මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 12, 2023

ලෝකයේ ලොකුම මිරිදිය විල බලන්නට උතුරු ඔන්ටාරියෝවට

 


කැනේඩියානු සංචාරයක මතකය    


කැනඩාවේ පලාත් අතරින් 4 වන විශාලතම පලාත විදිහට සැලකෙන්නේ වර්ග කිලෝමීටර 1,076,395 ක බිම් කඩක් වසා පැතිර පවතින අප ජීවත්වන ඔන්ටාරියෝ පලාතයි. පංච මහා විල් අතරින් 4 ක කොටස් ඇමෙරිකා එකසත් ජනපදය සමග සහයෝගයෙන් බෙදා ගන්නා කැනඩාවේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 10.8 ක් මේ පලාතට අයිතියි. මේ මුළු ඉඩෙන් 3/4 ක ප්‍රදේශය සැලකෙන්නේ උතුරු ඔන්ටාරියෝව ( Northern Ontario ) කියලයි. ජන ගණත්වය ඉතාම අඩු , ජලපෝෂක රක්ෂිත සහ පලාත් උද්‍යාන ලෙසින් සංරක්ෂණය වන මේ කලාපයේ ජීවත්වන්නේ ඔන්ටාරියෝ ජනගහණයෙන් සියයට 25 කටත් අඩු පිරිසක්. දිගු වාහන ගමනකට පස්සෙ අපි මේ ඇවිත් ඉන්නෙ ඒ නිස්කලංක පරිසරයේ අසිරිය බලන්නයි.


මේ වනවිට ඔන්ටාරියෝ නමින් හදුන්වන පලාත යුරෝපීයන් අත්පත් කරගන්නට පෙර අවුරුදු දහස් ගණනක් තිස්සේ ස්වදේශික ගෝත්‍ර කිහිපයක් මේ සම්පත් බොහොම පරිස්සමින් පාවිච්චි කර තිබුනා. අදත් ඒ කලාපයේ බොහෝ ඉඩම් පාලනය වන්නේ First Nations  මගින්. ඒ වගේම අඩු මාර්ග සහ යටිතල පහසුකම් සහිත ඒ ප්‍රදේශ බාහිර ලෝකය සමග එක් වන්නේ අඩුවෙන්. අදටත් ඔන්ටාරියෝ පලාතේ මාර්ග නැති සමහර ප්‍රදේශ තිබෙනවා.ඒ හින්ද අපේ ගමනට අයත්වුණු කලාපයට අපි ගියේ Trans Canada Highway එක  දිගේ. කුඩා ගම් , නගර, ස්වදේශික කලාප යා කරමින් ඒ ප්‍රදේශයට යන එකම ප්‍රධාන මාර්ගය වුනු හින්ද එහි වේග සීමාව  පැයට කිලෝමීටර 50 ඉදන් 110 වෙනකම් තැනින් තැනට වෙනස් වුනේ එක් පසකට මංතීරු 3 ඉදන් එක  දක්වා අඩු වැඩි වෙමින්. හෙමින් ගමන් ගන්නා සමහර වාහනයක් ඉස්සර කරන්නට කිලෝමීටර 10 ක් විතර ඉබි ගමනේ යන්නට වෙන හින්ද සැලසුම් කරද්දී ගමනට වැඩි කාලයක් අයින් කරලා තියෙන එක  හොදයි.

ටොරොන්ටෝවේ ඉදන් පැය 7-8 ක රථ ධාවනයකට පස්සෙ අපි ගියේ .Sault Ste Marie  නගරයටයි. සුපීරියර් විලෙන් හියුරන් විලට වතුර ගලායන ජල මාර්ගය දැක්කාම ඒ ප්‍රදේශයට මුලින්ම ගිය යුරෝපීයන් වුනු ප්‍රංශ ලොම් වෙළෙන්දන් සහ මිෂනාරීවරු එය නම් කල ශාන්ත මේරි ඇල්ල යන තේරුමින් ඒ නගරයට ඒ නම ලැබිල තියෙනවා. ඇත්තටම කියනවා නම්  සුපීරියර් විලෙන් හියුරන් විලට වතුර වැටෙන්න හේතුවෙන්නේ ඒ දෙක අතර තියෙන අඩි 21 ක පරතරය කියලයි කියන්නෙ. Sault කියන වචනය රළ කියන අදහසත් දෙන හින්ද රළ නගමින් වතුර ගලායන මේ ඉසව්වට ඔවුන් ඒ නම දෙන්න ඇති.

ඔන්ටාරියෝ පලාතේ උතුරු මායිම වන Kenora නගරයට තවත් පැය 13 ක ගමනක් තියෙනවා. Thunder Bay  වලට නම් තවත් පැය 8 ක්. ඒත් අපි සංචාරය කලේ Wawa නගරයට විතරයි.  

