මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 21, 2025

ඉබේම වාහනය කන්දක් නගින මැග්නටික් හිල් ( Magnetic Hill) බලමුද?

 


කැනේඩියානු සංචාරයක මතකය 



දුම්රිය ගමනාගමනයට පුරුදුව සිටි ජනතාව මෝටර් රථවලට මාරුවීම සිදුවුණේ දෙවන ලෝක යුද්ධය අවසානයත් එක්කයි. ලෝකයේ බොහෝ රටවල වගේම කැනඩාවෙත් මාර්ග පද්ධතිය වැඩි දියුණු වෙලා මිනිසුන් මෝටර් රථවලට පුරුදුවන්නට පටන් ගත්තා. ඒ හින්ද දුම්රියෙන් ගිහින් ළගම දුම්රිය නැවතුම් පලෙන් බැහැල අශ්ව කරත්තවලින් ගමනාගමනය සිදු වූ මාර්ග හැම  එකක්ම වගේ රථ මාර්ග බවට පත්වුණා.


නිව් බ්රුන්ස්වික් පළාතේ මොක්ටන්  නගරෙ කිට්ටුව පළාත හරහා ඉදිවුණු මාර්ගයේ Lutes Mountain  කියල කිලෝමීටරක පමණ මාර්ග කොටසක් තිබුණා. ඒ ඉසව්වේ තිබුණු භූ විෂමතාවය එක්ක නවතා තැබෙන වාහන අමුතු වෙනසක් නිරීක්ෂණය කෙරුණා. එය දෘෂ්ටි මායාවක් කියලා කියන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් වාහනයක් නිව්ට්‍රල් කරලා බ්‍රේක් නැතුව කන්දක තිබ්බොත් වෙන්නේ වාහනය පල්ලමට යන එකයි. ඒත් පුදුමය කියන්නේ මෙතැනදී දකින්න ලැබුනේ වාහන කන්ද නගින එකයි. 




ඒ ප්‍රදේශයේ  සුළු අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් කරගෙන ගිය මියුරියල් ලූට්ස් ( Muriel Lutes Sikorsky) කියන කාන්තාව මෙතැනට  මැග්නටික් හිල් ( Magnetic Hill) කියලා නම් කරල යන එන ගනුදෙනුකරුවන්ට මේ ගැන කිව්වාම කතාව නැගලා ගියා. ඒ ප්‍රදේශීය පුවත්පත විස්තර සහිතව ලිපියක් පළ කළාම තව තවත් පිරිස් මෙතැනට එන්න පටන් ගත්තා.ප්‍රදේශය පහු කරගෙන වෙනත් පළාත් වලට යන අයත් මේ ගැන උනන්දු වුනු හින්දා 1950 ගණන්වල නයගරා ඇල්ල, බැන්ෆ්  වනෝද්‍යානයට පස්සේ කැනඩාවේ වැඩිම පිරිසක් නැරඹූ සංචාරක ස්ථානය විදියට මෙය පත්වුණා කියලා කියැවෙනවා. සංචාරක ආකර්ශණීය ස්ථානයක් විදිහට මෙතැන තියෙන වැදගත්කම තේරුම් ගත් නිලධාරීන් ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය ඉදිකරද්දී මේ ස්ථානය සංචාරක කටයුතු සඳහා ඉතිරි කරලා වෙනත් පැත්තකින් අධිවේගී  මාර්ගය සංවර්ධනය කරලා තියෙනවා.




අද වෙනකොට මෙය ව්‍යාපාරික ආයතනයක් විසින් සංචාරක ප්‍රවර්ධන උද්‍යානයක් බවට පත් කරලා එහි එක කොටසක් විදියට ඔබටත් මුදල් ගෙවලා මේ අත්දැකීම ලබා ගන්න පහසුකම් සලස්වලා තියෙනවා. ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය අද්දරම පිහිටා තිබෙන හින්දත්, වඩදිය බාදිය අසිරිය බලන්න යන Hopewell Rocks කිට්ටුවම තියෙන හින්දත් බොහෝ දෙනෙක් මෙතැනට යන්න අමතක කරන්නේ නැහැ. වසරේ මැයි සිට ඔක්තෝබර් කාලය තුල උදෑසන 8 සිට රාත්‍රී 7 දක්වා හොදින් හිරු එළිය තියෙන වෙලාවලදී මෙය විවෘතව තැබෙනවා.    




මෙතැනදී ඔබට කරන්න තියෙන්නේ මැග්නටික් හිල් මාර්ගයේ යම් තැනක පිහිටුවා තිබෙන සුදු පැහැති කණුව ගාවට වාහනය පදවගෙන ගිහිල්ලා නතර කරන එකයි.  ඊට පස්සේ වාහනය කෙලින් කරලා නවත්තලා ගියර් පද්ධතියෙන් වාහනය අයින් කරලා නියුට්‍රල් කරල තිරිංග අත හැරියාම ඔබේ වාහනේ ඉබේම පස්සට එනවා. ඒ ප්‍රදේශයේ තිබෙන භූ විෂමතාවය අනුව ඔබට දැනෙන්නේ හරියට වාහනය කන්දක් උඩට නගිනවා කියලයි. ඒත් ඇත්තටම නම් මෙතන තියෙන්නේ පල්ලමක්.



වැඩි විස්තර කැමති කෙනෙකුට මේ දිගු ඔස්සේ ඒවා කියවන්න පුළුවන්.  


https://en.wikipedia.org/wiki/Magnetic_Hill_(Moncton)

https://canadiangeographic.ca/articles/rolling-uphill-in-new-brunswick/





කැනඩාවේ මැනිටෝබා, ඔන්ටාරියෝ, බ්‍රිටිෂ් කොලොම්බියා පළාත්වල ස්ථාන කිහිපයකත් මේ වගේ අසාමාන්‍ය අත්දැකීම් ලැබෙන පොඩි පොඩි තැන් කිහිපයක් ගැන වාර්තා වෙනවා. ලෝකයේ වෙනත් ප්‍රදේශවලත් එහෙම තැන් තියෙනවාලු. ඉන්දියාවේ Ladaka  වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වල Spook Hill උදාහරණ දෙකක් . ඔබත් නිව් බ්රුන්ස්වික් පළාතේ  මොක්ටන් නගරය හරහා නෝවා ස්කොෂියා හරි එඩ්වඩ් කුමාර දූපත පළාත්වලට යනවා නම් මේ අත්දැකීම ලබාගන්නට අමතක කරන්න එපා.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment