මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........
Showing posts with label පොතක් ගැන සටහනක්. Show all posts
Showing posts with label පොතක් ගැන සටහනක්. Show all posts

Saturday, June 13, 2026

ආදර කවි සමඟ ගැහැණිය කියවන තරුණ කැනේඩියානු කිවිදිය රූපි කෞර්


 ඔබ මගේ කවි කියවා ඇත්නම්, ඔබ බොහෝ විට සිතන්නේ මම හදවතින් මෙහෙයවන කෙනෙක් කියායි, ​​ඔබ නිවැරදියි. හැඟීම් කලක් මගේ ගාමක බලවේගය විය. මගේ හදවත යොමු කරන දිශාව කුමක් වුවත්, මම පැකිලීමකින් තොරව දුවමි. ඒත් ඔබ නොදන්නවා ඇති, වසර ගණනාවකට පසුව මේ වනවිට එය කොතරම් වෙනස් වී ඇත්ද යන වග. 


ආදරය සම්බන්ධයෙන් ගත් කල, මගේ හදවත විසින් මෙහෙයවනු ලැබීමේ විපාක සහ අවදානම් යන දෙකම සමඟ පැමිණියේය. විපාක සිත් ඇදගන්නා සුළු විය, නමුත් අවදානම් මාව බොහෝ සේ තුවාල කළේය. මට මඟ පෙන්වීමට මගේ හදවතට ඇති හැකියාව කෙරෙහි මට විශ්වාසයක්  නැති විය. මම සිතුවේ මගේ  හදවතේ වේදනාවෙන් ආරක්ෂා වීමට නම්, මගේ හදවත පසෙකට තල්ලු කර හිසට රියදුරු අසුනට යාමට ඉඩ දිය යුතු බවයි. අවසානයේ, හැඟීම් වෙනුවට තර්කානුකූලව සහ තර්කානුකූලව මම මගේ හිස මෙහෙයවන කාලය මෙය බව මම තීරණය කළෙමි.

( පිටුව 5, රූපි කෞර් ගේ ආදර කවි, ඊ මුද්‍රණයෙන්) 





ඉන්දියාවේ පන්ජාබයේ උපත ලබා දෙමාපියන් සමග වයස අවුරුදු 3 දී  කැනඩාවට සංක්‍රමණය වුනු රූපි කෞර් ( Rupi  Kaur)කිවිදියක්, චිත්‍ර ශිල්පිනියක් සහ විවිධ ඩිජිටල් මාධ්‍ය ඉදිරිපත් කරන්නියක් ලෙස හදුනාගත හැකි තරුණ විප්ලවකාරී චරිතයකි. 2015 දී  ඇය , මාස් ශුද්ධියේදී ඇඳ ඇතිරිල්ල සහ තමන්ගේම ඇදුම් මත ඉසිරුණු ලේ බිංදු ඇසුරින් නිර්මාණාත්මක ලෙස ඉන්ස්ටග්‍රෑම් අවකාශයට මුදා හල සේයාරූ ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කලේය. 2014 දී ඇය ප්‍රකාශයට පත්කල " කිරි සහ මී පැණි"  ( milk and honey  )  කවි පොත මහත් වාණිජ සාර්ථකත්වයක් ඇති කලේය. 2017 දී ප්‍රකාශයට පත් කල "  හිරු සහ ඇගේ මල්"  ( the sun and her flowers)  සහ 2020 දී කොවිඩ් වසංගත සමයේ අත්දැකීම් අලලා ලියැවුනු " නිවෙස් සිරුර " ( Home body ) ජනප්‍රියතාවය කරා ගමන් කලේ ඉතා විශාල සමාජ ජාල සාමාජික පිරිසක් රදවා ගන්නට ඇය සමත්ව ඇති බැවිනි . ඇගේ " කිරි සහ මී පැණි"  කවි පොත මිලියන 11 ක ග්‍රාහක පිරිසක් අතට පත්ව ඇති බව වාර්තා වන අතර මේ වනවිට භාෂා 43 කට පරිවර්තනය වී තිබේ. වෙනස්වන සමාජ ජාලා සහ ඩිජිටල් අවකාශ සමග කදිමට මුසු වන ඇය තවමත් 33 වන වියේ පසුවන්නියකි.  


මහජන සභාවල රසවින්දනය වෙනුවෙන් කවි කියවමින්, රංගන ශිල්පිණියක් ලෙස තම දක්ෂතා ඉදිරිපත් කරමින්, සමාජ ක්‍රියාකාරිනියක ලෙස  ජනප්‍රිය චරිතයක් ඉදිරිපත් කරන ඇය තරුණ පරම්පරාවට තමන් කැමති දේ ආසාවෙන් කරනා පුර්වාදර්ශී චරිතයකි.

 

මගේ ජීවිතේට තියෙන ආදරේ වෙනුවෙන්

බලාපොරොත්තුවක් තියාගන්න මම උපරිම උත්සාහයක් ගන්නවා

හැමදාම උදේට මම සුබ පතනවා

බලාපොරොත්තුවක් එක්ක 

මට බෑ කියලා හිතෙනකොට

මම කරන්නම්

මම කරන්නම්

මම කරන්නම්

මාව දිය කරන දවසක් හමුවෙනවා

මම සෙලවෙනවා , දුක මගේ උරහිස් වලින් වැටෙනවා

ප්‍රීතියට ඉඩක් දෙන්න

මම වර්ණවලින් පිරෙනවා

මම ආයෙත් අහස අල්ලනවා

නෑ , ඒක එහෙම වෙන්නේ නැහැ.


( පිටුව 10,11, රූපි කෞර් ගේ ආදර කවි, ඊ මුද්‍රණයෙන්) 



" ආදර කවි"  කෘතිය හරහා පළමු වතාවට, රූපි කෞර්ගේ හෘදයාංගම ප්‍රේම කවි එක් සමීප හා කාලානුරූපී එකතුවක එකට එකතු වී තිබෙන බවක් පෙනේ . මේ පද බලන්න .


ආදරය පැමිණෙනු ඇත

ආදරය පැමිණෙන විට

ආදරය ඔබව රඳවා ගනු ඇත

ආදරය ඔබේ නම අමතනු ඇත


සරල, කෙටි සිහින් රේඛා කිහිපයකින් , සීමිත වර්ණ සංයෝජනයකින්  මේ පොතේ ඇති සියළු කවි වලට ඇයම චිත්‍ර නිර්මාණය කර තිබීමත් විශේෂයි. පිටකවරයේ ද ඇතුළුව ආදර කවි කෘතියේ තිබෙන චිත්‍ර වලින් බහුතරයක තිබෙන රෝස පාට සහ දම් පාට කාන්තා ආකර්ෂණය සහ කාන්තා නියෝජනය වෙනුවෙන් ඇය උවමනාවෙන්ම පාවිච්චි කර තිබේ. ඒවා ඇගේ කවිවල වචනාර්ථ ඉස්මතු කරන්නට මහත් රුකුලක් වන බව පෙනේ. 


මට සම්පූර්ණ වෙන්න ඕන

මට මුළු නගරයක්ම ආලෝකවත් කරන්න පුළුවන්,

ඊට පස්සේ

මට ඔයාව ඕන

මොකද අපි දෙන්න එකතු වුනොත්

ඒකට ගිනි තියන්න පුළුවන්     


( පිටු 24,25, රූපි කෞර් ගේ ආදර කවි, ඊ මුද්‍රණයෙන්) 





