මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 8, 2025

මොඩල් කෝච්චි පිස්සුව





කෝච්චි කියල කියන්නෙ සංකීර්ණ තාක්ෂණික කාරණා ගොඩක එකතුවෙන් බිහිවුනු කර්මාන්තයක්.  ඒ වගේම තමයි කෝච්චි කියල කියන්නෙ අදටත් බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවාහන මාධ්‍යයක්.  රටින් රටට දුම්රිය ප්‍රවාහනය විවිධ වෙනවා වගේම පොදු ජනතාවගේ පොදු ප්‍රවාහනයේ  පටන් විශේෂ සැපදායක ගමන් මාධ්‍යයක් වශයෙනුත් සංචාරක කර්මාන්තයේදිත් ඉතිහාසය මුළුල්ලේම කෝච්චිය වෙනස් වෙලා තියෙනවා.




 Railway Modelling  කියන බ්‍රිතාන්‍ය ඉංග්‍රිසි වදනින් වගේම උතුර ඇමරිකාවේ Model Railroading  කියලා කියන්නේ විනෝදාංශයක් විදිහට සැබෑ දුම්රියවල  ඇති දෑ අඩු පරිමාණයකට සකස් කළ වෙනමම දුම්රිය කට්ටල  සහ අනෙකුත් අංග භාවිතා වන විනෝදාස්වාදන කර්මාන්තයක්. සැබෑ ප්‍රමාණයෙන් අඩු පරිමාණයකට සකස් වන ඒ වගේ පද්ධතිවල ලෝකයේ මෙතෙක් භාවිතා වුනු සියළුම දුම්රිය එන්ජින්, විවිධාකාර මාදිලි වල දුම්රිය ගැල්, වීදි රථ, දුම්රිය මාර්ග සංඥා පද්ධති වගේම පාරවල් , පාලම්, වාහන,  වරාය කඳු,ගංඟ, බිම් ගෙවල් වගේම විවිධ පරිසර පද්ධතීත්  තියෙනවා.




 ඉතිහාසයේ  කියවෙන විදිහට මුල්ම මොඩල් රේල් එක ඉදිකර තිබුනේ 1859 දී ප්‍රංශ අධිරාජයා වුණු තුන්වන නැපෝලියන්ගේ අවුරුදු තුනක කුඩා ළදරුවා වෙනුවෙන් පැරීසියේ Chateau De Saint Cloud මන්දිර භූමියේ දී. ඒවගේම පැරණිතම ක්‍රියාකාරී මොඩල් රේල්වේ එක  හදල තියෙන්නේ 1912 දී Lancashire and Yorksire Railway සමාගමේ සිග්නල්මන්වරුන්ගේ පුහුණු කටයුතු සඳහායි .වර්තමාන National railway museum  භූමියේ තිබුණු එය  1995 දක්වා ක්‍රියාත්මක වී තිබෙනවා. 




මොඩල්  කෝච්චි විවිධ පරිමාණයන්ගෙන් සහ පීලි පරතරවලින් නිෂ්පාදනය කර තිබෙනවා. සැබෑ පරිමාණයෙන් හාරසිය පනහෙන් එකක්( 1 : 450)  වන ටී (T )  වර්ගයේ දුම්රියේ  සිට සැබෑ පරිමාණයෙන් විසිදෙක දශම පහක් වන( 1 : 22.5 ) ජී (G ) වර්ගය දක්වා විවිධ පරිමාණයන්ගෙන් මේ දුම්රිය කට්ටල සහ උපාංග නිර්මාණය වී තිබෙනවා.  ජී වර්ගයේ  දුම්රිය කට්ටල  වල මගීන් කිහිප දෙනෙකුට ගමන් කරන්නටත් පුළුවන්.  සමහර දුම්රිය ලෝලීන්ගේ ගෙවතුවල  වගේම විවිධ දුම්රිය කෞතුකාගාර සහ සංවිධාන තම තමන්ගේ පරිශ්‍රවල මේවා සකස් කරගෙන ක්‍රියාත්මක කරනවා. ඒවගේම රටින් රටට මේ එකම පරිමාණ වල වුණත් සුළු සුළු වෙනස්කම් තියෙන්නත් පුළුවන්




 
ScaleRatio
T1:450
ZZ1:300
Z1:220
N1:160
2mm1:152
TT1:120
3mm1:101
HO1:87
OO1:76.2
S1:64
O1:48
11:32
G1:22.5

   

රටින් රටට,  කලාපයෙන් කලාපයට අනෙකුත් දුම්රිය පරිමාණ භාවිතය වෙනස් වෙනවා. බොහෝ විට ඒවා පෞද්ගලික මට්ටමින් නිවෙස්වල වගේම කෞතුකාගාර, වෙළඳ ප්‍රදර්ශනාගාර, සහ විවිධ ජංගම ප්‍රදර්ශන වලදීත් ඔබට දකින්නට පුළුවන්. 

පීලි අතර පරතරයත් වර්ග කිහිපයක් දකින්නට පුළුවන්. නිෂ්පාදිත සමාගම් වගේම NEM ( Normen Europäischer Modellbahnen ) සහ NMRA ( The National Model Railroad Association )  කියන සංවිධානවල පරාමිතික අනුවත් මේවායේ පීලි අතර පරතරය සකස්ව තිබෙනවා මිලිමීටර් 4.5  සිට  මිලිමීටර් 260 දක්වා විවිධ පරතරවලින් මේවා නිෂ්පාදනය වී තිබෙනවා.


ඉතිහාසයේදී මේ දුම්රිය එන්ජින් බලගැන්වී තිබෙන්නේ Clockwork  කියන දුනු සහ දැති මත බලය එකතු කරන ක්‍රියාදාමය භාවිතයෙන්. ඔබ කුඩා කාලයේ භාවිතා කළ කරකවන එලාම් ඔරලෝසුවල තිබුණු ක්‍රමවේදයත් මෙයයි. ඒ ක්‍රමයේදී දුම්රිය නතර වෙන්නේ දුනු බලය ඉවර වෙන විදිහටයි. වර්තමානයේදී බැටරි බලයෙන් වගේම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මොඩල් කෝච්චි  තිබෙනවා. ඒවා AC - Alternating Current ඒ.සී සහ DC - Direct Current ධාරාවන්ගෙන් බලය ලබා ක්‍රියාත්මක වෙනවා. බොහෝවිට විදුලියෙන් ක්‍රියාත්මක වන මෝඩල්  කෝච්චිවල පීලි දිගේ විදුලිය සම්ප්‍රේෂණය වෙලා දුම්රියෙන්  එන්ජිමේ මෝටරය ක්‍රියාත්මක වීමෙන් තමයි ධාවනය සිද්ධ වෙන්නේ.

එතරම් තාක්ෂණික දැනුමක් නැති වුණත් කෝච්චි ගැන තියෙන උන්මාදය නිසා උතුරු ඇමරිකාවේ ජනප්‍රිය වගේම ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ඇති HO  පරිමාණයේ දුම්රිය කට්ටල කිහිපයක් පැරැණි දුම්රිය ලෝලීන්ගෙන් මිලදී ගන්නට මට පුළුවන්කම ලැබුණා. ඉදිරියේදී ඉඩ ලැබෙන විදිහට ගෙදර ඉඩක් හදාගෙන ඒවා ධාවනය කරලා විනෝද වෙන්න පසුබිමක් සකස් කරන්න බලාගෙන ඉන්නවා.

කාට හරි මේ ගැන වැඩි විස්තර දැනගන්නට අවශ්‍ය නම් මේ දිගු  ප්‍රයෝජනවත් වේවි.


https://en.wikipedia.org/wiki/Rail_transport_modelling

https://hmrs.org.uk/

https://www.morop.org/index.php/en/

https://www.nmra.org/

අනුරුද්ධ වැලිගමගේ 

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

                                                      සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


No comments:

Post a Comment