මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, January 25, 2025

බොන් එකෝ ( Bon Echo) පලාත් උද්‍යානයේ ගිම්හාන නිවසකට යමු

 




















ටොරොන්ටෝ නගරෙ ඉඳන් කිලෝමීටර් 250 ක තරම් දුරකින් පිහිටා තිබෙන බොන් එකෝ පළාත් උද්‍යානය වර්ග කිලෝමීටර 65 තරම්  ඉඩක් ඇති පහසුකම් වලින්  සපිරි තැනක්.





1899 අවුරුද්දේ දොස්තර  වෙස්ටන් ප්‍රයිස් සහ බිරිඳ ෆ්ලෝරන්ස් ඔවුන්ගේ මධුසමය ගතකරන්න නිස්කලංක ප්‍රදේශයකට ගියාලු. ඔවුන් දෙන්නා ඒ ප්‍රදේශයට කෙතරම් ආදරය කරාද කියල කියනවනම්  Mazinaw පර්වතය ඉදිරියේ විලේ එහා කොනේ බිම් කඩක් මිලට අරගෙන පුංචි නවාතැන්පොලක් හදන්න තීරණය කළාලු .  ඇමරිකාවෙ ඒ වෙනකොට තිබුණු ඒ වගේ හෝටල් සැලසුමක් අරගෙන 1901 දී ඔවුන් පනස් දෙනෙකුට නවාතැන් ගත හැකි හෝටලයක් හදලා ඒකට නම තියලා තියෙන්නේ බොන් එකෝ ඉන් ( Bon Echo Inn ) කියලයි.ප්‍රංශ බසින් බොන් එකෝ කියන්නේ හොඳ දෝංකාරය කියන එකයි. විලේ එහා පැත්තෙ තියෙන පෞරාණික සිතුවම් තියෙන පර්වතයෙන් හොඳ දෝංකාරයක් එනවා කියන අරුතින් ඔවුන් ඒ නම තියන්න ඇති.




හෝටලයට සංචාරකය නැවත් තියෙන්නේ ටොරොන්ටෝ හරි මොන්ට්‍රියල් නගරයෙන් හරි උදේම එන දුම්රියෙන් ඇවිත් කලඩාර් කියන දුම්රිය පොලෙන්  බැහැල.  එතනින් අශ්ව කරත්තෙන් බෝට්ටු තොටුපලට ඇවිත් මැසිනොවූ විල දිගේ කිලෝමීටර් 9.5 ක  බෝට්ටු ගමනකින් .  ඉතිහාසයේ සඳහන් වෙන විදිහට හවස දෙක විතර වෙනකොට කෝච්චිය කලඩාර් දුම්රියපොළට එනවලු, එතැන සුදානමින් තියෙන අශ්ව කරත්ත වලින් කිලෝමීටර් 35 ක් විතර දුරින් තියෙන බෝට්ටු තොටුපළට යනවලු. ඊට පස්සෙ ගමනට තිබුණු බෝට්ටු දෙකේ නම් වුනේ  Wanderer. සහ Tuttle.   කියලයි. එතකොට අමුත්තෝ හෝටලයට යනකොට හවස හතර විතර වෙලා තේ බොන වෙලාව වෙලා තිබුණලු.  




තට්ටු තුනක හෝටලයක් වුනු Bon Echo Inn. එකේ උඩ තට්ටුවල අමුත්තන් සඳහා වෙන්වූ  කාමර ටික තිබිලා තියෙනවා. කෑම කාමරය අමුත්තන් රැස් වන කාමරය,  පිළිගැනීමේ කාමරය,  කුස්සිය තිබිල තියෙන්නෙ පහළම තට්ටුවේ. හෝටලයේ පිටිපස්සෙ ඉඩකඩේ වැවූ  එළවළු වගේම ප්‍රදේශයෙන්ම  සපයා ගත් කිරි, බිත්තර, මස් සහ පලතුරු අමුත්තන් සඳහා ලැබුණු නිසා අමුත්තන්ට මේ අත්දැකීම නැවුම් එකක් වෙන්න ඇති . ටිකක් ඉහළ මිල ගණන්වලට සේවය සැලසුන හින්දා මේකට ආව ගිය උදවිය සල්ලිය බාගෙ තිබුණු අය කියලයි කියන්නෙ.





වෙනත් ජනාවාස නැති  පෞද්ගලිකත්වය උපරිමයෙන්ම  තිබුණ ඉඩකඩක් හින්දා වගේම නිදහසේ පීනන්න,  බෝට්ටු පදින්න ඕන තරම් ඉඩ මේ විලේ තියෙන හින්දා අමුත්තන් තමන්ගේ නිවාඩුව හොඳට ගත කළා කියන්න ඔබට මේ පැරණි පින්තූර සාක්කි. ඊට අමතරව අමුත්තන් විලේ එහා පැත්තෙ තියෙන පර්වතයෙහි ආදිවාසීන්ගේ බිත්ති සිතුවම් බලන්නත් කඳු මුදුනට නැඟලා අවට සිරි නරඹන්නත් අමතක කරලා නැහැ.




1910 දී කැනේඩියානු සමාජ ක්‍රියාකාරිනියක වුණු ෆ්ලෝරා මැක්ඩානල්ඩ් ඩෙනිසන්  මේ හෝටලය මිලට අරගෙන Masinaw .පර්වතය මත තමන් ආදරය කළ ඇමෙරිකානු ගත් කතුවර Walt Witman. කවියා ගැන  කැට යමක් කරවලා තියෙනවා. ඒ වගේම කලාකරුවන් සාහිත්‍ය රසකාමින් එකතු වන පරිසරයක් විදිහට මේ හෝටලය නම් දරලා තියෙනවා ඒකට එකතු කරපු එළිමහන් රඟහලත් ඒ සංවාදවලම කොටසක් කියලයි කියන්නෙ .  1928 දී ලෝක ආර්ථික අවපාතනය හමුවේ ඔවුන් මේ හෝටලය වසා දමා තිබෙනවා. 1936 සැප්තැම්බර් මාසේ අකුණු පහරකින් ඇතිවූ ගින්නකින් මේ පරිශ්‍රය පැය දෙකක් ඇතුලත සම්පූර්ණයෙන්ම දැවී අළුගිය අලුවී ගිය බවයි සඳහන් වන්නේ.  එතන යන්තමින් හරි ඉතුරු වුණේ හෝටලය බලා ගත්ත පාලිකාවගේ නිල නිවාසය විතරයි.  අදත් ඔබට කැමතිනම් එම නිල නිවාසය කුලියට අරගෙන රැයක් හෝ රැය කිහිපයක් ගත කරන්නට පුළුවන්.




 Walt Witman



Flora Macdonald Denison


                                                                                                        

1955 දී  ඔන්ටාරියෝ පළාත විසින් සම්මත කළ පනතක් මගින් පළාතේ පරිසර සංරක්ෂණ බිම් රැසක් පළාත්  උද්‍යාන ලෙස නම් කෙරුණ එම අවස්ථාවේදී ඩෙනිසන් පවුලේ අය විසින් මේ බිම් කඩ රජයට ලබා දුන් බව සඳහන් . ඒවගේම 1982  දී Masinaw Pictographs . කැනඩාවේ ජාතික උරුම පරිශ්‍රයක් ලෙස නම්කර තිබෙනවා.




මේ විස්තර කියවා තිබූ අපි ගිය අවුරුද්ද ගිම්හාන කාලෙ මේ උද්‍යානයට ගියේ දින කීපයක් ගතකරන්නයි.  කඳවුරු බිම් වලට සම්බන්ධ වැසිකිලි සහ නාන කාමර භාවිතයේදී ඇතිවන ගැටළු නිසා අපි තීරණය කළේ උද්‍යානය විසින්ම ඉදිකළ ගිම්හාන  නිවාස කිහිපයක් කුලියට අරගෙන එහි කාලය ගත කරන්නයි . හරියටම  මාස හයකට කලින් අන්තර්ජාලයෙන් එම විවෘත කිරීම් පටන් ගත්ත ගමන්ම අපි කණ්ඩායම එහි තිබුණු  ගෙවල් කිහිපයක් වෙන් කරගත්තා.


