මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 8, 2025

යූ ටියුබයෙන් ඔබටත් බැලිය හැකි වෙනස් චැනල කිහිපයක්



ඉඩ ලැබෙන වෙලාවලදී මම ගොඩවෙන යූ ටියුබ් චැනල කිහිපයක් ගැන ලියන්න හිතුවා. මේ පොඩ් කාස්ට් හරහා ඔවුන් කුමන මතයක් ගොඩනගන්නට යනවාද ? ඒවායින් කරන දේශපාලනය මොකක්ද ? කියන කාරණා වලින් ඔබ්බට ගිහින් දැනුවත් වෙන එකයි මම කරන්නේ. ඒවායේ බොහෝ වැඩසටහන්  බලා තිබුණත් ඒවා අන්ධ භක්තියෙන් බදා ගන්නට හෝ ඒවාට කඩේ යන්නට මම සුදානම් වෙන්නේ නැහැ. ඔබත් කැමති නම් විතරක් අහල බලන්න.




Asian Mirror


මේ යූ ටියුබ් අඩවිය එකිනෙකට වෙනස් වැඩසටහන් රැසක් සතිපතා යූ ටියුබ් අවකාශයට මුදා හරිනවා. ඒවායේ සම්පත් දායකයින් ලෙස විවිධ ක්ෂේත්‍රවල දැනුම ඇති පිරිසක් එක්ව සිටිනවා. පාඨලී  චම්පික රණවක ( ලෝක දේශපාලනය ), නාලක ගුණවර්ධන ( පරිගණක තාක්ෂණය ආශ්‍රිත සන්නිවේදනය ), ධනනාත් ප්‍රනාන්දු ( ආර්ථිකය), රසික ජයකොඩි ( ශ්‍රී ලංකා දේශපාලනය ) , චාමර සුමනපාල ( විවිධ විෂයන්) ඉන් ප්‍රධානයි. ඒ සම්පත් දායකයින්ම සමහර වැඩසටහන් මෙහෙයවනවා.  වැඩසටහන්  මෙහෙයවන යුරේශනී ගැටරළුව සිත් ගන්නා අයුරින් ඉන් සමහරක් ඉදිරිපත් කරනවා.


මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු 


කැනඩාව, ග්‍රීන්ලන්තය, පැනමා ඇළ අල්ලන ට්‍රම්ප්ගේ මහා සැලසුම! | Patali Champika Ranawaka | Rasika


"බබා බඩට දුන්න නම් ක්ලිනික් එක්කන් යන්න.." | Rasika Jayakody | Yureshani Getaraluwa





Power Hour - ගැමුණු ජයන්ත වන්නිනායක 

මේ යූ ටියුබ් චැනලයත් වෙනස් එකක්. ලංකාවේ ඉතිහාසය, දේශපාලනය සහ විවාදාපන්න මාතෘකා ගැන මෙහි කතාවෙනවා. ගවේෂණාත්මක මාධ්‍යවේදී නන්දන වීරරත්න,  කැකිරාවේ සුදස්සන හිමි , ද්‍රවිඩ මාධ්‍යයෙන් ගවේෂණාත්මක කටයුතු රැසක් කල එස් මනෝරන්ජන්, ඉන්දික තොටවත්ත සම්පත් දායකත්වය දැක්වූ වැඩසටහන් රැසක් මා මේ වනවිට අසා, බලා තිබෙනවා .      

    

මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු 



දළදාව ගෙනත් ගංගාරාමෙට දෙනවා කිව්වා - POWER HOUR | Gemunu Wanninayake With Nandana Weerarathna



වෙල්ලාල සමාජය හදපු දඩ බල්ලා තමයි LTTE එක - POWER HOUR | Gemunu Wanninayake With S.Manoranjan



I am Abisheka


දේශපාලනය සමග ගැටගැසුණු අපරාධ, නීතිය ගැන කතාවෙන තොරතුරු රැසක් ඇතුලත් වැඩසටහන් රැසක් මා මේ වනවිට අසා , බලා තිබෙනවා. ඒ වුණත් චැනලයේ තවත් වෙනස් විෂය ක්ෂේත්‍රවල අනතර් ගතයන්ද තිබෙන බව දැක තිබෙනවා. ප්‍රියන්ත ජයකොඩි වැනි දක්ෂ පොලිස් නිලධාරීන් සමග ඉසුරු පණ්ඩිත සහ අභිෂේකා ප්‍රනාන්දු කරන වෙනස් වෙනස් ඉදිරිපත් කිරීම් හරිම ප්‍රබලයි.    


මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු 



ලංකාවෙ ඉන්නෙ Drug Dealersලා මිසක් පාතාලයක් නෙමේ


                                                       යුගයක රාවය එසේ නිමාවිය


Global inside with උවිඳු විජේවීර 


ලෝක දේශපාලනය ගැන ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ගේ පුත්  උවිඳු විජේවීර ඉදිරිපත් කරන වෙනස්ම තොරතුරු විග්‍රහයක් මේ චැනලයෙන් බලන්න පුළුවන් .


මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු 


යුද්ධයකට වඩා බිහිසුණු ගෝලීය අනතුරක් | GLOBAL INSIDE with උවිඳු විජේවීර



ලෝක බලවතුන්ගේ ඊළඟ යුද බිම කොතන ද? | GLOBAL INSIDE with උවිඳු විජේවීර


Thilini Perera


නීතිමය කාරණා ගැන සරල සිංහලෙන් ඔබව දැනුවත් කරන වැඩසටහන් සේම ලංකාවේ සිදුවූ විවිධ අපරාධ ගැන විශ්ලේෂණයක යෙදෙන යූ ටියුබ් චැනලයක් ලෙස මෙය නම්කරන්නට පුළුවන්. හිටපු පොලිස් නිලධාරීන් , නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදීන්, බන්ධනාගාර නිලධාරීන් වගේම ජනප්‍රිය නීතිවේදීන් සම්බන්ධ කර ගනිමින් මේ වැඩසටහන් මෙහෙයවන්නේ තිලිණි පෙරේරා.  


මේ එහි වූ වැඩසටහන් කිහිපයක දිගු 


හෝකන්දර හයක් මැරූ අපරාධකරුවන් ඇල්ලුවෙ බිස්කට් ටින් එකෙන් - ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න


මළ සිරුරේ ෆොටෝ එක පෙන්නද්දි අපරාධකරු වෙව්ලුවා | අවිස්සාවේල්ල කාන්තා ඝාතකයා පෝරකයට නියම වූ හැටි

 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images, Pixabay

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි


Saturday, February 1, 2025

ක්‍රිෂ්ණා මෙහෙම කියන්න ඇති




රහස් කියන කඳු අස්සේ මීදුම පුරවා 

වලා පොටේ පාට හැඩට දේදුනු දවටා 

ඔබේ පුරුදු උණුහුමටම ඇඟිලි ගනිනදා 

යමුනාවේ පුරුදු තැනට එනවද රාධා 


ලොවක් කියන දහස් කතා නොමියෙන හන්දා 

අපේ සතුට අපි උකසට තියමුද කිසිදා 

නියම් අනියමක් පෙමකට නොතිබෙන හන්දා 

හුරුම පුරුදු සුව විඳින්න එනවද රාධා 


අක්කා, මල්ලී කිව්වට ඔබ අපි පොඩිවුන්  දා 

ඔබේ රුවට වශී නොවෙද කවුරුන් කවදා

නොදැන නොවෙයි මම කිව්වේ ඔබ මගෙ හැමදා 

හිනා වට්ටියක් අරගෙන එනවද රාධා   


අනුරුද්ධ වැලිගමගේ 





2025 පෙබරවාරි මස ලන්ඩන් කවි කලාපයේ පලවිය. 



විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                     සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි


Saturday, January 25, 2025

බොන් එකෝ ( Bon Echo) පලාත් උද්‍යානයේ ගිම්හාන නිවසකට යමු

 




















ටොරොන්ටෝ නගරෙ ඉඳන් කිලෝමීටර් 250 ක තරම් දුරකින් පිහිටා තිබෙන බොන් එකෝ පළාත් උද්‍යානය වර්ග කිලෝමීටර 65 තරම්  ඉඩක් ඇති පහසුකම් වලින්  සපිරි තැනක්.





1899 අවුරුද්දේ දොස්තර  වෙස්ටන් ප්‍රයිස් සහ බිරිඳ ෆ්ලෝරන්ස් ඔවුන්ගේ මධුසමය ගතකරන්න නිස්කලංක ප්‍රදේශයකට ගියාලු. ඔවුන් දෙන්නා ඒ ප්‍රදේශයට කෙතරම් ආදරය කරාද කියල කියනවනම්  Mazinaw පර්වතය ඉදිරියේ විලේ එහා කොනේ බිම් කඩක් මිලට අරගෙන පුංචි නවාතැන්පොලක් හදන්න තීරණය කළාලු .  ඇමරිකාවෙ ඒ වෙනකොට තිබුණු ඒ වගේ හෝටල් සැලසුමක් අරගෙන 1901 දී ඔවුන් පනස් දෙනෙකුට නවාතැන් ගත හැකි හෝටලයක් හදලා ඒකට නම තියලා තියෙන්නේ බොන් එකෝ ඉන් ( Bon Echo Inn ) කියලයි.ප්‍රංශ බසින් බොන් එකෝ කියන්නේ හොඳ දෝංකාරය කියන එකයි. විලේ එහා පැත්තෙ තියෙන පෞරාණික සිතුවම් තියෙන පර්වතයෙන් හොඳ දෝංකාරයක් එනවා කියන අරුතින් ඔවුන් ඒ නම තියන්න ඇති.




