මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 10, 2023

වායු දූෂණය , ලැව් ගිනි සහ කැනඩාව

 



සාමාන්‍යයෙන් මම මේ වගේ කාලීන සටහන් ලියන්නෙ අඩුවෙන්. මේ සතියේ පලකරන්නට හිතන් හිටි සටහන අයින් කරලා වෙනස් එකක් එකතු කරන්නයි හිතුවෙ ඒ නිසයි . ටොරොන්ටෝව අවට නගරයක ජීවත්වන මට මේ සතියේ ගෙදරදීත් රැකියාවට ගිය වෙලාවෙදි ටොරොන්ටෝ නගරයේදීත් දකින්නට ලැබුනෙ නුපුරුදු දුම් වලාවක් හින්ද හරිහැටි ඉර එළිය පොලොවට නොවැටුණු බවයි . මාධ්‍යවලින් වගේම ටොරෝන්ටෝවට උතුරින් නගරවල සිට පැමිණෙන අය කිව්වෙ සමහරුන්ට දර පිලිස්සෙන ගද දැනුනා කියලයි. ඒකට හේතුව ලැව්ගිනි හින්ද ඇතිවුණු දුමයි. 

දුර 

මේ දුම සහ වායු දූෂණයට හේතුව ටොරොන්ටෝවේ සිට සෑහෙන දුරකින් ඔන්ටාරියෝ පලාතේ උතුරු කොටසේ සහ කුවිබෙක් පලාතේ ඇතිව තිබෙන ලැව් ගිනි තත්වයයි. උදාහරණ විදිහට දල වශයෙන් ඔන්ටාරියෝ වේ .Wawa ප්‍රදේශයට ටොරොන්ටෝවේ සිට ඇති දුර  කිලෝමීටර් 925 ක් තරම්. එතකොට කුවිබෙක් පලාතේ Clova ප්‍රදේශය තිබෙන්නේ ටොරොන්ටෝවේ ඉදන් කිලෝමීටර් 800 ක් තරම් දුරින්. මේ ලැව් ගිනි නිසා ඇතිවූ දුම් හුළගත් එක්ක පාවෙලා විවිධ පැති  වලට  ගිහින් මේ වෙනකොටත් කැනඩාවේ සහ ඇමෙරිකාවේ මිලියන ගණනාවක ජනතාවකට වායු දූෂණ අවදානමක් ඇතිකර තිබෙනවා .

 ( කරුණාකර නවතම විස්තර සදහා අන්තර්ජාලය පිරික්සන්න )



https://www.canada.ca/en/services/environment/weather.html

https://www.ontario.ca/page/forest-fires

කැනඩාවේ මධ්‍යම රජය සහ මාධ්‍යය නිරන්තරයෙන් අන්තර්ජාලය සහ විවිධ මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කරන අතරේ එළිමහනේ කරන ක්‍රියාකාරකම් සීමා කර තිබෙන්නේ අවදානම අඩු කර ගන්නයි.


පරිමාව 

ලෝකයේ තෙවන විශාලතම වන ගහණය වන හෙක්ටෙයාර් මිලියන 362 ක් තිබෙන කැනඩාවේ මේ අවුරුද්දේ පහුගිය දිනවල විවිධ පලාත්වලින් වාර්තාවූ ලැව්ගිනි නිසා විනාශ වුණු වනයේ විශාලත්වය හෙක්ටෙයාර් මිලියන 3.3 ක් බවයි කියන්නේ . කැනඩා රජය තම සම්පත් වලට අමතරව ඇමෙරිකානු , ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ලැව් ගිනි නිවන කණඩායම් සහ සම්පත් යොදාගනිමින් මේ වනවිටත් ඒවා මර්දනය කිරීමේ කටයුතු වල යෙදෙනවා. ඇවිලුණු ලැව් ගින්නක් නිවීම ලේසි වැඩක් නෙවෙයි . ඒ හින්ද බොහෝ විට කරන්නේ ගින්න පැතිර යාම නැවැත්වීමයි. ඊට අමතරව උණුසුම් වෙමින් ඉදිරියේදී ගිනි ගැනීමේ අවදානම ඇති වෙනත් වනාන්තර කොටස් කෙරෙහිත් මේ මෙහෙයුම් වල යෙදෙන පිරිස් නිරන්තර ඇස යොමාගෙන ඉන්නවා. කැනඩා රජයේ ඉල්ලීම අනුව මේ විෂය ප්‍රවීණ සම්පත් ඇති තවත් රටවල් රැසක් ඉදිරියේදී මේ මෙහෙයුම් වලට තම සම්පත් යොදවාවි.

මේ වන විට ගිනි ගනිමින් පවතින ප්‍රදේශ මේ දිගුවෙන් දැනගන්න පුළුවන්.

 https://www.lioapplications.lrc.gov.on.ca/ForestFireInformationMap/index.html?viewer=FFIM.FFIM 


      ලැව් ගිනි ඇතිවන්නේ ඇයි ?

අකුණු , වේගයෙන් පරිසරය උණුසුම් වීම සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා ලැව් ගිනි ඇතිවන අතරේ වැලැක්විය නොහැකි ස්වභාවික හේතු අතරේ වැලැක්විය හැකි මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ලැව්ගිනි 40% ක තරම් අගයක් ගන්නා හින්ද ඒ සම්බන්ධ දැඩි නීති රීති පනවා තිබෙනවා. ඒ හින්ද වනයේ විවිධ කටයුතු සදහා අවසර ලබා ගන්නා අය ඒ ඒ ආයතන ලබාදෙන උපදෙස් හරිහැටි කියවන එක හොදයි. මෙවර ලැව්ගිනි පැතිරීමට හේතු වී තිබෙන්නේ හදිසියේම වියැළුණු පොලොවේ තිබෙන ගස් දර මෙන් ක්‍රියාකරද්දී ඉහලින් ගමන් ගන්නා අධි පීඩිත උණුසුම් වායුධාරා ඉතාමත්ම උණුසුම් වීම හින්දයි. ඒක හරියට වියලි ලී කැබලි එකට ඇතිල්ලීමෙන් ගින්දර උපද්දවනවා වගේ දෙයක්. ගස් එකට අතුල්ලන්නටත් , ගින්න පතුරවන්නටත් වේගයෙන් හමා යන හුළග සෑහෙන දායකත්වයක් දෙනවා.  

ලැව් ගිනි කලාප 

කැනඩාවේත් වන ගහණය අධික බ්‍රිටිෂ් කොලොම්බියා සහ ඇල්බර්ටා පලාත්වල හැම අවුරුද්දෙම වගේ ලැව් ගිනි ඇතිවෙනවා. ඉන් කිහිපයක්ම මමත් මගේ සංචාර වලදී දැක තිබෙනවා. ගිනි ගන්නා වනය යම් දුරක සිට වගේම දැවී විනාශ වුනු කැලෑ සහ ගුවනින් ලැව් ගිනි නිවන මතක ඒ අතර තිබෙනවා. වරක් අපි යම් ගමනක් යද්දී යන්තමින් ඇවිලෙමින් තිබුණු කැලයක ගින්න පැතිරුණු හින්ද අප ගිය මාර්ගය වසා දැමුනා. අවසානයේදී අපට අමතරව කිලෝමීටර 300 ක් විතර වටයක් ගහලා ආරක්ෂිත විකල්ප මාර්ග වලින් එන්නයි සිදුවුනේ. 

මූලික නීතිය 

කැනඩාවේ පදිංචි කරුවෙකු  හෝ පුරවැසියෙකු විදිහට ලැව්ගිනි ඇතුළුව කිසියම් අසාමානයය සිදුවීමක් දුටුවොත් අදාල අංශ වලට දැනුම් නොදීම වගේම නිසි නීති රීති උපදෙස් පෞද්ගලික හෝ ව්‍යාපාර මට්ටමෙන් පිලි නොපැදීම වගකීම් පැහැර හැරීම් යටතේ දඩුවම් ලැබිය හැකි වරදක්.

ආයෙමත් ඒ කැලෑ වැවෙන්න කොච්චර කල් යනවද ?

ස්වභාවිකව වැවුණු කැලෑ ලැව් ගිනි වලින් විනාශ වුනාම ආයෙමත් ඒවා ඒ තත්වයට පත් නොවෙන්නත් පුළුවන් . සමහරවිට ඒ සදහා අවුරුදු 30 ඉදන් සිය ගණනක් කල්ගත වෙන්නත් පුළුවන්. ඒකට හරි උත්තරයක් නම් නැහැ.

මේ ගිම්හානය 

මේ ලැව් ගිනි හින්ද වන කාලගුණික වෙනස්කම් හින්ද මේ අවුරුද්දෙ කැනඩාවේ මුළු ගිම්හාන කාලයම වෙනස් වෙන්න පුළුවන් . ඒ හින්ද මේ අවුරුද්දෙ කැනඩාවෙ කොහේ ගියත් තොරතුරු වලින් සන්නද්ධ වෙලා දැනුවත් අය කියන උපදෙස් අකුරටම පිලිපදින එක වටිනවා .   


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි. 

6 comments:

  1. ලව් ගිනි කියන්නේ ඇත්තටම බිය ජනක දෙයක්. කැනඩාවේ එපමණ වන ඝනත්වයක් තියනවා කියලා දැනන් හිටියේ නැහැ. ජනගහනය අඩු නිසා ජනගහන සාන්ද්‍රණයත් හුඟක් අඩු ඇති. ඒ නිසා මැරෙන ප්‍රමාණය අඩු ඇති ලැව් ගිනි වලින්.

    ReplyDelete
    Replies
    1. ලැව්ගිනි වලින් මිනිස්සු ගොඩක් මැරෙන අවස්ථාවලුත් තියෙනවද?

      Delete
    2. අජිත් ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි . කැනඩාවේ විශාල වන ගහණයක් තියෙනවා. මා සංචාරය කර තිබෙන ප්‍රදේශවලින් British Colombia, Alberta, Nova Scotia, New Brunswick, Quebec, Ontario පලාත්වල විශාල සංරක්ෂිත වනාන්තර තියෙනවා. ඔබ එනවානම් Calgary වලට ඇවිත් වාහනයක් අරගෙන Vancouver. දක්වා ගිහින් ආපහු එනකොට Whistler, Jasper , Edmonton හරහා Calagary එන්න . මම කියන දේ පැහැදිලි වේවි. එනවා නම් කියන්න මම තව විස්තර ගොඩක් දෙන්නම් .

      කැනඩාවේ ජනගහණය අඩු නිසාත් සංරක්ෂිත ප්‍රදේශ මිනිස් ජනාවාස නොවන නිසාත් ලැව් ගිනි වලින් වන මිනිස් හානිය අවමයි . අනික් කාරණය මිනිස්සුත් කියන දේ අහනවා වගේම හරියට නීති පිලිපදිනවා.

      Delete
    3. https://www.climaterealityproject.org/blog/global-wildfires-numbers#:~:text=1.%20California%2C%20Washington%2C%20and%20Oregon%20%E2%80%93%20United%20States

      Delete
  2. ඔහෙ කැලෑ වල ගොඩක් වෙලාවට ජෛව විවිධත්ය අඩු ද?
    ඒ කියන්නෙ කැලෑ වල ගස් වර්ග බොහොම සිමිත ප්‍රමාණයක් ද තියෙන්නෙ?
    (ලංකාවෙ සාමාන්‍ය කැලයකට සාපේක්ෂව)

    ReplyDelete
    Replies
    1. නවීන් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔව් කැනඩාවේ වනාන්තර වල ජෛව විවිධත්වය අඩුයි. පස, වැඩි ශීත කාලයක් තියෙන දේශගුණය ඒකට හේතු වෙන්න පුළුවන්. ඒත් පලාතෙන් පලාතට උස අනුවත් , මුහුදු , ගංගා වලට , පංච මහා විල් වලට තියෙන දුර අනුවත් වෙනස් පරිසර පද්ධති රැසක් මා දැක තිබෙනවා. තවමත් මම කැනඩාවේ උතුරු ආක්ටික් ප්‍රදේශයට සහ සමහර පලාත්වලට ගිහින් නැහැ. ඔබ මගේ බ්ලොග් අඩවියට නිතර ගොඩවෙන කෙනෙක් හින්ද ඉදිරියේ මා යන ගමන්වලදී ඒ ගැනත් ලියන්නම්. හැබැයි ඇමෙරිකාවේ තත්වය මීට බොහෝ වෙනස්. ඒ ඔවුන් පරිසර දේශගුණික කලාප විශාල ප්‍රමාණයකට අයත් වෙන හින්ද . ඉකොනොමැට්ටාගෙන් අහල බලන්න.

      Delete