Bay of Fundy. කියලා කියන්නේ ලෝකේ පිහිටා තිබෙන විශාලතම බොක්කක්. අත්ලාන්තික් සාගරයේ පිහිටා තිබෙන මෙය මායිම් වෙන්නේ කැනඩාවේ නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතට සහ නෝවා ස්කෝෂියා (Nova Scotia ) කියන පළාත් දෙකටයි. සඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන වඩදිය සහ බාදිය බලන්නට ලෝකයේ තිබෙන හොඳම තැන විදියට සැලකෙන්නේ මේ Hopewell Rocks ප්‍රදේශයයි. දළ වශයෙන් ජල ගැලුම් බිලියන 160 ක් වඩදිය බාදිය ක්‍රියාවලියේදී දවසට දෙවරක් පිරවීම සහ හිස්වීම සිදුවෙනවා. සඳට ළං වන විට ජලය පිරීම හැඳින්වෙන්නේ වඩදිය ( High Tide ) නමින්. ඈත් වන විට මුහුද හෝ ජල කලාපය හිස්ව පතුල පෙනීම හැඳින්වෙන්නේ බාදිය ( Low Tide ) කියලයි.

Hopewell Rocks . කියල කියන්නේ නිව් බ්රුන්ස්වික් පළාතේ වඩදිය සහ බාදිය බලන්නට තියෙන අපූරුම තැනයි .එයට හේතුව ඒ ප්‍රදේශය මායිමේ තියෙන ඛාදනය වුනු පර්වත කොටස් කිහිපයක් වෙරළ ආසන්නයේම පිහිටා තිබීමයි . මීට පෙර සංචාරයකදී ඔන්ටාරියෝ පළාතේ ටොබමොරේ (Tobermory, Ontario ) ආසන්නයේ තිබෙන flowerpot islands වෙත ඔබ රැගෙන ගියා ඔබට මතක ඇති. ඒ ප්‍රදේශයේ වෙරළ අද්දර තියෙන උස්ව නැගුණු පර්වත කොටස් කිහිපයක් තිබුනා. මිනිස්සු ඒවාට විවිධ නම් පටබැඳ තිබුණා. ඒ වගේම මෙතැන උස්ව පිහිටා තිබෙන පර්වත ( Sea Stacks ) රැසක් තිබෙන හින්දා මෙතැනදී වඩදිය බාදිය වෙනස ලස්සනට බලන්නට පුළුවන්. මේ වතුර මට්ටමේ වෙනස අඩි 54 ක් ( මීටර් 16) තරම් තරම් විශාල එකක්. අන්තර්ජාලයෙන් බාදිය පටන් ගන්නට කිට්ටු වෙලාව බලලා අපි නවාතැනින් පිටත් වුණා. මොක්ටන් (Moncton ) නගරයේ දී හමුවනේ පෙටිට් කෝඩියක් ගඟ
( Petitcodiac River ) හිස් වෙමින් තිබුනා. වඩදිය සහ බාදිය වෙනස දවසකට දෙවරක් සෑම පැය හයකට වරක් සිදුවෙනවා. හරියටම කියනවා නම් පැය හයයි විනාඩි දොළහමාරකට වතාවක්. අපි මුලින්ම කලේ නැරඹුම් මධ්‍යස්ථානයට ගිහින් මුහුද පතුල දිස්වන හැටි බලන් ඉන්න එකයි.

මේ දිගුවෙන් වඩදිය බාදිය දවසේ කාලසටහන බලාගන්නට පුළුවන්
https://www.parcsnbparks.ca/en/parks/33/hopewell-rocks-provincial-park/26/tide-tables
Hopewell Rocks වල තිබෙන පර්වත කුට්ටි ලට පොදු ව්‍යවහාරයේදී ලැබෙන නම් කිහිපයක් තිබෙනවා අලියා (Elephant ) , වලහා ( Bear) ඩයිනසෝර් (Dinosaur ) , ඊටී (ET ) සහ නැන්දම්මා (Mother in Law ) . ඒ නම් පට බැදෙන්නට ඇත්තේ ඒවා දුටු අයට හිතුණු පුරුදු හැඩ හින්දා වෙන්න ඇති. මුහුදේ තිබෙන තරමක බොර පැහැති වතුර ප්‍රමාණය අඩුවෙමින් ඒ පර්වත මතුවෙමින් තිබුණා.
ප්‍රධාන නිරීක්‍ෂණ පරිශ්‍රය අසල නිලධාරීන් මුහුද පතුල හිස්වෙන කොටම ආරක්ෂිත ගේට්ටු අරින්න සූදානමින් හිටියා. වතුර මට්ටම ටිකෙන් ටික අඩු වෙනකොටම යම් නිලධාරීන් පිරිසක් සංචාරකයින් සඳහා විවෘත වන ප්‍රදේශ නිරීක්ෂණය කරනවා ඔවුන්ට යම්කිසි අවදානමක් තිබෙනවාද කියලා බලන්න. ඒ නිරීක්ෂකයින් අවසර දුන් ගමන්ම අපි කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ මුහුදු පතුලේ ඇවිදින්න යන්නයි. ඔන්න වෙලාව ආවා. ගේට්ටු විවෘත කලා. අපි දැන් ඉන්නේ කලින් වතුර පිරිලා තිබුණු මුහුදු පතුලෙ. ලංකාවේ 2006 දී සුනාමිය ඇතිවුණු වෙලාවෙ ටික වෙලාවකට මෙහෙම වුනා කියල අහලා තිබුනත්, මෙහෙම එකක් දැකල තිබුනෙ නැහැ.මේ විදිහට ඇවිදින්න දුර කිලෝමීටරයක් තරම් ප්‍රදේශයක් විවෘතව තැබෙනවා. තැනින් තැන උද්‍යානයේ නිලධාරීන් ආරක්ෂාවට ඉන්නවා. අපි පැයක් විතර මුහුද පතුල තියෙන කොටසේ ගත කළා. කැමති විදිහට එක එක තැන ඉදලා ෆොටෝ ගත්තා. කැමතිනම් ආයෙමත් වතුර පිරෙනකම් ඔබට තරමක විවේකයක් ගන්නට පුළුවන්.
සනීපාරක්ෂක පහසුකම් අරගෙන, පොඩ්ඩක් ඇවිදලා කෑම කාලා එහෙම ඔබ සූදානම් වෙනකොට මුහුද ආයෙමත් වතුරෙන් පිරෙන්න පටන් අරන් . ඔබ කැමති නම් පොඩි බෝට්ටු විශේෂ වන Kayak හෝ Canoe . කුලියට අරගෙන වතුර මට්ටම ටිකෙන් ටික වැඩි වෙද්දී ඔබ ඇවිදගෙන ගිය පර්වත කුට්ටි අතරින් ඒ යාත්‍රා පදවමින් විනෝද වන්නට පුළුවන්. කණ්‌ඩායම් විදිහට ගෙනියන ඒ යාත්‍රා වලට මග පෙන්වන්න වගේම ආරක්ෂාවට උද්‍යානයේ නිලධාරීන් ඔබත් එක්ක එනවා.
ඔබ Hopewell Rocks provincial park එකට මිලදී ගන්නා ප්‍රවේශපත්‍රයක් දින දෙකකට වලංගු වෙනවා. ඔබට කැමතිනම් එක දවසක වඩදියත් අනික් දවසේ බාදියත් බලන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි එන සංචාරකයින් වැඩි පිරිසක් මෙතන පැය අටක තරම් කාලයක් රැඳිලා වඩදිය බාදිය වෙනස බලලම යන බව තමයි කියන්නේ. ඒත් එහෙම අවසර දීල තියෙන්නෙ එහෙම ඉන්නට අමාරු ශාරීරික ආබාධ ඇති අය, පොඩි අය සහ මහළු අයටත් ඒ අත්දැකීම ගන්නයි. ඒ වගේම මඩ සහිත මුහුදු පතුලට යන්නට අවශ්‍යම නම් කෙනෙකුට ඒ අත්දැකීම ගන්න රෝද පුටු ගෙනියන්න අවශ්‍ය Access Ramp පවා මෙහි සකස් කරලා තියෙනවා.
රතු දුඹුරු පාටින් යුත් මේ පර්වත වල ඉතිහාසය අයිස් යුගය දක්වා ඈතට දිව යනවා. ඒ වගේම මේ මුහුදු පතුලේ විශාල ජෛව විවිධත්වයක් දකින්නට තිබෙනවා. ඒ නිසා ඔබට කුරුලු විශේෂ රැසක් මේ අවට කූඩු තනාගෙන ජීවත්වන හැටිත්, මුහුද හිස් වන විට කෑම ගන්නට යන හැටිත් දකින්නට පුළුවන්. ඊට අමතරව විවිධ වර්ගවල සමුද්‍ර ජීවින් රැසක්, ආවේණික සත්ව විශේෂ මේ ප්‍රදේශයේදී දකින්න පුළුවන්.
වැඩි විස්තර කැමති අයට මේ දිගු ප්‍රයෝජනවත් වේවි.
https://www.parcsnbparks.ca/en/parks/33/hopewell-rocks-provincial-park
https://en.wikipedia.org/wiki/Hopewell_Rocks
2016 මාර්තු 14 වැනි දා Elephant Rock එකේ ටොන් 100-200 ප්‍රමාණයක කැබැල්ලක් විනාශ වී තිබෙනවා. 2022 දීත් සුළු සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ හින්දා බලධාරීන් අවධානම පිළිබඳ නිරන්තර පරීක්ෂාවෙන් ඉන්නවා ඒ වගේම සංචාරක ඔබත් හිතෙන හිතෙන තැන් වලට නොගිහින් ලකුණු කර තිබෙන ප්‍රදේශවල සංචාරය කරනවානම් ආරක්ෂාවට හොඳයි.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි
හරිම ආසාවෙනුයි ඒ විස්තරය කියෙව්වේ. කවද හරි එතෙන්ට නම් යන්නම ඕන. පින්තූර ටිකත් හරිම අපූරුයි. අන්තිම පින්තූරය edited වුනත් හරිම වටිනවා.
ReplyDeleteකුමුදු ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් පුළුවන් නම් ගිම්හාන කාලයක යන්න. එතැන ඉදන් නෝවා ස්කොෂියා පළාතට වගේම එඩ්වඩ් කුමාර දිවයිනටත් යන්න පුළුවන්.
Delete+++++++++++++++++
ReplyDeleteප්‍රා ජේ ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි
Deleteඒක මරු
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔව් බලන්න වටින තැනක්.
Delete