හෝටලයට සංචාරකය නැවත් තියෙන්නේ ටොරොන්ටෝ හරි මොන්ට්‍රියල් නගරයෙන් හරි උදේම එන දුම්රියෙන් ඇවිත් කලඩාර් කියන දුම්රිය පොලෙන්  බැහැල.  එතනින් අශ්ව කරත්තෙන් බෝට්ටු තොටුපලට ඇවිත් මැසිනොවූ විල දිගේ කිලෝමීටර් 9.5 ක  බෝට්ටු ගමනකින් .  ඉතිහාසයේ සඳහන් වෙන විදිහට හවස දෙක විතර වෙනකොට කෝච්චිය කලඩාර් දුම්රියපොළට එනවලු, එතැන සුදානමින් තියෙන අශ්ව කරත්ත වලින් කිලෝමීටර් 35 ක් විතර දුරින් තියෙන බෝට්ටු තොටුපළට යනවලු. ඊට පස්සෙ ගමනට තිබුණු බෝට්ටු දෙකේ නම් වුනේ  Wanderer. සහ Tuttle.   කියලයි. එතකොට අමුත්තෝ හෝටලයට යනකොට හවස හතර විතර වෙලා තේ බොන වෙලාව වෙලා තිබුණලු.  




තට්ටු තුනක හෝටලයක් වුනු Bon Echo Inn. එකේ උඩ තට්ටුවල අමුත්තන් සඳහා වෙන්වූ  කාමර ටික තිබිලා තියෙනවා. කෑම කාමරය අමුත්තන් රැස් වන කාමරය,  පිළිගැනීමේ කාමරය,  කුස්සිය තිබිල තියෙන්නෙ පහළම තට්ටුවේ. හෝටලයේ පිටිපස්සෙ ඉඩකඩේ වැවූ  එළවළු වගේම ප්‍රදේශයෙන්ම  සපයා ගත් කිරි, බිත්තර, මස් සහ පලතුරු අමුත්තන් සඳහා ලැබුණු නිසා අමුත්තන්ට මේ අත්දැකීම නැවුම් එකක් වෙන්න ඇති . ටිකක් ඉහළ මිල ගණන්වලට සේවය සැලසුන හින්දා මේකට ආව ගිය උදවිය සල්ලිය බාගෙ තිබුණු අය කියලයි කියන්නෙ.





වෙනත් ජනාවාස නැති  පෞද්ගලිකත්වය උපරිමයෙන්ම  තිබුණ ඉඩකඩක් හින්දා වගේම නිදහසේ පීනන්න,  බෝට්ටු පදින්න ඕන තරම් ඉඩ මේ විලේ තියෙන හින්දා අමුත්තන් තමන්ගේ නිවාඩුව හොඳට ගත කළා කියන්න ඔබට මේ පැරණි පින්තූර සාක්කි. ඊට අමතරව අමුත්තන් විලේ එහා පැත්තෙ තියෙන පර්වතයෙහි ආදිවාසීන්ගේ බිත්ති සිතුවම් බලන්නත් කඳු මුදුනට නැඟලා අවට සිරි නරඹන්නත් අමතක කරලා නැහැ.




1910 දී කැනේඩියානු සමාජ ක්‍රියාකාරිනියක වුණු ෆ්ලෝරා මැක්ඩානල්ඩ් ඩෙනිසන්  මේ හෝටලය මිලට අරගෙන Masinaw .පර්වතය මත තමන් ආදරය කළ ඇමෙරිකානු ගත් කතුවර Walt Witman. කවියා ගැන  කැට යමක් කරවලා තියෙනවා. ඒ වගේම කලාකරුවන් සාහිත්‍ය රසකාමින් එකතු වන පරිසරයක් විදිහට මේ හෝටලය නම් දරලා තියෙනවා ඒකට එකතු කරපු එළිමහන් රඟහලත් ඒ සංවාදවලම කොටසක් කියලයි කියන්නෙ .  1928 දී ලෝක ආර්ථික අවපාතනය හමුවේ ඔවුන් මේ හෝටලය වසා දමා තිබෙනවා. 1936 සැප්තැම්බර් මාසේ අකුණු පහරකින් ඇතිවූ ගින්නකින් මේ පරිශ්‍රය පැය දෙකක් ඇතුලත සම්පූර්ණයෙන්ම දැවී අළුගිය අලුවී ගිය බවයි සඳහන් වන්නේ.  එතන යන්තමින් හරි ඉතුරු වුණේ හෝටලය බලා ගත්ත පාලිකාවගේ නිල නිවාසය විතරයි.  අදත් ඔබට කැමතිනම් එම නිල නිවාසය කුලියට අරගෙන රැයක් හෝ රැය කිහිපයක් ගත කරන්නට පුළුවන්.




