වහල සහිත පාලම් ඉදිකිරීමේ සම්ප්‍රදාය ක්‍රිස්තු වර්ෂ 1300 දී පමණ ආරම්භ වී තිබෙන්නේ ස්විස්ටර්ලන්තයේදී. 1700 දී පමණ එය ජර්මනියටත් පැතිර ගියා. 1800 ගණන් වන විට එය ඇමෙරිකාවට සහ කැනඩාවටත් හුරු පුරුදු දෙයක් බවට පත්වුණා.අදත් කැනඩාවේ සහ ඇමරිකාවේ විවිධ ප්‍රදේශවලින් වහලයක් ඇති පාලම් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ බදුල්ලේ තිබෙන බෝගොඩ පාලම දාසය වන සියවසේ දී ඉදිවුන එකක් බවයි කියවෙන්නේ. The Brides of Madison county කියන චිත්‍රපටය වහල ඇති පාලම් ජනප්‍රිය කරන්නට හේතුවුනු බව රහසක් නෙවෙයි. ලෝකයේ තිබෙන දිගම වහලයක් සහිත පාලම තිබෙන්නේ කැනඩාවේ හාර්ට්ලන්ඩ් ප්‍රදේශයේ. එය අඩි 1282 ක් ( 391 m ) දිගයි. ඔබ නිව් බ්රුන්ස්වික් පළාතට යනවා නම් අමතක නොකර යා යුතු තැනක් විදියට මේ හඳුන්වන්න පුළුවන්.
නිව් බ්රුන්ස්වික් පළාතට හාර්ට්ලන්ඩ් ගම්මානය අසලින් ගලා ගිය ශාන්ත ජෝන් ගඟ තරණය කරන්නට මුලින්ම තිබුණේ පාරුවක්. ශීත කාලවලදී පැන නැගුණු ගැටළු නිසාත්, අශ්ව කරත්ත සහ අශ්වයන්ගේ ගමනට පහසු නිසාත්, ගඟ හරහා පාලමක් ඉදිකිරීමට පටන් ගැනුනේ 1898 දී . කුඩා පාලම් හතක් එක් කරමින් කුළුණු පහක් මත ඒ පාලම ඉදි කෙරුණා. හාර්ට්ලන්ඩ් ගම්මානයට සැතපුම් පහක, හයක පරිධියක සිටින ජනතාවගේ පරිහරණය සඳහා ඉදි කෙරුණු එයට රජය ලබා දුන් මුදල ඉදිකිරීම් නිම කිරීමට ප්‍රමාණවත් වුණේ නෑ . අවසානයේදී ඉදිකිරීම් නිම කරන්නට පළාත් රජය තීරණය කළේ පාලමෙන් ගමන් පහසුකම් සලසා ගන්නා මගියෙකුගෙන් ශත තුනක් සහ අශ්ව කරත්තයකින් ශත දොලහක් එකතු කරන, මුදල් ගෙවා තරණය කරන පාලමක් ලෙස තනා නිම කරන්නයි. එක්දහස් නවසිය එකේ සිට එක්දහස් නමසිය හය (1901-1906) දක්වා කාලය තුළින් මුදල් අය කළ මේ පාලම 1906 දී රජය විසින් නොමිලේ භාවිතයට ඉඩ දුන්නේ ජනතාවගේ විරෝධතා ගැන සලකා බලලයි. මෙය ඉදි කරන්නට කැනේඩියන් ඩොලර් තිස්තුන් දහසක ( CAD 33,000 ) මුදලක් වැයවී තිබෙන බව කියවෙනවා.
1920 දී වානේ පදනමක් මත මෙය ඉදිකරමින් ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී අශ්වයින්, අශ්ව රථ සහ මගීන්ට ශීත කාලයේදී දැඩි හිම පතනයන් ගෙන් ආරක්ෂා වීම පිණිස භාවිතා කිරීමේ අරමුණින් මෙයට වහලයක් යෙදීමට තීරණය කෙරුණා. ඒ අවස්ථාවේ දී ඒ සඳහා සමහර පිරිස් වලින් විරෝධතා එල්ල වුණේ තරුණ ගැටවුන් සහ ගැටිස්සියන් මෙය අයථා ලෙස භාවිතා කරාවි යන අදහසින්. එයට මුල් වුණේ අශ්ව කරත්තයකින් යන අවිවාහක යුවළක් පාලමක් මතදී හාදුවක් දුන්නොත් ඔවුන්ගේ විවාහය ස්ථිරයි යන ඒ කාලයේ සමාජයේ තිබු සාම්ප්‍රදායික අදහසයි. ඒ කොහොම වුණත් බහුතර වාසි සහ වහල සහිත පාලම් සඳහා ඇති උතුරු ඇමරිකානු නැමියාව මෙය වහලයක් ඇති පාලමක් බවට පත්කළා.
තනි වාහන මං තීරුවකින් සහ තනි මගී මං තීරුවකින් සමන්විත මෙහි ගෙන යා හැකි උපරිම බර ප්‍රමාණය ටොන් දහයක් (10) වුණත්, 2023 සිට ගෙන යා යුතු බර ටොන් තුනකට (3) සහ මේ පාලම මතදී වාහනවල ගමන් වේගය පැයට කිලෝමීටර විස්සකට (20 ) සීමා කර තිබෙන්නේ පාලමේ මතු ආරක්‍ෂාව සඳහායි. මේ පාලමේ කොටස් හතෙන් පහක් අඩි එකසිය හැට හත (167) බැගින් දිගු ඒවා වන අතර අනිත් දෙක අඩි 144 බැගින් දිගයි. 1940 දී පදික මං තීරුව වෙන් කර තනා තිබෙන්නේ මෝටර් රථ මේ හරහා යන්නට පටන් ගත් හින්දයි. බර ඇති සහ උසැති වාහන ශාන්ත ජෝන් ගඟ තරණය කරන්නට මේ මාර්ගය මග හැර මීට නුදුරින් තිබෙන හියූ ජෝන් ෆ්ලෙමින් පාලම( Hugh John Flemming Bridge ) භාවිතා කරනවා.
මේ පාලම හරහා වාහනයෙන් යන එක වගේම ඇවිදගෙන යන එකත් හරිම ආශ්වාදජනක අත්දැකීමක්. තනි මං තීරුවක් තිබෙන නිසා වාහන ගමන් කරන්නේ මාරුවෙන් මාරුවට තමන්ගේ වාරය අරගෙනයි. ඒ වගේම වේග සීමා පනවා ඇති නිසා ඔබ ඒ පිළිබඳව සැලකිලිමත් වෙන එකත් හොඳයි. පාලම අසල හාර්ට්ලන්ඩ් නගරයේදී ඔබට පාලම පිළිබඳ සිහිවටන ඔබේ එකතුවට මිලදී ගන්න පුළුවන්.
වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙකුට මේ දිගු ප්‍රයෝජනවත් වේවි.
https://tourismnewbrunswick.ca/listing/hartland-covered-bridge
https://en.wikipedia.org/wiki/Hartland_Covered_Bridge
https://www.pc.gc.ca/apps/dfhd/page_nhs_eng.aspx?id=181
මේ වන විට මෙය නිව් බ්රුන්ස්වික් පළාතේ සහ කැනඩාවේ ජාතික උරුමයක් ලෙස සංරක්‍ෂණය කෙරෙනවා. මෙයට ගෞරව දැක්වීමක් ලෙස 1988 ශීත ඔලිම්පික් ගිනි සිළුව මේ මතින් ගෙන ගිය අතර 1995 දී මේ පාලම වෙනුවෙන් සමරු මුද්දරයක්ද නිකුත් කර තිබෙනවා.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.