ස්වයං අර්ථකථන, සිතුවිලි , අදහස් , ප්‍රේමය සහ සරාගය මැද්දේ රූපී තම කවි , සටහන් චිත්‍ර අතරට ආදරයේ විවිධ පාට , රාගික රූප සේම තම ස්ත්‍රීවාදී චින්තනය නිදහසේ ඔබ්බවා තිබේ. සම්ප්‍රදායික විරිත් සදැස් කවි වෙනුවට ඇගේ කවි කෙටි හයිකු පන්නයේ සිට නිදහසේ ගලායන රිද්මයානුකූල වචන මාලා ලෙස ආසාවෙන් කියවන්නට පුළුවන. වෙනස්වන ලෝකය සමග සුබවාදී ගමනක් යන අපූරු විප්ලවකාරිනියක ගේ නිර්මාණ සංග්‍රහයක් ලෙස මම මේ පොත ආසාවෙන් කියැවීමි. 



https://www.silumina.lk/2026/06/07/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/61953/%e0%b6%af%e0%b6%b8%e0%b7%8a-%e0%b6%bb%e0%b7%9d%e0%b7%83-%e0%b6%b4%e0%b7%90%e0%b7%84%e0%b7%90%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a%e0%b7%80%e0%b7%92%e0%b6%ba-%e0%b7%83%e0%b7%92%e0%b6%ad/

2026  ජුනි 07  වැනිදා සිළුමිණ  කලාපයේ පලවිය.

විශේෂ ස්තූතිය සි‍ළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                   සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, April 18, 2026

සීතල යුද්ධයෙන් පසු සඳමතට මිනිසුන් ගෙනයන නාසා ආයතනයේ ආර්ටිමිස් (Artemis ) මෙහෙයුම් .

 

ගුවන් යානා සහ දුම්රිය ගැන මහත් උනන්දුවෙන් පසුවන මම මේ මාසය මුලදී ආටේමිස් මෙහෙයුම ගැන තොරතුරු හෙව්වා . බෙන් හබ්ඩ් ගේ මේ පොත දැක්කේ ඒ අතරේ. අවුරුදු කටේ වුනත් මම ඒ ගැන ජයත් මහත්මා ට කිව්වා. අවුරුද්දෙන් පස්සෙ වැඩට ආපු කණඩායම ඒ සටහන මේ සතියේ සිළුමිණ පත්තරේ දාල තිබුනේ මෙහෙමයි. 

  



අනුරුද්ධ වැලිගමගේ

කර්තෘ මණ්ඩල ප්‍රධානි, ශ්‍රීලංකන් නිව්ස් වෙබ් පුවත්පත, මිසිසාගා, කැනඩාව


" ආර්ටිමිස් ව්‍යාපෘතිය නැවත මිනිසුන් සඳමතට ගෙන යාමට නියමිතයි. 1972 දී ඇමෙරිකා එකසත් ජනපදය ඇපලෝ ව්‍යාපෘතිය නවත්වන තුරුම 1969 සිට 1972 අතර කාලය තුලදී අවස්ථා 6 කදී අභ්‍යවකාශ ගාමීන් 11 දෙනෙක්  සඳ මතට පා තබා තිබේ . ඇපලෝ ව්‍යාපෘතිය ඒ නමින් නම් වන්නේ  ග්‍රීක මිත්‍යා කතාවල එන ඇපලෝ දෙවියන් නිසයි. ඇපලෝ ව්‍යාපෘති විශිෂ්ට අභ්‍යවකාශ චාරිකා රැසක් ඉතිහාස ගත කර තිබේ . ආර්ටිමිස් ව්‍යාපෘතිය නම් වන්නේ ඇපලෝ දෙවියන්ගේ  නිවුන් සොහොයුරිය ආර්ටිමිස් දෙවඟන සිහිගන්වමිනි. එය මනුෂ්‍යයා තුල ඇති අභ්‍යවකාශ ආශාවන් යලි දල්වන එකක් වෙතැයි විශ්වාශ කෙරේ .


ඇපලෝ ව්‍යාපෘතිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ රුසියාව අතර පැවති අභ්‍යවකාශ තරඟයේ එක් කොටසකි. සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමය රුසියාව ඇතුළු රාජ්‍යයන් 15 කින් සමන්විතව තිබී 1991 දී බිද වැටෙන තෙක්ම ඇමෙරිකාවේ පසමිතුරු රාජ්‍යයක් වූ අතර දෙපිල අතර බොහෝ දේ වෙනුවෙන් ඉතා තියුණු  තරඟයක් පැවතිනි ." 

( පිටු 10,11 - නාසා හි ආර්ටිමිස් ව්‍යාපෘතිය ඊ මුද්‍රණයෙන් ) 



ඉරානයට එරෙහිව පැවති යුද්ධය පිළිබදව ලෝකය තුල වූ අවධානය බිදිමින්  මේ දිනවල ලෝක අවධානය යොමුවුනු අභ්‍යවකාශ ගමන ආර්ටිමිස් 2 මෙහෙයුමයි . අධික වියදම සහ ශීතල යුද්ධයේ උණුසුම පහව යාමත් සමඟ නැවතී තිබුණු ඇමෙරිකා එකසත් ජනපදයේ  අභ්‍යවකාශ ව්‍යාපෘති යලි පණ ගැන්වුනේ 2017 වසරේදී . සමහරු කියන්නේ එය නොනිල වශයෙන් පටන් ගත්තේ චීනය ලොවට අනාවරණය කල අභ්‍යවකාශ සැලැස්ම හමුවේ ඇමෙරිකාවට වන මදි පුංචි කමට කල වැඩසටහනක්  විදිහටයි.  සඳට සහ අඟහරු ග්‍රහයා වෙත මිනිසුන් යැවීම සහ ජනපද පිහිටුවීම අරමුණු කර ගනිමින් පෞද්ගලික අංශයේද දායකත්වය ඇතිව ආර්ටිමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. එය අදියර 5 ක් පුරා විහිදෙන දීර්ඝ කාලීන එකක්. ඉන් Artemis I      මිනිසුන් රහිත පර්යේෂණ යානාව 2022 නොවැම්බර් 16 වැනිදා  ගුවන් ගතවී සාර්ථක මෙහෙයුම නිමා කරමින් පෘතුවියට ආවේ 2022 දෙසැම්බර් 11 වැනිදා . 



2026 අප්‍රේල් 1 වැනිදා ගුවන් ගත වුනු අභ්‍යවකාශ ගාමීන් 4 දෙනෙකු රැගත් Artemis II දින 10 ක ගමනක් යන එකක්. නමටම ගැලපෙන ලෙසින් මුලින්ම සම්පුරණ කාන්තා මෙහෙයුමක් ලෙස සැලසුම් කෙරුණත් ශාරීරික යෝග්‍යතා ගැටළු සහ වෙනත් හේතු නිසා මිනිසුන් රැගත් මේ යානයට Reid Wiseman (Commander ) ලෙසත් , Victor Glover  (Pilot ) ලෙසත් , Christina Koch   සහ Jeremy Hansen   (Mission Specialists)  ලෙසත් සහභාගී වෙනවා. මේ අතරින් සුදු ජාතික නොවන පළමු ඇමෙරිකානු මෙහෙයුමක  නිරත වන අභ්‍යවකාශ ගාමීයා වන්නේ වික්ටර් ග්ලෝවර් . ඇමෙරිකානු චන්ද්‍ර මෙහෙයුමක නිරත පළමු අභ්‍යවකාශ ගාමිනිය වන්නේ ක්‍රිස්ටිනා කොච්. ඒ අතරින්  පළමු තිදෙනාම National Aeronautics and Space Administration- ඇමරිකානු අභ්‍යවකාශ ආයතනය නියෝජනය කරද්දී ජෙරමි නියෝජනය කරන්නේ CSA- කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියයි.  


ආර්ටිමිස් ව්‍යාපෘතියේ 3 වන අදියර Artemis III  2027 වසරේදී වාණිජ මෙහෙයුමක් ලෙසත් , Artemis IV 2028 වසරේ මුල් භාගයේදීත් , Artemis V 2028 අග භාගයේදීත් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා . ඉදිරි මෙහෙයුම් වෙනුවෙන් භාවිතා කරන්නට අපේක්ෂිත යානා වල අභ්‍යවකාශ ගාමීන්ට අමතරව ඉහල මිලක් දැරිය හැකි සංචාරකයින්ද සහභාගී කරවා ගැනීමට නියමිත අතර ඒ වෙනුවෙන් සැකසුනු පොරොත්තු ලේඛන දිගු ඒවා බවත් සදහන්.    


" ඉතිහාසයේ පළමු වතාවට නාසා ආයතනයෙන් පිටත වෙනත් ආයතන විසින් ඇමෙරිකානු අභ්‍යවකාශ ව්‍යාපෘතියට අවශ්‍ය යානා සහ ආම්පන්න සැපයීම සිදුකරන්නේ ඇමෙරිකානු රජයට ඒ අතිවිශාල වියදම දරා ගැනීම අසීරු නිසාය.SpaceX, Blue Origin, Boeing  යන පෞද්ගලික ආයතන විවිධ සංකීර්ණ නව තාක්ෂණික පර්යේෂණ සිදු කරමින් නැවත නැවත භාවිතයට ගත හැකි යානා නිපදවීම සිදුකරයි. එම ආයතන වලට අනුව අභ්‍යවකාශය අනාගතයේදී ආදායම් උපදවන සංචාරක ගමනාන්ත වනු ඇත. ඔවුන් ඒ සදහා මුලින්ම පෘථිවියේ පහත් කක්ෂයේ හෝටල් ඉදිකිරීමටත් අපේක්ෂිතයි."  

( පිටු 19,20 - නාසා හි ආර්ටිමිස් ව්‍යාපෘතිය ඊ මුද්‍රණයෙන් )


ආටෙමිස් II කාර්ය මණ්ඩලය ඔවුන්ගේ මෙහෙයුම සඳහා වසර දෙක හමාරක  සිට  පුහුණු වූ අතර, එය 2023 ජුනි මාසයේදී පමණ ආරම්භ විය. මෙම පුළුල් පුහුණුව ඔරියන් කැප්සියුලය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් , අභ්‍යවකාශ දියත් කිරීමේ පද්ධතිය (SLS) සැරිසැරීම සම්බන්ධයෙන් සහ හදිසි ක්‍රියා පටිපාටි සහ මෙහෙයුම් සමාකරණ කෙරෙහි අවධානය යොමු කළ අතර, සැතපුම් 695,081  ක දුරක් ගොස්  දින 10 ක ගමනකින් පසුව 2026 අප්‍රේල් 10 වැනිදා සාර්ථකව සැන් දියෝගෝ වල පැසිපික් සාගරයට ගොඩ බැසීම සිදුකලා. .


ගුවන් යානා සහ අභ්‍යවකාශ යානා ගැන උනන්දුවෙන් පසුවන කෙනෙකු හැටියටත් , ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි නාසා ආයතනයේ අභ්‍යවකාශ යානා මෙහෙයුම් ,  ඇපලෝ සහ වත්මන් ආටිමිස් මෙහෙයුම කරන පරිශ්‍රයට  සංචාරයක යෙදුනු  කෙනෙකු හැටියටත් මේ පොත දුටු සැනින් එක හුස්මට කියවා නිම කලෙමි .  මේ දිනවල මාධ්‍ය තුලින් දැල්වූ උනන්දුව හරහා ඔබ වසර 55 කට පසුව සිදුවන නව සඳ ගමන් ව්‍යාපෘතියේ නොදත් විස්තර රැසක් සහ  අනන්‍ය සේයාරූ රැසක් මේ පොත තුලින් ඔබට කියවන්නට පුළුවන් . 