ඉතිහාස පුවතේ සඳහන් වෙච්ච ආකාරයටම ප්‍රයිස් යුවළ දැක්ක වගේම නැති  වුණත් තවමත් මේ බිම් කඩ නිස්කලංක ලස්සන තැනක්. අපි ගතිකළ දින කිහිපය තුළ බෝට්ටු පදින්න,  ඇවිදින්න වගේම නගරයේ කලබලකාරී බවින් මිදිලා අපිත් එක්ක එක ගිය පවුල් කීපයේ අය එක්ක හොඳ කාලයක් ගත කරන්නට අපට පුළුවන්කමක් ලැබුණා.




මේ වන විට පළාත් ආණ්ඩුව මේ උද්‍යානය තුළ  තාවකාලික නිවාස වර්ග කිහිපයක්,  කඳවුරු බිම් , බෝට්ටු කුලියට දෙන මධ්‍යස්ථානයක්,  පර්වත චිත්‍ර සහ කඳු මුදුනට යන අය වෙනුවෙන් වෙනමම බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කරනවා. ඒවගේම දිනක කාලයකට යන්නට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් වෙන්කළ වෙරළ තීරයකුත් තියෙනවා. කැමති අයට තමන්ගේ   බෝට්ටුව ගෙනෙත් බෝට්ටු පදින්නත් පුළුවන් පහසුකම් මෙහි තිබෙනවා.  පැරැණි හෝටලය තිබුණු ස්ථානයේ  කුඩා කෞතුකාගාරයක් වගේම  පැරැණි රඟහල තිබූ ස්ථානයේ විශාල එළිමහන් රංගශාලාවක් ඉදිකර තිබෙන්නේ යන එන අයට වෙනස් අත්දැකීම් ලබන්නයි.





වැඩිපුර  ඉතිහාස විස්තර බලන්න කැමති අයට මේ බ්ලොග් දිගුව තුළින් ඒ ගැන කියවන්න පුළුවන්

https://blog.ontarioparks.ca/bon-echo-inn/


අප නවාතැන් ගෙන සිටි කුඩා නිවහන හා සමාන නිවහනක් ගැන  මේ වීඩියෝවෙන් අදහසක් ගන්නත් පුළුවන්




වැඩි විස්තර සහ වෙන්කරවා  ගැනීම සඳහා මේ දිගු භාවිතා කරන්නත් පුළුවන්

https://en.wikipedia.org/wiki/Bon_Echo_Provincial_Park

https://www.ontarioparks.ca/park/bonecho




 සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                     සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි


Saturday, January 18, 2025

කතා කරන පින්තූර - අපි පුංචි කාලේ


 


පහුගිය දවසක මුහුණු පොතේ පිටු දිගේ යද්දී කෘතීම බුද්ධියෙන් ඇදී චිත්‍ර වගයක් වගේම අතින් ඇදී සිතුවම් එකතුවක් තිබුනා.











ඒවායේ තිබුනේ අපි පුංචි කාලෙ කල විවිධ ක්‍රියාකාරකම් . ඒවට සෙල්ලම් , දඟවැඩ , මරුසි වැඩ ඔය ඕන එකක් කියන්න පුළුවන්.

සම්පත් අඩු , නිදහස සහ කාලය ඕන තරම් තිබුණු ඒ කාලෙ අද ළමයින්ට වගේ සල්ලි , මෙවලම් නැති වුනත් අහල පහලින් හොයා ගත්තු දේවල් එක්ක මොනවා හරි අටවගෙන කරන්න තිබුණු හුරුව කිසි දෙයක් දන්නෙ නැතුව මේ රටවලට ඇවිත් ජීවිතය ගෙනියන්න කදිම අත්වැලක් වුනාද කියලත් හිතෙනවා .  

මේ සමහරක් ඉන්දියානු පරිසරයක චිත්‍ර  වුනත් අපේ සමාන බවට ඉන් බාධාවක් නැහැ නේද ?

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Facebook Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

Saturday, January 11, 2025

මගේ සීටීබී බස් මතක

 


මේ  සටහන ලියන්නට පදනම වැටුණේ මම සහෝදර එකනොමැට්ටාගේ බොජුන්හල බ්ලොග් අඩවියේ ලිපියකට දැක්වූ ප්‍රතිචාරයකට ඇනෝ කෙනෙක් එකතු කල සටහනක්. 

 මේ එම ප්‍රතිචාරය සහ ඇනෝ ගේ සටහන

අනුරුද්ධ වැලිගමගේJanuary 3, 2025 at 8:49 AM

ප්‍රායෝගික කියැවීමක්. ඉස්සර ලංගම බස් ගත්තෙත් ඔය විදිහටම කියල අහල තියෙනවා

. උඩරට ඩිපෝවලට ටාටා , දකුණට ලේලන්ඩ්, කොළඹට ඉසුසු. එතකොට ඒ

ඒ ඩිපෝ වල වගේම ප්‍රාදේශීය වැඩපල වල ඒ වෙනුවෙන් මනා දැනුමක් තියෙන

පිරිසක් වගේම අමතර කොටස් ගන්න විදිහට පහසු විදිහක් තිබුණාලු.

තවත් වටිනා අදහසක්.

AnonymousJanuary 3, 2025 at 9:04 PM

@ අනුරුද්ධ

ප්‍රායෝගික නෙවෙයි ඉකොනොමැට්ටා ලියපු මේ කරුණු සියල්ලම තනිකරම කිසිම

අවබෝධයකින් තොරව ලියපු මනස්ගාත ටිකක්. ප්‍රායෝගික භාවිතය ඔයිට

වැඩිය ගොඩක්ම වෙනස්.

මේ උදාහරණ සේරම ප්‍රායෝගික භාවිතය තුල සම්පූර්ණයෙන්ම වැරදියි.

ඕන නම් එකින් එක ගෙන පැහැදිලි කරන්න පුළුවන්.

මුලින්ම ඔයා මේකේදී ගත්ත උදාහරණය ගත්තොත් ලංගම බස්රථ ගත්තම

කොළඹට ඉසුසු දකුණට අශෝක් ලේලන්ඩ් උඩරටට ටාටා ගත්තා

කියලා කියන හේතුව සම්පූර්ණයෙන්ම වැරදියි.

ලංකාවේ සාමාන්‍ය පොදු ප්‍රවාහනයට ගන්නා සියලුම බස්රථ ගත්තොත්

ඉන් අතිශය බහුතරය අශෝක් ලේලන්ඩ් වයිකිං බස්, ඉතුරු ටික ටාටා

1510/1512 බස්. ඔය දෙක තමයි ප්‍රධාන ඒකට හේතු ගොඩක්ම තියෙනවා

, කඳුකර ප්‍රදේශවල ටාටා 1512 බස් ජනප්‍රිය ඒකේ කමින්ස් 6BT 5.9L

එන්ජිමේ torque එක වැඩි නිසා ඒක කඳුකර ප්‍රදේශවල කඳු අදින්නට

හොඳ උනත් වයිකිං හීනෝ H සීරීස් එන්ජිම වගේ තැනිතලා ප්‍රදේශවල

efficiency smooth acceleration fuel economy එක සහ මේන්ටෙනන්ස්

අතින් සාර්ථක මදි නිසා බහුතර තැනිතලා ප්‍රදේශවල භාවිත වෙන්නේ

ඉතාමත්ම අඩුවෙන්. මේක පෞද්ගලික අංශයේ බස් වලටත් පොදුයි,

ටාටා තැන්නේදී හරිම uncomfortable low efficiency and comparatively

higher maintenance වියදම නිසා කන්දට විතරයි සාර්ථක

ලංගම බස්රථ ගත්තමත් ඒවගේම තැනිතලා ප්‍රදේශවල අශෝක් ලේලන්ඩ්

වයිකිං, කඳුකර ප්‍රදේශවල ටාටා වෙන්නේ එහෙම.

කොළඹට ඉසුසු කියන කතාව ඇත්ත නෙමෙයි. ඇත්තටම ලංගම ඉස්සර

තිබුණා ඉසුසු ELR500 කියන දිගුදුර ඉන්ටසිටි බස්, ඒවා 1980/90 දශකවල

අපි උපදින දවස්වල දුවපුවා, දැන් එච්චරම දකින්න ලැබෙන්නේ නෑ, ඒවා

කොළඹ විතරක්ම නෙවෙයි රට පුරාම විවිධ ඩිපෝවලට දීලා තිබුණා

දිගුදුර වේගවත් ධාවනයට, ඉන්ටසිටි බස් විදියට, ඒත් ලංකාවේ එකල තිබ්බ

රළු පාරවල ඒවායේ දුනු නිතර කැඩීම සහ සෙනඟ වැඩිපුර පැටෙව්වාම

චැසියට හානි සිදුවුණා ඒවායේ රේටඩ් බරට වඩා සෑහෙන වැඩිපුර සෙනඟ

පටවන්න බෑ ඉන්දියන් බස් වලට වගේ

ඒකට ඇත්ත හේතුව අශෝක් ලේලන්ඩ් වල maintenance වියදම අඩුයි දොර

දෙක තියෙන විදිය ඉන්ජිම කාර්යක්ෂමයි.

