මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 28, 2025

චිත්‍ර පංතියක මතක





මට මේ සටහන ලියන්න කාරණා කිහිපයක් බලපෑවා. පළමුවැන්න  සහෝදර බ්ලොග් නිර්මාණ කාරිනිය  හෙල්මලී ගේ ඩිජිටල් චිත්‍ර. දෙවැන්න ලක්ෂ්මන් මෙන්ඩිස් රංගන ශිල්පියා යූ ටියුබ් වැඩසටහනකදී ප්‍රකාශ කල  ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිවරයා නතර කළ ජර්මන් නාට්‍ය ශිෂ්‍යත්ව. තුන්වැන්න අබලන් කියල ගාල්ලේ ඉවත් කරන ලංකාවේ සුනාමි ආපදා දැනුවත් කිරීමේ කුළුණු. 

මාතර රාහුල විද්‍යාලය හයේ පන්තියේ ඉන්නකොට මම සෞන්දර්ය විෂය විදිහට මුලින්ම සංගීතය කරන්න ගියා. සංගීත විෂයට හිටපු ටීචර් හරිම සැරයි, ඒ වගේම ගායනයට ලකුණු දෙන්නෙත් අඩුවෙන්. ඒ කාලේ පන්තියේ වෙනියා තෝරන හින්දා පන්තියේ හොඳ තැනක හිටපු මම එකපාරටම පහලට වැටුනා. අපට පරම්පරාවෙන් එන කලා පසුබිමක් නැහැ . සෞන්දර්ය සහ තාක්ෂණ විෂය තෝරගත්තෙ උගන්වන ගුරුවරු ගැන ඉහළ පන්තිවල අය්යලා කියූ හැටියටයි . අම්මලා තාත්තලා ගෙන් ඒවට බලපෑමක් තිබුනෙ නැහැ. රාහුල විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමිය සංගීත ගුරුතුමියගේ අම්මා,  සංගීත ගුරුතුමියට හාත්පසින්ම වෙනස්. හරිම කරුණාවන්තයි. අනේ ලෝබ  නැතුව ලකුණුත් දෙනවා. අංශ ප්‍රධාන ගුරු මහත්මයට කියල දෙවන වාරයේ ඉඳන් මම චිත්‍ර විෂයට මාරුවක් ගත්තා . ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට විශිෂ්ට සාමාර්ථයක් ගන්න තරමට චිත්‍ර විෂය මට නැගල ගියා.


මාතර ප්‍රදේශයේ චිත්‍රවලට උනන්දුවක් ඇති පාසැල් සිසු සිසුවියන්ට  සෙනසුරාදා දවසේ නොමිලේ රජය විසින් පවත්වන පාඨමාලාවක් ගැන දැනගන්න ලැබුනේ  ඒ අතරේ.  ඒක තිබුණේ  මාතර මැද්දවත්ත රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිට තියෙන රෝහණ කියන විද්‍යාලයේ.  මමත් සතියකට සැරයක් බස් එකේ මැද්දවත්තට ගිහින් චිත්‍ර අඳින්න පටන් ගත්තා. මුලින්ම දිය සායම් , පැස්ටල් , චිත්‍ර වලට අවශ්‍ය කොළ වගේ දේවල් නොමිලේම ලැබුණා . ගුරු මහත්තුරු හෝ ගුරු මහත්මීන් දෙදෙනෙක් මාරුවෙන් මාරුවට ඇවිත් අපට උපදෙස් දුන්නා. ඒ අය අපේ චිත්‍ර බැලුවා විතරක්ම  නෙමෙයි අපි ලවා විවිධ නිර්මාණ අභ්‍යාස කරා. දැඩි විෂය නිර්දේශ වෙනුවට එතැන තිබුනේ හරිම නිදහස් පරිසරයක්. ගොඩක් වෙලාවට අපට නිදහසේ චිත්‍ර අදින්න ඉඩ ලැබුනා. ගුරුවරු කලේ අපේ දක්ෂතා වලට උදව් දුන්නු එක විතරයි. අපි එහෙම අදින චිත්‍ර ලංකාවේ විතරක් නෙවෙයි විදේශ චිත්‍ර තරගවලට පවා යැව්වා. ඒ කාලේ ජපාන චිත්‍ර තරග හරිම ප්‍රසිද්ධයි.



මිනිස් රූප ලස්සනට අඳින්නට බැරි වුණත්, වර්ණ මිශ්‍ර කරන්න, රූප ගලපන්න යම් තරමක දක්ෂකමක් මටත් තිබුණා මගේ චිත්‍ර කිහිපයකට විවිධ තරඟවලින් කුසලතා සහතික ලැබුණා කියලත් ඒවා අධ්‍යාපන කාර්යාලයේ තිබෙන බවත් ඉදිරි කාලයකදී  ලැබෙනවා කියලත් කිව්වා. හැබැයි කවදාවත් අපට ඒවා ලැබුනේ නම් නැහැ.  රටේ තත්ත්වය වෙනස් වුණා. පළාතට භීෂණය ආවා.වියදම් කප්පාදු වුනා.උපකරණ දෙන එක නතර වුණා. ගුරුවරුත් සතියකට දෙන්නා වෙනුවට එක්කෙනා වුනා . ගෙවීම් ප්‍රමාදයි  කියලා එන එක්කෙනත් නතර වුණා . දවස් ගණන් අපි රස්තියාදු වෙන හින්දා ඒ වැඩේ හබක්වෙලා  පන්ති යන එක නැවැත්තුවා. චිත්‍ර පන්තියට ආව ගිය අතරෙ  රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ කෝකි අයියා එක්ක යාළුවෙලා කෑම  සප්පායම් වුනු හැටි , මුහුදු වෙරළේ කළ කී දේ මතක  මගේ කෙටි කතාවලට ඉතිරි කර ගන්න අවශ්‍ය නිසා නොකියා තියාගන්නම් . 


චිත්‍ර අඳින්න බඩු ගන්න මාතර තැපැල් කන්තෝරුව ළඟ තිබෙන මුස්ලිම් කඩේට අපි පුරුදුවෙලා හිටියේ එතනින් යම් තරමක සහන මිලකට ඒවා ගන්න පුලුවන් වුනු හින්දයි. ඒ වගේම ඒ කාලේ චිත්‍ර රාමු කරගන්න එකත් තරමක් දුෂ්කර වැඩක්. දවස්  ගණන් රස්තියාදු වෙනවා. චිත්‍ර තරඟ වලට චිත්‍ර යැවූ විදිහ ගැන මතක නැති වුනත් චිත්‍ර ප්‍රදර්ශන වලට අවශ්‍ය විදිහට පින්තූර රාමු කරලා ගන්න වැඩේ බර කරට ගත්තෙ නම් තාත්තා තමයි. අද බලන කොට විෂයන් ඔක්කොටම ටියුෂන් යන ළමයි වෙනුවට එදා අපට කොච්චර බාහිර වැඩ තිබුණද කියල හිතෙනවා. චිත්‍ර පන්තිය , රුහුණු සේවය , දහම් පාසැල  , මුතුහර රූපවාහිනි ළමා සමාජය සති අන්තයම අත්දැකීම් පිරුණු රස්තියාදුවක්.   


අදත් ලෝකෙ කොහේ හරි සංචාරය කළොත්, නගරයේ යම් තැනක ඉඩ තියෙන වෙලාවකදි චිත්‍ර හෝ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බොත් ඉඩ ලැබෙන විදිහට ඒවාට යන්න පුරුද්ද ඇතිවෙලා තියෙන්නේ ඒ හින්ද වෙන්න ඕන. මේ රටේ විවිධ ආයතනවලින් නගරයේ නගර සභාවෙන් වැඩිහිටි අය වෙනුවෙන් සංවිධානය වන චිත්‍ර පන්ති තියෙනවා. විශ්‍රාමික අය ඒවට ගිහින් තමන්ගේ කාලය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරලා සතුටින් ඉන්නවා.සමහර විට විශ්‍රාම ගත්ත දවස්වලට ඒ වගේ ඒවාට යන්නත් වැඩි වැඩියෙන් කලාගාර බලන්නත් ඉඩ තියෙනවා. ඒවාට ඉතින් තව කල් තියෙනවනේ.



මම ගූගල් සිතියමෙන් බලද්දි, දැන් අපි චිත්‍ර අඳින්න ගිය ඉස්කෝලෙ තාප්ප ගහලා තට්ටු ගොඩනැගිලි හැදිලා නිකං මාතර ටවුමේ කෑල්ලක් වගේ වෙලා. අපි යන කාලේ ඒ ඉස්කෝලේ පෙනුනේ හැට ගණන් වල චිත්‍රපට වල දැක්ක මධ්‍ය මහා විද්‍යාලයක් වගේ, හරිම ලස්සනයි. විෂය අධ්‍යාපනයට අමතරව ශිෂ්‍ය දක්ෂතා දියුණු කරන්න ලකාවෙ කොච්චර ලස්සන ව්‍යාපෘති තිබිල තියෙනවද?  පෞද්ගලික හේතු සහ උවමනාවක් නැති කම නිසා පසුකාලීනව  භාවිතයට නොගෙන ආධාරදුන් ඒ ඒ ආයතනවලට ඇදිලා ගිය මුදල් සහ ඒ ව්‍යාපෘති නිසි විදිහට කළමනාකරණය වුණානම් කියල මට හිතෙනව. 


පහුගිය දවසක අජිත් ජිනදාස ප්‍රවීණ රංගවේදියා එක්ක කළ රූපවාහිනි කතාබහක දී ඔහු කිව්වේ රත්නපුරේ ළමයකුට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇවිත් ලෝකය දකින්න ලැබුණේ ලංකාවේ ඒ කාලෙ තිබුනු ශිෂ්‍යත්ව විභාගය නිසා කියලයි. ඒ වගේම අපේ ජීවිත කාලයේදී අපට අත්දකින්නට ලැබුණු සුනාමි උවදුරේ දී ලංකාවට ආධාර විදිහට ලැබුණු බහුතරයක් දේ  නිසි නඩත්තුවක් නැතිකම නිසා අද වෙනකොට අබලන් වෙලා භාවිතයට ගන්න බැරි තරමටම සවුත්තු වෙලා. දේශපාලන අධිකාරියට විතරක් බැන බැන ඉන්නෙ නැතුව නිලධාරීන් සහ පුරවැසියන් විදියට හැමෝම තම තමන්ගේ යුතුකම සහ වගකීම පැහැර හැරීම හේතුවෙලා  කියලා මට හිතෙන්නෙ නිසි ක්‍රමවේද වලට , නිසි වෙලාවට මේ රටවල දේවල් නඩත්තුවෙන හැටි දැක්කමයි.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment