තවත් මව්වරුන්ගේ දිනයක් ගෙවී ගියේය. ඊළගට අප පිය නගන්නේ පියවරුන්ගේ දිනයටයි.සිංහල ගීත සාහිත්යය තුල පිය ගුණ ලකුණ ගැන කියවන්නට දරන කෙටි සටහනකි මේ.
කැනඩාව ඇතුළු බටහිර ලෝකයේ රටවල පවුල් සංස්ථාව දෙස බලන විට මව, පියා සහ පරපුර සොයමින් අන්තර්ජාලය පීරන පිරිසට " පියවරුන්ගේ දිනය " වාණිජමය වශයෙන් අතිශ්‍ය වැදගත් වන්නේ වුවද , මව පියා දරුවන්ගෙන් සබැදුණු ශ්රී ලාංකික කුටුම්භය තුල මව සහ පියාගේ භූමිකාව අති ප්රබලය. පීතෘ මූලික ආසියාතික සමාජය තුල මුළු මහත් ජන ප්රජාවම තම තමන්ට ආවේණික ගති සොබාවන්ගෙන් විවිධ වුවද පවුලේ ප්රධාන ආදායම් උපයන්නා, ආරක්ෂකයා , තීරකයා වන්නේ පිය චරිතයයි. දරුවන් හදා වඩා රැක බලා ගනිමින් ගෙදර දොර විසිහතර පැයේ නොනිමි මෙහෙවර ඉටුකරන්නේ මවයි. එබැවින් සංඛ්යාත්මක වශයෙන් වැඩිමනක් මව් පිළිබද ගී ලියැවී ඇති බවට අනුමාන කල හැකිය.
සිංහල ගීත සාහිත්යය තුල පිය ගුණ ගීතද නැත්තේ නොවේ. එවන් පිය ගුණ ගීත අතරින් විවිධ මානයන්ගෙන් ලියැවුණු ගීත කිහිපයක් පිළිබදව සොයා බලමු.
කිරබ සුමංගල හිමියන් අතින් ලියැවුණු සුනිල් එදිරිසිංහයන් ගැයූ මෑත කාලීන ගීතයක් වන " රන්මැලි සෑය විය දිවි අබරට නැගුණ " බෞද්ධ පසුබිමක ගොවි පියෙකුගේ සැබෑ ආදරය පදවලට කැටිකල මුතුහරක් ලෙස හදුන්වා දිය හැකිය. ශ්රී ලංකාවේ ජනප්රියම දාගැබ වන රුවන්වැලිසෑයට උපමා කරමින් පියා තමන්ට කෙතරම් සුවිසල් ද යන වගත්, සක්විති මග තනන සුදොවුන් රජ යන යෙදුමෙන් බුදුන්ට පිය වූ අසාමානය පිය චරිතයට තම පියා ආරෝපණය කරන අයුරු අපූරුය. ජීවිතයේ එන දහසකුත් එකක් අසනි වැසි, රුදුරු වග වලසුන් වැනි බාධක වලදී දරුවන් සුරකින සතර දෙව්වරුන් ලෙසින් තම පියාණන් දකින්නට රචකයා යෙදූ වදන් සාමාන්‍ය එදිනෙදා ජන වහරෙන් උකහාගෙන තිබීම රචකයාගේ වාග් ප්රතිභාව දක්වන්නකි. ලෙඩ වූ මොහොතේදී සුප්රකට වෙදැදුරු බුද්ධදාස රජතුමා මෙන් අත් බෙහෙත් කල බවත් ප්රමාණයෙන් කුඩා පැලක් වුවත් තම උපරිම කැපවීම හරහා එය තුසිතයක් ලෙස වාසනාවන්ත කර තිබූ බවත් කියයි. එම ගීතයේ අවසනට යෙදෙන " ලොව්තුරු සුව වීදී අප රජ වනු දැකලා " ලෙසින් වූ යෙදුම් තුලට කැටි කල පියෙකුගේ අව්යාජ සතුට ඔබටත් මටත් අපේ තාත්තා හෝ අප්පච්චි පිළිබද සුබදායක මතකයන් සිහිපත් කරනු නියතය.
රන්මැලි සෑය විය දිවි අබරට නැගුණ.......
කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන " අන්දර යායේ වැව් තාවල්ලේ සක්මන් කරනා අප්පච්චි " ගීතය තුලින් චිත්රණය කරන අප්පච්චි පිළිබද අදහස ගස්, වැල් , ඇල දොල සමග ගලන අපේ ජීවන කතාන්තරය තුල පියෙකුගේ සෙනෙහස සෙවණැල්ලක් මෙන් ගලනා අයුරු පිළිබදව මවන්නේ " වලකුලේ දා බිදු තවරා , දිවි ගමනේ ඉම කදු මුදුනේ හිද " වැනි යෙදුම් භාවිත කරමිනි. පියාගෙන් ලද පන්නරය තුල බාධක වැට කඩුළු බිද දමමින් ගමෙන් නගරයට , උපන් බිමෙන් විදේශයකට පියමන් කල ඔබටත් මටත් අභිමානයෙන් සතුටින් සිහිගැන්වෙන පිය චරිතය ආරෝපණය කර ගැනීමට කදිම පසුබිමක් මවන බව කිව හැකිය.
අන්දර යායේ වැව් තාවල්ලේ සක්මන් කරනා අප්පච්චි......
ටී එම් ජයරත්න ගයන මාලනී ජයරත්න ලියූ " අම්මා සදකි " ගීතය පියගුණ වංශ කථාවේ ජනප්රියතම ගීතය ලෙස හැදින්වීමේ වරදක් නැතැයි සිතේ. සියුමැලි අම්මා සදක් වන අතර දරුවන්ගේ ලෝකයට ආලෝකයක් , ශක්තියක් වන හිරු ලෙස එහි පියතුමන් ගේ චරිතය හදුන්වා දී තිබේ. වෛද්‍ය විද්යාවේදී මව් පිය ජාන සබැදි නිර්මාණය වන දෙවන පරපුර වන දරුවා තුල පියාණන්ගේ ලේ දුවන බව සදහන් කරන රචිකාව සැබෑ ලොවේදී සිදු නොවුණත් එම ලේ කිරි නොවන්නේ ඇයිදැයි ප්රශ්න කරයි. සාමාන්යයෙන් පුරුෂ පාර්ශවය ගති සොබාවක් ලෙස අඩුවෙන් ප්රදර්ශනය කරන ආදරය හා බැදියාව තුල පෙනුමට ආදරය නොකලත් හදවතින් පියවරුන් දරුවන්ට දක්වන සෙනෙහස " පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ. අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ " ශ්රවණය කරන විට නෙතට කදුලක් උනන මොහොතක් වන්නේ එබැවිනි.
අම්මා සදකි.......
ක්රිෂාන්ත එරන්දක ගයන " අව්වේ මුතු ඇට වපුරා " ගීතයෙන් නිර්මිත ගොචි පියාණන් කාෂ්ටක පොලොව සමග වැව් බැදි දනව්වේ දරන වෙහෙස , සතා සිව්පාවුන් පිරි මහ බැද්දේ පැණි සොයමින් වෙහෙසෙන දිරිය පියාණන් දරුවන්ට කෙතරම් ජීවන දර්ශනයක් මතුකර දෙන්නේද යන වග " සනසා නුබ අප වටකර දඩු වැට වෙද්දී , හිත හය්යට කලවැල පොට වරපොට වෙච්චි " යන පදවලට කැටි කර තිබෙන චමත්කාරය නිහඩව ගීතය විදීමෙන් පමණක් අත්කර ගත හැක්කකි.
අව්වේ මුතු ඇට වපුරා.....
අහිමි පියාණන් පිළිබදව ජිප්සීස් ගායක කණ්ඩායම් විසින් ගැයුණු " තාත්ත මට ඇනපු ටොක්ක " ගීතය සම්භාව්‍ය හා කණ්ඩායම් ගීත පිළිබද විවාදයකට තුඩු දුන් කරුණු කාරණා මැවුවද සුනිල් පෙරේරා නගන සැබෑ හඩ තුල " එදා මට පෙනුණේ නුබ හතුරෙක් වාගෙයි තාත්තේ, අද මට පෙනෙන්නේ දෙවියෙකු වාගෙයි තාත්තේ " තුල තමන්ටද දරුවන් ඇතිව මැදිවියට එළබි කල්හි එදා තම පියාණන් තුල තම පවුලේ සංවරය පිළිබදව තිබූ දැක්ම සිහිගැන්වූ පසු විපරමක් ලෙස අගය කල හැකිය.
තාත්ත මට ඇනපු ටොක්ක.......
ඔබ සැමට යහපත් පියවරුන්ගේ දිනයක් වේවා ! .
2016 ජුනි මස දසත කලාපයේ පලවිය
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මේ ගීත නිර්මාණවලට දායක වූ සියළු නිර්මාණ ශිල්පීන්ට සහ යූ ටියුබයට එකතු කල සැමට ස්තුතියි.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
No comments:
Post a Comment