Wawa  

යුරෝපීයන් සහ ස්වදේශිකයින් අතර ලොම්  වෙළද මධ්‍යස්ථානයක් විදිහටත්, රත්රන් සහ යපස් නිධි නිසාත්, දැව කර්මාන්තය නිසාත් ජනාවාස වුනු Wawa නගරයේ තිබෙන ජනප්‍රියම සංචාරක ආකර්ෂණය අඩි 28 ක් උස ලෝහමය Canada Goose ප්‍රතිමාව තමයි. ස්වදේශික Ojibwe භාෂාවෙන් කැනඩා පාත්තයින්ට කියන්නේ Wawa කියල හින්ද උන් බහුල මේ ප්‍රදේශයට ඒ නම ලැබිලා තියෙනවා.

Yong's General Store කියල කියන්නේ ඒ නගරයේ බලන්නට පුළුවන් තවත් තැනක්. අද වගේ බඩු ගන්නට පහසුකම් නොතිබුණු ඒ කාලයේ ස්වදේශිකයින්ට තමන්ගෙ ලොම් සහ තවත් දේ තමන්ට අවශ්‍ය තුවක්කු, රෙදිපිළි සහ තවත් දේ සදහා හුවමාරු කල තැනක්. අද ක්‍රෙඩිට් කාඩ් පතට ගණුදෙනු කලත් මේ කඩේ අදත් ඔබට ඒ  අත්දැකීම සිහිපත් කරාවි. 

සුපීරියර් විල   ( Lake Superior )

පංච මහා විල් අතරින් විශාලතම විල වන වර්ග කිලෝමීටර් 82,100 ක් විශාල සුපීරියර් විල  ඉඩ ප්‍රමාණය අතින් ලෝකයේ තිබෙන විශාලතම මිරිදිය විල විදිහට සැලකෙනවා. ලෝකයේ මතුපිට තිබෙන ජල ප්‍රමාණයෙන් සියයට 10 ක් එහි තියෙනවා කියලයි කියන්නෙ. සුපීරියර් විල අයින දිගේ ඉදිකර තිබෙන Trans canada Highway  මාර්ගය කැනඩාවේදී මා දුටු තවත් ලස්සන Scenic routes එකක්. ඔන්ටාරියෝ පලාත් ආණ්ඩුව මගින් පාලනය වන Lake Superior Provincial park, Batchwana Bay provincial park, Pancake bay provincial park  පලාත් උද්‍යාන රැසක් මේ විලට මායිම් වන කැනඩා බිම් කඩේ  තිබෙනවා. කලබලකාරී නාගරික ජීවිතයෙන් මිදිලා ගිම්හානයේ දවස් කීපයක් ගත කරන්නට ඇවිදින මංපෙත්, විනෝදයට මාළු අල්ලන්න, බයිසිකල් පදින්න, Canoe, Kayak බෝට්ටු පදින්න, මෝටර් බෝට්ටු වලින් විල ගවේෂණය කරන්න , පිහිනන්න, වෙරළේ අව්ව තපින්න වගේම දින කිහිපයක් කදවුරු බිම් ( Camping  ) කරන්නත් අවශ්‍ය සියළු පහසුකම් මේ උද්‍යාන වල අඩු නැතුව තියෙනවා. ඔබ ඒ පැත්තට යනවා නම් එකින් එක උද්‍යානයට දිනපතා ප්‍රවේශ පත් ගන්නවාට වඩා Ontario Parks seasonal Pass  ගන්න එක ඔබේ පසුම්බියට ලොකු ඉතිරියක් කරාවි.

Mid point of Trans Canada Highway.

කැනඩා ඔටෝමොබයිල් සංගමය පිහිටවූ වෛද්‍ය පෙරී ඩු ලිටල්  (Dr. Perry E. Doolittle) ගේ සිහිනය වුනේ කැනඩාවේ දෙකොන යාවන මාර්ගයක වාහනයකින් යන එක. 1932 දී ඔහු මියගියත් 1962 දී , හැතැක්ම 4860 ක් ( 7476 km) දිග Trans Canada Highway  එක ඉදිවුණා. එහි මධ්‍ය ලක්ෂය තිබෙන්නේ මේ ප්‍රදේශයේ  Batchwana Bay  වලයි. ඒ වෙනුවෙන් ඉදිකල පුවරුවක් ඔබට මේ ගමනේදී දකින්න පුළුවන්. 

