ටොරෝන්ටෝවට
නුදුරින් ඇති තැන් කිහිපයක මතකය ..

ඔන්ටාරියෝ පළාතේ වාහන නාම පුවරුවල සදහන් වන්නේ Yours to discover කියල ඒ කියන්නෙ ඔබටම සොයාගන්න කියලයි . අපට
ප්‍රතිචාර දැක්වූ හිතවතෙක් එය උපුටා දක්වමින් දසතට ස්තුතිවන්ත වී තිබුණේ ඔහු සහ පවුල
අපේ ලිපි පෙල කියවා බොහෝ තැන්වලට ගිය බව දන්වමින්
. සංචාරයක මතකය ලිපි පෙල කියැවූ අපේ හිතවතුන් විද්‍යුත් තැපෑලෙන් විවිධ ඉල්ලීම් කරනවා.
විස්තර අහනවා . දසත ඒ ගැන සතුටු වෙනවා . බොහෝ
දෙනෙක් ටොරොන්ටෝව අවට සහ ටොරොන්ටෝවේ ඇති තැන් ගැන ලියු ලිපි වලට කැමති බව සදහන් කර
තිබුණා . මෙවරත් බොහෝ දෙනාගේ ඉල්ලීමට අනුව ටොරෝන්ටෝවට නුදුරින් ඇති තැන් කිහිපයක් ගැන
සටහනක් තබන්න හිතුවේ ඒ නිසයි .

ටොරොන්ටෝ
දුපතේ විනෝද උයන (Centerville, Toronto Islands)

ඉතා දිගු ඉතිහාසයක් තිබෙන ටොරොන්ටෝ දුපතේ තිබෙන විනෝද
උයන ත්‍රාසජනක ක්‍රියාකාරකම් සදහා වයස නැති කුඩා දරුවන් සහ පවුලටම දවසක් ගත කරන්න හොද
තැනක් . කුඩා දරුවන් සදහා සදහා ක්‍රියාකාරකම් ඇති උද්‍යානය, කුඩා දරුවන්ගේ හිත් ගත්
කැනේඩියානු කාටුන් චිත්‍රපටයක් වන ෆ්රැන්ක්ලින් ඉබ්බාගේ චරිතය තේමා කරගත් උද්‍යානය
, මුහුදු වෙරළ ඔබත් ඔබේ පවුලත් දවසම කාර්ය බහුල කරාවි . මෙහි ඇවිදින්නත්
, බයිසිකල් පදින්නත් ඇති පදම් ඉඩ තිබෙනවා . ගංවතුර නිසා 2017 දී වසා දැමුණු මෙය
2018 දී යලි පටන් ගන්නට ටොරොන්ටෝ නගර සභාව බලාපොරුත්තු වන්නේ නෝවා ස්කොෂියා ප්‍රවාහන
අධිකාරියෙන් ගත් මගීන් 390 ක් යා හැකි පාරුවක් ද එකතු කරමින් .

ස්වාමිනාරායන්
පන්සල (BAPS Shri
Swaminarayan Mandir )

වෙනස් අනදමක් පුජනීය ස්ථානයක් වන මෙය බලන්නට වටින තැනක්
. කිරිගරුඩෙන් කල මෙහි කැටයම් සහ නිමාව අති විශිෂ්ටයි . මෙයට ඇතුළුවන ශාලාවේ ඇති ලී
කැටයම් ඔබේ සිත ඇදගන්නවා සිකුරුයි .427 අධිවේගී මාර්ගයට යාබදව ඉටෝබිකෝ ප්‍රදේශයේ පිහිටි
අක්කර 18 ක බිම්කඩක විසිරි තිබෙන උද්‍යානය ගිම්හානයට මලින් පීරී යනවා . මාස 18 කදී
ඉතාලියෙන් ගෙන්වූ මාබල් ගල් 24000 ක් , තුර්කියෙන් ගෙනා තිරිවානා සහ ඉන්දියාවෙන් ගෙනා
රෝස ගල් භාවිතයෙන් මෙය ඉදි කර තිබෙනවා . 2007 දී ඉදිවූ මෙහි ප්‍රධාන නිර්මාණ ශිල්පියා
ශිල්පා ශාස්ත්‍ර (Shilpa Shastras)

පුජනීය ස්ථානයක් වන මෙහි ඇතුලේ සේයා රූ ගන්නට අවසර නැහැ
. එහි භක්තියෙන් පුද පූජා වල යෙදෙන අයට බාධා නොකර ඔබට සැනසිල්ලේ එහි ශාන්ත බව වගේම
ලස්සන විදින්න පුළුවන් . එහි උද්‍යානය අවශ්‍ය තරම් සේයාරූ ගන්නට ලස්සන තැනක් .


Cheltenham
Badlands

පස සෝදා යාම නිසා විවිධ හැඩතල මවන මේ පරිශ්‍රය යෝධයෙකුගේ
පාද සිහිපත් කරනවා .
කැලිඩන් නගරයේ කදු පල්ලම් ඇති රැලි මාර්ගයක පිහිටා ඇති මේ ප්‍රදේශය ගස්වල කොළ විවිධ
පැහැයන්ගෙන් වර්ණවත් වන කාලයක හොද රවුමක් ගහන්නට හොද ඉසව්වක් . මේ ගමන අපට සිහිපත්
කලේ ඔබව මීට පෙර ගෙන ගිය නෝවා ස්කොෂියා පලාතේ කැබොට් පාරිසරික විවිධත්ව මාර්ගයයි ( Cabot Trail) . ආරක්ෂක
හේතු මත
මේ වන විට එය වසා තිබුණත් වඩාත් ආරක්ෂිතව මහජනතාවට රසවිදීම පිණිස 2018 ගිම්හානයේදී
ඇරබෙන බව කියැවෙනවා

එලෝරා
ගල් කොරියා සහ එලෝරා ගොර්ජ්

( Elora old querry & Elora Gorge)

එලෝරා පැරණි ගම්මානය පාලම මතින් යාම මෙන්ම ඒ අසලම තිබෙන
පැරණි ගල් කොරිය බලන්නට වටින තැනක් . සංචාරක ස්වභාවික නාන තටාකයක් ලෙස සංවර්ධනය කර
ඇති මෙය ගිම්හානයේදී පිරී ඉතිරී යන නිසා වාහන නැවත්වීම සදහාත් හොද තැනක් අල්ලා ගන්නටත්
කලින් යන එක හොදයි . උසට නැගුණු සුවිසල් ගල් කුළු වල සිට දියට පැනීම අනතුරු දායක බව
කොතෙක් සදහන් කර තිබුණත් තරුණ පිරිස් අදත් එය කරනු දකින්නට පුළුවන් .

එයට නුදුරින්ම පිහිටි එලෝරා ගොර්ජ් ( Elora Gorge) පරිශ්‍රය
කුඩාරම් ගසා කාලය ගතකරන්නට කදවුරු බිම් පහසුකම් තිබෙන තැනක් . ග්‍රෑන්ඩ් නදියේ ගල් අතරින්
ගලා යන සැඩ දිය පහරේ ටියුබයක නැගී යන්නත් මෙය කදිම තැනක් . ඒ සදහා අවශ්‍ය ටියුබ්. හෙල්මට්
සහ ආරක්ෂිත කබා කුලියට ගන්නත් ඒවා සමග ගං ඉහත්තාවට ගමන් කරන්නටත් ප්‍රවාහන පහසුකම් මෙහි තිබෙනවා .ඉතා විශාල බිම් කඩක
විසිරි තිබෙන මේ උද්‍යානයේ ඇවිදින්නත් , බයිසිකල් පදින්නත් ඇති පදම් තැන් තිබෙනවා
.

බ්‍රොන්ටේ
ක්‍රීක් පළාත් උද්‍යානය ( Bronte Creek Provincial Park)

ඔන්ටරියෝ පළාත මගින් පාලනය වන මෙම උද්‍යානය තිබෙන්නේ
ඕක්විල් නගරයේ . කුඩා ගොවිපොළක් , විද්‍යා මධ්‍යස්ථානයක් , ක්‍රීඩා ගුවන් යානා අංගනයක්
සේම විශාල පිහිනුම් ජලාශයක් මෙහි තිබෙනවා. කුඩා ගොවිපොළ කුඩා දරුවන්ට සතුන් බලන්නත්
, විනෝද වන්නටත් කියාපු තැනක් . මැදිවියේ දරුවන්ට එහි ඇති විද්‍යා මධ්‍යස්ථානය තොරතුරු
රැසක් දැනගන්නට හොද තැනක් .

මේ පරිශ්‍රයේ ඇවිදින්න , බයිසිකල් පදින්න වගේම කුඩා සෙල්ලම්
ගුවන් යානා ගුවන් ගත කරන්නත් අංගනයක් තිබෙනවා . විශාල පිහිණුම් ජලාශය ජීවිතාරක්ෂක නිලධාරීන්
සේවයේ යෙදෙන පහසුකම් ඇති තැනක් . එය වටේට පුටු පැදුරු තබාගෙන අව්ව තපින්නත් පුළුවන්
.

විදුලි
විදි රථ කෞතුකාගාරය ( Halton
County Radial Railway )

කැම්බල් විල් ප්‍රදේශයේ පිහිටි මෙය විදුලි විදි රථ වලට
ආදරය කල පිරිසක් ටොරොන්ටෝ ප්‍රවාහන කොමිසම භාවිතයෙන් ඉවත් කල යන්ත්‍රෝපකරණ කොටසක් භාවිතයෙන්
ආරම්භ කලේ 1953 දී . අතහැර දැමු පැරණි දුම්රිය මාර්ගයක් යොදා ගෙන මෙය මැනැවින් සකස්
කර තිබෙනවා . කැනඩාවේ සහ ඇමෙරිකාවේ භාවිතා වූ වීදි රථ වගේම දුම්රිය , බස් ධාවන තත්වයෙන්
මෙහි තිබෙනවා .
විවාහ මංගල්‍යයන් සදහා පසුතලයක් ලෙස භාවිත කෙරෙන මේ පරිශ්‍රය
ඔබේ දුවගේ පුතාගේ උපන් දිනය ගන්නට කියාපු තැනක් .කිලෝමීටර් 3 ක් දුර දිවෙන දුම්රිය
මාර්ගයේ විවිධ මාදිලියේ විදුලි විදී රථ වල නැගී ඇති පදම් රවුම් ගහන්නටත් , පැරණි විදුලි
විදී රථයක ඇති අයිස්ක්‍රීම් හලෙන් අයිස්ක්‍රීම් කන්නටත් ඔබට පුළුවන් .

ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com
විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
තවත් චාරිකාවක් සමග ඊලග කලාපයෙන් හමුවෙමු .
සටහන
අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදී වැලිගමගේ සහ
අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2018 පෙබරවාරි කලාපයේ පලවිය .
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
