මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, September 16, 2023

Agawa Canyon Tour Train එකේ රවුමක් යමුද ?

කැනේඩියානු සංචාරයක මතකය 


 Sault Ste Marie නගරයට සංචාරය සදහා එන අය බලන්න යන ප්‍රධාන සංචාරක ආකර්ශන 2 ක් තියෙනවා. ඉන් පළමුවැන්න Agawa Canyon දුම්රිය චාරිකාවයි.   




Agawa Canyon Tour Train

අතීතයේදී මේ ජනශුනය ප්‍රදේශය තුල තිබුණු ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වුනේ දැව සහ යපස් කර්මාන්තයයි. ඒවා ලබාගන්නා තැන ඉදන් වරායට ඒවා ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය වුනු පෞද්ගලික දුම්රිය මාර්ගය පසුකාලීනව CN Rail මගින් ක්‍රියාත්මක වුනු මගී ප්‍රවාහන මාර්ගයක් වුනා. මධ්‍යම රජයේ ප්‍රතිපාදන ඉවත්වීමත් එක්ක වසා දමන්නට නියමිතව තිබුණු ඒ සේවාව මේ වනවිට ජනප්‍රිය සංචාරක දුම්රියක් බවට පත්ව තිබෙනවා. 

සෑම වසරකම අගෝස්තු මාසයේ පටන් ඔක්තෝබර් දක්වා ක්‍රියාත්මක වන මේ සංචාරක දුම්රිය සදහා යොදා ගැනෙන්නේ එසේ වසා දමන්නට නියමිතව තිබුණු දුම්රිය සේවාවේ තිබුණු සංරක්ෂණය කල සම්පත්. හැල්මේ දුවන ලෝකයෙන් මිදිලා කලබලයක් නැති  දවසක අපූරු අත්දැකීමක් ගෙන එන එක මේ සේවයේ ව්‍යාපාරික අරමුණ. සැප්තැම්බර් මාසෙ අග ඉදන් ඔක්තෝබර් මාසෙ මැද වෙනකම් ගස්වල කොල රතු, තැබිලි, කහ පාටින් දිලෙන කාලයට මේ කලාපයේ අසිරිය බලන්න විශාල පිරිසක් ඇදිලා එන හින්ද අන්තර්ජාලයට ගිහින් කලින්ම ටිකට් වෙන්කරවා ගන්න එක හොදයි.

දවසේ දුම්රිය ගමන පටන් ගන්නේ උදේ 8 ට. ඒ හින්ද නවාතැනින් පිටත් වෙලා පැය භාගයකට කලින් එතැනට ගිහින් ඉන්න එක හොදයි. යාබද රථගාලේ වාහනය නවත්වලා Canal Street  එකේ තියෙන ප්‍රතිනිර්මාණය කල දුම්රිය ස්ථානයට ගියාම ඒක බලන්න ලස්සනයි. 2020 වසරේදී ගෘහ නිර්මාණ ශිල්පය හින්ද සම්මානයට පාත්‍ර වුනු මේ ගොඩනැගිල්ල හරියට කලාගාරයක් වගේ. ස්වදේශික චිත්‍ර ශිල්පී John Laford ගේ බිත්ති චිත්‍රයක්( Wall Mural ) වගේම ස්වදේශික චිත්‍ර ශිල්පී Thomas Sinclair ගේ බිම් චිත්‍රයකුත් ( Floor Mural ) එතැනදී දකින්නට පුළුවන්. එහි සමරු වෙළදසැල ( Gift shop) වගේම භෝජනාගාරය හරි අපූරුවට නිර්මාණය කරලා තියෙනවා. ඔබ දුම්රිය ලෝලියෙකු නම් එළිමහනේ නවතා තිබෙන දුම්රිය ගැල් අතරේ තිබෙන ACR 10557 BoXcar  ඔබට අපූරු ඉතිහාස කතාවක් කියාවි. 







1918 දී Lawren Harris, J.E.H MacDonald, Frank Johnston කියන චිත්‍ර ශිල්පීන් තුන් දෙනා අල්ගෝමා ප්‍රදේශයට ගිය චිත්‍ර සංචාරයෙන් පස්සෙ ඒ පරිසරයට පිස්සු වැටිලයි හිටියෙ. ඒ කාලයේ ඒ ප්‍රදේශයට යන්න තිබුණු එකම මාර්ගය වුනේ අල්ගෝමා දුම්රිය මාර්ගය විතරයි. දුම්රිය සමාගමට කථා කරලා Boxcar  එකක් කාලෙකට කුලියට ගන්න ඔවුන්ට පුළුවන් වුනා. සුදුපාට ACR 10557 රතුපාටින් පාට කරපු ඔවුන් එයට ඇද , මේස,පුටු , කුඩා ලිපක් එකතු කරලා පොඩි නවාතැනක් හදාගත්තා. පොඩි Canoe එකක් වගේම රේල් පාරේ කුඩා දුරක් යන්නට පුළුවන්  Handcar එකකුත් ඒකට ඇදා ගත්තා.  පස්සෙ කාලෙක ජනප්‍රිය වුනු Goup of Seven  චිත්‍ර එකතුව බිහිවුනේ එහෙමයි. අද ඔබට දකින්නට ලැබෙන්නේ   Painted Land: In Search of the Group of Seven කියන වාර්තා චිත්‍රපටය සදහා ප්‍රතිනිර්මාණය කල දුම්රිය ගැලයි.  

ඩීසල් දුම්රිය එන්ජින් 3 කින් හෝ 4 කින් බලය සපයන මේ දුම්රියට භෝජන රථ ඇතුළුව මැදිරි 14 ක් ඇතුලත් වෙනවා. ඒ මැදිරි නම් කරලා තියෙන්නේ මේ ප්‍රදේශයේ තිබෙන විල් සහ ගංගා වල නම් වලින්. මේ දුම්රිය එන්ජින් සහ මැදිරි කලක් තිස්සේ පාවිච්චි  කල සම්පත් සංරක්ෂණය කල ඒවා.  අළුත්ම ඒවා යොදවන්නට ඕනෑ තරම් ඉඩ තිබියදී යලි යලිත් ඒවා යොදා ගනිමින් කරන පරිසර පාඩම හින්ද ඒවා තවත් වටිනවා.

සැතපුම් 114 ක් ( කිලෝමීටර 183.5 ක් ) දුරක් ගෙවා යන මේ දුම්රිය චාරිකාව යන්නේ ජනශුනය දුම්රිය මගින් පමණක් යා හැකි කැලෑ ප්‍රදේශයක් හරහා. සුපිරියර් විල ආශ්‍රිත        Canadian Shield කලාපයේ විවිධ භූ විෂමතා ලක්ෂණ දරන කලාපය හරහා ඔබට පරිසරය විදින්නට ඉඩ සලසමින් අඩු වේගයකින් යන දුම්රියට ඒ දුර ගෙවන්න පැය 4 ක් විතර යනවා. Group of Seven  සිත්තරුන් තමන්ගේ නිර්මාණ රැසකට පාදක කරගත් ඉසව්වක තනා තිබෙන Agawa Canyon Park  නැවතුම එහි ගමනාන්තය වෙනවා. ඒ නැවතුමේ දුම්රිය විනාඩි 90 කට නවතා තැබෙනවා. එදා සිත්තරුන් දුටු අසිරිය අද දවසේ ඔබට කැමරා හෝ ජංගම දුරකථන කාච වලට එකතු කර ගන්නත් , ඒ මගේ තිබෙන ගංගා, දියඇලි අසිරිය විදින්නත් ඔබට පුළුවන්. දුම්රිය නවතා තැබෙන උද්‍යානයේ කෙටි ඇවිදින මංපෙත් හරහා ගිහින් ඔබට Black Beaver Falls සහ Bridalveil Falls   කියන දියඇලි බලන්න පුළුවන්. ඒ උද්‍යානය Picnic Facilities  තියෙන තැනක් හින්ද ඇවිදින්නට අකමැති නම් ඔබට විවේකයෙන් ඉදගෙන පරිසරය රස විදින්නත් පුළුවන්.   

ඒ විවේකයට පස්සෙ දුම්රිය ආපහු එන්න පටන් ගන්නවා. දුම්රිය නැවත ගමන පටන් ගත් දුම්රිය පලට එන්නෙ සවස 5.30 ට විතර . දවසේ උදේ , දහවල් සහ සවස් කාලයේදී කැනඩියානු පරිසර පද්ධතියක විවිධත්වය මේ ගමනේදී ඔබට අත්විදින්නට පුළුවන්. ලංකාවේ දුම්රිය සේවයටත්, සංචාරක අංශවලටත් මේ වගේ දේවල් කරන්න පුළුවන් නේද කියලත් හිතුනා. ඔබේ කැමැත්ත අනුව ඉංග්‍රීසි, ප්‍රංශ , ජර්මන් , ජපන් ,කොරියන් සහ චීන භාෂාවලින් කරන විස්තර කථන මා මෙහි ලියූ දේටත් වඩා වැඩි විස්තර ඔබට ලබා දෙනවා. පහසුවෙන් කල හැකි වුණත්  Wifi   පහසුකම් දෙන්න දුම්රිය සංවිධායකයින් උත්සාහ නොගෙන ඉන්නේ බාධාවකින් තොරව නිදහසේ පරිසරය විදින්න ඉඩ දෙන්නයි.  



Robertson Cliffs    

Sault Ste Marie ඉදන් පැය බාගෙක විතර දුරින් තියෙන මේ කදු මුදුන ඇවිදින්නට වටිනා ලස්සන තැනක්. රථගාලේ වාහනය නවත්වලා විනාඩි 45 ඉදන් පැය 2 ක තරමේ කාලයක් ඇවිදින්නට පුළුවන් ඇවිදින මංපෙත් ( Walking Trails) කිහිපයක්ම මෙතැන තියෙනවා.Goulais  ගඟ සහ සුපිරීයර් විල ඇතුළු ලස්සන පරිසර පද්ධතියක් මේ ගමනේදී ඔබට දකින්නට පුළුවන්. බටහිර සහ නැගෙනහිර (Western & Eastern Lookouts) වලදී ඔබට දකින්නට ලැබෙන දසුන් ඔබව ප්‍රබෝධවත් කරාවි. වැඩි විස්තර ඔබට Algoma Highlands Conservancy  වලින් ලබාගන්නට පුළුවන්.    

Ermatinger Clergue National Historic Site   

1812 දී එවක බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති වර්තමාන කැනේඩියානු බිම් ප්‍රදේශවලට ඇමෙරිකාව එල්ල කල දරුණු ප්‍රහාරයට ලක්වුණු ප්‍රමුඛ ප්‍රදේශයක් විදිහට මේ කලාපය හැදින්වෙනවා. ඇමෙරිකානු දේශ සීමාව බොහෝ කිට්ටුවෙන් තිබීම ඊට හේතුවෙන්නත් ඇති.

2023 සැප්තැම්බර් 20 සිට 23 දවස්වලදී ඔබ මේ ප්‍රදේශයට යනවා නම් වාර්ෂිකව  සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන Fall Rendezvous  උත්සවය බලන්නට අමතක කරන්නට එපා. ප්‍රංශ බස කථාකරන පිරිස් සහ ස්වදේශික පිරිස් ඉදිරිපත් කරන විවිධ ඉදිරිපත් කිරීම් ඇතුළුව 1800 කාලයේ කදවුරු ලාගෙන සිටි බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ගේ ක්‍රියාකාරකම් නිරූපණය කරන්නට විවිධ පිරිස් දායකත්වය දක්වනවා. ගවේෂකයින්ගේ අත්දැකීම් , කාලතුවක්කු වෙඩිමුර ඇතුළු වැඩසටහන් පෙලේ වැඩි විස්තර ඔබට අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්. 


ඊලග දවසේ අපි ගියේ Canadian Bushplane Museum.සහ Sault Locks  බලන්නයි. ඒ ගැන විස්තර ඊළග මාසයේදී බලාපොරොත්තු වන්න.  

අනුරුද්ධ වැලිගමගේ    

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි 

නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment