මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 25, 2025

නෝවා ස්කොෂියාවේ කිලෝ මීටර් 300 ක අත්ලාන්තික් සාගර මායිමේ අසිරිය - Cabot Trail


අත්ලාන්තික්  සාගරයට මුහුණලා පවතින නෝවා ස්කෝෂයා පළාතේ උතුරු කොටස හැඳින්වෙන්නේ Cape Breton Island  යන නමින් .විවිධ භූ විෂමතා ලක්ෂණවලින් පිරුණු  ස්වභාවික රක්ෂිතයක් එහි උතුරු කොනේ පිහිටා තිබෙනවා.  Cape Breton Highlands National Park නම් එය අනාගතය වෙනුවෙන් සංරක්ෂණය වෙනවා. Fall colours බලන්නට කැනඩාව යන්නට පුළුවන් තැන් ගැන තොරතුරු රැසක් අප මීට පෙර සංචාරයක මතකය තුළින් කතා කර තිබෙනවා. කැබොට් ට්‍රේල්  කියන්නේ කැනඩාවේදී ෆෝල් කලර්ස් අපූරුවට විදින්නට පුළුවන් පරිසර පද්ධතියක්.




මේ දිගුවෙන්  අල්ගොන්කුවින් පළාත් උද්‍යානයේ විස්තර දැනගන්න පුළුවන්


Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා

https://ahasgawwenehalokaya.blogspot.com/2023/10/fall-colours-algonquin-park.html


 මේ දිගුවෙන්   ඇරෝහෙඩ් පළාත් උද්‍යානය විස්තර දැනගන්න පුළුවන්

Fall Colors ( Colours) බලන්න Arrowhead පළාත් උද්‍යානයට යමුද ?

https://ahasgawwenehalokaya.blogspot.com/2022/10/fall-colors-colours-arrowhead.html


මේ දිගුවෙන් අගවා කැනියන් දුම්රියේ විස්තර දැනගන්න පුළුවන්

Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ?

https://ahasgawwenehalokaya.blogspot.com/2023/09/agawa-canyon-tour-train.html




පරක් තෙරක් නොපෙනෙන අත්ලාන්තික්  සාගරයේ කඳු පන්ති රැසක අපූරු භූ විෂමතාවයන් රැසක් අත්විඳෙන්නට පුළුවන් දර්ශනීය මාර්ගයක් විදියට  Cabot Trail  ලෝකෙ පුරා සංචාරකයින්ගේ අතිශය  ජනාදරයට පත්ව තිබෙනවා . ඒ මාර්ගය දිගින් කිලෝමීටර් 298 ක් දිගයි. ( සැතපුම් 185ක් ) .ගිම්හාන  කාලයේදීත් ඉතා දර්ශනීය දසුන් ඔබට දකින්නට ලැබෙන මේ මංපතේ කොළපාටින් කහපාටට , රතුපාටින් තැඹිලි පාටට වර්ණවත් වන කාලයේ සරත් ඍතුවේ (Autumn )  ගමන විචිත්‍රයි.




කැබොට් ට්‍රේල් එක ගමන් කරන්නට පුළුවන් විදි දෙකක් තිබෙනවා .ඒ ගැන විවිධ මත හා තර්කත් තිබෙනවා. එක විදිහක් තමයි ඔරලෝසුවෙ කටු කැරකෙන ආකාරයට ගමන් කිරීම ( Clockwise )  . එහෙමත් නැත්නම් ඔරලෝසුවෙක් කටු කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීම ( Counter Clockwise) .  මම මේ දෙවිදියටම කැබොට් ට්‍රේල් එක  හරහා ගිහින් තියෙනවා. අප මෙවර අපේ ගමන ගියේ Counter Clockwise  විදියටයි. ඒ  විදියට යද්දී වාහනය නවතා පරිසරය රසවිඳින්න තිබෙන  නැරඹුම් ස්ථාන වාහනය පදවන දකුණු පසට වන්නට පිහිටුවා තිබෙන නිසා රියදුරාට පහසුවෙන්ම නවතන්නට පුළුවන් වෙනවා.කෝඩු  කාරයන් විදිහට කැබොට් ට්‍රේල් එක බලන්නට යන අයට පුරුදුකාරීන් කියන්නේ Counter Clockwise  විදිහට යන්න කියලයි. ඒ වුනත් ඔබට පහසු නම් අනිත් අතට ගියත් ඒ රස විඳීමේ නම් අඩුවක් නෑ.












Clockwise  විදියට යන්නට යෝජනා කරන අය කියන්නේ මුහුද රියදුරාට කෙලින්ම දර්ශනය වන නිසා ඔහුට හොඳ පෙනුමක් ලැබෙන්නේ  ඒ විදියට ගියාම කියලයි. ඒ වගේම ඒ මාර්ගයේ හමුවන Cape Smokey Mountain  තරණය කිරීමත් පහසු හින්දා ඔබ ට්‍රේලර් එකක් ඇදගෙන යනවා නම් හෝ RV - Recreational Motorhome එකක  යනවා නම් එය ඔබට  පහසුවක් වේවි.



ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් වන්නේ මේ ගමනේ කිලෝමීටර් අසූ හතක දුරක් ගමන කෙටි කරගන්නට ඔබට භාවිතා කළ හැකි පහසුකමක් තිබෙන බව . ඒ කේබල් එකක් භාවිතයෙන් ක්‍රියාත්මක වන Englishtown  පාරුව . ඒ පාරුවෙන්  ඔබේ ගමන් කාලය පැයකින් පමණ ඉතිරි කරගන්න පුළුවන්.  කිසිදු අය කිරීමකින් තොරව විනාඩි තුනක තරමේ කෙටි ගමනකින් ඔබට ඒ  පාරුවෙන් එගොඩට යන්නට පුළුවන්.  වාහන දාහතක් පමණක් ගෙනියා හැකි කුඩා පාරුවක් නිසා සමහර විට එය වෙනුවෙන් නැවතී ඉන්නවාට වඩා පැයක ගමන වටින්නත් පුළුවන්.

























දර්ශනීය නැරඹුම් ස්ථාන රැසක් තිබුණත්,  විශේෂයෙන්ම ඉර බැසීම වීඩියෝ ගත කරන්නට

සහ  විවිධ කෝණවලින් සේයා රූ රූගත කරන්නට පිරිස් පොරකන නිසා ඔබට එවන්

අවශ්‍යතාවයක් ඇත්නම් කාල කළමනාකරණය කරගැනීමත්,  කලින්ම වාහනය ආරක්ෂිතව

නැවැත්විය හැකි තැනක් සොයා නවතා තැබීමත් වැදගත් වන්නේ වංගු සහිත ඒ මාර්ගයේ

වාහන කිසිදු තැනක නැවත්වීමට අවසර නොදෙන නිසා සහ  නැරඹුම් ස්ථානවල වාහන

නැවැත්වීමේ ඉඩ සීමා සහිත නිසා.


























සංචාරකයින් බහුල වසරේ මැයි  සිට ඔක්තෝබර් කාලසීමාවේදී කැබෝට් ට්‍රේල්වල ඇති Cape Breton Highlands National Park පාවිච්චි කරන අයවලුන් ඒ සඳහා ප්‍රවේශපත්‍රයක් ගත යුතු වෙනවා. ඒ ප්‍රවේශපත්‍රය දින දෙකකට වලංගුයි. එහෙත් මේ වසරේදී (2025) කැනේඩියානුවන්ට කැනඩාව  තුල  සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විසින් ජාතික උද්‍යානවල ඇතුළුවීමේ ප්‍රවේශ පත්‍ර ගාස්තුවල අය කළේ නැහැ Cape Breton Highlands National Park ජාතික උද්‍යානය තුළ කදවුරු  බිම් ( RV & Non RV camp grounds),  බයිසිකල් මං පෙත් ( Bicycle trails),  ඇවිදින මං පෙත්( Walking Trails) , ඕෆ් රෝඩ් ට්‍රැක්ස් රැසක් පිහිටා තිබෙන නිසා සාමාන්‍යයෙන් සංචාරකයින් දෙන දෙකක්වත් මෙහි ගත කරන බව කියවෙනවා. ඊට අමතරව මේ මාර්ගයේ විවිධ තැන්වල පෞද්ගලික ව්‍යාපාරිකයින් විසින් පවත්වා ගෙන යන නවාතැන් පල රැසක් දර්ශනීය ඉසව් වල තිබෙනවා.  


මේ දිගුවෙන් ඔබට Cape Breton Highlands National Park  ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්

https://parks.canada.ca/pn-np/ns/cbreton
































දිය ඇලි ගවේෂණය කිරීම, වැනි ආකේඩියන් සංස්කෘතික උරුම ඇති ගම්මාන දැක බලා ගැනීම ,  මුහුදු වතුර හා මිරිදිය වතුර මුසු Ingonish Beach  වගේම මුහුදු තල්මසුන් බලන්නට යන සංචාරයක  ( Whale watching )  යන්නත් කැබොට්  ට්‍රේල් එකේ යන අයට කරන්න පුළුවන්.  Cape Smokey Mountain ගොන්ඩෝලාවක නැගලා ඒ පරිසරයේ අසිරිය බලන්නත් ඔබට පුළුවන්.





Skyline Trail, Middle head Trail, Long shielding Trail ඔබ අත නොහැර අත්දැකීම් ලැබිය යුතු ඉතා ජනප්‍රිය  ඇවිදින මං පෙත්  තුනක්.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.







No comments:

Post a Comment