මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක වන දීර්ඝතම නොනවතින ගුවන් ගමන ලෙස හැඳින්වෙන්නේ Sinagapore Airlines විසින් සිංගප්පූරුවේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර වෙත යන කිලෝමීටර් 15,349ක් දිග ගුවන් ගමනයි. ඒ සඳහා ගතවන ගුවන් කාලය පැය 18 කුත් විනාඩි 50 ක් .
Aviation Voice යූ ටියුබ් නාලිකාව සමඟ පැවති සංවාදයක දී කපිතාන් එල්මෝ ජයවර්ධන හෙලි කල තොරතුරක් වුණේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ හංස විලෙන් ( Swan Lake) පටන් අරගෙන ලංකාවේ කොග්ගල ඔය දක්වා පැමිණි අපූරු ගුවන් සේවාවක් ගැනයි. සාමාන්‍යයෙන් මේ නොනවතින ගමන සඳහා දළ වශයෙන් ගුවන් පැය 30 තරම් ගත වෙතත් වාර්තාගත වැඩිම වේලාව පැය 32 කුත් විනාඩි 9 ක්.
ගුවන් ගමන් ගැන කැමැත්තෙන් ඉන්නා මට මේ පුවත අපූරු එකක් වුණු හින්දා මම කළ විස්තර හෙවීම අවසන් වුණේ තොරතුරු රැසක් එක්කයි. ඔබට ඉන් කොටසක් මේ සටහනේ සටහන් කරලා අවශ්‍ය කෙනෙකුට වැඩිදුර විස්තර දැනගන්න දිගු මෙයට එකතු කරන්නටයි මම හිතුවේ.
බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබූ ඔස්ට්‍රේලියාව සහ ලන්ඩනය අතර සබඳතා සඳහා 1934 දී ගුවන් සේවාව පටන්ගෙන තිබුණු ගුවන් සබඳතාව හැඳින්වුණේ The Kangaroo Route යන නමින්. තැපැල් මළු සහ විදේශ සේවයේ නිරත වැදගත් පුද්ගලයන් ප්‍රවාහනය ඉලක්ක කරගෙන පැවති මේ ගමන් මාර්ගයේ ප්‍රධාන නැවතුම්පළවල් වුණේ සිංගප්පූරුව, කල්කටා හෝ කරච්චි කයිරෝ සහ ට්‍රිපොලි යන නගර.
දෙවන ලෝක යුද සමය අග්නිදිග ආසියානු කලාපය සහ ආසියානු කලාපයේ ගුවන් සහ නාවික බලය ජපානය විසින් අත්පත් කරගත් හින්දා බ්‍රිතාන්‍යයට මේ සේවාව කරගෙන යන්න බැරි වුණේ මෙහි අතරමග ඉන්ධන සහ සේවා සපයාගත් සිංගප්පූරුව ජපානයේ පාලනය යටතේ තිබුණු හින්දයි. ඒ වෙනුවෙන් විකල්ප හොයද්දී හමුවුණු හොඳම විසඳුම ඕස්ට්‍රේලියාවේ පර්ත් වලින් පටන්ගන ලංකාවේ ගාල්ලට එන්න පුළුවන් ගුවන් මාර්ගයයි. පසුකාලීනව එය කරච්චිය දක්වා දීර්ඝ කෙරුණු අතර සමහර ගමන් වාර සදහා අතරමග කුඩා දුපතකුත් එකතු කෙරුණා. මේ ගමනාන්තය අතර දුර කිලෝමීටර් 6500 ක් .
අද මෙන් දියුණු තාක්ෂණික උපකරණ නොතිබුණු ඒ කාලයේ මාලිමා සහ තරු ලකුණු , සිතියම් මාර්ගයෙන් කෙරෙනු ඒ ගමන සඳහා කැටලීනා වර්ගයේ ගුවන් යානා පහක් නවීකරණය කෙරුණා. කුලී පදනම යටතේ බ්‍රිතාන්‍ය ගුවන් කටයුතු අමාත්‍යාංශය විසින් ලබා දුන් ඒවා නම් කෙරුනේ Rigel Star, Spica Star, Altair Star, Vega Star සහ Antares Star වශයෙන්. ඒ මේ ගමනේදී මග සලකුණු වෙනුවෙන් උදව් වුනු තරු 5 ක නම්.
කිලෝමීටර් 6700 ක දුර යා හැකි ලෙස මුල් යානාවල සමහර කොටස් අයින් කර අමතර තෙල් ගබඩා එකතු කලවිට තෙල් ලීටර් 9040 ක් සහිතව යානාව නවීකරණය වුනේ අතරමග සේවා පහසුකම් නොමැති ඉන්දියන් සාගරය උඩින් පියාසර කෙරුණු හින්දයි. ඒ ගමනට කපිතාන්වරයෙක්, සහය ගුවන් නියමුවෙක්, රේඩියෝ පණිවිඩකරුවෙක් සහ ඉංජිනේරුවකු ඇතුළත් වූ බව කියවෙනවා . එහි ගෙනයාමට අනුමත වුණේ කිලෝ69 ක් බර ලිපි මළු සහ විශේෂ අමුත්තන් තුන්දෙනෙකු පමණයි. කලින් සූදානම් කළ කෑම පෙට්ටි ඔවුන් වෙනුවෙන් පටවා ගනු ලැබූ බව සඳහන්. නිතර සෝදිසියේ ඉන්නා ජපන් හමුදාවන්ට හසුවේ යන බියෙන් ගමනේ යම් දුරක් ඔවුනට සිදුවුණේ රේඩියෝ උපකරණ ක්‍රියා විරහිත කර රාත්‍රියේ කළුවරේම ගමන් කරන්නටයි.
සතිපතා 1943 සිට 1945 දක්වා කාලයේදී ක්‍රියාත්මක වුණු එම සේවාව අවසන් වන විට ගමන් වාර 271 ක් කිලෝග්‍රෑම් 4500 ක බඩු බාහිරාදිය( ප්‍රධාන වශයෙන්ම ලිපි මළු ) සහ පුද්ගලයන් 860 දෙනෙකු ගෙන ගොස් තිබෙනවා. ඉතා විශිෂ්ඨ කාරණය වන්නේ කිසිදු අනතුරු වාර්තාවකින් තොරව එය කරන්නට තරම් ඒ වෙනුවෙන් කැපවුණු නියමුවන් , තාක්ෂණික නිලධාරීන් , ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නිලධාරීන් දැක්වූ සමත්කමයි.
දෙවරක් හිරු නගින අත්දැකීම මේ ගමනේ මගීන්ට අත්විඳින්නට ලැබුණු නිසා මෙහි ගමන් කළ මගීන්ට Secret order of double sunrise . නම් සහතිකය ලබා දුන් බව කියවෙනවා.
අනුරුද්ධ වැලිගමගේ
අපූරුයි සසටහන
ReplyDeleteජයවේවා
දුමින්ද ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි
Deleteදැනගෙන හිටියේ නැති දෙයක් සහ අපුරු කතාවක් . එපමණ දුරක්, එපමණ වෙලාවක් පියාසර කරනවා කියන්නේ ගුවන් යානයක
ReplyDeleteඅජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඒක තමයි. ඒක මාර කැපවීමක්. අඩු තාක්ෂණයක් , තනිකර මුහුද උඩින් තරු ලකුණු දිගේ ජපන් හමුදාවෙන් බේරිලා . මාර ගමනක්.
Deleteස්තූතියි මේ අපූරු ලිපියට.
ReplyDeleteබස් එකේ පැය හයක් යන්න අමාරු අපිට පැය තිස් දෙකක් කියන්නෙ පුප හමයන වැඩක් 🙈🙈
මහේෂ් ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. මෙච්චර දියුණු තාක්ෂණය තිබිලත් දුර ගමනක් යන්න අමාරු වෙනකොට. ඒ කාලෙ අයට පුදුම ඉවසීමක් තිබිලා තියෙනවා.
Delete