එහි සදහන් කර තිබෙන ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී මට ඒ වැඩසටහන් ශ්‍රවණය කරන්නට ඉඩක් ලැබුනේ නැති වුණත් 80 දශකයේදී යම් තරමකට ගුවන් විදුලියට සවන් දෙන්නටත්, 90 දශකයේදී යම් සුළු සම්මාදමක් දරන්නට ඉඩ ලැබුණු නිසාත් ගුවන් විදුලිය ගැන මගේ මතකය ගොනු කරන්නට සිතුණි.
අප ගුවන් විදුලිය ශ්‍රවණය කරන කාලයේ ආර්ථිකයේ වෙනස්වීම් මත සින්දු අහන්නට කැසට් යන්ත්‍ර සහ කැසට් පට බිහි වෙමින් පැවති අතර ජාතික රූපවාහිනිය පටන් ගැනීමත් සමගම ගුවන් විදුලියට පමණක් යොමුව තිබුණු මහජන අවධානය ගිලිහී රූපවාහිනී මාධ්‍යයේ කළු සුදු රූප සහ හීන් හඩ මතින් රූපවාහිනියට ගෙදර සාලයේ තැන ලැබෙමින් තිබුණු බව මතකය. සවස් වරුවේ සිට මධ්‍යම රාත්‍රිය තෙක් ගුවන් විදුලියට කන් යොමා සිටි අප දෙමාපියන්ගේ යුගය වෙනුවට අපි හුරු වූයේ හවස සිට තරමක් රෑ බෝ වන තෙක් රූපවාහිනිය ඉදිරිපිට රැදී ඉන්නටයි. ඒ නිසා "හදමාමා " , "ළමා රගමඩල " වැනි වැඩසටහන් සහ ගුවන් විදුලි පුවත් හැරෙන්නට වැඩසටහන් රැසක මතකයක් මට නැත.
එහෙත් නිවාඩු කාලයට කුරුණෑගල අම්මලාගේ ගෙදර ගියවිට විදුලි බලය නොතිබුණු එහි වූ ට්‍රාන්සිස්ටර් රේඩියෝවෙන් ගුවන් විදුලියේ ප්‍රාදේශීය සේවාවක් වූ "රජරට සේවයෙන් "ගුවන් ගතවුණු "පිලේ පැදුර ", "නව පදමාලා " වැනි වැඩසටහන් සේම මාතර පිහිටි ප්‍රාදේශීය ගුවන් විදුලිය වූ " රුහුණු සේවයේ " සමහර වැඩසටහන් ඇසු බව මතක ඇතත් ඒවාගේ නම් ගැන මතකයක් නැත.යම් තරමකට මතකය ඇත්තේ සමන් සුසිරි මහතා නිෂ්පාදනය කල " රුහුණු ළමා රගමඩල " ගැන පමණකි.
පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් සදහා ලැබුණු අවසරයෙන් බිහිවුණු " සිරස" ගුවන් විදුලිය කල සමහර වෙනස්කම් ගැන මගේ පෞද්ගලික ප්‍රසාදයක් නැතත් ජනප්‍රිය රැල්ලක් මතු කරමින් අසන්නන් සමග එවේලේම සම්බන්ධ වෙමින් කල කටයුතු නිසා යොවුන් වියට එලබෙමින් සිටි අපට එය ආකර්ෂණයක් ගෙන ආ බව කිවයුතුය. සිරසෙන් ගුවන් ගතවුණු සමහර වැඩසටහන් මා සිත් ගත අතර " ෂර්ලොක් හෝම්ස් " කථා මාලාවේ කොටස් දැනුදු ඉදහිට යූ ටියුබ් අවකාශයට රිංගා අහන්නේ ඒ මතක අවදි කරන්නටයි.
පාසැල් සමයේදී රුහුණු සේවයේ " රුහුණු ළමා රගමඩල " ඇතුළු වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වෙමින් ඉන්නා කාලයේ 1987 ඉන්දු ලංකා සාම ගිවිසුමට විරෝධය දක්වමින් දේශප්‍රේමීන් විසින් රුහුණු සේවය පිහිටුවා තිබුණු වලව්ව ගිනිබත් කරමින් රුහුණු ජනතාවට අහිමි කලේ ප්‍රාදේශීයව නගන්නට තිබුණු ජනතා සන්නිවේදනය සේම අප වැනි නවකයින්ට තිබුණු විශ්ව විද්‍යාලයක් වැනි සම්පතකි.
නිමක් නැති වෙළද දැන්වීම් මධ්‍යයේ ඉදහිට යමක් ඉදිරිපත් කරන, ගිරා පෝතකයින් සේ නිමක් නැතිව ඔහේ දොඩවන බහුතරයකගෙන් පිරි කරච්චලයක් බවට ගුවන් විදුලිය පත්ව තිබෙන්නේ ආතක් පාතක් නැතිව හැර දැමූ ආර්ථිකය නිසාද නොඑසේ නම් නිසි නියාමනයක් නැති නිසාද යන්න හොයා බැලීම වටී. අදත් විශාල ග්‍රාමීය ජනතාවක් සිටින ලංකාව වැනි රටකට ගුවන් විදුලියේ ඇති හැබෑ වටිනාකම ගැන පාලකයින්ට අවබෝධයක් තිබේද යන්නත් ගැටළුවකි.
ලංකාවෙන් දුරු රටක හිටියත්, සිංහල භාෂාව සහ සංස්කෘතිය වෙනුවෙන් තම වියදමින් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් අන්තර්ජාල ගුවන් විදුලියක් කරන ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලක මහතාගේ " සවන " මෙහෙය අගය කලයුත්තේ එවන් වටපිටාවක් තුලය.
සවන රේඩියෝව ගැන ලියවුනු සටහන
http://ahasgawwenehalokaya.blogspot.com/2020/11/blog-post_29.html
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට
අපහසු වීම ගැන මගේ කණගාටුව
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි
කෑමට හොඳම වෑංජනේ බඩගින්න කියල කතාවක් තියනවා. මම මේක ලෙසටම අත්දැකලා තියනවා. රත්නපුර පැත්තෙ, කන්දක් කැලෑ කපාගෙන නැග්ගා, ඉත්තෑ අමාරුව තිබ්බ කාලෙ. හැන්දෑවෙ, වැලේ වැල් නැතුව ඇවිත්, වෙලේ පොකුණෙන් සීතල වතුර නෑවා. එදා වාඩියකින් කෑ, පිටි මඤ්ඤොක්කා සහ යහමින් ගම්මිරිස් දැමූ බොර මස් හොද්දෙ දිවියලෝක රස, අදත් මතකයි.
ReplyDeleteමම මේ හෑල්ල කිව්වෙ, ගුවන් විදුලිය ලෙසටම රසවින්දෙ වෙන ඔප්ෂන් එකක් නැති කාලෙ කියල කියන්නයි. අද අපේ රසග්ඥතාවය මොට වෙලා තියෙන්නෙ, තෝරා ගැනීම් වැඩි නිසා වෙන්නත් ඇහැකි.🤔
ටොමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒක ඇත්ත. මමත් හොදටම රේඩියෝ ඇහුවෙ විදුලි බලය නොතිබුණු කාලෙ කිරිඅම්මලාගේ ගෙදර ගිහාම තමයි.
Deleteමමත් ගුවන් විදුලියට ගියා ලඟදි . ඒකෙ තියෙන සංගීත ගබඩාව නම් රක්ෂණය කළ යුතුයි.
ReplyDeletehttps://kolambagamaya.blogspot.com/2021/04/blog-post.html
අජිත් ගේ අදහස හරියට හරි..ඔබේ සටහන හරිම වටිනවා. කුහක කම් සහ සල්ලි හින්ද අපේම ගොඩක් දේ විනාශ කලේ පිටරටින් ආපු අයට වඩා අපේම අය තමයි. අපට පහසුවෙන් රැක ගන්න තිබුණු බොහෝ දේ නැති කර ගත්තේ අපේම අය තමයි. ගුවන් විදුලියේ වගේම ලංගම, වී අලෙවි මණ්ඩලයේ සම්පත් වලට විනාශය උදා කරේ අපේම අය බව දන්නෝ දනිති
Deleteගුවන්විදුලිය 'ඇහුව' අන්තිම පරම්පරාව අපි වෙන්න ඇති අනුරුද්ධ. බොහොම ඉස්සර මුවන්පැලැස්ස අහන්නත් තරුණ කාලේදී FM අහන්නත් අපිට ඉඩ ලැබුණා. ඒ නිසා මං හිතන්නේ ගුවන්විදුලිය එක්ක අපිට සොඳුරු මතක බහුලයි.
ReplyDeleteකැනඩාවේ සවන රේඩියෝව වෙනුවෙන් ඔබ ඇතුළු ඔබේ කණ්ඩායම කරන මෙහෙය ඉතාමත් අගෙයි. අපට හුරු ගුවන්විදුලි අත්දැකීම තවදුරටත් පවත්වාගෙන යන්න ඉන් ලොකු සේවයක් වෙනවා.
හෙල්මලී ඔබේ අදහසට එකගයි. අපි සුභාවිත ගුවන් විදුලිය වගේම බද්ධ කල ගුවන් විදුලියත් ඇහුව අය. ඒ වගේම විනාශය කරා ගිය ගුවන් විදුලිය අහන්න වුනු අයයි. එහෙම නැත්නම් ගුවන් විදුලිය අහන අයට සල්ලි දෙන තත්වයට ගියේ ඇයි ? සවන ගැන කල පැසසුමට ස්තුතියි. මම එය වසන්ත ලංකාතිලක මහතා ඇතුළු කණඩායම සමග බෙදාගන්නම්.
Deleteදැන් සල්ලි දීල අහන රේඩියෝ කලාවක්නෙ තියෙන්නෙ. ඒ කාලේ ශ්‍රාවකයා ගුවන්විදුලි සස්තාවට වගේම, සන්නිවෙදකයටත් එකසේ ගෞරව කළා. දැන් ඒ තැන වත්මනේ වලපල්ලට ගොහින්. එත් හොඳ වැඩසටහන් නැතුවමත් නෙමෙයි...
ReplyDeleteනමියා ඔබ හරියට හරි. මගේ සටහන් වලදී දේශපාලනය හා ආගම වැනි සංවේදී දේ පරිස්සමින් ලියන්න උත්සාහ කරනවා. සටහන් තුන හතරකට කරුණු තිබුණත් ඒවා සාරාංශ ගත කලේ ඒ නිසයි. ඉදහිට හොද වැඩසටහන් අදත් තියෙනවා. ඒත් ඒවා හරිහැටි ජනතාව අතරට යනවාද කියල සැකයි.
Deleteසොඳුරු මතක...ස්තූතියි බෙදාගත්තට බොහෝ දේ දැන ගත්තා
ReplyDeleteසොදුරු සදවති ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Deleteරුහුණු සේවෙ, ස්වදේශීය සේවෙ, සිටි එෆ්එම් වගේම සිරසත් පිළිවෙලින් අහල තියෙනව පොඩි කාලෙ ඉඳල. දැන්නං ගොඩ දෙනෙක් ගුවන් විදුලියෙන් අයින් වෙලා. සංස්ථාවනං අනික් පෞද්ගලික ආයතන එක්ක තරඟයක් දෙන්න බැරි හින්දම යට ගිහිල්ල වගේ.
ReplyDeleteප්‍රා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ගුවන් විදුලි බලපත් මුදල් නොලැබීම, දක්ෂයින් වෙනුවට දේශපාලන බලපෑම් මත තනතුරු දීම වගේම වෙනස් වුණු ආර්ථිකයට අනුව අලෙවි ක්‍රම, තාක්ෂණය වෙනස් නොවීමත් එයට බලපාන්න ඇති. නමුත් මම හිතන්නේ කලින් සිටි ප්‍රවීණයන් වගේ නව පරපුරක් බිහි කිරීමට කටයුතු නොකිරීම එයට ප්‍රධාන හේතුව කියලයි.
Delete