 Walt Witman



Flora Macdonald Denison


                                                                                                        

1955 දී  ඔන්ටාරියෝ පළාත විසින් සම්මත කළ පනතක් මගින් පළාතේ පරිසර සංරක්ෂණ බිම් රැසක් පළාත්  උද්‍යාන ලෙස නම් කෙරුණ එම අවස්ථාවේදී ඩෙනිසන් පවුලේ අය විසින් මේ බිම් කඩ රජයට ලබා දුන් බව සඳහන් . ඒවගේම 1982  දී Masinaw Pictographs . කැනඩාවේ ජාතික උරුම පරිශ්‍රයක් ලෙස නම්කර තිබෙනවා.




මේ විස්තර කියවා තිබූ අපි ගිය අවුරුද්ද ගිම්හාන කාලෙ මේ උද්‍යානයට ගියේ දින කීපයක් ගතකරන්නයි.  කඳවුරු බිම් වලට සම්බන්ධ වැසිකිලි සහ නාන කාමර භාවිතයේදී ඇතිවන ගැටළු නිසා අපි තීරණය කළේ උද්‍යානය විසින්ම ඉදිකළ ගිම්හාන  නිවාස කිහිපයක් කුලියට අරගෙන එහි කාලය ගත කරන්නයි . හරියටම  මාස හයකට කලින් අන්තර්ජාලයෙන් එම විවෘත කිරීම් පටන් ගත්ත ගමන්ම අපි කණ්ඩායම එහි තිබුණු  ගෙවල් කිහිපයක් වෙන් කරගත්තා.


ඉතිහාස පුවතේ සඳහන් වෙච්ච ආකාරයටම ප්‍රයිස් යුවළ දැක්ක වගේම නැති  වුණත් තවමත් මේ බිම් කඩ නිස්කලංක ලස්සන තැනක්. අපි ගතිකළ දින කිහිපය තුළ බෝට්ටු පදින්න,  ඇවිදින්න වගේම නගරයේ කලබලකාරී බවින් මිදිලා අපිත් එක්ක එක ගිය පවුල් කීපයේ අය එක්ක හොඳ කාලයක් ගත කරන්නට අපට පුළුවන්කමක් ලැබුණා.




මේ වන විට පළාත් ආණ්ඩුව මේ උද්‍යානය තුළ  තාවකාලික නිවාස වර්ග කිහිපයක්,  කඳවුරු බිම් , බෝට්ටු කුලියට දෙන මධ්‍යස්ථානයක්,  පර්වත චිත්‍ර සහ කඳු මුදුනට යන අය වෙනුවෙන් වෙනමම බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කරනවා. ඒවගේම දිනක කාලයකට යන්නට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් වෙන්කළ වෙරළ තීරයකුත් තියෙනවා. කැමති අයට තමන්ගේ   බෝට්ටුව ගෙනෙත් බෝට්ටු පදින්නත් පුළුවන් පහසුකම් මෙහි තිබෙනවා.  පැරැණි හෝටලය තිබුණු ස්ථානයේ  කුඩා කෞතුකාගාරයක් වගේම  පැරැණි රඟහල තිබූ ස්ථානයේ විශාල එළිමහන් රංගශාලාවක් ඉදිකර තිබෙන්නේ යන එන අයට වෙනස් අත්දැකීම් ලබන්නයි.





වැඩිපුර  ඉතිහාස විස්තර බලන්න කැමති අයට මේ බ්ලොග් දිගුව තුළින් ඒ ගැන කියවන්න පුළුවන්

https://blog.ontarioparks.ca/bon-echo-inn/


අප නවාතැන් ගෙන සිටි කුඩා නිවහන හා සමාන නිවහනක් ගැන  මේ වීඩියෝවෙන් අදහසක් ගන්නත් පුළුවන්




වැඩි විස්තර සහ වෙන්කරවා  ගැනීම සඳහා මේ දිගු භාවිතා කරන්නත් පුළුවන්

https://en.wikipedia.org/wiki/Bon_Echo_Provincial_Park

https://www.ontarioparks.ca/park/bonecho




 සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                     සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.




මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි