මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 3, 2024

අපි බිග් නිකල් කාසිය බලා පතලකට ගියෙමු





































 කැනඩාවේ උතුරු ඔන්ටාරියෝ ප්‍රදේශය පටන් ගන්නා සඩ්බරි ( Sudbary) නගරය ජනප්‍රියව තිබුණේ පතල් කර්මාන්තය සහ දැව කර්මාන්තය සඳහා. කැනේඩියන් පැසිපික් දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ඩිපෝවක් ලෙස සංවර්ධනය වුණු මේ නගරයට මේ නම ලැබෙන්නේ එංගලන්තයේ සඩ්බරි ප්‍රදේශයේ තැනැත්තියක් දුම්රිය සේවය ඉහළ නිලධාරියෙකුගේ බිරිඳ වුනු  හින්දයි  ලෝකයේ දෙවන ප්‍රධානතම නිකල්  නිධි  මේ ප්‍රදේශයෙන් හමුවීම නිසා මේ ප්‍රදේශයේ පතල් කර්මාන්තය අතරින් ජනප්‍රිය වුණා.


 අපි නැවතිලා හිටපු හෝටලෙන් ගමන පටන් අරගෙන දවස පටන් ගත්තේ බිග්නිකල් කියන සුවිසල් නිර්මාණය ගාවට ගිහින්.



බිග් නිකල්  ( Big Nickel )




1963 අවුරුද්දේ සඩ්බරි නගරයට අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් සැමරුම් කරන්නට නිර්මාණය වුණු කමිටුව ජනතා අදහස් විමසීමක් කළා.  එහිදී  ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අතරේ ගිනි නිමන භටයෙකු වූ  Ted Szilva ඉදිරිපත් කළ අදහස නිකල්වලින් යම්කිසි  සිහිවටනයක් හදන්න ඕන කියලයි. ඒ අදහසට පාදක වුණේ නගරය  නිකල් පතල්  කර්මාන්තය සහ බැඳී තිබීම නිසා. මේ නගරයේ පරම්පරා දෙකක පිරිස් වලින් බහුතරය මේ භූගත පතල් වල වැඩ කල අයගෙන් පැවත එනවා.  ඒ සිහිවටනය නිර්මාණය වීම පිළිබඳ විස්තර ඔහුගේ Big Nickel , untold Story .පොතෙන් කියවන්නට පුළුවන්.



අඩි තිහක් උස අඩි දෙකක් ඝනකම මේ නිර්මාණය කිලෝග්‍රෑම් දහතුන්දාහක් බරයි. මේ කාසිය රඳවා තිබෙන කණු දෙක අඩි 12 බැගින් උසක් එකතු කරන නිසා මෙහි මුළු උස අඩි 42ක්. සැබෑ  නිකල් මිල අධික නිසා මේ ප්‍රතිමාව තනා තිබෙන්නේ ස්ටේන්ලස් ස්ටීල්වලින් ( Stainless Steel) . මේ නිර්මාණයේ නිර්මාණ  ශිල්පියා Bruno Cavallo. 



වරින්  වර කෙරෙන පවිත්‍රතා මෙහෙයුම්වලදී මේ නිර්මාණය ශුද්ධ කරන්නට සහ ඔප දමන්නට පැය එකොළහක් පමණ ගතවන බව කියවෙනවා. ඒ වාගේම කැනඩාවේ එකසිය පනස්වෙනි සංවත්සරය සහ විශේෂ අවස්ථාවලදී මෙය වර්ණ ගැන්වෙන ප්‍රක්ෂේපණ තහඩුවක් ලෙසත් භාවිතා වී තිබෙනවා.





 ඩයිනමික් අර්ත්  ( Dyanamic Earth )




 බිග්නිකල් එක ගාවම තියෙන පරිශ්‍රය බාලමහළු හැමටම දැනුම බෙදන අධ්‍යාපන මධ්‍යස්ථානයක්.  නිකල් නිධි හැදුණු ස්වභාවික ක්‍රියාවලිය පියවරෙන් පියවර ආදර්ශන මගින් මෙහි නිර්මාණය කර තිබෙනවා. ඔබට කැමති නම් අපි වගේම සිහිවටන වෙළද සැලෙන් ඒ ආදර්ශන වලට පාදක වුණු පාංශු කොටස් මිලට ගන්නටත් පුළුවන්.   පාසල් විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට විද්‍යා දැනුම සඳහා ක්‍රියාකාරකම් සහ ප්‍රදර්ශන මැදිරි පිරි ඒ පරිශ්‍රයේ පතල් කර්මාන්තය සඳහා යොදාගත් භාවිතයෙන් ඉවත් කළ යන්ත්‍රෝපකරණවල නැගී ඔබටත් පතල් කර්මාන්තයේ සුවිශේෂිතා ගැන යම් අවබෝධයක් ලබන්නට පුළුවන්.





භූගත පතල් සංචාරය  ( Undegreound Mining Tour) 



















අපි ඉදිකිරීම් සඳහා භාවිතා වන තොප්පි දාගත්තා. පතල් සේවකයන් අඳින ඇඳුමින් සැරසුණා. අපි මේ සූදානම් වෙන්නේ කලින් අන්තර්ජාලයෙන් වෙලාව වෙන් කරවා ගත්ත භූගත පතල් චාරිකාවට යන්න. අපට විනාඩි කිහිපයක උපදෙස් මාලාවක් ලැබුනා .කුඩා කණ්ඩායමක් වෙන්කරලා නියාමක වරයෙක් හදුන්වා දුන්නා. 














විදුලි සෝපානයෙන් පහළට ගිහින් අපි පතලකට ඇතුළු වුණා. අතීතයේදී පතල් කැණීම් කළ ආකාරයේ ආදර්ශන ගැන විස්තර දැන ගනිමින් අපි ඉදිරියටම යද්දී  අතීත පතල් ජීවිතය ගතකල පතල් කම්කරුවන් පාවිච්චි කළ උපකරණ ගැන අපේ විස්තර ඉදිරිපත් කරන්නා කදිමට විස්තර කරා. ඇයගේ සීයාත් මේ පතල් වල සේවය කල කම්කරුවෙක්.  දෙවන ලෝක යුද්ධ සමයේදී ලෝක නිකල් නිෂ්පාදනයෙන්  අති විශාල දායකත්වයක් දැරූ කැනඩාව අදත් පතල් කර්මාන්තයේදී ඉතා ඉහළින් ඉන්නා රටක්. මේ ප්‍රදේශයේ මේ ලෝහ නිධි නිර්මාණය වූ ස්වභාවික ක්‍රියාවලිය ඉහල මාලයේදී හොදින් අධ්‍යනය කර තිබුණු හින්ද ශීතල , පස් වල ගඳ සුවඳ අතරේ ඩයිනමයිට් වෙඩි බෙහෙත් අතරේ වෙනස්ම අත්දැකීමක් ලැබුනා කියල කියන්න පුළුවන්.   අද වෙනකොට පතල් කර්මාන්ත තාක්ෂණය අතිශය දියුණු මට්ටමකට ගිහින් පතලේ නොසිට දුරස්ථ පාලක ක්‍රියාවලියකින් යන්ත්‍ර උපකරණ මගින් ඒවා කරන හින්දා අවදානම පහව ගිහින් තියෙන විදිහත් අපට එහිදී හොඳින්ම පැහැදිලි කළා. 


Sudbary නගරයේ තවත් තැන් 


Bell Park




Onapping Falls & AY Jackson Lookout



Northern Ontario Railroad Museum






කිලානි පළාත් උද්‍යානය  ( Killarney Provincial Park )




සඩ්බරි නගරයේ ඉදන්  පැයක පමණ වාහන ධාවනයකින් පස්සේ අපි ආවේ කිලානී පළාත් උද්‍යානයට. 1964  දී ආරම්භ වන මේ පළාත උද්‍යානය වර්ග කිලෝමීටර් 485 ක් පුරා පැතිර තිබෙන රක්ෂිතයක්.  අපි මින් පෙර උතුරු ඔන්ටාරියෝ ගැන ලිපි වලදී කතා කර තිබෙන කැනඩාවේ Group 7 චිත්‍ර ශිල්පී A Y Jackson ගේ බලපෑම මේ ප්‍රදේශයේ පළාත් උද්‍යානයක් ඉදිකරන්නට බලපෑ බව කියවෙනවා.





විශේෂයෙන්ම Canoe  සහ Kayak  පැදීම සඳහා ඉතා විශාල ඉඩකඩක් තිබෙන ජල පහරවල් මේ උද්‍යානය තුළ තිබෙන හින්දා  අනෙක් උද්‍යානවල වගේ නෙවෙයි මෙතැන ඒ උපකරණ කුලියට ගන්නේ පැය ගනනක් වෙනුවට දින ගණනක පදනම ටයි . ඒ වගේම අති විශාල පිරිසක් ඇදෙන්නේ කලබලකාරී බවින් තොර නිස්කලංකව කාලය ගතකරන්නටයි ඒ හින්දා දවස් කිහිපයක් Canoe, Kayak  කුලියට අරගෙන එහෙම නැත්නම් තමන්ගේම උපකරණ ගෙනවිත් කඳවුරු බිම් බඳින අය වගේම ජංගම නිවහන් ( RV - Recreational Vehicles )  මගින් ඇවිත් පරිසර සුව විඳින පිරිසුත් මෙහිදී වැඩිපුර දකින්නට පුළුවන්. 




Light Pollusion  අවම ඉසව්වක හින්දා ඔබ ආකාශ වස්තු නිරීක්‍ෂණය කර සඳහා ආසා කෙනෙක් නම් මෙය කදිම තැනක් .ඒ සඳහා ඉදිකළ නිරීක්ෂණ පහසුකම් මෙහි හොඳින්ම තිබෙනවා. ඒ වගේම මාළු  බාන්න, ඇවිදින්න,  බයිසිකල් පදින්න පළාත් උද්‍යානය තුල පහසුකම් රැසක් තිබෙනවා. 


අනුරුද්ධ වැලිගමගේ




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි


4 comments: