මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, June 28, 2025

චිත්‍ර පංතියක මතක





මට මේ සටහන ලියන්න කාරණා කිහිපයක් බලපෑවා. පළමුවැන්න  සහෝදර බ්ලොග් නිර්මාණ කාරිනිය  හෙල්මලී ගේ ඩිජිටල් චිත්‍ර. දෙවැන්න ලක්ෂ්මන් මෙන්ඩිස් රංගන ශිල්පියා යූ ටියුබ් වැඩසටහනකදී ප්‍රකාශ කල  ඊරියගොල්ල අධ්‍යාපන ඇමතිවරයා නතර කළ ජර්මන් නාට්‍ය ශිෂ්‍යත්ව. තුන්වැන්න අබලන් කියල ගාල්ලේ ඉවත් කරන ලංකාවේ සුනාමි ආපදා දැනුවත් කිරීමේ කුළුණු. 

මාතර රාහුල විද්‍යාලය හයේ පන්තියේ ඉන්නකොට මම සෞන්දර්ය විෂය විදිහට මුලින්ම සංගීතය කරන්න ගියා. සංගීත විෂයට හිටපු ටීචර් හරිම සැරයි, ඒ වගේම ගායනයට ලකුණු දෙන්නෙත් අඩුවෙන්. ඒ කාලේ පන්තියේ වෙනියා තෝරන හින්දා පන්තියේ හොඳ තැනක හිටපු මම එකපාරටම පහලට වැටුනා. අපට පරම්පරාවෙන් එන කලා පසුබිමක් නැහැ . සෞන්දර්ය සහ තාක්ෂණ විෂය තෝරගත්තෙ උගන්වන ගුරුවරු ගැන ඉහළ පන්තිවල අය්යලා කියූ හැටියටයි . අම්මලා තාත්තලා ගෙන් ඒවට බලපෑමක් තිබුනෙ නැහැ. රාහුල විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමිය සංගීත ගුරුතුමියගේ අම්මා,  සංගීත ගුරුතුමියට හාත්පසින්ම වෙනස්. හරිම කරුණාවන්තයි. අනේ ලෝබ  නැතුව ලකුණුත් දෙනවා. අංශ ප්‍රධාන ගුරු මහත්මයට කියල දෙවන වාරයේ ඉඳන් මම චිත්‍ර විෂයට මාරුවක් ගත්තා . ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට විශිෂ්ට සාමාර්ථයක් ගන්න තරමට චිත්‍ර විෂය මට නැගල ගියා.


මාතර ප්‍රදේශයේ චිත්‍රවලට උනන්දුවක් ඇති පාසැල් සිසු සිසුවියන්ට  සෙනසුරාදා දවසේ නොමිලේ රජය විසින් පවත්වන පාඨමාලාවක් ගැන දැනගන්න ලැබුනේ  ඒ අතරේ.  ඒක තිබුණේ  මාතර මැද්දවත්ත රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිට තියෙන රෝහණ කියන විද්‍යාලයේ.  මමත් සතියකට සැරයක් බස් එකේ මැද්දවත්තට ගිහින් චිත්‍ර අඳින්න පටන් ගත්තා. මුලින්ම දිය සායම් , පැස්ටල් , චිත්‍ර වලට අවශ්‍ය කොළ වගේ දේවල් නොමිලේම ලැබුණා . ගුරු මහත්තුරු හෝ ගුරු මහත්මීන් දෙදෙනෙක් මාරුවෙන් මාරුවට ඇවිත් අපට උපදෙස් දුන්නා. ඒ අය අපේ චිත්‍ර බැලුවා විතරක්ම  නෙමෙයි අපි ලවා විවිධ නිර්මාණ අභ්‍යාස කරා. දැඩි විෂය නිර්දේශ වෙනුවට එතැන තිබුනේ හරිම නිදහස් පරිසරයක්. ගොඩක් වෙලාවට අපට නිදහසේ චිත්‍ර අදින්න ඉඩ ලැබුනා. ගුරුවරු කලේ අපේ දක්ෂතා වලට උදව් දුන්නු එක විතරයි. අපි එහෙම අදින චිත්‍ර ලංකාවේ විතරක් නෙවෙයි විදේශ චිත්‍ර තරගවලට පවා යැව්වා. ඒ කාලේ ජපාන චිත්‍ර තරග හරිම ප්‍රසිද්ධයි.



මිනිස් රූප ලස්සනට අඳින්නට බැරි වුණත්, වර්ණ මිශ්‍ර කරන්න, රූප ගලපන්න යම් තරමක දක්ෂකමක් මටත් තිබුණා මගේ චිත්‍ර කිහිපයකට විවිධ තරඟවලින් කුසලතා සහතික ලැබුණා කියලත් ඒවා අධ්‍යාපන කාර්යාලයේ තිබෙන බවත් ඉදිරි කාලයකදී  ලැබෙනවා කියලත් කිව්වා. හැබැයි කවදාවත් අපට ඒවා ලැබුනේ නම් නැහැ.  රටේ තත්ත්වය වෙනස් වුණා. පළාතට භීෂණය ආවා.වියදම් කප්පාදු වුනා.උපකරණ දෙන එක නතර වුණා. ගුරුවරුත් සතියකට දෙන්නා වෙනුවට එක්කෙනා වුනා . ගෙවීම් ප්‍රමාදයි  කියලා එන එක්කෙනත් නතර වුණා . දවස් ගණන් අපි රස්තියාදු වෙන හින්දා ඒ වැඩේ හබක්වෙලා  පන්ති යන එක නැවැත්තුවා. චිත්‍ර පන්තියට ආව ගිය අතරෙ  රුහුණු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ කෝකි අයියා එක්ක යාළුවෙලා කෑම  සප්පායම් වුනු හැටි , මුහුදු වෙරළේ කළ කී දේ මතක  මගේ කෙටි කතාවලට ඉතිරි කර ගන්න අවශ්‍ය නිසා නොකියා තියාගන්නම් . 


චිත්‍ර අඳින්න බඩු ගන්න මාතර තැපැල් කන්තෝරුව ළඟ තිබෙන මුස්ලිම් කඩේට අපි පුරුදුවෙලා හිටියේ එතනින් යම් තරමක සහන මිලකට ඒවා ගන්න පුලුවන් වුනු හින්දයි. ඒ වගේම ඒ කාලේ චිත්‍ර රාමු කරගන්න එකත් තරමක් දුෂ්කර වැඩක්. දවස්  ගණන් රස්තියාදු වෙනවා. චිත්‍ර තරඟ වලට චිත්‍ර යැවූ විදිහ ගැන මතක නැති වුනත් චිත්‍ර ප්‍රදර්ශන වලට අවශ්‍ය විදිහට පින්තූර රාමු කරලා ගන්න වැඩේ බර කරට ගත්තෙ නම් තාත්තා තමයි. අද බලන කොට විෂයන් ඔක්කොටම ටියුෂන් යන ළමයි වෙනුවට එදා අපට කොච්චර බාහිර වැඩ තිබුණද කියල හිතෙනවා. චිත්‍ර පන්තිය , රුහුණු සේවය , දහම් පාසැල  , මුතුහර රූපවාහිනි ළමා සමාජය සති අන්තයම අත්දැකීම් පිරුණු රස්තියාදුවක්.   


අදත් ලෝකෙ කොහේ හරි සංචාරය කළොත්, නගරයේ යම් තැනක ඉඩ තියෙන වෙලාවකදි චිත්‍ර හෝ ඡායාරූප ප්‍රදර්ශනයක් තිබ්බොත් ඉඩ ලැබෙන විදිහට ඒවාට යන්න පුරුද්ද ඇතිවෙලා තියෙන්නේ ඒ හින්ද වෙන්න ඕන. මේ රටේ විවිධ ආයතනවලින් නගරයේ නගර සභාවෙන් වැඩිහිටි අය වෙනුවෙන් සංවිධානය වන චිත්‍ර පන්ති තියෙනවා. විශ්‍රාමික අය ඒවට ගිහින් තමන්ගේ කාලය ප්‍රයෝජනවත් විදිහට පාවිච්චි කරලා සතුටින් ඉන්නවා.සමහර විට විශ්‍රාම ගත්ත දවස්වලට ඒ වගේ ඒවාට යන්නත් වැඩි වැඩියෙන් කලාගාර බලන්නත් ඉඩ තියෙනවා. ඒවාට ඉතින් තව කල් තියෙනවනේ.



මම ගූගල් සිතියමෙන් බලද්දි, දැන් අපි චිත්‍ර අඳින්න ගිය ඉස්කෝලෙ තාප්ප ගහලා තට්ටු ගොඩනැගිලි හැදිලා නිකං මාතර ටවුමේ කෑල්ලක් වගේ වෙලා. අපි යන කාලේ ඒ ඉස්කෝලේ පෙනුනේ හැට ගණන් වල චිත්‍රපට වල දැක්ක මධ්‍ය මහා විද්‍යාලයක් වගේ, හරිම ලස්සනයි. විෂය අධ්‍යාපනයට අමතරව ශිෂ්‍ය දක්ෂතා දියුණු කරන්න ලකාවෙ කොච්චර ලස්සන ව්‍යාපෘති තිබිල තියෙනවද?  පෞද්ගලික හේතු සහ උවමනාවක් නැති කම නිසා පසුකාලීනව  භාවිතයට නොගෙන ආධාරදුන් ඒ ඒ ආයතනවලට ඇදිලා ගිය මුදල් සහ ඒ ව්‍යාපෘති නිසි විදිහට කළමනාකරණය වුණානම් කියල මට හිතෙනව. 


පහුගිය දවසක අජිත් ජිනදාස ප්‍රවීණ රංගවේදියා එක්ක කළ රූපවාහිනි කතාබහක දී ඔහු කිව්වේ රත්නපුරේ ළමයකුට කොළඹ ආනන්ද විද්‍යාලයට ඇවිත් ලෝකය දකින්න ලැබුණේ ලංකාවේ ඒ කාලෙ තිබුනු ශිෂ්‍යත්ව විභාගය නිසා කියලයි. ඒ වගේම අපේ ජීවිත කාලයේදී අපට අත්දකින්නට ලැබුණු සුනාමි උවදුරේ දී ලංකාවට ආධාර විදිහට ලැබුණු බහුතරයක් දේ  නිසි නඩත්තුවක් නැතිකම නිසා අද වෙනකොට අබලන් වෙලා භාවිතයට ගන්න බැරි තරමටම සවුත්තු වෙලා. දේශපාලන අධිකාරියට විතරක් බැන බැන ඉන්නෙ නැතුව නිලධාරීන් සහ පුරවැසියන් විදියට හැමෝම තම තමන්ගේ යුතුකම සහ වගකීම පැහැර හැරීම හේතුවෙලා  කියලා මට හිතෙන්නෙ නිසි ක්‍රමවේද වලට , නිසි වෙලාවට මේ රටවල දේවල් නඩත්තුවෙන හැටි දැක්කමයි.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, June 21, 2025

ඉබේම වාහනය කන්දක් නගින මැග්නටික් හිල් ( Magnetic Hill) බලමුද?

 


කැනේඩියානු සංචාරයක මතකය 



දුම්රිය ගමනාගමනයට පුරුදුව සිටි ජනතාව මෝටර් රථවලට මාරුවීම සිදුවුණේ දෙවන ලෝක යුද්ධය අවසානයත් එක්කයි. ලෝකයේ බොහෝ රටවල වගේම කැනඩාවෙත් මාර්ග පද්ධතිය වැඩි දියුණු වෙලා මිනිසුන් මෝටර් රථවලට පුරුදුවන්නට පටන් ගත්තා. ඒ හින්ද දුම්රියෙන් ගිහින් ළගම දුම්රිය නැවතුම් පලෙන් බැහැල අශ්ව කරත්තවලින් ගමනාගමනය සිදු වූ මාර්ග හැම  එකක්ම වගේ රථ මාර්ග බවට පත්වුණා.


නිව් බ්රුන්ස්වික් පළාතේ මොක්ටන්  නගරෙ කිට්ටුව පළාත හරහා ඉදිවුණු මාර්ගයේ Lutes Mountain  කියල කිලෝමීටරක පමණ මාර්ග කොටසක් තිබුණා. ඒ ඉසව්වේ තිබුණු භූ විෂමතාවය එක්ක නවතා තැබෙන වාහන අමුතු වෙනසක් නිරීක්ෂණය කෙරුණා. එය දෘෂ්ටි මායාවක් කියලා කියන්නත් පුළුවන්.සාමාන්‍යයෙන් වාහනයක් නිව්ට්‍රල් කරලා බ්‍රේක් නැතුව කන්දක තිබ්බොත් වෙන්නේ වාහනය පල්ලමට යන එකයි. ඒත් පුදුමය කියන්නේ මෙතැනදී දකින්න ලැබුනේ වාහන කන්ද නගින එකයි. 




ඒ ප්‍රදේශයේ  සුළු අයිස්ක්‍රීම් ව්‍යාපාරයක් කරගෙන ගිය මියුරියල් ලූට්ස් ( Muriel Lutes Sikorsky) කියන කාන්තාව මෙතැනට  මැග්නටික් හිල් ( Magnetic Hill) කියලා නම් කරල යන එන ගනුදෙනුකරුවන්ට මේ ගැන කිව්වාම කතාව නැගලා ගියා. ඒ ප්‍රදේශීය පුවත්පත විස්තර සහිතව ලිපියක් පළ කළාම තව තවත් පිරිස් මෙතැනට එන්න පටන් ගත්තා.ප්‍රදේශය පහු කරගෙන වෙනත් පළාත් වලට යන අයත් මේ ගැන උනන්දු වුනු හින්දා 1950 ගණන්වල නයගරා ඇල්ල, බැන්ෆ්  වනෝද්‍යානයට පස්සේ කැනඩාවේ වැඩිම පිරිසක් නැරඹූ සංචාරක ස්ථානය විදියට මෙය පත්වුණා කියලා කියැවෙනවා. සංචාරක ආකර්ශණීය ස්ථානයක් විදිහට මෙතැන තියෙන වැදගත්කම තේරුම් ගත් නිලධාරීන් ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය ඉදිකරද්දී මේ ස්ථානය සංචාරක කටයුතු සඳහා ඉතිරි කරලා වෙනත් පැත්තකින් අධිවේගී  මාර්ගය සංවර්ධනය කරලා තියෙනවා.




අද වෙනකොට මෙය ව්‍යාපාරික ආයතනයක් විසින් සංචාරක ප්‍රවර්ධන උද්‍යානයක් බවට පත් කරලා එහි එක කොටසක් විදියට ඔබටත් මුදල් ගෙවලා මේ අත්දැකීම ලබා ගන්න පහසුකම් සලස්වලා තියෙනවා. ට්‍රාන්ස් කැනඩා අධිවේගී මාර්ගය අද්දරම පිහිටා තිබෙන හින්දත්, වඩදිය බාදිය අසිරිය බලන්න යන Hopewell Rocks කිට්ටුවම තියෙන හින්දත් බොහෝ දෙනෙක් මෙතැනට යන්න අමතක කරන්නේ නැහැ. වසරේ මැයි සිට ඔක්තෝබර් කාලය තුල උදෑසන 8 සිට රාත්‍රී 7 දක්වා හොදින් හිරු එළිය තියෙන වෙලාවලදී මෙය විවෘතව තැබෙනවා.    




මෙතැනදී ඔබට කරන්න තියෙන්නේ මැග්නටික් හිල් මාර්ගයේ යම් තැනක පිහිටුවා තිබෙන සුදු පැහැති කණුව ගාවට වාහනය පදවගෙන ගිහිල්ලා නතර කරන එකයි.  ඊට පස්සේ වාහනය කෙලින් කරලා නවත්තලා ගියර් පද්ධතියෙන් වාහනය අයින් කරලා නියුට්‍රල් කරල තිරිංග අත හැරියාම ඔබේ වාහනේ ඉබේම පස්සට එනවා. ඒ ප්‍රදේශයේ තිබෙන භූ විෂමතාවය අනුව ඔබට දැනෙන්නේ හරියට වාහනය කන්දක් උඩට නගිනවා කියලයි. ඒත් ඇත්තටම නම් මෙතන තියෙන්නේ පල්ලමක්.



වැඩි විස්තර කැමති කෙනෙකුට මේ දිගු ඔස්සේ ඒවා කියවන්න පුළුවන්.  


https://en.wikipedia.org/wiki/Magnetic_Hill_(Moncton)

https://canadiangeographic.ca/articles/rolling-uphill-in-new-brunswick/





කැනඩාවේ මැනිටෝබා, ඔන්ටාරියෝ, බ්‍රිටිෂ් කොලොම්බියා පළාත්වල ස්ථාන කිහිපයකත් මේ වගේ අසාමාන්‍ය අත්දැකීම් ලැබෙන පොඩි පොඩි තැන් කිහිපයක් ගැන වාර්තා වෙනවා. ලෝකයේ වෙනත් ප්‍රදේශවලත් එහෙම තැන් තියෙනවාලු. ඉන්දියාවේ Ladaka  වගේම ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වල Spook Hill උදාහරණ දෙකක් . ඔබත් නිව් බ්රුන්ස්වික් පළාතේ  මොක්ටන් නගරය හරහා නෝවා ස්කොෂියා හරි එඩ්වඩ් කුමාර දූපත පළාත්වලට යනවා නම් මේ අත්දැකීම ලබාගන්නට අමතක කරන්න එපා.


අනුරුද්ධ වැලිගමගේ



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

Saturday, June 14, 2025

ගැහැණු ළමයි සමඟ කෑන්ස් රතු පලසට ගිය අපේ අජිත් අය්යා

 




එක්දහස් නමසිය හැට හය වසරේ දී ලංකාවේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනාගත්තේ කරුණාසේන  ජයලත් රචනා කළ ගැහැණු ළමයි නිර්මාණය විසින්. කුසුම් ලියනගේ චරිතය කේන්ද්‍ර  කර ගනිමින් ශ්‍රී ලාංකික සමාජයේ  පැතිකඩක් නිරූපණය කරන අගනා කෘතියක් විදියට ගැහැණු ළමයි පොත හඳුන්වන්නට පුළුවන්. 60 දශකයේ සම්ප්‍රදායික තරුණ දැරියක වන කුසුම් සහ යොවුන් තරුණයෙකු වන නිමල් සතරසිංහ සමග ඇතිවන ප්‍රේම සම්බන්ධතාවක් මැද්දේ ජීවිතයේ විවිධ හැලහැප්පිළි මැද මේ කතාව ඉදිරියට යනවා. 1977 දී ආචාර්ය සුමිත්‍රා පීරිස් තමන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය විදියට තෝරාගත් නිර්මාණය වන්නේ ගැහැණු ළමයි කතාවයි. ඒ කතාවේ  නිමල් සතර සිංහගේ චරිතය  ඉතා අගනා ලෙස නිරූපණය කළේ ටොරොන්ටෝවේ  ඔබ අප  සමග ජීවත්වන ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස විසින්. අපට හුරු පුරුදු අජිත් අයියා පහුගිය මැයි මාසයේ ප්‍රංශයේ  කෑන්ස් අන්තර්ජාතික සිනමා උළෙලීදී  ගැහැණු ළමයි චිත්‍රපටිය  සංරක්ෂණය කරමින් පැවති උත්සවයේදී විශේෂ ඇගයීමට  ලක්වුණා.  සිංහල සිනමාවට, එහි නිර්මාණ ශිල්පීන්ට ගරු සරු දක්වමින් කෑන්ස් රතු පලසේ ඇවිද ගිය අජිත් අයියා අද රූපණ  මැදිරියේදී අපත් එක්ක එකතු වෙනවා.


කොහේද ගැහැණු ළමයි  චිත්‍රපටය රූගත කළේ

ඒ දර්ශන තලයේ  මතක

1976 දී තිරගත වුනු  ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මඩොල් දුව චිත්‍රපටයේ උපාලි ගිනිවැල්ලේගේ චරිතය රඟපෑවේ අජිත් අයියා. ඒ චිත්‍රපටියේ සංස්කරණ ශිල්පිනිය වුණේ සුමිත්‍රා පීරිස් මැතිනිය.  ගම්පහ සිරිකුරුස විද්‍යාලයෙන් සොයාගත් නවක නිළිය වසන්ති ඩොරීන් පීටර්සන් සමග ගැහැණු ළමයි චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට තෝරගත්තේ ඔබව. සුමිත්‍රා පීරිස් මැතිනිය අධ්‍යක්ෂකවරියක් විදියට ඔබට දැනුනේ කොහොමද? වසන්ති සහ සෙසු නළු නිළියන් සමග කළ රඟපෑම් ඔබට දැනුණු විදිහ

ගැහැණු ළමයි චිත්‍රපටය සංරක්ෂණය වුනු හැටි. මේ විශාල  කර්තව්‍යයට උරදුන්නේ Film Heritage Foundation  කියන ආයතනයයි.
ඒ චිත්‍රපට සංරක්ෂණ කටයුතු සිද්ධ වුණේ කොහොමද ?



කෑන්ස් චිත්‍රපට උළෙලේදී  ඔබ සහ ගැහැණු ළමයි කණ්ඩායමට ලැබුණු අගය

කිරීම

විශේෂයෙන්ම ඒ කෑන්ස් රතු පලස මතින් ඇවිදගෙන යද්දී දැනුණු හැගීම




ගැන දැනගන්න

මේ දිගුවෙන් රූපණ වෙබ් අඩවියට පිවිසෙන්න.


https://rupane.com/2025/06/14/rupane-episode-456-june-14-2025/

2025 ජූනි  14 වැනිදා රූපණ අන්තර්ජාල රූපවාහිනිය තුලින් වෙබ් ගත වුවකි.

**************************************************

ඉදිරිපත් කිරීම - අනුරුද්ධ වැලිගමගේ සම්පත් දායකත්වය - ප්‍රවීණ රංගධර අජිත් ජිනදාස සංස්කරණය - පුබුදු වනිගසේකර , රවිදු කන්නන්ගර සංකල්පය සහ නිෂ්පාදනය - අනුරුද්ධ වැලිගමගේ අධ්‍යක්ෂණය - ගොයුම් එරංග විධායක නිෂ්පාදනය - වීරා ෆොන්සේකා

**************************************************

මේ ශ්‍රී ලන්කැන් වෙබ් පුවත්පතේ පලවූ සටහන   

ගැහැණු ළමයි සමඟ කෑන්ස් රතු පලසට ගිය ටොරොන්ටෝවේ අජිත් අය්යා

https://srilancan.ca/2025/05/18/%e0%b6%9c%e0%b7%90%e0%b7%84%e0%b7%90%e0%b6%ab%e0%b7%94-%e0%b7%85%e0%b6%b8%e0%b6%ba%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b6%9f-%e0%b6%9a%e0%b7%91%e0%b6%b1%e0%b7%8a%e0%b7%83%e0%b7%8a-%e0%b6%bb%e0%b6%ad/


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images
               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, June 7, 2025

මහින්දාගමනය......





මිහිදු හිමියන් වැඩියාලු 

අඹ පැනයකුත් ඇහුවාලු 
ඇත්තමයි හාමුදුරුවනේ 
ඒ ඉන්දියන් අධිරාජ්‍යවාදයද ?

හිරුට වැඳ වැඳ හිටි අයට 
අළුත් දහමක් දුන්නාලු 
ඇත්තමයි හාමුදුරුවනේ
ඒක මොළ සුද්ද කළ වැඩක්ද ?

කාල ඇඳලා යස රඟට 
අනියත බව දැන හිටි හැටියට
ඇත්තමයි හාමුදුරුවනේ
එදා හිටි අය මෝඩයෝද ?


දහම් පාසැලේ පොඩි එකෙක් 
ඔය ප්‍රශ්න වැල ඇහුවාම 
ඇත්තමයි ලොකු හාමුදුරුවනේ
දෙන්න උත්තර නෑ මට 


අනුරුද්ධ වැලිගමගේ

2025 ජුනි  මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.




විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.