Lake Superior provincial Park

කැනඩා ඉතිහාසය වර්ණවත් කල සිත්තරුන් 7 දෙනෙකු ( Group of seven) විසින් සිත්තම් කල පරිසර චිත්‍ර හින්ද ලොව දස අත නම පතල වුනු මේ උද්‍යානය වර්ග කිලෝමීටර 1556 ක් විශාලයි. ඒ මැදින් යන Trans canada Highway  මාර්ගයෙන් ඔබට මේ සුන්දර පරිසරයේ අසිරිය විදින්න පුළුවන්. මේ උද්‍යානයට තියෙන ඉල්ලුම හින්ද ජනවාරි මාසෙදි කදවුරු බිම් වෙන්කර ගන්නවා වගේම දවස් 5 කට කලින් ඉදන් අන්තර් ජාලයෙන් දිනක සංචාරය සදහා වූ ප්‍රවේශ පත්‍ර ගන්නා එකත් නුවණට හුරුයි. මේ උද්‍යානය්යේ මගේ සිත් ගත තැන් කිහිපයක් ගැන විතරක් මෙහි සටහන් කරන්නම්.



Agawa Bay Pictographs

විලට මුහුණලා තියෙන සිරස් ගල් පර්වතයක Ojibwe ගෝත්‍රික පිරිස් ඇදි චිත්‍ර මෙතැනදී ඔබට බලන්නට පුළුවන්. වාහන නැවතුමේ ඉදන් කුඩා දුරක් ඇවිදගෙන ගිහින් යකඩ දම්වැල් වල එල්ලිලා විල් දිය ගෑවී නොගෑවී යන ඒ ගමන තරමක් ත්‍රාසජනකයි. දැඩි හුලං තිබෙන දවසක රැළි ඉහළට නැගෙන හින්ද පරිස්සමින් යන එක හොදයි. අප එතැනට ගිය වෙලේ ගෝත්‍රික තරුණයෙක් ඇවිත් බෙරයක් වයමින් යම් යම් දේ කියමින් පූජාවක් වැනි  යමක් කරනු අපි දැක්ක හින්ද මෙතැන ගැන ඔවුන්ට යම් යම් විශ්වාස තියෙන බව පේනවා.   


Old women bay 

  මේ ප්‍රදේශයේ වම් අත පැත්තේ තියෙන පර්වත සැකැස්ම හරියට වයසක ගැහැණු කෙනෙකුගේ මුහුණ වගේ පේන හින්ද මේ බොක්කට මේ නම ලැබිල තියෙනවා. එතැන තියෙන වෙරළ තීරය පීනන්න, නිදහසේ අව්ව තපින්න වගේම කිහිප දෙනෙක් එකතුවෙලා පොඩි පොඩි ක්‍රියාකාරකම් කරන්න අපූරු තැනක්. 

Nakomis Trail

කිලෝමීටර 4 ක මේ ඇවිදින මං තීරුව ගල් පර්වත නගිමින් , බහිමින් යන අපූරු ගමනක්. තිබෙන කුඩා රථගාල ඉක්මණින් පිරෙන හින්ද උදේම මෙතැනට ගියොත් හොදයි.

Sand River Falls

අයිස් යුගයේ තිබුණු අයිස් දියවෙලා ගිහින් ඉතිරිවුණු Canadian Shield  එකේ පවතින පර්වත විවිධත්වය හොදින් බලාගෙන කදිම දිය ඇල්ලක් බලන්න යන මේ ගමන අපූරුයි. කාලයක් තිස්සේ විවිධ හැඩවලට කැඩුණු පර්වත කැබලි මැද්දෙන් ගලන ගග දිහා බලාගෙන උඩහට ගියාම තියෙන දිය ඇල්ල ඔබට බලන්නට ආසා කරන පරිසරයක් මවනවා.    

ඔබට වෙලාව තියෙනවා නම් බලන්න තවත් ගොඩක් දේ තියෙනවා. ඒත් කාලය අපට සීමා පනවන හින්ද අපි නවාතැන් ගන්න හෝටලය වෙන්කරවා ගෙන තිබුණු Saulte Ste Marie වලට යන්න පිටත් වුණා.

ලබන මාසයේදී Canadian Bushplane museum එකටත්  Agawa Canyon  දුම්රිය චාරිකාවටත් එක්වෙමු.

අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.


4 comments:

  1. අගෙයි
    වැඩ අස්සේ අයිය සංචාරයට වෙලාව හදාගන්න එක මරු!

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. කොහොමත් හැම ගිම්හානයකම කොහේ හරි යන්න උත්සාහ කරනවා.

      Delete
  2. ෂා මරු. ලස්සනට ලියලා තියනවා.👌

    ReplyDelete
    Replies
    1. බසු මහත්තයා ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete