මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 22, 2025

ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී හිම මත උඩුකුරු වී පෙරළුණු ගුවන් යානය

 









මේ දිනවල කැනඩාවේ ටොරොන්ටෝ නගරයට තිබෙන්නේ දැඩි ශීතල කාලගුණයක්. ගෙවුණු  සති දෙක තුල හිම කුණාටු කිහිපයක්ම පැමිණි නිසා ඉතා විශාල හිම ප්‍රමාණයක් මාර්ග අයිනේ, නිවෙස් සහ අවට පරිසරය පුරාම පිරී තිබෙනවා. විටින් විට හමන සුළං ඒ හිම තැනින් තැනට විසුරුවා දමනවා. 

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ නිවාඩු දිනයක් වූ නිසා 2025 පෙබරවාරි 17 වන සඳුදා බොහෝ දෙනෙක් හිටියේ නිවෙස්වලයි.

ඒත් ධාවන පථ (Runways )  5 ක් තිබෙන මිසිසාගා නගරයේ කොනක පිහිටා තිබෙන ටොරොන්ටෝවේ ලෙස්ටර් බී පියර්සන් ගුවන් තොටුපල ( Toronto Lester B Pearson International Airport )  පුරුදු කලබලයෙන්ම වැඩවල යෙදුනා.

පියර්සන් ගුවන් තොටුපොල  ගැන වැඩි විස්තර මේ දිගුවෙන් ඔබට කියවන්නට පුළුවන් .  

Toronto Pearson International Airport

https://en.wikipedia.org/wiki/Toronto_Pearson_International_Airport  


බොම්බාඩියර්( Bombadier) CRJ700 - 1000   කියන්නේ කැනඩාවේ  බොම්බාඩියර් ගුවන් සමාගම විසින් 1999- 2020 කාලයේදී  ප්‍රාදේශීය ගුවන් ගමන් වෙනුවෙන් නිර්මාණය කරන ලද ආසන 2 කේ 2 කේ ආසන පිලිවෙල අනුව නිර්මාණය කරන ලද මගී ජෙට් යානයක්. ඒවායේ ආසන ධාරිතාවය  50 සිට 104 දක්වා වූ මාදිලි රැසක් යටතේ යානා 924 ක් නිෂ්පාදනය කර තිබෙනවා. ඒවායින්  බොහොමයක්  තවමත් මගී ගුවන් ප්‍රවාහනයේ යෙදෙනවා. එයින් යානා 15 ක් පමණ කැනඩාවේ ජාතික ගුවන් සේවය වන Air Canada යටතේ ක්‍රියාත්මක වන Jazz  ගුවන් සේවය මගින් සේවයේ යොදවා තිබෙනවා. ඒ යානාවක් පිටතින් සහ ඇතුලතින් දැක තිබුනත් ඒ යානාවක ගමන් කරන්නට නම් ඉඩක් ලැබී නැහැ. සමහරු කියන්නේ මේ යානා වල ශබ්දය සහ දෙදරුම තරමක් වැඩියි කියලයි. ලොව පුරා රටවල් රැසක ගුවන් සේවා රැසක් මේ යානා සේවයේ යොදවා තිබෙන බව වාර්තා වෙතත් ඉන් විශාල ප්‍රමාණයක් සේවයේ යොදවා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ක්‍රියාත්මක වන ගුවන් සේවාවන් විසින්.




ඒ යානා ගැන වැඩි විස්තර මේ දිගුවෙන් ඔබට කියවන්නට පුළුවන් . 

Bombardier CRJ700 series

  https://en.wikipedia.org/wiki/Bombardier_CRJ700_series



IATA flight No. 9E4819/DL4819, ICAO flight No.EDV4819  ගුවන් යානා අංකය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩෙල්ටා ගුවන් සමාගම යටතේ මිනසෝටා ප්‍රාන්තයේ  Minneapolis–Saint Paul International Airport සිට කැනඩාවේ Toronto Pearson International Airport වෙත යෙදවෙන ගුවන් ගමන් වෙනුවෙන් භාවිතා වන අංකයක් . ඒ ගමනට ගතවන කාලය දල වශයෙන් පැය 2 ක් . ඒ නගර දෙක අතර දුර කිලෝමීටර 1205 ක්. 2025 පෙබරවාරි 17 වැනිදා උදේ 11.34 ට පිටත්වුණු අවුරුදු 16 ක් වයසැති බොම්බාඩියර්( Bombadier) CRJ900LR යානය ටොරොන්ටෝ ගුවන් තොටුපලට ආවේ සවස 2.13 ටයි.  එය තුල මගීන් 76 දෙනෙකු සහ ගුවන් නියමුවන් දෙදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සිටියා.  



ටොරොන්ටෝ ගුවන් තොටුපලේ අංක 23-5 ධාවන පථයට යානාව පහත් කරද්දී එය ගිනිගෙන ඇදී ගොස්  උඩුකුරු වී පෙරලුනේ  අංක 15  - 33  ධාවන පථයට හමුවන තැනදී. වහා ක්‍රියාත්මක වූ ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය අනතුරට පත් යානාවේ සිටි සියළු දෙනාම බේරාගත්තා.   


https://en.wikipedia.org/wiki/Delta_Connection_Flight_4819

Delta Connection Flight 4819




වාසනාවකට මෙන් යානයේ ගමන්ගත් 80 දෙනාම දිවි ගලවා ගන්නට සමත්වුනා. එක් අයෙකුට බරපතල තුවාල සිදුවී තිබූ අතර 21 දෙනෙකු රෝහල්ගත කෙරුනා. මේ වනවිට ඒ සියළු දෙනා ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබෙනවා . අනතුර පිළිබද තොරතුරු සෙවීම සඳහා  කැනඩාවේ ප්‍රවාහන ආරක්ෂාව පිළිබද අධිකාරිය ( TSB ) , ඇමෙරිකා එක්සත් ජනපද ජාතික  ප්‍රවාහන ආරක්ෂාව පිළිබද අධිකාරිය (U.S. National Transportation Safety Board) , ඩෙල්ටා ගුවන් සේවය සහ 2019 දී බොම්බාඩියර් ගුවන් සමාගමේ මගී ජෙට් යානා අංශය මිළට ගත් ජපන් සමාගම වන මිට්සුබිෂි ගුවන් සමාගම කටයුතු කරනවා.

මේ සිදුවීම ගැන කැනඩාවේ මාධ්‍යය වාර්තා කර තිබුනේ මෙහෙමයි .


https://globalnews.ca/news/11026795/delta-plane-cleared-toronto-pearson-airport-runway/

https://www.cbc.ca/news/canada/toronto/wednesday-delays-pearson-crash-1.7462665


කැනඩාවේ පලවන ඩිජිටල් වෙබ් පුවත්පත වන ශ්‍රීලංකැන් නිව්ස් හි නිරෝධ කාරියවසම් ඒ ගැන කර තිබූ සටහනයි මේ.

ටොරොන්ටෝ පියර්සන් ගුවන් තොටුපලේදී ගුවන් අනතුරක් – යානය හිම මත උඩුකුරුව පෙරලෙයි.

https://srilancan.ca/2025/02/21/%e0%b6%a7%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%9d-%e0%b6%b4%e0%b7%92%e0%b6%ba%e0%b6%bb%e0%b7%8a%e0%b7%83%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-2/


2025 පෙබරවාරි 17 වැනිදා අනතුර නිසා පැය 3 ක කාලසීමාවකට පියර්සන් ගුවන් තොටුපලේ ධාවන පථ වසා සියළු ගුවන් යානා හැමිල්ටන්, මොන්ට්‍රියල් සහ ඔටාවා නගරවල පිහිටි ජාත්‍යන්තර ගුවන් තොටුපල කරා යොමුකොට තිබුනා. පරීක්ෂණ සහ අනතුරට පත් ගුවන් යානය ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් ධාවන පථ 2 ක් වසා තැබුනු නිසා 20 වැනිදා  පාන්දර වනතුරු ගුවන් ගමන් ප්‍රමාද සහ අවලංගු කිරීම් ගැන වාර්තා වුනා. මේ වනවිට වාර්තා වන අන්දමට ඩෙල්ටා ගුවන් සමාගම මගීන් වෙනුවෙන් යම් මුදල් ප්‍රධාන ගැන ප්‍රකාශ නිකුත් කර තිබෙන අතර මගීන් එකතුව යම් නීතිමය වන්දි ක්‍රමවේද කරා යන බවත් කියැවෙනවා. යාන්ත්‍රික දෝෂ, නියමු වැරදි, අයහපත් කාලගුණය අනතුරට හේතු වූවාද හෝ ඒවායේ එකතුවක් දැයි කියා කියන්නට තවත් කලක් ගත වේවි. ඒ කෙසේ වෙතත් ඒ තොරතුරු අනාගතයේ එවැන්නක් නොවන්නට පියවර ගැනෙන ඒවා වේවි .       

    https://www.ctvnews.ca/toronto/article/all-passengers-injured-in-pearson-plane-crash-have-now-been-released-from-hospital-delta-says/



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, February 15, 2025

ලොස් ඇන්ජලිස් නුවරදි නොමිලේ ඔබට බලන්නට පුළුවන් ග්‍රිෆිත් දුන් අපූරු තෑග්ග

ඇමෙරිකානු සංචාරයක මතකය

ලොස් ඇන්ජලිස් නුවරට යන කවුරුන් වුණත් බලන්නට යන නිතරම ජනයාගෙන් පිරී තිබෙන තැනක් තිබෙනවා.  අර්ධ ගෝලාකාර අපූරු හැඩයකින් යුතු මේ ඉදිකිරීම ආකාශ වස්තු නිරීක්‍ෂණාගාරයක් විදියට හඳුන්වන්නත් පුළුවන්. පහුගිය වතාවේ ලොස් ඇන්ජලීස් නුවරට ගිය ගමනේ දී එය වසා දමා තිබූ හින්දා බලන්නට බැරිවුණු නිසා මේ වතාවේදී කොහොම හරි බලනවා කියන අදහසින්ම මම පහුගිය දාක  එය වෙත ගියා. ග්‍රිෆිත් මධ්‍යස්ථානයත් , ග්‍රීක රඟහලත් ග්‍රිෆිත් ජේ ග්‍රිෆිත්  නම් ධනවත්  ව්‍යාපාරිකයා මහජනතාව වෙත ලබාදුන් අපූරු සම්පත්.


1850 ජනවාරි හතරවෙනිදා  මහා බ්‍රිතාන්‍යයේ වේල්ස් හි උපන් ‍ ග්‍රිෆිත් ජේන්කින්  ග්‍රිෆිත් ( Grifith 

Jenkins Grifith )  තම දෙමව්පියන් සමගින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවට සංක්‍රමණය වුනේ  ඔහු තරුණ කාලයේදී. ටික කලකින්ම ඔහු කැලිපෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට යන්නේ Herald Publishing Company හි  කළමනාකාරවරයකු ලෙසින්. පසුකාලීනව පතල් කර්මාන්තය වෙත ඇදී යාමෙන් ධනවත් වන ඔහු  කැලිපෝනියාවේ ලොස් ඇන්ජලිස් නගරයට එන්නේ ව්‍යාපාරික ලුවිස් මෙස්මර්ගේ( Louis Mesmer)  දියණිය මේරි ඇග්නස් ක්‍රිස්ටිනා විවාහ කර ගැනීමත් එක්කයි.  1882 වසරේදි දේපළ වෙළදාම කටයුතුවල යෙදී සිටින ඔහු අක්කර හාරදාහක දේපලක් මිලට ගන්නේ නිසි ලියැවිලි නොමැතිව ඒ ඉසව්ව ස්පාඤ්ඤ ආණ්ඩුකාරවරයා විසින් ජෝස් වින්සන්ට් ෆෙලිස්

( Jose Vincente Feliz) නම් සොල්දාදුවාට පවරා දී තිබූ ඉඩමකින් ( Rancho Los Feliz mexican land grant ) . අද මෙන් ජනාකීර්ණ , ජනප්‍රිය සංස්කෘතියේ මුදුන් මල්කඩ නොවූ ඒ අවදියේ වත්මන් කැලිපෝනියා ප්‍රාන්තය ස්පාඤ්ඤ පාලනයට පත් අතීත මෙක්සිකානු  බිමක්. ඒත්  හදිස්සියේම 1886 දී ග්‍රිෆිත් යුවල නත්තල් තෑග්ගක් විදියට ඉන් අක්කර තුන්දහස් පහළොවක් (3015) ලොස් ඇන්ජලිස් නගර සභාවට පවරා දෙන්නේ කවුරුත් පුදුමයට පත් කරමින්. කලබලකාරී හොලිවුඩයේ තරු දිදුලන සිනමා නගරය තුල අදත් ඒ ඉඩකඩ ඔබට නිස් පාසුවේ ගත කරන්නට පරිසරයක් මවා දෙනවා. දේපල වෙළඳාම් කටයුතුවල යෙදුණු ඔහු සමාජ වගකීමක් සේ සලකා මේ දේපළ සමග ලොස් ඇන්ජලිස් ගඟ දිගේ පිහිටි තවත් අක්කර දාහක්(1000)  ලොස් ඇන්ජලිස් නගරයට තෑගි කර තිබෙන බව කියැවෙනවා.  



ග්‍රිෆිත් ජේන්කින්  ග්‍රිෆිත් ගැන වැඩි විස්තර මේ දිගුවෙන් ඔබට කියවන්නට පුළුවන්


https://en.wikipedia.org/wiki/Griffith_J._Griffith



මම ග්‍රීක රඟහල ගාව තිබෙන රථගාලේ වාහනය නවත්වලා අවට පරිසරය බලමින් කිලෝමීටර් දෙකකට කිට්ටු පා ගමනකට සූදානම් වුණා . තාමත් වෙලාව උදේ නමයයි. මධ්‍යස්ථානය විවෘත කරන්නේ උදේ දහයට හින්දා තව පැයක් තියෙනවා. අවට වටපිට බලාගෙන ජනප්‍රිය හොලිවුඩ් සලකුණ දිහාත් බලාගෙන නිවිහැනහිල්ලේ  ඒ උද්‍යානය තුල ඇවිදලා සේයාරූ මතක එකතු කරගන්නයි මම හිතුවේ. වාහනය නවත්වපු තැන ඉඳන් ෂටල් බස් එකකින් හරි  ග්‍රිෆිත් මධ්‍යස්ථාන රථගාලේ  හෝ ඒ කිට්ටුව පාර අයිනේ මුදල් ගෙවා වාහනය නවත්වලා මේ  මධ්‍යස්ථානයට යන්නත් ඔබට පුළුවන්. සඳුදා දිනයේ දී මෙය වසා තැබෙනවා. ඒත් සතියේ අනෙකුත් දින හයේම මෙය මහජනයා සඳහා විවෘතයි, විශේෂයෙන්ම කිව යුතු දේ නම් ග්‍රිෆිත්   භාරයේ අදහස් අනුව මෙහි පොදු මහජන අංශ බලන්නට  ඔබ කිසිදු මුදලක් ගෙවිය යුතු නැහැ කියන එකයි.






Mount Hollywood වල දකුණු බෑවුමේ  තියෙන මේ පරිශ්‍රය බොහෝ ඈතකට පෙනෙනවා. ඒ වගේමයි ඉදිකිරීම් නැති විශාල බිම් කඩක් නිසා එහි උද්‍යානයට වගේම ඉහල මාලයට ගියාම ඔබටත් නගරය බොහෝ දුරක් ආසාවෙන් විඳින්නට පුළුවන්.  1935 දී විවෘත වූ දා පටන් ලොව දස දෙසින් මිලියන 85 කට වඩා වැඩි පිරිසක් මෙය බලන්නට පැමිණ තිබෙන බවයි අන්තර්ජාලය කියන්නේ.  අඩි 176 ක් දිග අඩි 236 ක් පළල මේ ගොඩනැගිල්ලේ ප්‍රධාන ගෝලාකාර කොටස(Dome )  අඩි 77ක් උසයි. දෙපසින් පිහිටා තිබෙන සමමිතික කුඩා ගෝලාකාර කොටස් අඩි 55 ක් බැගින් උසයි.  ඒවායේ මහජන ප්‍රදර්ශනය සඳහා යෙදවෙන අගල් නවය හමාරක සහ අඟල් දොළහ ප්‍රමාණයක  කාච සහිත දුරෙක්ෂ දෙකක් තිබෙනවා. 




 කැමති අයට ඒවා ගැන වැඩි තාක්ෂණික විස්තර මේ දිගුවෙන් කියවන්නට පුළුවන්


https://griffithobservatory.org/exhibits/telescopes/zeiss-telescopes/



ග්‍රිෆිත් මධ්‍යස්ථානය



අභයවකාශ නිරීක්‍ෂණ කටයුතු පිළිබඳව ව්‍යාපාරික ග්‍රිෆික් තුළ උනන්දුවක් තිබුණේ වෝල්ටර් සිඩ්නි ඇඩම්ස්  ( Walter Sydney Adams ) ජෝජ් ‍හේලි ( George Ellery Hale ) සමඟ මේ කඳු මුදුනේ සිට කළ ආකාශ වස්තු නිරීක්ෂණ කටයුතු නිසා. ජනතාව සඳහා නොමිලේ බලන්නට පුළුවන් දුරේ ක්ෂයක් එක්ක අපූරු ගොඩනැගිලි සැලසුමක් ඔහු සතුව තිබුණා. ඔහුගේ අවසන් කැමති පත්‍රය මගින් පිහිටුවා තිබූ  ග්‍රීෆිත් භාරයේ ( Grifith Trust)  මුදල් යොදවා ගනිමින් 1933 ජුනි 30 වැනිදා  මේ ගොඩනැගිල්ල ඉදිකිරීම පටන්ගෙන තිබෙනවා.  ජෝන් සී  ඔස්ටින් ( John C Austin) සහ ෆෙඩ්රික් එම් ඈශ්ලේ

( Fedrick M Ashley) යන දෙදෙනා මෙහි ගෘහ නිර්මාණ ශිල්පීන් වෙනවා.  ඔවුන්ට ඒ සඳහා රසල් ඩබ්ලිව් පෝටර්( Russel W Porter)  ඇඳි සැලසුම් උපකාරී වූ බව කියවෙනවා රසල්ගේ ඒ සැලසුම් ග්‍රිෆිත්ගේ මූලික  අදහස් අනුව ඇඳි ඒවා බවයි කියවෙන්නේ.


John C Austin Fedrick M Ashley





Russel W Porter




වර්ග අඩි 67,000 දෙමහල් ගොඩනැගිල්ලක් වන මෙය ආකාශ වස්තු නිරීක්ෂණාගාරයක්,  ග්‍රහලෝකාගාරයක් වගේම මහජන ප්‍රදර්ශනය සඳහා වෙන් වුණු සුවිසල් ශාලා කිහිපයක් ඇති තැනක්.  වහලය මතට නැගිලා ඔබට අවට නිරීක්ෂණය පුළුවන් වගේම උද්‍යානය පුරා ඇති විවිධ දේ බලන්නත් පුළුවන් . 2002-2006  කාලයේදී මෙය තවත් පහසුකම් සහිතව නවීකරණය කෙරුණේ වර්තමාන අවශ්‍යතාවලට අනුකූලවයි.



Samuel Oschin Planatarium



ග්‍රීෆිත් මධ්‍යස්ථානයේ තිබෙන ග්‍රහලෝකාගාරය වන මෙය ආසන 290 ක ධාරීතාවයෙන් යුක්තයි. මෙහි දර්ශන ඉදිරිපත් කරන්නේ සෙයිස් ස්ටාර් ( Zeiss Star)  ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින්.  ඇලුමිනියම් වලින් තැනූ ගෝලාකාර වහලයට ප්‍රක්ෂේපණය කරන දසුන්, දියුණු ශබ්ද උපකරණ සහ සුවපහසු ආසනවල සිට විනාඩි හැටේ සිට අනුව ( 60,90) දක්වා කාලසීමාවක් තුළ ඉදිරිපත් කෙරෙන දර්ශන සඳහා ඔබට මුදල් ගෙවා ටිකට් පතක් ගන්නට වෙනවා. මේ  වන විට ඔවුන් දර්ශනවාර ලක්ෂයකට වඩා ප්‍රදර්ශනය කර තිබෙන බවත් ඉන් අටදාහකට වඩා වැඩි ප්‍රමාණයක් එහි සිටි කීර්තිමත්  අධ්‍යක්ෂක ක්ලැරන්ස් ක්ලෙමින් ෂෝ ( Clarence Cleminshaw) විසින් ඉදිරිපත් කළ ඒවා බවත් කියවෙනවා. 




Exhibits



Wilder Hall of the Eye Exhibits
























මිනිසා ආකාශ වස්තු දෙස බලන්නට පුරුදුවුණු අතීතය සහ විශ්වය ගැන ඉදිරිපත් වූ විවිධ මත , ඇසින් පටන් ගන දුරේක්ෂ හරහා ආකාශ වස්තු නිරීක්ෂණය කරන අයුරු.  Palomar දුරේක්ෂ සහ කැමරා වර්ගත්  මේ ප්‍රදර්ශනාගාරයේදී ඔබට දකින්නට පුළුවන්.



රැහැන් රහිත විදුලි ප්‍රවාහනය ගැන කියැවෙන ප්‍රමුඛතම නාමය වන නිකොලා ටෙස්ලාගේ  ( Nikola Tesla ) ටෙස්ලා කොයිල් සංකල්පය යටතේ 1910 දී  Earle Ovington අතින් නිමැවුණු  ටෙස්ලා කොයිල් එකකුත් ඔබට මෙහිදී දකින්නට පුළුවන්.


Ahmanson Hall of the Sky




සෞරග්‍රහ මණ්ඩලයේ හිරු ,සඳු සහ තරු ගැන ප්‍රදර්ශන භාණ්ඩ වගේම සූර්ය දුරේක්ෂත් මෙහි තිබෙනවා. දිවා සහ  රාත්‍රී කාල උදාව,  සඳ ගමන සහ අපට කලින් කල සඳ දිස්වෙන ආකාරය ටයිම් ලැප්ස් චිත්‍රපට මෙහිදී ඔබට දකින්නට පුළුවන්. 



 ප්‍රවේශපත්‍ර කවුළුව,  ප්‍රධාන දොරටුව අද්දර තිබෙන රොටුන්ඩා සිවිලිම  හරිම ආකර්ෂණීය එකක්. 



රාත්‍රියකට ඔබ මේ මධ්‍යස්ථානයට ගියොත් ග්‍රිෆිත්ගේ  ඉල්ලීම අනුව නොමිලේම දුරේක්ෂ මගින් ආකාශ වස්තු නිරීක්ෂණය කරන පහසුකම් ඔබට ලබාගන්නට පුළුවන්.


මෙහි උද්‍යානයත් හරිම දැකුම්කළු එකක්. ඉතා අලංකාරවත් ලෙස සැලසුම් කර තිබෙන මෙහි ඇති කොල පැහැති සාරවත් බව අවට ශුෂ්ක කලාපීය ගස්වලින් පිරි අනෙකුත් ප්‍රදේශ අතරේ කැපී පෙනෙනවා. එහි තිබෙන Astonomers Monument එක ඉතිහාසයේ විවිධ යුගවල අභ්‍යවකාශ නිරීක්ෂණ සහ සෞරග්‍රහ මණ්ඩලය සහ විශ්වය ගැන විවිධ මතවාද අදහස් පලකල විද්වතුන් 6 දෙනෙකුගේ නිරූපනයක්. ඒ හය දෙනා වන්නේ Hipparchus, Nicholas Copernicus, Galilio Galilei, Johans Kepler, Isaac Newton, William Herschel.










ලෝකයේ චිත්‍රපට සහ ජනප්‍රිය රූපවාහිනයට  වැඩසටහන් බහුලවම සපයන ඇමෙරිකා එක්සත් ජනපදයේ හොලිවුඩයට නුදුරින් පිහිටා තිබෙන දර්ශනීය සම්පතක් නිසා ලෝකයේ මෙතෙක් බිහිවූ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් විශාල ප්‍රමාණයකට මේ පරිශ්‍රය දර්ශන තල සපයා තිබෙනවා.


දෙවන ලෝක යුධ සමයේ යුධ ගුවන් නියමුවන්ට උපකරණ සහය නොමැතිව තරු ලකුණු වලින් පියාසර කිරීම පුහුණු කිරීම සදහාත්, ඇපලෝ අභ්‍යවකාශ ව්‍යාපෘතිය යටතේ පහුණු වූ අභ්‍යවකාශ ගාමීන්ට විශේෂ පුහුණු කටයුතු වෙනුවෙනුත් මේ මධ්‍යස්ථානය සහ සම්පත් භාවිතා කල බව කියැවෙනවා.    



ඔබටත් ඉඩක් ලැබුනොත් වෙලාව අරගෙන ගිහින් බලන්න කදිම තැනක්.


https://en.wikipedia.org/wiki/Griffith_Observatory



මම ඈත කන්දේ  හොලිවුඩ් සලකුණ බලාගෙන වාහන නැවතුමට යන්න ෂටල්  බස් එකට නැග්ගා 


අනුරුද්ධ වැලිගමගේ 






සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                     සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි




මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි