“දැන් වෙලාව එකොළහයි, මෙහෙමද හයි ස්කූල්
ළමයි, පස්ස පැත්තට එළිය වැටෙනකම් බුදියන්නෙ නැතුව නැගිටිනවා!” අම්මගේ සුපුරුදු ගෝරනාඩුව ඇහුණෙ දැන් පැය භාගෙකට විතර කලින්.
ඊයේ පාන්දර වෙනකම් යාළුවො එක්ක ගේම් ගහ
ගහ හිටපු හින්ද සමින්දට තාමත් නිදිමතයි. කළු මල්ලි ඇවිත් පොරෝනය ඇදල යනකොට සමින්ද
තවත් තදින් ඇහැ පියා ගත්ත වගේ මතකයි. අනේ පව්! සෙල්ලම් කරන්න වෙන්නැති. ඒත් ආපහු හැරිලා ගිහින්.
“අර පෙයාස් ගහ ගාව තියෙන විලෝ ගහ පාත්ති
පැත්තට බර වැඩියි. වැටට අල්ලලා ගැට ගැහුවොත් නරක ද?” අම්මා කියනවා ඇහුණා.
“අද හොදට පායලා. නියම දවසක්. පුතේ අර
පාත්තිවල පස් බුරුල් කරලා දීපන්. මට කොටන්න බැහැ. හරි හයියයි” සීයා තාත්තට කියනවත් ඇහුණා. කට්ටියම වත්ත පහළට යන්න ඇති. “ගෙදර සද්දෙ අඩුවෙලා වගේ!” සමින්දට හිතුණා.
තාත්තා ගැරේජ් එක පැත්තට ගිහින් මොනවද
හොයනවා වගේ ඇහුණෙ මොන මොනවා හරි ඇදපු
හින්ද. ගහ ගැට ගහන්න කම්බි හරි ලණු හරි හොයනවා ඇති. ආයෙමත් ටිකකට පස්සෙ ගෙදර වැකුම් කරනවත් ඇහුණා. “හය්යෝ මේ දොරවල් හායි
ගාල ඇරලා” ආච්චි කියනවත් ඇහුණා. ආච්චිට දොරක් ඇරලා
තියෙනවා පේන්න බැහැ.
හෝම් වර්ක් වගයක් තිබුණත් සමින්දට හිතුණෙ තව ටිකක් ඇදේ ගුලිවෙලා ඉන්න. හැබැයි
ෂුවර් එකටම තව ටිකකින් අම්මා ඇවිත් ඉර එළිය වැටෙන්න ජනෙල් රෙද්ද අරිනවා. ඒ හින්ද
සමින්ද හිටියෙ කෝකටත් රෙඩිවෙලා.
“කුමාරි, කුමාරි බලන්න, බලන්න, කළු මල්ලි නැහැ නේ! මම උදේ කන කොටත් ළගට ම වෙලා හිටියා.
සෙල්ලම් කරන්න කවුරුත් නැති නිසා හැංගිලා ද දන්නෙත් නැහැ” ආච්චි කියනවා සමින්ද
අහගෙන.
“මම හැම තැනම බැලුවා මේ ළමයා කොහාට වෙලා ද දන්නේ නැහැ” අම්මත් කිව්වා.
“කලබල නැතුව බලන්න කුමාරි! ඔය කොහෙ හරි අස්සකට වෙලා ඇති. කාමරවල
දොර මුළු බැලුව ද?” එහෙම කිව්වෙ සීයා.
“මම හැමතැනම බැලුව තාත්තේ! සරත්, සරත් මෙහාට එන්නකො. කළු මල්ලී නෑ නේ!” අම්මාගේ කෑ ගැහිල්ලට
තාත්තා මොකුත් නොකීවත් පහළට යන බව දැනුණේ පඩිපෙළ වේගෙන් බැහැපු හින්දා.
“ඔයාට නම් මොකද, පත්තරයක් හරි ඉන්ටනෙට් එක හරි තියෙනව නම් ලෝකෙ ගිනිගත්තත් කිසි ගාණක් නැහැ!” අම්මගේ මේ චෝදනාව සමින්දට පුරුදු එකක්.
“හරි, හරි, දැන් මොකද වෙලා තියෙන්නේ?”
“කළු මල්ලී නැහැ!”
“ගේ ඇතුළෙ වෙනද ඉන්න තැන් ඔක්කොම බැලුව ද?”
“බැලුව මනුස්සයො, නැති හින්දනෙ කියන්නෙ!” එහෙම කියන්නෙ අම්මට ටිකක් තරහ ගිහාම . ඒ කියන්නෙ වැඩේ සීරියස් වගේ.
සමින්දත් දනි පනි ගාලා ඇදෙන් බිමට
පැන්නා.
“මොකද වෙලා තියෙන්නෙ?” සමින්ද ඇහුවෙ
පුදුම වෙලා ඉන්න අම්මගෙන්.
“කළු මල්ලි නැහැ!” අම්ම කිව්වෙ දුකෙන්.
“හැම තැනම බැලුව ද? ඔය කොහේ හරි
හැංගිලා ඇති . මටත් කීද්දුව සෙල්ලම් කරන්න. එයාට වගේයැ අපට?”
අම්ම කතාව ඉවර කරන්න දුන්නෙ නැහැ. “ඔව් ඉතින් රෑ තිස්සෙ රස්සාවක් කරනවා යැ.
අර කට්ටිය එක්ක උඩ පැන පැන ගේම් ගහනවා මිසක්!”
කට්ටියට ම පුදුමයි හිටි හැටියෙ මොකද මේ කළු මල්ලිට වුණේ කියල. ගෙදර කොහේවත් නැහැ.
තාත්තා ඉස්සරහ දොර, ගැරේජ් එක, පිටිපස්සෙ
දොර ගාව කැමරාවෙ රෙකෝඩින් බැලුව. කිසි හෝඩුවාවක් නැහැ.
“සරත් අනේ ඉක්මනට මොනවා හරි කරන්න. මේ ළමයට මොනවා වුණා ද දන්නෙ නැහැ.”
“පොඩ්ඩක් කලබල නැතුව ඉන්නකො. අපි බලමු
දැන් මොනවද කරන්න පුළුවන් කියල.”
සමින්දට ඇහෙන්නෙ තාත්තා කෝල් එකක් ගන්න
සද්දෙ. ස්පීකර් ෆෝන් දාල හින්ද කියන දේත් ඇහෙනවා. එහා පැත්තෙන් විස්තර අහනවා, ලිපිනය, අන්තිමට දැක්ක වෙලාව, හැඩ හුරුකම, වයස!
“අද ඉරිදා හින්දා අපේ වැඩකරන අය අඩුයි .
සිස්ටම් එකේ අප්ඩේට් කළා. ඒත් අපේ කෙනෙක් තව
ටිකකින් කථා කරාවි. වෙබ් එකේ තියෙන විස්තර අනුව වැඩ කරන්න!” නගර සභාවෙ හදිසි ඇමතුම් නිලධාරිනිය කියනවා.
“ඔයාට කිසි ගාණක් නෑ! අපේ පොඩි එකාට ගෙදරින් එළියට ගිහින්
පුරුදු නැහැනෙ” අම්මගේ ඒ කතාවට ආච්චිත් මොනවා
හරි කිව්වත් සමින්දට ඒක හරියට ඇහුණෙ නැහැ.
සමින්ද මුහුණු පොතට ගිහින් “නැතිවුණා, හම්බ වුණා” එකතුවල කථා කරන්න දුරකථන අංකයත්, ෆොටෝ
එකකුත් එක්ක පොස්ට් කිහිපයක් දැම්මා. අන්තිමට දැක්ක වෙලාව, හැඩ හුරුකම, වයස එක්ක ෆොටෝ එකකුත් දාලා ප්‍රින්ට් කරන්න
පෝස්ටරයකුත් හදා ගත්තා.
අම්මයි තාත්තයි වටේ ම ගෙවල් වලට ගිහින් ඒ ගොල්ලො දැක්කද කියල
තොරතුරු අහනවා. කිසි හෝඩුවාවක් නැහැ වගේ. කාටවත් දවල්ට කන්නත් උවමනාවක් නැති
පාටයි.
“ඔයා තමයි පිටිපස්සෙ දොර ඇරලා තිබ්බෙ!” ආච්චි කියන්නෙ හරියට සීයා වැරැද්ද කළා වගේ.
“හායි ගාල ගැරේජ් එකේ දොරත් ඇරලා තිබ්බ!” ආච්චි ආයෙමත් කියෝනවා.
“අම්මේ කළු මල්ලී නැතිවෙලාද? මල්ලී මේ
ෆේස්බුක් එකේ දාල තියෙන්නෙ!” අක්කා අම්මට කථා
කරනවා.
“පොඩි පුතා මොකද මේ අක්කව ගිනි තිබ්බෙ. ඒ
ළමයට විභාගෙ අනිද්දා” අම්ම කෑගහන්නේ සමින්දට.
කළු මල්ලි කියන්නෙ සමින්දලගේ පූසා. ඌ කළුම
කළු මාස දහයක හුරතල් පූස්
පැටියෙක්. මේ නගරයේ ලියාපදිංචි
සහතිකේ විදිහට නම් “ඔලිවර් ෆොන්සේකා”. ඒ තාත්තගේ වාසගම එක්ක.
එවරෙඩි බැටරි සන්නාමයේ නොම්මර නමය අතරින් පනින කළු පූසා වගේ
හින්ද ආච්චී ඌට කියන්නෙ “එවරෙඩි පූසා”
කියලයි. අම්මට පුංචි පුතා
වෙච්ච ඔලිවර්ට “කළු මල්ලි” කියන නම දැම්මේ සීයා. කොහොම හරි අද දවල් ඉඳන් ඔලිවර් ආගිය අතක් නැහැ.
සමින්ද යාළුවෙක් එක්ක ගිහින් ළග තියෙන ප්‍රින්ට්
ෂොප් එකකින් පෝස්ටරේ ප්‍රින්ටවුට්
විස්සක් අරගෙන ආවා. දෙන්නත් එක්ක එකතු වෙලා ළග තියෙන ලියුම් පෙට්ටිවලයි. වටේ ම පාරවල්වල ලයිට් කණු පහේ පහේ දුරට ඒවා
ඇලෙව්වා. ළගපාත ගෙවල්වලට ගිහින් ඔලිවර් දැක්කොත් කියන්න කියලත් කිව්වා.
කට්ටියම බලාගෙන ඉන්නවා. විටින් විට
මුහුණු පොතේ අතරමං වුණු පූසො ගැන අප්ඩේට් වෙන විස්තර බලනවා. අන්තර්ජාලයේ කියල තිබුණු විදිහට ම ඉස්සරහ ගරාජ් එකේ දොර ඇරලා, එයාගෙ කෑම භාජනයකට කෑමයි, අසූචි දාන්න පෙට්ටියකුයි තිබ්බා. පිටිපස්සෙ දොර ගාවත් එහෙම්ම ම භාජන දෙකක් තිබ්බා. එළියට ගිහින් පුරුදු නැති වුණත්, පූසො ඉවට
එන හින්ද වැඩේ ටක්කෙටම හරි යනවා කියලයි ඉන්ටනෙට් එකේ තිබුණේ.
නගර සභාවෙන් කථා කළා. ඒ ගොල්ලන්ට තාම කිසි හෝඩුවාවක් නැති ලු. මේ වතාවෙ අවවාද කරනවා කිව්වා. ආයෙත්
මේ වගේ දෙයක් වුණොත් පන්දාහක් දඩ ලු. තොරතුරක් ලැබුණොත්
කියන්නම් කියලත් කිව්වා.
හවස් වෙනකොට ලොකු අම්මයි, මහප්පයි
දෙන්නත් ආවා. ඒ දෙන්නටත් දුකයි. හීන් වැහිපොදක් වැටෙන්න පටන් ගත්තා. ඔලිවර් ගේ රෑ
කෑම වෙලාවත් කිට්ටුයි. අම්මයි, ආච්ච්යි දෙන්න “පව් අහිංසකයා” කියල අඬනවා.
සමින්දට පොඩි සද්දයක් ඇහිලා ගැරේජ් එක
දිහාට දුවගෙන ගියා. පුදුමෙනුත් පුදුමයි. ඔලිවර් ඇවිත් කෑම කනවා.
“අම්මේ ඔලිවර් ඇවිත්!” සමින්ද ඌව වඩාගෙන සාලෙට ආවා.
හැමෝගෙම මුහුණුවල සතුටු හිනාවක් වැටිලා
දිලිසෙමින් තිබුණා .
“ඇති යාන්තම්” අම්මට කියැවුණේ ඉබේට ම.
- අනුරුද්ධ වැලිගමගේ
කළු මල්ලි නැතිවෙලා!
අනුරුද්ධ වැලිගමගේ
හෙහ්..හෙ. මරු!
ReplyDeleteටික දුරක් කියවන් යනකම්ම හිතුනෙ... ළමයෙක්ට තමයි කළු මල්ලි කියන්නෙ කියල 😂
නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒ කියන්නෙ මගේ අදහස තරමක් සාර්ථකයි වගේ. එහෙම නොවුනා නම් මෙය අපූරු සිදුවීමක් නොවී සිදුවීමක් වාර්තා කලා විතරක් වේවි.
Delete👌👌
ReplyDeleteනවීන් හැමදාමත් වගේ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete