ඔහුට මතක ඇති සැටියට එය හැත්තෑ ගණන්වල අවසාන සමයයි . පාන්දරින්ම මාතරින් ඇරබුණු රුහුණු කුමාරි දුම්රියේ නැගී මුහුදේ කරදිය සුවද විදිමින් කොටුව දුම්රිය පොලට පැමිණි පවුලේ උදවිය මේ යන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්නටයි. පිටිසරබද ගම්මානයක පිහිටි මවගේ මහගෙදරට යන්නට වසන්ත කැමති නගරයේ කලබලකාරී බවින් මිදී නිවාඩුව ගත කරන්නට එය කදිම තිප්පොලක් බැවිනි. මඩකලපුව බලා යන ඊලග දුම්රියේ කුරුණෑගලට ගිය පසු ඔවුන්ට තව පැය කිහිපයකින් අත්තම්මලාගේ ගෙදරට යා හැකිය. උඩරට ඌරුවට අත්තම්මා වෙනුවට එහි භාවිත වන වදන කිරිඅම්මා යන්නයි.
වසන්තට කිරිඅම්මලාගේ ගම සුන්දර තැනකි. සෙල්ලම් කරන්නට ඇතිපදම් ඉඩ ගෙවත්තේ තිබේ. වටේට තාප්ප දමා ගේට්ටුවෙන් වටකල නගරයේ හිර ගෙදර මෙන් නොවේ. උදෑසනට ඈතින් පෙනෙන කදුපෙල මීදුම් තීරයෙන් වැසී ගොසිනි. වෙල්යාය මැදින් ගලන දිය පාර වෙත යාම බැනුම් කෝටියක් අසන්නට වන කාරණයක් වන නමුදු පුංචි මාමා සමග විනෝද වන්නට එය කදිම තැනකි . ගොයම් කපා තිබුනෝතින් එහි සෙල්ලම් කරන්නට පුළුවන . හැංගිමුත්තන් කරන්නටද ඇති පදම් ඉඩ තිබේ.
කිසියම් හේතුවක් නිසා හවස දෙකට ගමට යන රතු ලංගම බසය තවම නැත. සමහර විට තව පැය භාගයකින් ඊලග බසය එනු ඇත. වසන්තට වුවමනා කරන්නේ හැකි ඉක්මණින් ගමට යන්නටය. සෑම විනාඩි පහකටම සැරයක් වේලාව අසන නිසා තාත්තාටද තරහ ගොසිනි. අත්තම්මා ඉදිකඩ ළග බලා සිටින අයුරු වසන්තට මැවී පෙනේ. බාගදාට කිරිඅත්තා බස් නැවතුමට එවන්නටද බැරි නැත.
මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල
කැනඩාවෙන් වෙබ්ගත වන සවන අන්තර්ජාල ගුවන් විදුලියේ විකාශය වූවකි .
බෙලෙක් හා රතු මිශ්‍ර බසය පැමිණි නැවතුමේ නතර විණි. කලින් බසය නොතිබුණු නිසා එහි සෙනග වැඩිය. වසන්තත් අම්මාත් ඇතුලට රිංගූ නමුත් තාත්තාට එහි ඉඩ නැත.එබැවින් තාත්තා සිටින්නේ පාපුවරුවේ එල්ලිගෙනය. වසන්තට පෙනෙන්නේ පා පුවරුවේ යාම මහත් විනෝදයක් ලෙසය. ඒත් අම්මා ඊට ඉඩ නොදෙන නිසා අකැමැත්තෙන් වුවද ඇතුලට යන්නට ඔහුට සිදුවිය. වියලි කාලගුණය නිසා ඇවිද යන බොරළු පාර දූවිල්ලෙන් පිරී ගොසිනි. ඇවිද යනවිට දැනෙන වෙහෙසට වඩා බඩගින්න දැඩිය. " තව චුට්ටක් ඉවසන්න " යැයි අම්මා කිහිප වරක් කීවේ ඒ නිසාය. පාර දෙපස පිපී ඇති එරමදු මල් සහ ඉදහිට ඇහෙන කොහා නද අවුරුදු ළග ඇති බවය.
" මේකා එනකන් අපි කොච්චර බලන් හිටියද ? මම ඒත් දරුවන්නේ අප්පච්චිට කිව්වේ අද එන්නෙ නැතිද කියලා " කිරි අම්මා වසන්ත බදා ගනිමින් කීවාය.
" එහෙනම් ඉක්මණට පහල ළිදට ගිහිල්ලා ඇගපත හෝදගෙන වරෙල්ලා. ළිදේ තාමත් නිල් කැටේට වතුර පිරිලා "
කොහොමටත් කිරිඅම්මාගේ කෑම රසය. නෑදෑයින් කියන්නේ ඇයගේ අත්ගුණය නිසා බවය. වසන්තට හිතෙන්නේ ඇය ඉතා ආදරයෙන් ඉයුම් පිහුම් කරන නිසා රස කළමණා යහමින් යොදන බවය. අම්මා ඇතුළු දියණියන් කියන්නේ ඇයට උයන්නට බොහෝ වේලා ගතවන බවය. ඇය ඊට උත්තර බදින්නේ " කන දේවල් ක්රමේට සකස් කරන්න ඕනෑ . උබල වගේ කරදාසිය ලිපේ දානව වගේ දඩි බිඩි ගාල කෑම හදන්න බැහැ " කියමිනි. කරවලත් , තිබ්බටු ව්යංජනත් අලුත් මැල්ලුමත් , කිරි හොද්දත් ඇති පදම් බත් කන්නට ඇරයුම් කරයි. ඇය ළගටම වී බත් බෙදන්නට වූවාය.
ගොක්කොළ නලාවක් අතින් ගෙන පුංචි මාමා ගෙට ගොඩ විය. අම්මා මාමාව බදා ගත්තාට මට වුවමනා කලේ ඔහුගෙන් නලාව ගන්නටය. " අද හොදට සෙල්ලම් කරතැකි " පුංචි මාමා කියූ විට කිරි අම්මා කීවේ " ඔය ළමයට පොඩ්ඩක් ඉන්න දීපන් .තවම මහන්සි ඇති උදේ පාන්දරින්ම ඇවිල්ලා" ලෙසිනි .
ලොකු මාමාගේ දූවරුන් දෙදෙනාත් ඇතුළු පවුලේ සියළු දෙනා සාමාන්යයෙන් හැම අවුරුද්දකදීම මහ ගෙදර දී එක්වෙති. ගෙදරදී අවුරුදු වත් පිළිවෙත් සමරා ගමේ පන්සලෙහි ඇති අවුරුදු උත්සවයට යාම සාමාන්‍ය පිළිවෙතයි. " අය්යලා හෙට උදේට එනවයි කිව්වා " තාත්තා කිරි අම්මාට කීවේ දැන්ය. හිසතෙල් ගාන නැකත අවසන් වනතෙක් සියළු දෙනා මහගෙදර රැදෙයි.
හෙට උදේට කරන්නට ඇති වැඩසටහන පුංචි මාමා සකස් කර හමාරය. උදේම උඩහ වත්තේ කජු අහුලන්නට යාමත් දවල්ට පහල වෙලේ ක්රිකට් ගැසීමත් ඒ අතර ප්රධානය. බණ්ඩාර මාමා කලියෙන් ආවෝතින් අපට උණ වෙඩිල්ලක්ද බැදිය හැකිය. තරමක අවදානමක් ඇති කටයුත්තක් නිසා උණ වෙඩි පත්තු කරනවාට වසන්තගේ තාත්තා අකමැතිය.ලොකු මාමා හෙට රතින්ඥා රෝලක් ගෙනෙන බව සිකුරුය. ඒත් වැඩිහිටියන්ට හොරා පුංචි මාමාත් වසන්තත් කරන අවදානම් වැඩවලින් තවමත් අනතුරක් නැත්තේ පූරුවේ පිනකටය. ටින් බෙලෙක්කවලින් වසා රතින්ඥා දැල්වීම ඉන් එක් අවස්ථාවක් පමණි.
ගේ පිලිකන්නේ ලිප් බැද කිරිඅම්මාත් , අම්මාත් , පුංචි අම්මාත් කැවිලි හදනු වසන්ත බලා සිටියේ මහත් සතුටිනි. වියපත් වුවද කිරි අම්මාගේ දෑත් කඩිසරය. අම්මාටත්, පුංචි අම්මාටත් සැර වෙන හඩද විටින් විට ඇසේ. කැවිලි සුවදත් ඉදුණු කජු පුහුලම් සුවදත් අවුරුද්දේ අසිරිය නාස්පුඩු තුලට රිංගවනු දැනේ
පරණ අවුරුදු දා උදෑසන වසන්ත නැගිටින විට කිරිඅම්මා ගෙදර සිටියේ නැත. අම්මාගෙන් ඇසූවිට ඇය කීවේ කිරි අම්මාවරුගේ දානයකට ගිය බවය. අඩ හෝරාවකට පමණ පසු මහ නියර දිගේ සුදු ඇදුමින් ආ කිරිඅම්මා ගෙට ගොඩ වූයේ " මේන් මේවා පොඩි එවුන්ට දීපල්ලා " කියාගෙනය. කිරි අම්මා දානයෙන් ගෙනෙන " කිරි කෑලි " කන්නට අප පුල පුලා බලා සිටින බව ඇය හොදාකාරව දනී.
අළුත් අවුරුද්දේ වැඩ කටයුතුවල මූලිකයා කිරිඅත්තා වුවද වසන්තට වීරයා වූයේ කිරි අම්මාය. හැම දෙයක්ම පිලිවෙලකට කරන්නට පාන්දර සිට රෑ මැදියම දක්වා කිරි අම්ම කරන මෙහෙවර වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. නැකත් පරිදි කෑම මේසයේ වැඩ අහවර කල වසන්ත වැඩිහිටියන්ට වැන්දේ කලබලයෙනි. දැන් වසන්ත පුල පුලා බලා ඉන්නේ පුංචි මාමා සමග කෑම බෙදන්නට යාමටය. කිරි අම්මා බෙදා දෙන කැවිලි පිගාන දෝතින්ම ගෙන නියර දිගේ , බඩවැටි දිගේ නෑදෑ ගෙවල්වලට යාම වසන්ත ආසම කටයුත්තකි.
පන්සලෙහි පැවති අවුරුදු උත්සවයත්, හිස තෙල් ගෑමත් හමාර වූයේ හිතුවාටත් කලින් දැයි වසන්තට සිතේ. හෙට උදේම ආපසු මාතර බලා යායුතුය . වසන්ත ගොස් කිරි අම්මා ළග දැවටුනේ යන්නට බෑ කියන්නාක් මෙනි. " මේකව තියල පලයල්ලා. අපි පස්සෙ එක්කරගෙන එන්නම් " කිරි අම්මා කිව්වත් අම්මා ඊට කැමැති නැත. තාත්තා අනිද්දා සිට වැඩට යායුතු බැවින් හෙට ඔවුන් යා යුතුය.
" උබ ඉතින් මේවා කන්න හරි ආසයිනේ " පසු දිනයේ උදෑසන ඔවුන් යන්නට සුදානම් වෙද්දී කිරි අම්මා වැලිතලප පාර්සලයක් වසන්ත අත තැබුවාය.
දුරකථන ඇමතුම් කිහිපයක් ගත් වසන්ත අවමංගල්යය කටයුතු පිළිබදව විමසා බැලුවේය. අන්තර්ජාලය හරහා කිරි අම්මාගේ නිසල දේහයත් , වැලපෙන මාමලා , පුංචිලාත් මල්ලී පෙන්වූවා වුවද වසන්තට සිතෙන්නේ කිරි අම්මා තවමත් ජීවමානව සිටින බවය.
අනුරුද්ධ වැලිගමගේ
2015 අප්රේල් මස දසත කලාපයේ පලවිය.
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලකයන්ට
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
No comments:
Post a Comment