ලෝකයේ දස දෙසින් පොසිල අධ්‍යයන කටයුතු සඳහා ඇදෙන පර්යේෂකයන් වගේම අවුරුද්දේ මැයි සිට ඔක්තෝබර් ගිම්හාන කාලයේදී සංචාරකයන්ගෙන් පිරී යන ප්‍රදේශයක් කැනඩාවේ නෝවා ස්කොෂියා පළාතේ තියෙනවා. ඒ ප්‍රදේශයට කියන්නේ Joggins Fossil site කියලයි.
මීට පෙර ලිපියක මම නිව් බ්රුන්ස්වික් පළාතේ Hopewell Rocks ගැන කතා කළා ඔබට මතක ඇති. වරකට ජලගැලුම් බිලියන 160 ක් පිරවෙන හිස්වෙන ෆන්ඩි බොක්කේ අනිත් පැත්තේ තමයි මේ යුනිස්කෝ ලෝක උරුමය තියෙන්නේ. ඒ හන්දා මේ පරිශ්‍රය බලන්න යනකොටත් ඔබ දවසේ වඩදිය බාදිය කාලසටහන ගැන බලන්න වෙනවා. එහෙම වුනොත් ඔබට හොඳින් මුහුදු පත්ල දිගේ ඇවිදගෙන ගිහිල්ලා මේ ස්ථානයේ තිබෙන පොසිල බලන්න පුළුවන්.
ඒ ලිපියේ දිගුව
වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.
https://ahasgawwenehalokaya.blogspot.com/2025/04/160-hopewell-rocks.html
සම්පූර්ණ Joggins Fossil site පරිශ්‍රය කිලෝමීටර් 14.7 සිට පහළොවක් දක්වා දිගට වෙරළ තීරය දිගේ විහිද යනවා. ඔබට කැමති නම් වඩදිය බාදිය වෙලාව සහ කාලගුණය අන්තර් ජාලයෙන් බලලා මුහුදු පතුල හිස් වෙලා නම් එහි සම්පූර්ණ කොටසම ඇවිද යන්න පුළුවන්. ඒත් ඒවා ආරක්ෂිතව බලන්න වඩා සුදුසු වන්නේ Joggins Fossil Centre ආයතනය පිහිටුවා තිබෙන විශේෂ මධ්‍යස්ථානය( ) අසලින් සකස් කර තිබෙන ප්‍රදේශය ආරක්ෂිතව මුහුදු වෙරළට බැසිය හැකි පඩිපෙළ සහ ආබාධිත අය වෙනුවෙන් සකස් කල Ramp එකකිනුත් සමන්විතයි.

වසර මිලියන ගණනක් පැරණි පර්වත ඉවුරු කුමන වෙලාවක වුවත් කඩා වැටෙන්නට පුළුවන් . ඒ වගේම ජලය පිරෙන හිස්වන සජීවී මුහුදු පතුලක් නිසා ගල් කැබලිති, අපද්‍රව්‍ය, හිරිගල් කොටස් තිබෙන්නත් පුළුවන්. තෙතමනය සහ මඩ සහිත පරිසරයක් නිසා ඊට සුදුසු ක්‍රීඩා පාවහන් දාගෙන යන එක සුදුසුයි. ඒ වගේම මේ ප්‍රදේශයේ ජංගම දුරකථන ආවරණය අවම නිසා ගොඩබිම ඉන්නා කෙනෙකු දැනුවත් කර තිබෙන එකත් සුදුසුයි.
https://jogginsfossilcliffs.net/tours/weather/
අවුරුදු මිලියන 300 ක් පැරණි ගල්අඟුරු යුගයේ ( Coal age) සතුන් සහ ශාක හිරවී තද වී තිබෙන පොසිල රැසක් ඔබට මේ වෙරළ ඉවුරේදි බලන්න පුළුවන්. එහෙත් මේ හමුවෙන පොසිල ගෙනියන්නට නම් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ අවසරයක් ගන්නට වෙනවා.
ඒ ප්‍රදේශයේ හමුවන හැම ගල් කැබැල්ලක්ම, පර්වත කොටසක්ම අපට ගිලිහුණු ඒ අතීතයේ කතා පුවත් ගොඩක් දරාගෙන අජීවී වස්තූන්. ඔබට කැමති නම් මෙතැන තිබෙන මධ්‍යස්ථානයේ සේවයේ යොදවා ඉන්න නියාමකවරුන් මෙහෙයවන පැය එක හමාරක සංචාරයක් කලින් වෙන් කරවා ගන්න ඔබට පුළුවන්. ඔබ කැමති නම් ඔබේ බලු සුරතලාවත් මේ චාරිකාවට එක් කරගන්නට අවස්ථාව තිබෙනවා.
එහෙත් ඔබට නියාමකවරුන් රහිතව වෙරළ තීරයේ ඇවිදින්නට නම් සඳහා ගෙවීමක් කරන්න අවශ්‍ය නෑ, එහෙම ඔබ වෙරළට බහින්න මෙතන තිබුණු අංක හත( 7) දරන ගල් අඟුරු තල් පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයෙන් පිවිසුම් මගක් සකස් කර තිබෙනවා.
Joggins Fossil Centre එකට ප්‍රවේශපත්‍රයක් අරගෙන ගියොත් මේ පොසිල ගැන වැඩි විද්‍යාත්මක දැනුමක් වගේම ගල් අඟුරු යුගයේ ඉතිහාසයත් මේ ප්‍රදේශයේ ගල් අඟුරු පතල් කර්මාන්තය ගැනත් වැඩි විස්තර දැනගන්නට පුළුවන්. ඒ මධ්‍යස්ථානය නිදර්ශක, ප්‍රදර්ශන අනුරූ රැසකින් සමන්විත ඉතාම වැදගත් සම්පත් මධ්‍යස්ථානයක්.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
















No comments:
Post a Comment