මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 26, 2025

ටොරොන්ටෝවේ නම ජාත්‍යන්තරයට ගෙන යන CN කුළුණට අවුරුදු 50යි.

 



කැනඩාවේ දුම්රිය ප්‍රවාහනයේ  ප්‍රධානතම කේන්ද්‍රස්ථානය වුණේ ටොරොන්ටෝ නගරයයි.

මුලින් භාණ්ඩ සහ මගී ප්‍රවාහනයේ ප්‍රධානම මධ්‍යස්ථානය වූ ටොරොන්ටෝ යුනියන් දුම්රිය

ස්ථානය අවට කලාපය භාණ්ඩ ප්‍රවාහනයෙන් නිදහස් කර ඒ වෙනුවට මොන්ට්‍රියල් වරාය

සහ එක්සත් ජනපදය යාකරන   දුම්රිය මඟ අතර වෝන්  නගරයේ මැක්මිලන් යාඩ්

( Macmillan Yard)  එක සංවර්ධනය කෙරුණේ 1965 දී. එමඟින් ටොරොන්ටෝ දුම්රිය

ස්ථානය, මිමිකෝ අංගනය සහ ටොරොන්ටෝ නගරයේ දුම්රිය දේපල රැසක් විවිධ කටයුතු

සඳහා වෙන් කෙරුණා.අද දවසේ කැනඩාවේ මධ්‍යම රජය යටතේ පාලනය වන Via Rail 

සහ ඔන්ටාරියෝ පළාත් ආණ්ඩුවේ Go Transit  යන මගී ප්‍රවාහන දුම්රිය සේවා සඳහා

යෙදවෙන්නේ ඒ සම්පත්. ඊට අමතරව ටොරොන්ටෝ නගර මධ්‍යයේ ඉතා වටිනා බිම් කොටස්

රැසක් Canada Lands Company නම් මධ්‍යම රජය යටතේ පාලනය වන සමාගම යටතට

පැවරුණා.


ටොරොන්ටෝ නගරයේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය කැනේඩියානු ජාතික කුළුණ ( Canada’s National Tower )  1976 දී ඉදි කෙරුණේ එම බිම්කඩකයි.  නව සංක්‍රමණ අවස්ථාවන් මත ලෝකයේ නන් දෙසින් කැනඩාවට එක් රොක් වූ සංක්‍රමණික අවශ්‍යතා පිරිමැසීම සඳහා 1960-70  කාලයේදී ටොරොන්ටෝ නගරයේ තට්ටු ගොඩනැගිලි ඉදිවුණේ තරගකාරී අන්දමින්. වැඩිවන ජනගහණය සේම එකිනෙක පරයා යන තට්ටු ගොඩනැගිලි පරයමින් ගුවන් විදුලි, රූපවාහිනී සන්නිවේදන කටයුතු සඳහා සුවිසල් සන්නිවේදන අටල්ලක වුවමනාව මේ වන විට වර්ධනය වෙමින් තිබුණා. එය අනුව NCK Engineering  නම් ආයතනයකට බහු කාර්ය කුළුණක ඉදි කිරීම් කටයුතු පැවරුනා. ඔවුන් සැලසුම් ඉදිරිපත් කළ ව්‍යාපෘතිය අද අප දකින CN කුළුණයි. එය සන්නිවේදන මධ්‍යස්ථානයක්, කැරකෙන අවන්හලක්, නැරඹුම් මධ්‍යස්ථානයක් වගේම බහු විධ ත්‍රාසජනක ක්‍රියාකාරකම් කළ හැකි පහසුකම් රැසකින් සමන්විත එකක් . ඒ සඳහා සැකිල්ලJohn Andrews Architechs ආයතනයත් අනෙකුත් අංශ WZMH Architechs නියෝජනය කරමින් Webb Zerafa  සහ Menkes Housden විසින් සකස් කෙරුනා . ඉදිකිරීම් කටයුතු බාර වුණේ
Foundation Company of Canada ආයතනයටයි.

අංක 290, Bremner Boulevard, Toronto M5V 3L9  ලිපිනය දරන මෙහි සම්පූර්ණ උස මීටර් 553.03ක්. ( අඩි 1815ක් ) .  1976 ජුනි තුන්වැනිදා ඉදි කිරීම් නිමවන විට එය සඳහා වැය වුණු මුදල ලෙස සටහන් වන්නේ කැනේඩියානු ඩොලර් මිලියන 63 ක්.( CAD  63,000,000) කැනේඩියානු ජාතික කුළුණට  කරන ගරු කිරීමක් සහ මෙය පවත්වාගෙන යාම වෙනුවෙන් මීට වඩා උස ඉදිකිරීමක් ටොරොන්ටෝ නගරයේ කිසිම ප්‍රදේශයක කරන්නට ටොරොන්ටෝ නගර සභාව ඉඩ දෙන්නේ නැහැ.


https://en.wikipedia.org/wiki/CN_Tower

Phases of construction

ස්වීඩනයේ Skanska සමාගමේ අතුරු සමාගමක් වුණු Canada Cement Company  මෙහි ඉදි කිරීම කළා. අඩි පනහක ගැඹුරට පස් හාරා කළ පදනමක් මත ටොන් පනස් හයදාහක කොන්ක්‍රීට් පුරවා මෙහි පාදම සකස් කර තිබෙනවා කුළුණ ඉදිකිරීම සඳහා කොන්ක්‍රීට් කියුබික් අඩි 53000 ක් භාවිතා කළ බවයි කියවෙන්නේ.කුළුණේ ඉහළ කොටස් වල ඉදි කිරීම සඳහා භාණ්ඩ ප්‍රවාහනයට ඇමෙරිකානු හමුදාව භාවිතයෙන් ඉවත් කර තිබුණු " ඔල්ගා" නම් Sikorsky S 64 හෙලිකොප්ටර් දොඹකරය යොදා ගනු ලැබුවා.


කුළුණේ  ප්‍රධාන කොටසේ  තට්ටු හතක් සහ Sky Pod.එක ලෙසින් මේ කුළුණේ මැද තට්ටු අටක් තිබෙනවා. ඒවා වෙත යාම සඳහා විදුලි සෝපාන එකොළහක් ක්‍රියාත්මක වෙනවා. තුන් පැත්තකින් ප්‍රධාන කොටස වෙත යාම සඳහා විදුලි සෝපාන 6 ක් මගී  ප්‍රවාහනයට යොදවා තිබෙනවා. පැයට කිලෝමීටර් විසි දෙකක වේගයකින් ඉහළට යන ඒ විදුලි සෝපාන ප්‍රධාන නිරීක්ෂණ කොටසට යන්නට ගත කරන්නේ තත්පර පනස් අටක් තරමේ කෙටි කාලයක්. පොළොව මට්ටමේ සිට අඩි 1136 ක උසක පිහිටා තිබෙන මේ මධ්‍යස්ථානය තුලදී හොඳින් ඉර පායා තිබෙන පැහැදිලි අහසක් ඇති දවසක ටොරොන්ටෝව අවට බොහෝ නගර දකින්නට පුළුවන්. ඒ වගේම එහි ඇති ඝනකම් වීදුරු තට්ටුවේදි ඔබට පහත ඇති දේ හොඳින් මෙවේෂණය කරන්නට පුළුවන්. එකල දුම්රිය එන්ජින්වල නඩත්තු කටයුතු සඳහා භාවිතා කළ Roundhouse සේවා ගරාජය සහ අද එතන පිහිටුවා තිබෙන දුම්රිය කෞතුකාගාරය ඔබේ ඇස් සොරාගන්නා දසුනක් වේවි.


කැරකෙන අංශක 360 අවන්හල ඔබට අපුරු අත්දැකීමක් ගෙන දෙනවාට කිසිම සැකයක් නැහැ. හැම විනාඩි හැත්තෑ දෙකකටම වරක් ඔබ සිටිනා තැන අංශක 360 කින් කැරකෙන මේ අවන්හල  පිටරටක සිට ඔබ බලන්නට පැමිණි පවු‍ලේ හිතවතුන් කැඳවාගෙන ගොස් කැනඩාවෙ කෑම වර්ග වලින් සමන්විත භෝජන සංග්‍රහයක් දෙන්නට කියාපු තැනක්.



ප්‍රධාන මහල් සංකීර්ණය ඉහළින්ම ඇති කොටස භාවිතයෙන් 2011 දී එජ් වෝක් (Edgewalk ) ආරම්භ කර තිබෙනවා. තට්ටු එකසිය දාසයක ගොඩනැගිල්ලක මුදුනේ එල්ලී ගමන් කරන ත්‍රාසජනක අත්දැකීමක් මෙහිදී ඔබට ලබන්නට පුළුවන්.ඉතා ආරක්ෂිතව මේ කටයුතු ක්‍රියාත්මක වෙනවා.


ප්‍රධාන නිරීක්ෂණ කොටසේ ඇති මහල් වෙත ඔබ කැමතිනම් පඩි පෙළින් යන්නත් පුළුවන්. එය සඳහා පඩිපෙළ 1976ක් නගින්නට වෙනවා. කලින් කලට සංවිධානය වන විවිධ Funraising Events වලදී ඔබට අවශ්‍ය නම් ඒ අත්දැකීම ලබන්නට  පුළුවන්. 


ඇන්ටෙනාවලට පහලින් මුදුනේ  තිබෙන තට්ටුවට ඔබ යන්නට කැමැති නම් වෙනමම මුදල් ගෙවා තවත් විදුලි සෝපානයක් පාවිච්චි කරන්නට වෙනවා. එය පිහිටා තිබෙන්නේ ප්‍රධාන නිරීක්ෂණ මැදිරියට තට්ටු තිස්තුනක් ඉහළින් අඩි 1465ක උසින් ,පැහැදිලි අහස ඇති දවසක නම් ඔබට එහිදී ටොරොන්ටෝ නගරයට කිලෝමීටර් 127 ක් දුරින් තිබෙන සුප්‍රකට නයගරා ඇල්ල  පියවි ඇසින් බලන්නට පුළුවන්.



කුළුණේ ප්‍රධානම පරමාර්ථය වූ පරිද්දෙන් කැනඩාවේ ප්‍රධාන රූපවාහිනී  මධ්‍යස්ථාන වන CTV,

TVO, CBC,OMNI, Global, City,CFMT  , රේඩියෝ මධ්‍යස්ථාන වන CBC,BOOM, JAZZ,

VIRGIN,EDGE, CHUM සේම  Bell Media, TTC  යන ආයතන තම  සේවා ට්‍රාස්මිටර් මෙහි

සවිකර තිබෙනවා.

1975දී මෙය ඉදි වූ දා පටන් 2007 දක්වා ලෝකයේ උසම කුළුණ ලෙස කිරුළු දරා සිටියේ CN කුළුණයි. පසුව ඒ කිරුළ විවිධ රටවල ගොඩනැගිලි විසින් වරින් වර දිනා ගත් අතර ළඟදීම එය සවුදි අරාබියේ ජෙඩා කුළුණ විසින් හිමි කරගන්නා බව කියවෙනවා. ඒ කෙසේ වෙතත් අදත් උතුරු ඇමරිකා මහද්වීපයේ ඇති උසම ගොඩනැගිල්ල CN කුළුණයි. ජනප්‍රිය සංස්කෘතියේ සිනමා සහ ටෙලි නිර්මාණ රැසක දර්ශන තලයන්ට හසුවූ  කුළුණ ටොරොන්ටෝවට එන කවුරුන් වුවත් තම ගමන සිහිකරන්නට සේයා  රූ ගොන්නට එකතු කරගන්නා තැනක්.


2007  හතේදී එවකට තිබුණු ආලෝක පද්ධතිය නවීකරණය කරමින් LED විදුලි බුබුළුවලින් CN කුළුණ ආලෝකමත් කර තිබෙනවා. එමගින් විශාල බල ශක්තියක් ඉතිරි වෙනවා සේම  විවිධ වර්ණාවලි වලින් කුළුණ හැඩගන්වන්නටත්  ඉඩ පහසුකම් සැලසී තිබෙනවා. කුරුළු  සංක්‍රමණ සිදුවන Spring  සහ Autumn  කාල වලදී තරමක අඩු (Dim ) එළියක් ගෙන දෙන ලෙසත්,  අනෙකුත් කාලවලදී දීප්තිමත් ව ආලෝකමත් වන ලෙසත් නගරයෙන් බැහැර දුරස්ථ පාලන ස්ථානයකින් පාලනය වන  මේ කුළුනේ ආලෝක පද්ධතිය  වසරේ විවිධ කාලවලදී සහ දින වලදී  විවිධ තේමා සහ අනුස්මරණයන් වෙනුවෙන් විවිධ වර්ණවලින් වර්ණ ගැන්වෙනවා. ටොරොන්ටෝවට යන හැම රැයකදීම CN කුළුණ දෙස වෙනස්ම දැක්මකින් බලන්නට මේ වෙනස අපව දිරිගන්වනවා.

අනුරුද්ධ වැලිගමගේ 




සේයාරූ - 

අන්තර්ජාලයෙන්  Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි

Saturday, April 19, 2025

වරකට ජල ගැලුම් බිලියන 160 ක් පිරවෙන, හිස් වෙන වඩදිය බාදිය වෙනස බලන්න Hopewell Rocks වලට යමු.

 



Bay of Fundy. කියලා කියන්නේ ලෝකේ පිහිටා තිබෙන විශාලතම බොක්කක්. අත්ලාන්තික්  සාගරයේ පිහිටා තිබෙන මෙය මායිම් වෙන්නේ කැනඩාවේ නිව් බ්රුන්ස්වික් ( New Brunswick ) පළාතට සහ නෝවා ස්කෝෂියා (Nova Scotia ) කියන පළාත් දෙකටයි. සඳේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇතිවන වඩදිය සහ බාදිය බලන්නට ලෝකයේ තිබෙන හොඳම තැන විදියට සැලකෙන්නේ මේ Hopewell Rocks ප්‍රදේශයයි.  දළ වශයෙන් ජල ගැලුම් බිලියන 160 ක් වඩදිය බාදිය ක්‍රියාවලියේදී දවසට දෙවරක් පිරවීම සහ හිස්වීම සිදුවෙනවා. සඳට ළං වන විට ජලය පිරීම හැඳින්වෙන්නේ වඩදිය ( High Tide ) නමින්. ඈත් වන විට මුහුද හෝ ජල කලාපය හිස්ව පතුල පෙනීම හැඳින්වෙන්නේ බාදිය ( Low Tide ) කියලයි.





Hopewell Rocks . කියල කියන්නේ නිව් බ්රුන්ස්වික් පළාතේ වඩදිය සහ බාදිය බලන්නට තියෙන අපූරුම තැනයි .එයට හේතුව ඒ ප්‍රදේශය මායිමේ තියෙන ඛාදනය වුනු පර්වත කොටස් කිහිපයක් වෙරළ ආසන්නයේම පිහිටා තිබීමයි . මීට පෙර සංචාරයකදී ඔන්ටාරියෝ පළාතේ ටොබමොරේ (Tobermory, Ontario )  ආසන්නයේ තිබෙන flowerpot islands වෙත ඔබ රැගෙන ගියා ඔබට මතක ඇති. ඒ ප්‍රදේශයේ වෙරළ අද්දර තියෙන උස්ව නැගුණු පර්වත කොටස් කිහිපයක් තිබුනා. මිනිස්සු ඒවාට විවිධ නම් පටබැඳ තිබුණා. ඒ  වගේම මෙතැන උස්ව පිහිටා තිබෙන පර්වත ( Sea Stacks )  රැසක් තිබෙන හින්දා මෙතැනදී වඩදිය බාදිය  වෙනස ලස්සනට බලන්නට පුළුවන්. මේ වතුර මට්ටමේ වෙනස අඩි 54 ක් ( මීටර් 16) තරම්  තරම් විශාල එකක්. අන්තර්ජාලයෙන් බාදිය පටන් ගන්නට කිට්ටු වෙලාව බලලා අපි නවාතැනින් පිටත් වුණා. මොක්ටන් (Moncton )  නගරයේ දී හමුවනේ පෙටිට් කෝඩියක් ගඟ

( Petitcodiac River ) හිස්  වෙමින් තිබුනා.  වඩදිය සහ බාදිය වෙනස දවසකට දෙවරක් සෑම පැය හයකට වරක් සිදුවෙනවා. හරියටම කියනවා නම් පැය හයයි විනාඩි දොළහමාරකට වතාවක්. අපි මුලින්ම කලේ නැරඹුම් මධ්‍යස්ථානයට ගිහින් මුහුද පතුල දිස්වන හැටි බලන් ඉන්න එකයි.





 මේ දිගුවෙන් වඩදිය බාදිය දවසේ කාලසටහන බලාගන්නට පුළුවන්


https://www.parcsnbparks.ca/en/parks/33/hopewell-rocks-provincial-park/26/tide-tables





Hopewell Rocks  වල  තිබෙන පර්වත කුට්ටි ලට පොදු ව්‍යවහාරයේදී ලැබෙන නම් කිහිපයක් තිබෙනවා අලියා (Elephant ) ,  වලහා ( Bear)  ඩයිනසෝර් (Dinosaur ) , ඊටී (ET )  සහ නැන්දම්මා (Mother in Law ) . ඒ නම් පට බැදෙන්නට ඇත්තේ ඒවා දුටු අයට හිතුණු පුරුදු හැඩ හින්දා වෙන්න ඇති. මුහුදේ තිබෙන තරමක බොර පැහැති වතුර ප්‍රමාණය අඩුවෙමින් ඒ පර්වත මතුවෙමින් තිබුණා.



‍ප්‍රධාන නිරීක්‍ෂණ පරිශ්‍රය අසල නිලධාරීන් මුහුද පතුල හිස්වෙන කොටම ආරක්ෂිත ගේට්ටු අරින්න සූදානමින් හිටියා. වතුර මට්ටම ටිකෙන් ටික  අඩු වෙනකොටම යම් නිලධාරීන් පිරිසක්  සංචාරකයින් සඳහා විවෘත වන ප්‍රදේශ නිරීක්ෂණය කරනවා ඔවුන්ට යම්කිසි අවදානමක් තිබෙනවාද කියලා බලන්න. ඒ නිරීක්ෂකයින් අවසර දුන් ගමන්ම අපි කට්ටියම ලෑස්ති වෙලා ඉන්නේ මුහුදු පතුලේ ඇවිදින්න යන්නයි. ඔන්න වෙලාව ආවා. ගේට්ටු විවෘත කලා. අපි දැන් ඉන්නේ කලින් වතුර පිරිලා තිබුණු මුහුදු පතුලෙ. ලංකාවේ 2006 දී සුනාමිය ඇතිවුණු වෙලාවෙ ටික වෙලාවකට මෙහෙම වුනා කියල අහලා තිබුනත්,  මෙහෙම එකක් දැකල තිබුනෙ නැහැ.මේ විදිහට ඇවිදින්න දුර කිලෝමීටරයක් තරම් ප්‍රදේශයක් විවෘතව තැබෙනවා. තැනින් තැන උද්‍යානයේ  නිලධාරීන් ආරක්ෂාවට ඉන්නවා. අපි පැයක් විතර මුහුද පතුල තියෙන කොටසේ ගත කළා. කැමති විදිහට එක එක තැන ඉදලා ෆොටෝ ගත්තා. කැමතිනම් ආයෙමත් වතුර පිරෙනකම් ඔබට තරමක විවේකයක් ගන්නට පුළුවන්.



සනීපාරක්ෂක පහසුකම් අරගෙන, පොඩ්ඩක් ඇවිදලා  කෑම කාලා එහෙම ඔබ සූදානම් වෙනකොට මුහුද ආයෙමත් වතුරෙන් පිරෙන්න පටන් අරන් . ඔබ කැමති නම් පොඩි බෝට්ටු විශේෂ වන Kayak  හෝ Canoe .  කුලියට අරගෙන වතුර මට්ටම ටිකෙන් ටික වැඩි වෙද්දී ඔබ ඇවිදගෙන ගිය පර්වත කුට්ටි අතරින් ඒ යාත්‍රා පදවමින් විනෝද වන්නට පුළුවන්. කණ්‌ඩායම් විදිහට ගෙනියන  ඒ යාත්‍රා වලට මග පෙන්වන්න වගේම ආරක්ෂාවට උද්‍යානයේ නිලධාරීන් ඔබත් එක්ක එනවා.  




ඔබ  Hopewell Rocks provincial park එකට මිලදී  ගන්නා ප්‍රවේශපත්‍රයක් දින දෙකකට වලංගු වෙනවා. ඔබට කැමතිනම් එක දවසක වඩදියත් අනික් දවසේ බාදියත් බලන්නට පුළුවන්. සාමාන්‍යයෙන් මෙහි එන සංචාරකයින් වැඩි පිරිසක් මෙතන පැය අටක තරම්  කාලයක් රැඳිලා වඩදිය බාදිය වෙනස බලලම යන බව තමයි කියන්නේ. ඒත් එහෙම අවසර දීල තියෙන්නෙ එහෙම ඉන්නට අමාරු ශාරීරික ආබාධ ඇති අය, පොඩි අය සහ මහළු අයටත් ඒ අත්දැකීම ගන්නයි. ඒ වගේම මඩ සහිත මුහුදු පතුලට යන්නට අවශ්‍යම නම් කෙනෙකුට ඒ අත්දැකීම ගන්න රෝද පුටු ගෙනියන්න අවශ්‍ය Access Ramp  පවා මෙහි සකස් කරලා තියෙනවා. 



රතු දුඹුරු පාටින් යුත් මේ පර්වත වල ඉතිහාසය අයිස් යුගය දක්වා ඈතට දිව යනවා. ඒ වගේම මේ මුහුදු පතුලේ විශාල ජෛව විවිධත්වයක් දකින්නට තිබෙනවා. ඒ නිසා ඔබට කුරුලු විශේෂ රැසක් මේ අවට කූඩු තනාගෙන ජීවත්වන හැටිත්,  මුහුද හිස් වන විට කෑම ගන්නට යන හැටිත් දකින්නට පුළුවන්. ඊට අමතරව විවිධ වර්ගවල සමුද්‍ර ජීවින් රැසක්, ආවේණික සත්ව විශේෂ මේ ප්‍රදේශයේදී දකින්න පුළුවන්.   


 වැඩි විස්තර කැමති අයට මේ දිගු ප්‍රයෝජනවත් වේවි.


https://www.parcsnbparks.ca/en/parks/33/hopewell-rocks-provincial-park


https://en.wikipedia.org/wiki/Hopewell_Rocks


 2016 මාර්තු 14 වැනි දා  Elephant Rock එකේ ටොන් 100-200 ප්‍රමාණයක කැබැල්ලක් විනාශ වී තිබෙනවා. 2022 දීත් සුළු සිදුවීමක් වාර්තා වෙලා තියෙනවා. ඒ හින්දා බලධාරීන් අවධානම පිළිබඳ නිරන්තර පරීක්ෂාවෙන් ඉන්නවා ඒ වගේම සංචාරක ඔබත් හිතෙන හිතෙන තැන් වලට නොගිහින් ලකුණු කර තිබෙන ප්‍රදේශවල සංචාරය කරනවානම් ආරක්ෂාවට හොඳයි.  


අනුරුද්ධ වැලිගමගේ 




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි


Saturday, April 12, 2025

සිංහල දෙමළ අවුරුද්ද ගැන රූපණ කණ්ඩායමේ මතක

 




සිංහල සහ දෙමළ අළුත් අවුරුද්ද ගැන රූපණ අපි විවිධ පැති මාන වලින් කතාකර තිබෙනවා. විශේෂයෙන්ම මව්බිමෙන් ඈත රටකදී එය අපට කිහිප අයුරකින් වැදගත් වෙනවා. රූපණ කණ්ඩායම සමන්විත වන්නේත් ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කැනඩාවට විවිධ කාලවලදී සංක්‍රමණය වුනු ශ්‍රී ලාංකික උරුමයක් ඇති පිරිසකින්. ඒ හින්ද මෙවර වැඩසටහනේදී අප උත්සාහ කලේ අවුරුද්දේ ඉතිහාසය සහ අවුරුදු සමඟ අප කණ්ඩායමේ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ මතක ගැන සංවාදයක යෙදෙන්නයි. පැයක් පුරා දිවෙන මේ නිදහස් කතා බහ ඔබටත් යම් යම් මතක අවදි කරාවි.   



2025 අප්‍රේල්  12 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.


https://rupane.com/2025/04/12/rupane-episode-447-april-12-2025/

**************************************************

ඉදිරිපත් කිරීම  -  නිරංග විජේසුරිය

සම්පත් දායකත්වය - සංජීව අබේරත්න, අනුරුද්ධ වැලිගමගේ  

                                        සම්පත් පෙත්තාවඩු, මංජුලා වික්‍රමරත්න

                                        අනුෂා කිංස්ලි, කල්ප සමරතුංග

                                        යෙනුලි කොතලාවල       

කැමරාකරණය - එරංග හිදෙල්ලආරච්චි                      

සංස්කරණය - පුබුදු වනිගසේකර                              

සංකල්පය සහ නිෂ්පාදනය - නිරංග විජේසුරිය

අධ්‍යක්ෂණය - එරංග හිදෙල්ලආරච්චි 

විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

****************************************************


ශ්‍රී ලංකාවේ ජනතාව සමරන බක් මහා මංගල්යය ගැන රූපණ හරහා මීට පෙර වැඩසටහන් රැසක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සටහන වෙනුවෙන් එක්කර තිබූ ප්‍රතිචාර නිසා  මේ කොටස එකතු කරන්නට හිතුවා. ඒ හින්ද ප්‍රතිචාර සටහන් තබන්නට පෙර මේ වැඩසටහනත් කැමති නම් ඒ වැඩසටහන් රැසත් සම්පූර්ණයෙන්ම බලන්න කියල ආරාධනා කරන්න කැමතියි.      

අවුරුද්දත් කිට්ටු කිට්ටු .......

https://ahasgawwenehalokaya.blogspot.com/2019/04/blog-post_13.html

කිරි ඉතිරේවා නව වසරේ ....

https://ahasgawwenehalokaya.blogspot.com/2020/04/blog-post_4.html

අවුරුද්ද සමග බැදුණු කවිය......

https://ahasgawwenehalokaya.blogspot.com/2022/04/blog-post_16.html

අළුත් අවුරුද්ද බොදු සහ හින්දු ආගමික ඇසින් බලමු

https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_8.html

මහින්ද කුමාර දළුපොත ප්‍රවීණයා ගෙන් අළුත් අවුරුද්ද ගැන අහමු

https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_15.html

කැනඩාවේ රූපණ කණ්ඩායම ලංකාවේ චරණ ට ආ අවුරුදු ගමන

https://ahasgawwenehalokaya.blogspot.com/2023/04/blog-post_22.html

ජාතීන් දෙකක් එකට උත්සව සමරන දවසක්

https://ahasgawwenehalokaya.blogspot.com/2024/04/blog-post_13.html

සිංහල බ්ලොග් ලියන සැමටත් , කියවන ඔබටත් මේ අළුත් අවුරුද්ද සාමය , සතුට සපිරි සෞභාග්‍යවන්ත එකක්ම වේවායි පැතුම් එක් කරන්න කැමැතියි. 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.