1990 දී කොළඹ ඩී ඇස් සේනානායක විද්‍යාලයට උසස් පෙළ කරන්න ආවාම ලේක්හවුස් එක්ක මගේ තියෙන ගණුදෙනුව වැඩිවෙලා පිටුව දෙක පිරෙන තරමේ ලිපි මිහිර, විදුනැණ, නවයුගය පත්තරවල පලවුනා වගේම පොඩි පොඩි චෙක් එහෙමත් ඒවාට ලැබුණා මතකයි. මිහිරෙ කතුතුමා වුනේ නිව්ටන් පින්තු මහත්තයා වුණත් කාර්යබහුල එතුමා වෙනුවට ලේක්හවුස් ලොබියෙදී මාව හමුවුනේ ඒ කාලෙ පිටු සැලසුම් කල ඉදුනිල් වීරරත්න මහත්තයා තමයි. නවයුගයේ කතුතුමා ප්‍රවීණ ගීත රචක අජන්තා රණසිංහ මහතා වුනත් අපේ ගනුදෙනු තිබුනේ අනුර බණ්ඩාර රාජගුරු මහත්තයා එක්කයි.
ඔය අතරෙ තමයි පෙරමග සඟරාවට ලිපි දෙන්න සංඟරාජ මාවතේ තියෙන ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට යන්නෙ. ඒ කාලෙ ආර් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක කටයුතු කෙරුනු ඒකෙ කතුතුමා ඇන්ටන් අල්විස් මහත්තයා වුණත් මම නම් කවදාවත් එතුමා දැකලා නැහැ. ලියන අපි ගණුදෙනු කලේ වසන්ත ප්‍රිය රාමනායක මහතා එක්කයි.
ඒ කාලෙ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුව තිබුනෙ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට අයිති රතුපාට ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ. ඒක හරි අපූරු ගොඩනැගිල්ලක්. ලස්සන පඩිපෙලක් නැගල තමයි දෙවෙනි තට්ටුවේ තිබුණු දෙසතිය කාර්යාලයට ගියේ. මුල් කාලෙ එහි සංස්කාරක වරයා වුනේ ගාමිණී විජේතුංග මහත්තයා. එතුමා එක්ක මම කතාකරලා තියෙන්නෙ කිහිප වතාවක් විතරයි. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා , සුනේත්‍රා රාජකරුණානායක, සුමිත් මායාදුන්නේ වගේ පිරිසක් සම්බන්ධීකරණය කලේ හෙඩිම් ලියන්න දක්ෂ භාෂා විශාරද වින්සන්ට් පෙරියප්පෙරුම මහතා. පසුකාලීනව එතුමා සංස්කාරක වශයෙනුත් හිටියා වුණත් ඒ වෙනකොට රාජපක්ෂ වලව්වෙන් බිහිවුණත් නිදහස් මාධ්‍ය කලාවක් කල එයට දේශපාලන බලපැම් සෑහෙන්න එල්ල වෙලා තිබුනා. පසුකාලීනව ගායකයෙකු ලෙස ප්‍රකට වූ රොහාන් ශාන්ත බුලේගොඩ . සිනමා විචාරක අජිත් ගලප්පත්ති , සිරස අධ්‍යක්ෂක අශෝක ඩයස් මම වගේම ඒ කාලෙ දෙසතියට නිදහස් ලිපි සම්පාදනය කල බව මතකයි.
අවුරුදු තිස් ගාණකට පස්සෙ දැන් වෙනකොට සමහර අය නැතිවෙලා. සමහරු වෙනස්ම පාරවල් වල ගිහින් විවිධ අංශවල නම ගිය අය බවට පත්වෙලා. බස් එකෙන් බස් එකට මාරුවෙලා , සමහර ගමන් ඇවිදගෙන ගිහින් , පැය ගණන් , වරු ගණන් ගත කල ඒ සුන්දර මතක මතක් වෙනකොට පොඩි ආඩම්බරයකුත් දැනෙනවා. උසස් පෙළ කරන කොලු ගැටයෙක් විදිහට ඒ කාලෙ නම් දරාපු වාර ප්‍රකාශන වල මගේ නිර්මාණ පලකරවා ගන්න ලැබුණු ඉඩ මට හරි වටිනවා. ලංකාවෙ සමාජ පිලිගැනීම් හන්ද දෙමාපියන්ගේ බලපෑම් වලින් විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය කරලා රටේ පැවතුණු තත්වයත් එක්ක බැංකුවක රස්සාවට ගිය මට හිතෙන්නෙ නිර්මාණකරණයත් එක්ක තව රස්තියාදුවක් ගහන්න තිබ්බා නම් හොදයි කියලයි.
මේ වෙනකොට මගෙ අතේ තියෙන්නෙ ඒ මතක වලින් බොහොම ටිකක් විතරයි. වේයන්ට, කාවොන්ට ගිය මගේ පත්තර මතක සංරක්ෂණය කරගන්න ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාස්ති කල දවස් දෙක වතුරෙ ගියා කියලයි දැනුනෙ. මේ අතේ තියෙන මතක කිහිපයක්.
මගේ රේඩියෝ මතක ගැන ලියල තියෙන හින්ද ඉඩ ලැබුණු වෙලාවක සිරස ආයතනයේ රූපවාහිනී මතක ගැන ලියන්නම්.
අනුරුද්ධ හරිස්චන්ද්‍ර වැලිගමගේ
සුන්දර මතකයන්. මටත් අතීතය මතක් වුනා. ලක්බිම පත්තරේ සමග තිබ්බ අතිරේකයක් වුන " පුංච් ලක්බිමට " මාත් ඉස්සර සතිපතා විද්‍යාත්මක හේතු ඇතුලත් සටහන් ලිව්වා. පොඩි මුදලකුත් ලැබුනා. ඒ මුදලට වඩා ලොකු ආසාවක් තිබ්බෙ ඉස්සර පත්තරේකට ලියන්න. ලක්බිම වැඩ කරපු කසුන් අයියා ආදරයෙන් මතක් කරනවා . ඔහු තමයි ඒ අවස්තාව මට ලබා දුන්නෙ. ඉතින් ස්තූතිය අනුරුද්ධ ඔබට ඒ අතීතය මට සිහිපත් කෙරුවට.
ReplyDeleteජයවේවා !!!
දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ මතක ගැන සටහනක් ලියන්න . ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා.
Deleteඒවා ඇත්තටම සුන්දර මතක ජීවිත කාලයම හිතේ තියෙන
ReplyDeleteඉවාන් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඔබේ මතක ගැනත් සටහනක් ලියන්න . ආසාවෙන් කියවන්න බලාගෙන ඉන්නවා.
Deleteඔබ මෙහි දක්වා ඇති සමහර සඟරා මා ලඟත් තියනවා. ආපසු අරන් බලන්න ඕනෑ වෙලාවක් ලැබුනම.
ReplyDeleteLitseeker ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි . අනේ මගේ නිර්මාණ තිබුණොත් ස්කෑන් කරලා Pdf පිටපතක් දෙන්න.
Deleteකොයිතරම් අපූරු මතක ගොන්නක්ද! ඒ කාලේ පත්තරේක සඟරාවක තමන්ගේ නිර්මාණයක් පල වෙනවා කියන්නේ හාස්කමක් වගේ දෙයක්නේ. ඒ නිසා ඔබ වාසනාවන්තයි. මේ අත්දැකීම් අද දක්වා එන ඔබේ නිර්මාණ ගමන පෝෂණය කළ බවට ඒකාන්තයි.
ReplyDeleteසංක්‍රමණිකයන් වන අපිට වෙන ලොකුම නස්පැත්තිය තමයි රටින් පිටවෙද්දී අරගෙන යන්න පුළුවන් දේවල් තෝරාගන්න සිද්ධ වෙන එක. ඉන්පස්සේ ආයෙත් වතාවක් ලංකාවට ගියාම අපිට වටිනා ඒ සිහිවටන නැති නාස්ති වෙලා. ජීවිතේ හැටි තමයි. ස්තුතියි මේ මතක බෙදගත්තාට.
හෙල්මලී ඔබ හරියටම හරි. කැනඩාවට එද්දී බෑග් කිහිපයකට ජීවිතය ගොනු කරගන්න වෙලාවෙ පත්තර කබඩ් දෙකක් කොහොම ගේන්නද ?. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
Deleteපියල් උදය සමරවීර! මේ නම මට හොඳින්ම මතක් වෙන්නේ පුවත්පත් කලාවේදීන්ගේ සංගමයේ ඡන්දකදී මුන්නැහැගේ ඡන්ද කාඩ් එක මට ලැබුනා හොර ඡන්දයක් දාන්න!
ReplyDeleteමගේ ජීවිතේ පළමු සහ එකම හොර ඡන්දය එයයි!
මෙවැනිම මතක කිහිපයක් මටත් තියෙනවා ටික දිනක් යන්න ඇරලා ලියන්නම්!
තමන්ගේ අතින් ලියැවුනු ලිපියක් මුද්‍රණද්වාරයෙන් එළියට එනු දැකීම තරම් ආතල් එකක් ඇත්නම් ඒ පදවැලක් ලියා එය ගීතයක් වෙනු දැකීම ඇසීම වෙන්නෝන!
කොහොම උනත් ඉතා රසවත් මතකාවර්ජනයක්! ජයවේවා!
තට්ට මහත්තයා. පස්සෙ කාලෙක මට පියල් හමුවුනේ නැහැ. රට වගේම මිනිස්සුත් ගොඩක් වෙනස් වුනානෙ. මා ඇසුරු කල බොහෝ යහපත් චරිත වලටත් එහෙම වුනා තමයි. ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.
Deleteසාමාන්‍යයෙන් ලංකාවේ පත්තරේක, වෙබ් අඩවියක යමක් පල කර ගන්න ඇඳුනුම් කමක් ඕනේ කියලා තමා මට හිතෙන්නේ හුඟක් අය කියන විධිහට. අනුරුද්ධ දක්ෂතාවයක් තියෙන කෙනෙක් නිසා දිගටම අවස්ථාව ලැබුන කියල මම හිතනවා. ඔයා ඒ අතින් දැන් කරගෙන යන කාර්යය විශිෂ්ටයි. ඔබේ රූපන හැමෝටම අවස්ථාව දීම නිසා සහ ගය කිරීම් නිසා.
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඒක හරි, බොහෝ වෙලාවට ඒ දවස්වල එහෙම තමයි. මම හිතන්නෙ සමාජ මාධ්‍යය ප්‍රබල වෙනතුරු මාධ්‍ය ආයතන වල තිබුනෙ ඒකාධිකාරයක් . රූපණ ගැන ඔබ දැක්‌වූ අදහසට ස්තූතියි. මගේ අදහස අපි හැමෝටම දක්ෂතා තියෙනවා. ඒවා මතුකරන්න අපි හැමෝම එකිනෙකාට ඉඩ හදන්න ඕන කියලයි.
Delete