අදුරු වැටුණු මූසල පෙනුම ශීත ඉර්තුවේදී ජනතාව තුල මානසික
ආතතිය වැඩිකරන බව අන්තර්ජාලයේ තිබූ ලිපියක මතුකර
දැක්වූ අයුරු සුමේධ ට සිහියට නැගුනේ එවිටය. වාර්ගික යුද්ධයත්,
දුෂණය සහ අනෙකුත් හේතු සාධක මැද දරුවන්ගේ අනාගතය
පැහැපත් කරන්නට මව්බිමෙන් පිටමන් වන්නට අයදුම්පත් භාර
දුන් දිනය ඔහුට සිහි විය.
එකල සුමේධ සේවය කලේ රජයට සම්බන්ධ කෘෂිකාර්මික
ගොවිපලක කළමණාකරුවෙකු ලෙසය. සරු පසේ අව් වැසි අතර
මාරු වන වෙනස්කම් තුල සොච්චම් වැටුපකට දහදිය පෙරන
කම්කරු පවුල්වල වෙහෙසින් ගොවිපොල දියුණු කරන්නට ඔහු
ගත් වෙහෙස අපමණය. ප්‍රධාන නගරයන්ගෙන් බැහැර උප නගරයකට
නුදුරුව පිහිටි ගොවිපල කලකට ඉහතදී නම් දැරූ තැනකි. දේශපාලනය
ඇතුළු විවිධ හේතු සාධක මධ්‍යයේ දිනෙන් දින කුඩා වන එහි වපසරිය
තුල තවමත් වැඩෙන කිරි දෙනුන් සපයන නැවුම් කිරි ජනප්‍රිය කදිම
නිෂ්පාදන පෙලක් වෙළදපොලට සපයයි. සැබෑ නව වෙනසක් වුවද
සාමාන්‍ය ව්‍යවහාරයේදී එය " බෝතල් දෙක ෆාම් " වූයේ එයට පිවිසෙන
ප්‍රධාන දොරටුවේ ගේට්ටු කණු දෙක කිරි බෝතල දෙකක හැඩයට
තනා තිබූ නිසාය.
තාම දැන් සේවය කරන පවුලේ ගොවිපොල සමග එය සැසදීම දුෂ්කර
වුවද ඒ පිළිබදව " රොබට් " ට විස්තර කල කල්හි ඔහු දුක්මුසු වූ බව ඔහුට
සිහිවිය. රොබට් සහ ජෙනට් ඔහු වත්මනේ සේවය කරන ගොවිපොලේ
හිමිකරුවන්ය. වෙහෙස වී වැඩ කරන සුමේධ ට ඔවුන් සලකන්නේ පවුලේ
කෙනෙකුට මෙන්ය.
මෙම රටට පැමිණ ඉර්තු විපර්යාසයකට හුරු වන්නට කල්ගත වූ බව
සුමේධට සිහිවේ. වඩාත්ම අසීරු වූයේ ශීත කාලයට හුරු වන්නටය. හිම
පතනය නිසා තනි පෙලට වාහන යනෙන මාවතේ අද වාහන ගමන් ගන්නේ
සෙමිනි. හිම වරුසාව ටිකෙන් ටික වැඩිවන්නට වූයේ නොසිතූ පරිද්දෙනි.
ගොවිබිම් හරහා හමන සුළග රැගෙන එන හිම කැට නිසා වැඩි
ඈතක් පෙනෙන්නේද නැත. අද නම් නිවෙස වෙත යාමට බොහෝ වෙලාවක්
ගත වේ යැයි සුමේධ ට සිතිණි.
පහන් නිවා අදුරේම තුවක්කුව ගෙන වැට මායිමට එන වල් අලින්
පලවා හරින්නට ට්‍රැක්ටරයක නැගී යන රාත්‍රී මුර සංචාරය සුමේධ ට
සිහි විය. සත්තු වත්තේදී හැර අලින් වැනි විශාල සතුන් හා විෂඝෝර
සර්පයින් මෙහි දකින්නට නැත. ගොවිපොල මායිමට එන කුඩා සතුන්
ඉදහිට පමාවී නිවෙසට යන විට දකින්නට ලැබෙද්දී දැනෙන සතුට
අපමණය. කුරුල්ලන්ගේ, රැහැයියන්ගේ නාදය විදිමින් කරන රාත්‍රී
මුර සංචාරය මහත් ආනන්දයක් වන්නේ ගස් අතරින් එබිකම් කරනා
සද මවන විසිතුරු සමගිනි. පැහැදිලි අහස ඇති දිනෙක තාරුකා පන්ති
පිහිටීම් දෙස බලා කෙතරම් හැඩයක් සිතා ගත හැකිද ? . ගං වතුර
කාලයට හිරිහැරයක් සේ දැනෙන මහවැලි නදී කොමලියගේ ඉවුර
අද්දරට ගිය විට සද රැස් වැටි දිලිසෙන ජල තලය බලන්නට අපූරුය.
සහන් හිටියා නම් කවියක් ලියනු නියතය.
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් බාලාංශයේ සිට සරසවිය තෙක්
තමා ප්‍රතිලාභ ලැබූ අයුරු සුමේධට සිහිවේ. රජයේ සේවකයින් වූ
තම දෙමාපියන් වෙහෙස මහන්සියෙන් සොයුරිය හා තමාව මේ තත්වයට
ගෙන ආ අයුරු ඔහුගේ මතකයට නැගුණි. ඔවුන් සියල්ලන්ම තනිකර දමා
සිය පවුල සමග මෙහි වාසයට ආ තමා කලේ අභිනික්මනක් දැයි
ඔහු තමා සමගම තර්ක කරන්නට විය.
සරසවියේදී ඉල්ලීම් ඉල්ලා ශිෂ්‍ය අරගල මෙහෙයවූ කපිල දැන්
අමාත්‍යවරයෙකුගේ ලේකම් වරයෙකි. තමන් රාජකාරි කලේ
" දැලි පිහියෙන් කිරි කන්නාක් " මෙනි. දෙවරක්ම විදේශ ශිෂ්‍යත්ව
සදහා ගොස් එහි නවතින්නට හැකියාව තිබියදීත් ආපසු ලංකාවට
ආවේ තම යුතුකම මව්බිම වෙනුවෙන් ඉටු කරන්නටයි. කිහිප වරක්ම
උගත් දෙයින් ගොවිපොල වර්ධනය කර ලාභ උපයන විට
ප්‍රථිපලය වූයේ තමා දිරිගන්වනවා වෙනුවට වෙනත් ගොවිපොලකට
මාරුවක් ලැබීම පමණි.
සුප්‍රකට නටබුන් නගරයක් ලෙස දෙස් විදෙස් සංචාරකයින් ගැවසෙන
ප්‍රදේශයක පිහිටි ගොවිපලේ වසා දමා තිබූ ගොඩනැගිලි රැසක්
පිලිසකර කර සංචාරක කටයුතු සදහා යොදා ගනිමින් ආදායම්
උපයන විට දේශපාලන හෙන්චයියන්ට සිය නිවාඩු ගත කරන්නට
නොමිලයේ පහසුකම් සපයන්නට ප්‍රධාන කාර්යාලය කටයුතු කලේ
ලොක්කන්ගේ ලකුණු දා ගැනීම පිණිසය.
වැව් වාන් දමන කාලය ප්‍රදේශය සුන්දරත්වයෙන් පුරවන සමයකි. අව්
කාස්ටකේ වියලී ඉරි තැලුණු වැව් දිය පිරී ගැබ්බරව ගිය විට වැව
ආරක්ෂා කරමින් අතිරික්ත දිය කද පිට කරවන්නට තැනූ පිට වාන
අසල සපත්තු පාලම මවන අසිරිය නිමක් නැත. නගරයේ වෙසෙන
බිරිදත් දරුවනුත් නැති පාළුව, කාන්සිය නිවා දැමුවේ මේ සොදුරු
සොබාදහමේ අසිරියයි. ගසක සිට කුරුල්ලකු ක්ෂණයකින් පාත් වී
මාළුවෙකු ඩෑහැ ගනී . තමාද වානෙන් පිටාර ගලන වැසි වතුර මෙන්
රැල්ලෙන් ඉවත්ව ගිය වග සුමේධට දැනිණි.
උසස් පාසැලේදී තමා සමග එකට උගත් සහන්ගෙන් විස්තර අසා
මෙහි එන්නට සිත හදාගත්තේ අමාරුවෙනි.ගතට මෙන්ම සිතටත්
ශීතල වැඩි වන්නට වූයෙන් ඉන්ධන පිරවුම් හලක රිය නැවැත්වූ සුමේධ
උණු කෝපි කෝප්පයක රස බලන්නට විය. " හැමෝගෙම කතන්දර
ඔයිට වැඩි මිසක් අඩු නැහැ" මෙහි පැමිණි අලුත පන්සලේදී අරුණ
කියූ හැටි සුමේධට මතකය.
" අඩු ගානේ අපේ දරුවන්ට හරි හොද කලක් යයි " සුමේධ හිත
හදාගත්තේ එලෙසය.
" දුර තමයි ... ඒ වුණත් ලබන අවුරුද්දෙ අපි උඹේ රට බලන්න යනවා
" රොබට් කීවේ මහත් ආසාවෙනි.
පැල් බදිමින් , පේලි ගැසී වහින කාලයත්, පලාතම කාන්තාරයක් කරමින්
පායන කාලයත් හැරුණු කොට මෙහි ඒමට පෙර සතර ඉර්තුවක්
පිළිබදව සුමේධ අසා තිබුණේ පොත පතින් පමණි. විවිධ වෙනස්කම්වලින්
සිව් ඍතුවේ විපර්යාසය ඇට මිදුළු රිදවමින් ගතට දැනෙන්නට
පටන් ගෙන තිබේ.
අම්මා, තාත්තා, නංගී ගෙන් මිදී සැතපුම් දහස් ගණනක් ඈත බිමක
නෑදෑ හිතවතුන්ගෙන් තොරව ගෙවන මේ ජීවිතයේ හිතට දැනෙන
විපර්යාසය ඍතු විපර්යාසය මෙන් කිහිප ගුණයකින් ඉහළ බව
සුමේධට සිතුණි .
අනුරුද්ධ වැලිගමගේ
ලස්සන කතාවක් . ලඟදි සංක්‍රමණය වූවෙකුගේ
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteකතාව ටිකක් දිග වෙන්න ඉඩ තිබුනත් අර අවසාන වාක්‍යය තව ටිකක් දුර වර්ධනය වෙන්න ඉඩදුන්න නම් හොඳයි කියලා හිතුනා.
ReplyDeleteඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . බලමු ඒ අදහස තවත් කතාවකට එකතු කරන්න පුළුවන්ද කියල.
Deleteමටත් හිතුනා තව ටිකක් දිග උනානම් කියල.මේ පෝස්ට් එක ෆෝන් එකෙන් කියවද්දි ටිකක් අමාරුයි .දකුණු පැත්තට වැඩියෙන්ගිහින් අකුරු එක උඩ එක
ReplyDeleteසඳවතී ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. සමහර වෙලාවට ඔය තාක්ෂණික ගැටළු තියෙනවා. හදන්න බලන්නම්.
Deleteලස්සනයි අලුත් ආරක් වගේ.
ReplyDeleteජයවේවා !!!
දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete