මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 30, 2021

ලන්ඩන් කවිය සහ සිසිල සඟරාව...........

 ලංකාවෙන් දුර බැහැර විදේශයන්හිදී  සිංහල භාෂාවත් , සංස්කෘතියත් නගා සිටුවීම වෙනුවෙන් සැකසුණු වේදිකා තිබෙන්නේ අතලොස්සකි. එයට හේතු කාරණා ලෙස බොහෝ දේ උදාහරණ කොට දක්වන්නට පුළුවන් වන්නේ දශකයකට අධික කලක පටන් මා ද මව්බිමෙන් බැහැරව දිවි ගෙවන බැවිනි. ඒ අතින් ගත් කල කැනඩාවේ ටොරොන්ටෝ නුවර ආශ්‍රිතව ජීවත්වන අපට ඒ වෙනුවෙන් අන්තර්ජාල සහ මුද්‍රිත මාධ්‍යයෙන් නිකුත් වන යාත්‍රා සහ දසත මාසික පුවත්පත් දෙකක් වේ. රේඩියෝ මාධ්‍යයෙන් ඒ කාර්යභාරය ඉටු කරන්නේ සවන අන්තර්ජාල ගුවන් විදුලියයි. රූපවාහිනී මාධ්‍යයෙන් කේබල් නාලිකා හරහා කලා කවය රූප මාධ්‍ය දායකත්වය දරන අතර වසර පහක සම්පුර්ණ වැඩසටහන් පෙලම වෙබ් ගත කරමින් රූපණ අන්තර්ජාල රූපවාහිනිය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මෙහෙවරක යෙදී සිටී.

 එදිනෙදා සිංහල කතා කරන, සිංහලෙන් ලියන කියවන ලංකාවේ අයට වඩා මව්බිමෙන් බැහැරව ඉන්නා අයට භාෂාවේ භාවිතය අවම වටාපිටාවක් තිබේ. එහෙයින් මැදි වියේ හෝ වයස්ගතව සිටින සිංහල ප්‍රජාවගේ භාෂා ව්‍යවහාරය රැක ගැනීමටත්, තරුණ සහ යොවුන් පිරිස් වෙත සිංහල භාෂාව පිළිබද ඇල්ම වැඩීම සදහාත් මේ මාධ්‍යය කරන මෙහෙවර අති මහත් ය.

ලංකාවේ ජාතික පුවත්පත් තුලින් කවි සහ සාහිත්‍යය පිළිබද කතිකාවතට වෙන්වුණු පිටු ඉවත්ව යන සමයක මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරින් වෙබ්ගත වන ලන්ඩන් කවියත්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් බ්ලොග් ගතවන සිසිල සඟරාවත් මාසිකව ඉදිරිපත් කිරීම අගය කල යුත්තකි. මේ කෙටි සටහන ලියැවෙන්නේ ඔවුනගේ ඒ අගනා මෙහෙවරට උපහාරයක් ලෙසිනි.


ලන්ඩන් කවිය 


2021 ජනවාරි මාසයේ පටන් වෙබ්ගත වන ලන්ඩන් කවිය ලොව වටා විසිරී සිටින ප්‍රවීණ සහ ආධුනික නිර්මාණ කරුවන් අතින් ලියැවුණු විවිධ තේමාවන් යටතට ගැනෙන කවි නිර්මාණ 75-100 ක මාසික කවි එකතුවක් ලෙස හදුන්වා දිය හැකිය. සදැස්, නිසදැස් සේ ම නිදහස් ආරේ අද දවසේ නිර්මාණ සේම පැරණි සම්භාව්‍ය සාහිත්‍යයෙන්, කොළඹ යුගයේ නිර්මාණ අතුරින් සහ 70 දශකයේ බිහිවුණු කවි ද එකතැන් කල වටිනා වෙළුමක් ලෙස ලන්ඩන් කවිය නම්කල හැකි ය.

ඩිජිටල් මුද්‍රණයක් ලෙස වෙබ් ගත කිරීමට අමතරව ලන්ඩන් කවිය කවි හා සබැදි ඉසව් පිළිබද යූ ටියුබ් අවකාශයේ වැඩසටහන් පෙලක් ද අන්තර්ජාලයට මුදා හැර තිබේ.

අගනුවර තරුණ කවි සමාජයේ නිර්මාතෘවරයෙකු වන විල්සන් හෑගොඩ සහ නන්දා හෑගොඩ යුවලගේ පුතකු වන, ලාල් හෑගොඩ කිවිදුන්ගේ සොයුරු, අගනුවර තරුණ කවි සමාජයේ සම ලේකම් නීතිඥ  අනුර හෑගොඩ මහතා ලන්ඩන් කවියේ සංස්කාරක ධූරය හොබවයි.

ලන්ඩන් කවි වෙබ් දිගුව 

https://londonkavi.com/

නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව  

https://londonkavi.com/contact/

 

සිසිල සඟරාව 

2021 සැප්තැම්බර් මාසයේ පටන් ඩිජිටල් මුද්‍රණයක් ලෙස ප්‍රකාශයට පත්වන මාසික ඊ සඟරාවක් ලෙස සිසිල හදුන්වා දිය හැකිය. කෙටිකතා , කොටස් වශයෙන් පලවන නවකතාවක්, කවි සේම සංචාරක සටහන් ද මේ වාර ප්‍රකාශනයේ අන්තර්ගත  වේ. අද පුවත් පත් වලින් ඉවත්වන හරස්පද ප්‍රහේලිකාවක් සේම  විදෙස් රටකට සංක්‍රමණය වන කෙනෙකුගේ ජීවන අන්දරය ලියැවුණු දිනපොතක් ද මෙහි වේ. සුභාවිත ගීතයක් විදින්නට දෙන අත්වැල ද අපූරු අත්දැකීමක් ගෙන දෙයි. විවිධ තේමාවන් යටතේ ලියැවුණු සටහන්, සඳැස් නිසඳැස් කවි ඇතුලත්  මේ නිර්මාණය ප්‍රකාශයට පත් කරන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයයි.


කවි කියන, විකට කථා කියන, ගී පද බදින රසිකලොජි සිංහල බ්ලොග් අඩවියේ රචක රසික සුරියආරච්චි සිසිල සංස්කාරකවරයාය.

ඔබගේ පිටපත ලබාගැනීම සඳහා sisila.sangarawa@gmail.com ට ඔබේ විද්‍යුත් ලිපිනය යවන්න  


නිර්මාණ ඉදිරිපත් කිරීමේ යොමුව ලෙසත් මේ විද්යුත් තැපෑලම භාවිතා කල හැකිය  

sisila.sangarawa@gmail.com


අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.













Saturday, October 23, 2021

අමයුරු කවි රස 7 - සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා ...........

 අපි හැමෝගෙම හිත්වල කවියෙක් ඉන්නවා. ඒකට හේතුව අපි හැමෝගෙම ජීවිත ගලායන්නේ රිද්මයකට හින්ද. ඒක අපේ හදේ ස්පන්දනයේ, හුස්ම ගැනීමේ , කතාකිරීමේ වගේම ඇවිදීමේත් තියෙන ජීවිතය පුරාම යන දෙයක්.

ඒත් ඒ කවි එළියට ඇවිත් තවත් අයට පිලිගන්වන්නේ කිහිප දෙනෙක් විතරයි. සමහරු කවි ලියනවා. සමහරු කවි ගායනා කරනවා. සමහරු කවි ගැන විචාර කරනවා.    

මේ රූපණ අපේ වෑයම කවි ගැන කථා කරන්න -  අමයුරු කවි රස - රූපණ කවි චාරිකාව 

අද අපි කථා කරන්නේ සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා ගැන

ඒ සදහා අප ඉදිරිපත් කරන්නේ  සැළලිහිණි සංදේශය, හංස සංදේශය සහ ගිරා සංදේශයෙන් උදාහරණ කිහිපයක්  


සැළලිහිණි සංදේශය

හංස සංදේශය

ගිරා සංදේශය


සංදේශ කාව්‍ය තුලින් මැවෙන රූ රටා 

සැළලිහිණි සංදේශය, හංස සංදේශය සහ ගිරා සංදේශයෙන්


https://rupane.com/vimeo-video/rupane-episode-234-march-06-2021/

කවි රටා උදාහරණ කොට ගනිමින් කෙරෙන අඩ පැයක කවි චාරිකාව 

**********************************************

පර්යේෂණාත්මක සම්පත් දායකත්වය - රාජ්‍ය සම්මානලාභී ලේඛිකා ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර 

කවි ගායනා -  ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා, ලියෝනි අමරතුංග සහ අයේෂා චන්ද්‍රරත්න      

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ 

සංස්කරණය - පුබුදු වනිගසේකර 

සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා 

Zoom.. තාක්ෂණය ඔස්සේ කෙරුණු පටිගත කිරීමකි.

අපේ පළමු වැඩසටහන - ජනකවියේ චමත්කාරය  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/09/1.html

අපේ දෙවන වැඩසටහන -  කොළඹ යුගයෙන් තරු තුනක් සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/10/2.html

අපේ තෙවන වැඩසටහන -  සිංහල කවියේ සදැස් ලකුණ  සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/12/3.html

අපේ හතරවන වැඩසටහන -  නිසදැස් කවියක විප්ලවය   සදහා දිගුව 

http://ahasgawwenehalokaya.blogspot.com/2021/03/4.html

අපේ පස් වන වැඩසටහන -  ළමා කවියේ රුව ගුණ   සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/04/5.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම .....පළමු කොටස සදහා දිගුව

http://ahasgawwenehalokaya.blogspot.com/2021/05/6.html

අපේ හය  වන වැඩසටහන කිවිදියන් තිදෙනෙකුගේ නිර්මාණ දැක්ම ..... දෙවන කොටස සදහා දිගුව


http://ahasgawwenehalokaya.blogspot.com/2021/07/6.html


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි














Saturday, October 16, 2021

මගේ රේඩියෝ මතක ......අනුරුද්ධ වැලිගමගේ ......

 


මා සාමාන්‍යයෙන් එදිනෙදා බ්ලොග් ලිපි ලියන කෙනෙක් නොවේ. ඉඩ ලැබෙන දවසක අකුරු අමුණා සෑම සෙනසුරාදාවකම මතුවන ලෙසට බ්ලොග් සටහනක් ගොනු කරන එක මගේ පුරුද්දයි. එලෙස මේ සතියට ගොනු කරන්නට නියමිතව තිබුණු සටහන ඉවත් කර මේ රැයේ ලියන්නට හිතුනේ තට්ටයා මහත්තයා ලියූ " මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි "සටහන නිසයි.  

එහි සදහන් කර තිබෙන ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී මට ඒ වැඩසටහන් ශ්‍රවණය කරන්නට ඉඩක් ලැබුනේ නැති වුණත් 80 දශකයේදී යම් තරමකට ගුවන් විදුලියට සවන් දෙන්නටත්, 90 දශකයේදී යම් සුළු සම්මාදමක් දරන්නට ඉඩ ලැබුණු නිසාත් ගුවන් විදුලිය ගැන මගේ මතකය ගොනු කරන්නට සිතුණි.

අප ගුවන් විදුලිය ශ්‍රවණය කරන කාලයේ ආර්ථිකයේ වෙනස්වීම් මත සින්දු අහන්නට කැසට් යන්ත්‍ර සහ කැසට් පට බිහි වෙමින් පැවති අතර ජාතික රූපවාහිනිය පටන් ගැනීමත් සමගම ගුවන් විදුලියට පමණක් යොමුව තිබුණු මහජන අවධානය ගිලිහී රූපවාහිනී මාධ්‍යයේ කළු සුදු රූප සහ හීන් හඩ මතින් රූපවාහිනියට ගෙදර සාලයේ තැන ලැබෙමින් තිබුණු බව මතකය. සවස් වරුවේ සිට මධ්‍යම රාත්‍රිය තෙක් ගුවන් විදුලියට කන් යොමා සිටි අප දෙමාපියන්ගේ යුගය වෙනුවට අපි හුරු වූයේ හවස සිට තරමක් රෑ බෝ වන තෙක් රූපවාහිනිය ඉදිරිපිට රැදී ඉන්නටයි. ඒ නිසා "හදමාමා " , "ළමා රගමඩල " වැනි වැඩසටහන් සහ ගුවන් විදුලි පුවත් හැරෙන්නට වැඩසටහන් රැසක මතකයක් මට නැත.    

එහෙත් නිවාඩු කාලයට කුරුණෑගල අම්මලාගේ ගෙදර ගියවිට විදුලි බලය නොතිබුණු එහි වූ ට්‍රාන්සිස්ටර් රේඩියෝවෙන් ගුවන් විදුලියේ ප්‍රාදේශීය සේවාවක් වූ "රජරට සේවයෙන් "ගුවන් ගතවුණු  "පිලේ පැදුර ", "නව පදමාලා " වැනි වැඩසටහන් සේම මාතර පිහිටි ප්‍රාදේශීය ගුවන් විදුලිය වූ " රුහුණු සේවයේ " සමහර වැඩසටහන් ඇසු බව මතක ඇතත් ඒවාගේ නම් ගැන මතකයක් නැත.යම් තරමකට මතකය ඇත්තේ සමන් සුසිරි මහතා නිෂ්පාදනය කල " රුහුණු ළමා රගමඩල " ගැන පමණකි.

පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් සදහා ලැබුණු අවසරයෙන් බිහිවුණු " සිරස" ගුවන් විදුලිය කල සමහර වෙනස්කම් ගැන මගේ පෞද්ගලික ප්‍රසාදයක් නැතත් ජනප්‍රිය රැල්ලක් මතු කරමින් අසන්නන් සමග  එවේලේම සම්බන්ධ වෙමින් කල කටයුතු නිසා යොවුන් වියට එලබෙමින් සිටි අපට එය ආකර්ෂණයක් ගෙන ආ බව කිවයුතුය. සිරසෙන් ගුවන් ගතවුණු සමහර වැඩසටහන් මා සිත් ගත අතර  " ෂර්ලොක් හෝම්ස් "   කථා මාලාවේ කොටස් දැනුදු ඉදහිට යූ ටියුබ් අවකාශයට රිංගා අහන්නේ ඒ මතක අවදි කරන්නටයි.

පාසැල් සමයේදී රුහුණු සේවයේ " රුහුණු ළමා රගමඩල " ඇතුළු වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වෙමින් ඉන්නා කාලයේ 1987 ඉන්දු ලංකා සාම ගිවිසුමට විරෝධය දක්වමින් දේශප්‍රේමීන් විසින් රුහුණු සේවය පිහිටුවා තිබුණු වලව්ව ගිනිබත් කරමින් රුහුණු ජනතාවට අහිමි කලේ ප්‍රාදේශීයව නගන්නට තිබුණු ජනතා සන්නිවේදනය සේම අප වැනි නවකයින්ට තිබුණු විශ්ව විද්‍යාලයක් වැනි සම්පතකි.


නිමක් නැති වෙළද දැන්වීම් මධ්‍යයේ ඉදහිට යමක් ඉදිරිපත් කරන, ගිරා පෝතකයින් සේ නිමක් නැතිව ඔහේ දොඩවන බහුතරයකගෙන් පිරි කරච්චලයක් බවට ගුවන් විදුලිය පත්ව තිබෙන්නේ ආතක් පාතක් නැතිව හැර දැමූ ආර්ථිකය නිසාද නොඑසේ නම් නිසි නියාමනයක් නැති නිසාද යන්න හොයා බැලීම වටී. අදත් විශාල ග්‍රාමීය ජනතාවක් සිටින ලංකාව වැනි රටකට ගුවන් විදුලියේ ඇති හැබෑ වටිනාකම ගැන පාලකයින්ට අවබෝධයක් තිබේද යන්නත් ගැටළුවකි.

ලංකාවෙන් දුරු රටක හිටියත්, සිංහල භාෂාව සහ සංස්කෘතිය වෙනුවෙන් තම වියදමින් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් අන්තර්ජාල ගුවන් විදුලියක් කරන ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක මහතාගේ " සවන " මෙහෙය අගය කලයුත්තේ එවන් වටපිටාවක් තුලය.

සවන රේඩියෝව ගැන ලියවුනු සටහන 

http://ahasgawwenehalokaya.blogspot.com/2020/11/blog-post_29.html

අනුරුද්ධ වැලිගමගේ   

    

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි



   

Saturday, October 9, 2021

හ්ම්.... හ්ම්.... කිරිඅත්තේ .........අනුරුද්ධ වැලිගමගේ ....රුපවාහිනී ළමා ගීත.....

 



ඇටබ ගහේ උඩ අත්තේ

 හරි හරියට ඉද ගත්තේ

රෑ පුරාම හ්ම්… හ්ම්….

දවාලේ නැහැ නොව දැක්කේ

 

දවල්ට නුබ නිදියනවද

 හිරු කුමරුන් එරෙව්වාද

කියන්න මට දැනගන්නට

 හ්ම්… හ්ම්…..කිරි අත්තේ

 

අසුබලු උබ කාගැහමුව

 අම්මා කියනව ඇහුනා

උබව දැකලා රෑ ජාමෙක

 පුංචි අම්මා බයවීලා

 

ගොරෝසු කටහඩ අහලා

 පුංචි ළමයි බය වෙනවලු

පුංචි ළමයි බය කරන්න

එපා හ්ම් කිරි අත්තේ

 

අනුරුද්ධ වැලිගමගේ    

 1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශය දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට 

අපහසු වීම ගැන මගේ කණගාටුව

 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි