුළුවන් තැන් කිහිපයක් ගැන. අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේඅවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහන උදව්වක් වේවි.

මෙවර වැඩසටහන් තුලින් ඔබට ........

පංච මහා විල් අතරින් පුංචිම එක වගේම අඩුම කලක් වතුර රදන විල වන

ඊරි විල සංචාරකයෙකුට  වැදගත් වෙන්නෙ කොහොමද ?   

ටොරොන්ටෝ වල ඉදන් පැය 3 කට අඩු ගමනකින් වෙනස් විදිහෙ තැන්

කීපයක්

HMCS Ojibwa Submarine

Dunville Mudcat Statue

Sand Hill park



ඊරි විල වටේ තියෙන පරිසර සංරක්ෂණ කලාප වල ගිම්හාන කාලයට

කදවුරු අත්දැකීමක්

Point Pelee National Park

Long Point Provincial Park



Turkey Point Provincial Park

Rock Point Provincial Park

 ඊරි විල වටේ තියෙන වෙරළ තීර කිහිපයක්

Port Burwell

Port Dover

Port Stanley

Rondeau Provincial park

ගැන දැනගන්න පුළුවන්



https://rupane.com/2023/08/19/rupane-episode-361-august-19-2023/

මේ වැඩසටහන සදහා යු ටියුබ් දිගුව ........


***********************************************

ඉදිරිපත් කිරීම  - අනුෂා කිංස්ලි 

සම්පත් දායකත්වය -

 අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් රචක අනුරුද්ධ වැලිගමගේ

සංකල්පය සහ  නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ

අධ්‍යක්ෂණය - ගොයුම් එරංග 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

******************************************************************************

කැනඩාවේ රොකී අසිරිය බලන්නට යෝහෝ ජාතික උද්‍යානයට .....


http://ahasgawwenehalokaya.blogspot.com/2022/09/blog-post_10.html

ග්ලැසියරයක් උඩ අයිස් මත ඇවිද යන්නට ජැස්පර් ජාතික උද්‍යානයට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/10/blog-post.html

කදවුරු බිම් රැයක් ගෙවන්නට කැනඩාවේ තිබෙන හොදම තැනට යමු .


http://ahasgawwenehalokaya.blogspot.com/2022/11/blog-post.html

හියුරන් විල අද්දර හිද කාටද අත වනන්නේ !


http://ahasgawwenehalokaya.blogspot.com/2023/06/blog-post_17.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.



Saturday, August 12, 2023

ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට

 


කැනේඩියානු සංචාරයක මතකය    


කැනඩාවේ පලාත් අතරින් 4 වන විශාලතම පලාත විදිහට සැලකෙන්නේ වර්ග කිලෝමීටර 1,076,395 ක බිම් කඩක් වසා පැතිර පවතින අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතයි. පංච මහා විල් අතරින් 4 ක කොටස් ඇමෙරිකා එකසත් ජනපදය සමග සහයෝගයෙන් බෙදා ගන්නා කැනඩාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 10.8 ක් මේ පලාතට අයිතියි. මේ මුළු ඉඩෙන් 3/4 ක ප්‍රදේශය සැලකෙන්නේ උතුරු ඔන්ටාරියෝව ( Northern Ontario ) කියලයි. ජන ගණත්වය ඉතාම අඩු , ජලපෝෂක රක්ෂිත සහ පලාත් උද්‍යාන ලෙසින් සංරක්ෂණය වන මේ කලාපයේ ජීවත්වන්නේ ඔන්ටාරියෝ ජනගහණයෙන් සියයට 25 කටත් අඩු පිරිසක්. දිගු වාහන ගමනකට පස්සෙ අපි මේ ඇවිත් ඉන්නෙ ඒ නිස්කලංක පරිසරයේ අසිරිය බලන්නයි.


මේ වනවිට ඔන්ටාරියෝ නමින් හදුන්වන පලාත යුරෝපීයන් අත්පත් කරගන්නට පෙර අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වදේශික ගෝත්‍ර කිහිපයක් මේ සම්පත් බොහොම පරිස්සමින් පාවිච්චි කර තිබුනා. අදත් ඒ කලාපයේ බොහෝ ඉඩම් පාලනය වන්නේ First Nations  මගින්. ඒ වගේම අඩු මාර්ග සහ යටිතල පහසුකම් සහිත ඒ ප්‍රදේශ බාහිර ලෝකය සමග එක් වන්නේ අඩුවෙන්. අදටත් ඔන්ටාරියෝ පලාතේ මාර්ග නැති සමහර ප්‍රදේශ තිබෙනවා.ඒ හින්ද අපේ ගමනට අයත්වුණු කලාපයට අපි ගියේ Trans Canada Highway එක  දිගේ. කුඩා ගම් , නගර, ස්වදේශික කලාප යා කරමින් ඒ ප්‍රදේශයට යන එකම ප්‍රධාන මාර්ගය වුනු හින්ද එහි වේග සීමාව  පැයට කිලෝමීටර 50 ඉදන් 110 වෙනකම් තැනින් තැනට වෙනස් වුනේ එක් පසකට මංතීරු 3 ඉදන් එක  දක්වා අඩු වැඩි වෙමින්. හෙමින් ගමන් ගන්නා සමහර වාහනයක් ඉස්සර කරන්නට කිලෝමීටර 10 ක් විතර ඉබි ගමනේ යන්නට වෙන හින්ද සැලසුම් කරද්දී ගමනට වැඩි කාලයක් අයින් කරලා තියෙන එක  හොදයි.

ටොරොන්ටෝවේ ඉදන් පැය 7-8 ක රථ ධාවනයකට පස්සෙ අපි ගියේ .Sault Ste Marie  නගරයටයි. සුපීරියර් විලෙන් හියුරන් විලට වතුර ගලායන ජල මාර්ගය දැක්කාම ඒ ප්‍රදේශයට මුලින්ම ගිය යුරෝපීයන් වුනු ප්‍රංශ ලොම් වෙළෙන්දන් සහ මිෂනාරීවරු එය නම් කල ශාන්ත මේරි ඇල්ල යන තේරුමින් ඒ නගරයට ඒ නම ලැබිල තියෙනවා. ඇත්තටම කියනවා නම්  සුපීරියර් විලෙන් හියුරන් විලට වතුර වැටෙන්න හේතුවෙන්නේ ඒ දෙක අතර තියෙන අඩි 21 ක පරතරය කියලයි කියන්නෙ. Sault කියන වචනය රළ කියන අදහසත් දෙන හින්ද රළ නගමින් වතුර ගලායන මේ ඉසව්වට ඔවුන් ඒ නම දෙන්න ඇති.

ඔන්ටාරියෝ පලාතේ උතුරු මායිම වන Kenora නගරයට තවත් පැය 13 ක ගමනක් තියෙනවා. Thunder Bay  වලට නම් තවත් පැය 8 ක්. ඒත් අපි සංචාරය කලේ Wawa නගරයට විතරයි.  

Wawa  

යුරෝපීයන් සහ ස්වදේශිකයින් අතර ලොම්  වෙළද මධ්‍යස්ථානයක් විදිහටත්, රත්රන් සහ යපස් නිධි නිසාත්, දැව කර්මාන්තය නිසාත් ජනාවාස වුනු Wawa නගරයේ තිබෙන ජනප්‍රියම සංචාරක ආකර්ෂණය අඩි 28 ක් උස ලෝහමය Canada Goose ප්‍රතිමාව තමයි. ස්වදේශික Ojibwe භාෂාවෙන් කැනඩා පාත්තයින්ට කියන්නේ Wawa කියල හින්ද උන් බහුල මේ ප්‍රදේශයට ඒ නම ලැබිලා තියෙනවා.

Yong's General Store කියල කියන්නේ ඒ නගරයේ බලන්නට පුළුවන් තවත් තැනක්. අද වගේ බඩු ගන්නට පහසුකම් නොතිබුණු ඒ කාලයේ ස්වදේශිකයින්ට තමන්ගෙ ලොම් සහ තවත් දේ තමන්ට අවශ්‍ය තුවක්කු, රෙදිපිළි සහ තවත් දේ සදහා හුවමාරු කල තැනක්. අද ක්‍රෙඩිට් කාඩ් පතට ගණුදෙනු කලත් මේ කඩේ අදත් ඔබට ඒ  අත්දැකීම සිහිපත් කරාවි. 

සුපීරියර් විල   ( Lake Superior )

පංච මහා විල් අතරින් විශාලතම විල වන වර්ග කිලෝමීටර් 82,100 ක් විශාල සුපීරියර් විල  ඉඩ ප්‍රමාණය අතින් ලෝකයේ තිබෙන විශාලතම මිරිදිය විල විදිහට සැලකෙනවා. ලෝකයේ මතුපිට තිබෙන ජල ප්‍රමාණයෙන් සියයට 10 ක් එහි තියෙනවා කියලයි කියන්නෙ. සුපීරියර් විල අයින දිගේ ඉදිකර තිබෙන Trans canada Highway  මාර්ගය කැනඩාවේදී මා දුටු තවත් ලස්සන Scenic routes එකක්. ඔන්ටාරියෝ පලාත් ආණ්ඩුව මගින් පාලනය වන Lake Superior Provincial park, Batchwana Bay provincial park, Pancake bay provincial park  පලාත් උද්‍යාන රැසක් මේ විලට මායිම් වන කැනඩා බිම් කඩේ  තිබෙනවා. කලබලකාරී නාගරික ජීවිතයෙන් මිදිලා ගිම්හානයේ දවස් කීපයක් ගත කරන්නට ඇවිදින මංපෙත්, විනෝදයට මාළු අල්ලන්න, බයිසිකල් පදින්න, Canoe, Kayak බෝට්ටු පදින්න, මෝටර් බෝට්ටු වලින් විල ගවේෂණය කරන්න , පිහිනන්න, වෙරළේ අව්ව තපින්න වගේම දින කිහිපයක් කදවුරු බිම් ( Camping  ) කරන්නත් අවශ්‍ය සියළු පහසුකම් මේ උද්‍යාන වල අඩු නැතුව තියෙනවා. ඔබ ඒ පැත්තට යනවා නම් එකින් එක උද්‍යානයට දිනපතා ප්‍රවේශ පත් ගන්නවාට වඩා Ontario Parks seasonal Pass  ගන්න එක ඔබේ පසුම්බියට ලොකු ඉතිරියක් කරාවි.

Mid point of Trans Canada Highway.

කැනඩා ඔටෝමොබයිල් සංගමය පිහිටවූ වෛද්‍ය පෙරී ඩු ලිටල්  (Dr. Perry E. Doolittle) ගේ සිහිනය වුනේ කැනඩාවේ දෙකොන යාවන මාර්ගයක වාහනයකින් යන එක. 1932 දී ඔහු මියගියත් 1962 දී , හැතැක්ම 4860 ක් ( 7476 km) දිග Trans Canada Highway  එක ඉදිවුණා. එහි මධ්‍ය ලක්ෂය තිබෙන්නේ මේ ප්‍රදේශයේ  Batchwana Bay  වලයි. ඒ වෙනුවෙන් ඉදිකල පුවරුවක් ඔබට මේ ගමනේදී දකින්න පුළුවන්. 

Lake Superior provincial Park

කැනඩා ඉතිහාසය වර්ණවත් කල සිත්තරුන් 7 දෙනෙකු ( Group of seven) විසින් සිත්තම් කල පරිසර චිත්‍ර හින්ද ලොව දස අත නම පතල වුනු මේ උද්‍යානය වර්ග කිලෝමීටර 1556 ක් විශාලයි. ඒ මැදින් යන Trans canada Highway  මාර්ගයෙන් ඔබට මේ සුන්දර පරිසරයේ අසිරිය විදින්න පුළුවන්. මේ උද්‍යානයට තියෙන ඉල්ලුම හින්ද ජනවාරි මාසෙදි කදවුරු බිම් වෙන්කර ගන්නවා වගේම දවස් 5 කට කලින් ඉදන් අන්තර් ජාලයෙන් දිනක සංචාරය සදහා වූ ප්‍රවේශ පත්‍ර ගන්නා එකත් නුවණට හුරුයි. මේ උද්‍යානය්යේ මගේ සිත් ගත තැන් කිහිපයක් ගැන විතරක් මෙහි සටහන් කරන්නම්.



Agawa Bay Pictographs

විලට මුහුණලා තියෙන සිරස් ගල් පර්වතයක Ojibwe ගෝත්‍රික පිරිස් ඇදි චිත්‍ර මෙතැනදී ඔබට බලන්නට පුළුවන්. වාහන නැවතුමේ ඉදන් කුඩා දුරක් ඇවිදගෙන ගිහින් යකඩ දම්වැල් වල එල්ලිලා විල් දිය ගෑවී නොගෑවී යන ඒ ගමන තරමක් ත්‍රාසජනකයි. දැඩි හුලං තිබෙන දවසක රැළි ඉහළට නැගෙන හින්ද පරිස්සමින් යන එක හොදයි. අප එතැනට ගිය වෙලේ ගෝත්‍රික තරුණයෙක් ඇවිත් බෙරයක් වයමින් යම් යම් දේ කියමින් පූජාවක් වැනි  යමක් කරනු අපි දැක්ක හින්ද මෙතැන ගැන ඔවුන්ට යම් යම් විශ්වාස තියෙන බව පේනවා.   


Old women bay 

  මේ ප්‍රදේශයේ වම් අත පැත්තේ තියෙන පර්වත සැකැස්ම හරියට වයසක ගැහැණු කෙනෙකුගේ මුහුණ වගේ පේන හින්ද මේ බොක්කට මේ නම ලැබිල තියෙනවා. එතැන තියෙන වෙරළ තීරය පීනන්න, නිදහසේ අව්ව තපින්න වගේම කිහිප දෙනෙක් එකතුවෙලා පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න අපූරු තැනක්. 

Nakomis Trail

කිලෝමීටර 4 ක මේ ඇවිදින මං තීරුව ගල් පර්වත නගිමින් , බහිමින් යන අපූරු ගමනක්. තිබෙන කුඩා රථගාල ඉක්මණින් පිරෙන හින්ද උදේම මෙතැනට ගියොත් හොදයි.

Sand River Falls

අයිස් යුගයේ තිබුණු අයිස් දියවෙලා ගිහින් ඉතිරිවුණු Canadian Shield  එකේ පවතින පර්වත විවිධත්වය හොදින් බලාගෙන කදිම දිය ඇල්ලක් බලන්න යන මේ ගමන අපූරුයි. කාලයක් තිස්සේ විවිධ හැඩවලට කැඩුණු පර්වත කැබලි මැද්දෙන් ගලන ගග දිහා බලාගෙන උඩහට ගියාම තියෙන දිය ඇල්ල ඔබට බලන්නට ආසා කරන පරිසරයක් මවනවා.    

ඔබට වෙලාව තියෙනවා නම් බලන්න තවත් ගොඩක් දේ තියෙනවා. ඒත් කාලය අපට සීමා පනවන හින්ද අපි නවාතැන් ගන්න හෝටලය වෙන්කරවා ගෙන තිබුණු Saulte Ste Marie වලට යන්න පිටත් වුණා.

ලබන මාසයේදී Canadian Bushplane museum එකටත්  Agawa Canyon  දුම්රිය චාරිකාවටත් එක්වෙමු.

අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.