    




https://www.silumina.lk/2026/04/18/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/59622/%e0%b7%83%e0%b6%b3-%e0%b6%ad%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b1%e0%b7%80%e0%b6%b8%e0%b7%94-%e0%b6%ad%e0%b6%ad%e0%b7%94-%e0%b6%85%e0%b6%b4%e0%b6%a7-%e0%b6%9c%e0%b7%99%e0%b6%b1%e0%b7%99/


2026  අප්‍රේල් 19  වැනිදා සිළුමිණ  කලාපයේ පලවිය.

 විශේෂ ස්තූතිය  සි‍ළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                   සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, March 21, 2026

ලෝ වටා සැරි සර මතක සිත්තම් කරන මයික් ස්පෙන්සර්

 

කොවිඩ් කාලයෙන් පස්සෙ ගෙදර ඉදන් වැඩකරන්නට පටන් ගත්තාම පොත් කියවන එක අඩුවුනා. ඉස්සර දවසකට පැය 2-3 ක් තරම් කාලයක් දුම්රියෙන් ටොරොන්ටෝවේ කාර්යාලයට යන එන අතරතුර පොතක් කියවන්න හෝ පොඩි නින්දක් දාන පුරුද්දක් තිබුනා. ඒක ගෙදර ඉදන් වැඩ කරද්දී පොත්වලින් මාරුවුනේ වාර්තා චිත්‍රපටි බැලිල්ලටයි. Hot Chocolate Days    බ්ලොග් හිමිකාරිනිය ඕස්ට්‍රේලියාවේ  හෙල්මලී  තමයි මේ පොත් සටහන් ලියන්න මාව දිරිමත් කලේ . නගරයේ පුස්තකාලයට ගිහින් කාඩ් එක අළුත් කරගෙන මේ සටහන ලියන්න පොත හොයාගත්තෙ ඒ විදිහට. මේ පොත ඩිජිටල් ඊ පොතක් විදිහට මම ආසාවෙන් කියැවූ එකක් . 


The World’s Most Travelled Man: 

A Twenty-Three-Year Odyssey to and through Every Country on the Planet




“මගේ පළමු පෙම්වතිය වූයේ බ්‍රෙන්ඩාය. මුලින්ම උතුරු අමෙරිකාවේ ජනාකීර්ණ නොවූ ප්‍රදේශ හරහා ‘බැක්පැක්’කිරීම කදිම සහ අපූරු එකක් බව මට ඒත්තු ගැන්වූයේ ඇයයි. එහෙත් විදේශීය රටවල අඩු අයවැයකින් ගමන් කිරීම වැනි දෙයක්ද ඇති බවත්, ශීත ඍතුවේදී කැනඩාවේ රැඳී සිටිනවාට සාපේක්ෂව නිවර්තන කලාපීය රටවල සංචාරය කිරීම විශේෂයෙන්ම සිත් ඇදගන්නාසුලු ලාභදායි එකක් බවත් මගේ හිතට කාන්දු කළේද ඇයයි. මා ඒ වන විට එක්සත් රාජධානියේ, බටහිර යුරෝපයේ සහ හවායිහි සංචාරය කර තිබූ අතර, එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නැඟෙනහිර වෙරළ කලාපයේ සිට බටහිර වෙරළ දක්වා සංචාරය කර තිබිණි. ඇයගේ ඒ අදහසින් පසු මට දැනුණේ වෙනසක් සඳහා කාලය පැමිණ ඇති බවයි. බ්‍රෙන්ඩාගේ ආකර්ෂණීය හමු වීමට පෙර, තනිකමේ විශිෂ්ට රසයක් විඳි මට ඇයගේ හමුව මිනිසුන් පිරිසක් සමඟ ගත කරන ජීවන රටාවක් අනුගමනය කිරීමට බල කළේය.” (The World’s Most Travelled Man: A Twenty-Three-Year Odyssey to and through Every Country on the Planet,14 වැනි පිටුව, ඊ-මුද්‍රණය)

තම සරල ජීවිතයට අවැසි දෑ පුරවාගත් ගමන් මල්ලක් පිටේ එල්ලාගෙන, යුරෝපයෙන් ආසියානු රටවලට සහ යුරෝපයේම වෙනත් ගමනාත්න කරා සංචාරය කරන ‘බැක් පැකින්’ සංචාරක ක්‍රමය 1960-70 සමයේදී හිපි සංස්කෘතියත් සමඟ ඇරඹුණු අතර, අදත් යුරෝපයේ සංචාරය කරන විට ගමන් මලු තබාගෙන මාර්ගයේ ගමන් කරන වාහනවලට අත දමමින් ‘රයිඩ් එකක්’ ඉල්ලන පිරිස් හමු වන තරමටම එය ලොව පුරා ප්‍රචලිත වූ සංස්කෘතියකි. උසස් පාසලේ අධ්‍යාපනය නිම කළ සැණින් විශ්වවිද්‍යාලය හෝ කාර්මික විද්‍යාලයවලට ගොස් රැකියාවකට යොමු වන්නට පෙර නිම කරන්නට නියමිත යොවුන් පිරිසගේ ‘බකට් ලිස්ට්’ වැඩ අතරේ ‘බැක් පැකින්’ ක්‍රමය තිබුණත්,  ඉන් ඔබ්බට ගොස්, ඒ සංස්කෘතිය තුළ රැඳෙමින් ජීවිත කාලයම ඊට කැප කරමින් ඉන්නා පිරිස් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

1969 ජනවාරි 24 වැනිදා කැනඩාවේදී උපන් මයික් ස්පෙන්සර් බවුන් (Mike Spencer Bown) 1990 සිට 2020දී කොවිඩ් වසංගතය නිසා ලෝක සංචරණ සීමා පනවන තෙක්ම වසර 30ක් නොකඩවා සංචාරය කරමින්, ලෝකයේ රටවල් 195කට ගමන් කර තිබේ. ලොව විවිධ ජනවර්ග අතර පවතින අපූරු ජීවන රටා අධ්‍යයනය කරමින් ඔහු යෙදුණු සංචාර ඇසුරෙන් ලියූ සටහන් එකතුවක් ලෙස ‘ලොව වැඩියෙන්ම සංචාරය කළ මිනිසා’ යන අරුත් ඇති ‘The World’s Most Travelled Man: A Twenty-Three-Year Odyssey to and through Every Country on the Planet’ කෘතිය ප්‍රකාශයට පත් වී තිබේ. එහි මුද්‍රිත පොත පිටු 352කින් සමන්විතය. වසර 23ක් තිස්සේ තම චාරිකාවලදී ලද අත්දැකීම් ඔහු ඒ පිටු තුළට කැටි කර තිබෙන හැටි අපූරුය.  

ආසියාවේ, අප්‍රිකාවේ, යුරෝපයේ රටින් රටට දුම්රියෙන්, බස් රියෙන්, විවිධ පුද්ගලයන්ගේ වාහනවලින් ගමන් කර තිබෙන මයික් ඒ අත්දැකීම් විස්තර කරද්දී අපටද ත්‍රාසය, භීතිය දැනෙන පරිද්දෙන් වචන පිටු අතරට එකතු කරන්නට උත්සාහ කර තිබේ. ඒ අතර විවිධ ත්‍රස්තවාදි සංවිධාන, විවිධ රටවල ආගමන විගමන නිලධාරීන්ගේ සැකයට සහ විමතියට පත් වූ අවස්ථා ගැනද ඔහු විස්තර කර තිබේ. ලෝකයේ රටවල් 112කට වීසා රහිතව ගමන් කළ හැකි කැනේඩියානු ගමන් බලපතක හිමිකරුවකු වීම ඔහුට සිය සංචාරවලදී මහත් පිටිවහලක් වී තිබේ.     

බෝල්ටික් මුහුදේ සිට ශාන්තිකර සාගරය දක්වා කිලෝමීටර නව දහසකට වඩා දිගු ට්‍රාන්ස් සයිබීරීයන් මාර්ගයේ ගොස්, ආක්ටික් කලාපයේ වෙසෙන ‘යකුටි’ ජන සමාජය හමු වීම, අත්හැර දමන්නට හිතුණු තමන්ගේ චාරිකා තවත් දිග්ගැස්වූ බව ලියන මයික්, අප්‍රිකාවේ කොංගෝ සහ රුවන්ඩා සීමාවේදී ‘සකල සබ්බ මනාවම’ කොල්ලකනු ලැබූ පසු, අතේ සතයක් නැති ‘නිරුවත් වානරයකු’ වූ හැටි ලියන්නේ ලොමුදැහැගන්වනසුලු අයුරිනි. තම ගමන්වලදී කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවටද පැමිණ තිබෙන ඔහු තරුණ ජර්මානු යුවළක් සමඟ යතුරුපැදියකින් ශ්‍රී ලංකාව වටා ගිය ගමන ගැන ආසාවෙන් සටහන් කර තිබුණත්, ඔහුගේ බොහෝ සංචාර සිදුව තිබුණේ වාර්ගික අර්බුද සමයේ බැවින් ඒවා ලියා ඇත්තේ ‘භීතිය නිසා සීමා මායිම් වැටුණු සංචාර’ වශයෙනි.

‘බැක්පැක්’ සංචාරය ‘ජෙන් එක්ස්වලින්’ පටන් ගෙන ‘මිලේනියල්, ජෙන් සෙඩ්’, ‘ජෙන් ඇල්ෆා’ හරහා පැමිණ, ඩිජිටල් ලෝකයේදී වෙනත් රටක සිට රැකියාව කරමින් සංචාරය කරන ‘නොමෑඩ්’ ක්‍රමයට පරිවර්තනය වී තිබේ. ශ්‍රී ලංකාව ඉදිරියේදී ‘නොමෑඩ්’ සංචාරකයන්ට කදිම ගමනාන්තයක් වෙතැයි බලාපොරොත්තු පළ වී තිබේ.

‘ලොව වැඩියෙන්ම සංචාරය කළ මිනිසා’ සංචාරයට කැමැති කා හට වුවත් තමන්ගේ දැනුම සහ පෙර සූදානම පහසු කරගන්නට වටිනා පොතකි. මේ පොත ගැන කෙරුණු සංවාදයකදී මයික් කියූ කරුණකින් මේ සටහන නිමා කරනු රිසියෙමි:

“ප්‍රායෝගිකව ඔබට හැම රටකටම යෑමට නොහැකි වේවි. ඒත්, ඔබේ ආසාවන් අනුව තොරතුරු සොයාගෙන,  සතුටින් තෝරාගත් රටවලට ගමන් යන්න. ඔබේ ගමන කලබලයෙන් තොරව විඳිමින් කරන එකක් නම්, එය ඔබේ හිතට මහත් සතුටක් ගෙන ඒවි.”

අනුරුද්ධ වැලිගමගේ

කර්තෘ මණ්ඩල ප්‍රධානි, ශ්‍රීලංකන් නිව්ස් වෙබ් පුවත්පත, මිසිසාගා, කැනඩාව




මේ දිගුවෙන් ඔබට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන් 

https://www.silumina.lk/2026/03/21/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/58652/%e0%b6%bd%e0%b7%9d-%e0%b7%80%e0%b6%a7%e0%b7%8f-%e0%b7%83%e0%b7%90%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b6%bb-%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%b8%e0%b7%8a/

2026  මාර්තු 21 වැනිදා සිළුමිණ  කලාපයේ පලවිය.

විශේෂ ස්තූතිය සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය සංස්කාරක ජයත් පියදසුන් මහතාට 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google images 

                   සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.











මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.