ටාටා සහ අශෝක් ලේලන්ඩ් දෙකේ මහලොකු Maintenance කරන්න අමුතු

රොකට් තාක්ෂණය nuclear රියැක්ටර් තාක්ෂණය ඕන නෑ, ඔය දෙකේම

එන්ජින් වල මහාලොකු සංකීර්ණ වෙනස්කම් නෑ, අනෙක් පද්ධති transmission

system, සස්පෙන්ෂන් බ්‍රේක් පද්ධති විදුලි පද්ධතියට වගේ මහාලොකු

වෙනස්කම් නෑ. සාමාන්‍ය තාක්ෂණික දැනුම ඇති technicianලාට හදන්න

පුළුවන්. එන්ජිමේ සුලු වෙනස්කම්වලට, clutch දෙක ටාටා එකට වඩා Leyland

එක ටිකක් ලොකුයි Dia, ටාටා 5 ස්පීඩ් ගියර්බොක්ස්, Leyland 6 speed දෙකේම

එයාර් බ්රේක් බොහෝ සමානයි, ටාටා suspension වල රබර් එන්ඩින් එනවා,

ටාටා විදුලි පරිපථ පද්ධතිය ඩෑෂ් බෝඩ් analog ලේලන්ඩ් එකේ ඩිජිටල් ඔය

වගේ සුළු වෙනස්කම් හැර මහලොකු වෙනසක් නෑ



1973 අග භාගයේදී උපන් මට මගේ මතක අතරට සිටීබී බස් රථ එකතු වන්නේ ජීවිතේ කලින් කලට

විවිධ ප්‍රදේශවල ජීවත් වන විටයි. මම තාක්ෂණික තොරතුරු ගැන එතරම් දැනුමක් නැති නමුත්

වාහනවලට ඇල්මක් දක්වන කෙනෙක්. මේ සටහනට එකතු කර තිබෙන්නේ මේ වන විට

අන්තර්ජාලයෙන් සොයා ගත් සමහර තොරතුරු සහ සේයාරූ කිහිපයක් සමග මාගේ මතක.

ඒ කාලයේ ඒ බස් වර්ගවල මොඩල් ගැන මට දැනුමක් නොතිබූ නිසා මෙහි සටහන් ක‍රන්නේ

අන්තර්ජාලයේ ඇති මාදිලි වල නම් බව කරුණාවෙන් සලකන්න.  

1978 -  1982  අතර කාලයේදී අපි ජීවත් වුණේ කුරුණෑගල කහදවැලිපොත කියන ගමේ.  කුරුණෑගල

මලියදේව විද්‍යාලයේ ප්‍රාථමික පංති වල ඉගෙන ගත්  මම බොහෝ වෙලාවට පාසැල් ගියේ

කුරුණෑගල දකුණ ඩිපෝවෙන් ධාවනය වූ මාර්ගා අංක  564 යටතේ ධාවනය වුණු බස් රථවල. 

ඒ කාලේ කුරුණෑගල දකුණ ඩිපෝවෙන් ධාවනය වුණු දොර දෙකේ මර්සිඩීස්  බෙන්ස් op312

වර්ගයේ බස්  මට මතක බණ්ඩත්තා  හින්දයි. බණ්ඩත්තා  කියලා කියන්නෙ අපට නෑදෑ වෙන

මේ මාර්ගයේ බසයක් පැදවූ රියැදුරු මහතෙක්. ඒ මතකය ඇසුරින් මා ලියූ කෙටි කතා මතකය යි මේ.


සිඩ්නි නුවරින් මතු වූ කුරුණෑගල දකුණ ඩිපෝවේ බස් රිය

https://ahasgawwenehalokaya.blogspot.com/2021/11/blog-post_13.html



ඊට අමතරව එම මාර්ග අංකයේම ලංගම  විසින් පොඩි ගැසූ දොර දෙකේ මර්සිඩීස් බෙන්ස්  එල් පී 322 

බස්රථ කිහිපයක් ධාවනය වූ  බවයි මට මතක.ඒ  කාලයේ කුරුණෑගල දකුණ ඩිපෝවේ තනි දොර ටාටා

එල් පී 1113/42 බස් රථත් තිබුණු බව  මතක ඒවා කුරුණෑගල බස් නැවතුම්පල පරිශ්‍රයේ ගාල්කර තිබුණු

හන්දයි.  ඒ වගේම මහනුවර,  කෑගල්ල වැනි කඳු සහිත මාර්ග ඇති නගරවලින් කුරුණෑගලට ආ බස් රථ

බොහොමයක් ටාටා මාදිලියේ ඒවා වූ බවයි මතකයේ තියෙන්නේ.බොහෝ විට තැනිතලා ප්‍රදේශවල

මාර්ග ධාවනය භාරව තිබුණු කුරුණෑගල උතුර දිපෝවට තිබුණේ දොර දෙකේ ඉසුසු බීඑෆ් 50 ලංගම

බොඩි ගැසූ බස්  බවයි මතක.

1983 - 1990  කාලයේදී අප ජීවත් වුණේ මාතර නගරයේ නිසා බහුලවම එකල අපේ ප්‍රවාහනය සිදුවුණේ

පා පැදි වලින් ඒ නිසා ලංගම බස් මතක වල ගමන් මතක එතරම් නැති වුණත් එකල ඒ ප්‍රදේශය මාර්ගවල

ධාවනය වූ බස් රථ සියල්ලක්ම පාහේ ලේලන්ඩ් කොමට් හා අශෝක් ලේලන්ඩ් දොර දෙකේ බස් බවයි මතක.

ලංගම මගම වෙලා දියාරු වෙලා යද්දී ඉසුසු ජර්නි ඒසී බස්රථ, විවිධ වර්ගවල  පෞද්ගලික බස්

රථ මාර්ග ආක්‍රමණය කරනකොට ලංගම බස් පණ ඇද ඇද පාරෙ දිවූ මතකත් තියෙනවා.

නිල ඇදුම් , විනයක් තිබුණු සේවක පිරිසක් සේවය සැලසූ බස් සේවය සුළු ව්‍යාපාරික

පිරිසකගේ බිස්නස් එකක් බවට පත්වෙලා මගියා රුපියල් ගාණක කෑලි බවට පත්වුණේ

ඔය කියන වකවානුවේදී තමයි. එහෙම අමාරුවෙන්  දිවූ බස්  කිහිපයෙන්  බහුතරයක්

1987 දී අත්සන් තැබුණු ඉන්දීය  සාම ගිවිසුමට විරෝධය පාමින්  පටන් ගත් රාජ්‍ය

විරෝධය හමුවේ දේශප්‍රේමී ව්‍යාපාර නාමයෙන් තැනින් තැන ගිණි තැබුණු නිසා

අන්තිමේදී ඉතුරු වුණේ බොහොම සුළු බස් රථ ගණනක් විතරයි. 

මේ  කතාවට පාදක වන්නේ ඒ කාලය ගැන ලියැවුණු මතක එකතුවක් 

දෙකොන විලක්කුව සමග අතීතයට .........

https://ahasgawwenehalokaya.blogspot.com/2022/02/blog-post.html


ආයෙමත් ලංගම බස් මතක මගේ ජීවිතේට එකතු වුනේ 1990 -1992 කාලයේදී වත්තල මාබෝල

ප්‍රදේශයට පදිංචියට ආවට පස්සේ. රජය සේවකයන් වුණු මගේ දෙමාපියන් අපට අරගෙන දුන්නු

සීසන් එකත් අරගෙන කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයට යන්න උදෙන්ම පාරට බහින්න

උනේ ඒ වෙනකොට ලංගම දියවෙලා පෞද්ගලික බස් බුරුතු පිටින් පාරට වැටිලා තිබුණු කාලේ.

ඩී.එස් එකට රද්දොළුගම නිවාස සංකීර්ණයේ ඉදන් ජාඇල ඩිපෝවෙන් බස් එකක් තිබුණත් ඒක 

කවදාවත් විශ්වාස කරන්න පුළුවන් සේවයක් තිබුණු එකක් නෙමෙයි. ඒ හින්ද අපි කලේ මීගමුව

කොළඹ 240 මාර්ග අංකය  යටතේ තිබූ ලටෙක් කහ පාට බස් වලින් තොටළඟට ගිහින් එතැනින්

මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වුනු  මාර්ග අංක 178 නාරාහේන්පිට  බස් එකක් හරි වැලිසර

ඩිපෝවේ මාර්ග අංක 104 යටතේ ධාවනය වුනු  බස් එකක් හරි ගන්න එකයි. වැලිසර    ඩිපෝවේ

තිබුණේ පරණ ඉසුසු  බීඑෆ් 50 වගේ  බස් වගෙ තමයි මතක.මට්ටක්කුලිය ඩිපෝවෙත් ඒ වගේ බස්

රථ ගොඩක් තිබුනා. ඒ වගේම දුර ගමන් යන බස් වලට යෙදවුනු අශෝක ලේලන්ඩ්  බස් උදේට

නාරාහෙන්පිටට ගිහින් පිටකොටුවට දිවූ වෙලාවලුත් තිබුණා. ඒ වෙලාවට නං අපට අලුත් බස්

රථයක හොඳින් යන වාසනාව ලැබුණා.




සමහර වෙලාවට අපි ජාඇල   ඩිපෝ එකේ බස් එකකින් කැලණිතිස්ස බලාගාරෙ ගාවට ඇවිත්

එතනින් කඩවත ඩිපෝ එකේ මාර්ග අංක 154 යටතේ ධාවනය වන බස් එකක් හරි රත්මලාන

ඩිපෝ එකේ 154 බස් එකක් හරි ගත්ත වෙලාවලුත් තිබුණු බව මතකයි ඒ දවස්වල සීසන් ළමයි

දකින බස් නවත්වන්නෙ නැතුව යන පුරුද්දකුත් තිබුණා ඒ හින්දා  සීටීබී බස්‌ ගමන සුභදායී

එකක් නම් වුනේ නෑ.

ජපානයෙන් ගෙන්වූ ඔටෝගියර් ඉසුසු බස් අපට හමුවුණේ 154 කඩවත ඩිපෝ  පාසල් බස් එකේ 

වගේම ටියුෂන් පන්ති යන්න නූගේගොඩට යද්දී අපි ගොඩවුනු උඩහමුල්ල ඩිපෝවේ මාර්ග අංක

176 පාසල් බස් එකට ඒවා යොදවල තිබු නිසයි.


වත්තලින් රත්මලාන්ත ගියාට පස්සේ බස් භාවිතය අඩු වෙලා අපි පොදු ප්‍රවාහනයට යොදාගත්තේ
දුම්රිය. ඒ  ගැන මතක වෙනත් සටහනක ලියන්නම්.උසස් අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවට ගියාට
පස්සෙ ලංකාවෙන් කැනඩාවට සංක්‍රමණය වෙනකන් යතුරුපැදි සහ මෝටර් රථ මගින් ප්‍රවාහනය
සිද්ධ වුන නිසා ලංගම බස් මතක ජීවිතයට එකතු වුණේ අඩුවෙන්.

ලංගම බස් ගැන සවිස්තරාත්මක තොරතුරු ගැන මේ බ්ලොග් අඩවියෙන් තොරතුරු දැනගන්න පුළුවන්

 

https://sltbbus.blogspot.com/


අමල් කුමාරගේ සම්මානිත මහාචාර්යතුමා විස්තර කරන විදියට ජන ඝනත්වය වැඩි, ඛනිජ තෙල්

ආනයනය කරන රටක් වන ලංකාවට ගැලපෙන්නේ පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම හින්දා බලයට

පත්වුණු අලුත් ආණ්ඩුව ඒ ගැන කටයුතු කරොත් අමාරුවෙන් එකතු කරගන්න  ඩොලර් ටික පරිස්සම්

කරගන්න වගේම හිතට කරදරයක් නැතුව කාට වුණත් එදිනෙදා ගමන් බිමන් යන්න පුළුවන් රටක් බිහිවේවි. 

කැමති කෙනෙකුට මේ යූ ටියුබ් දිගුවෙන් ඔහු විස්තර කරන තොරතුරු දැනගන්න පුළුවන්



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි