මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, February 14, 2026

ප්‍රංශ විප්ලවයේ සියවස සමරා ඉදිකළ ලොවක් වශීකල අයිපල් කුළුණ





ප්‍රංශ සංචාරයක මතක


විවිධ චිත්‍රපට වලින්, පොතපතින් දැනගෙන තිබුනු ප්‍රේමවන්තයින්ගේ නගරයේ අයිපල් කුළුණ ඉදිරියේ සේයාරුවක් ගන්න කාලෙක ඉදන්ම මගේ ආසාවක් තිබුනා. මේ අයිපල් කුළුණට ගිය චාරිකාවේ මතක සටහනක්.   


යුරෝපයේම දේශපාලන දිශානතිය වෙනස් කළ ප්‍රංශ විප්ලවය  සිදුවුණේ 1789 දී. ඒ වනවිට යුරෝපයේ ජනප්‍රිය වෙමින් පැවති සම්ප්‍රදාය අනුගමනය කරමින් 1889 දී ප්‍රංශ විප්ලවයේ සියවස සමරමින් ප්‍රංශයේ බලය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන්නට යමක් කළ යුතු යැයි ප්‍රංශ රජය තීන්දු කළා. ඒ වෙනුවෙන් යම් සිහිවටනයක් ඉදි කිරීම සඳහා රජය විවෘත තරගයක් පැවැත්වුවා. සියයකට අධික යෝජනා අතුරින් තරඟ කමිටුව තෝරාගත්තේ පාලම් හැඳීම පිළිබඳ ප්‍රවීණත්වයක් දැරූ ගුෂ්ටාව් අයිෆල් (Gustave Eiffel) කළ යෝජනාවයි.


ඒ යෝජනාවට අනුව ඉදිකිරීමට අදහස් කළ කුළුණ මීටර් 300ක් ( අඩි නමසිය අසූහතරක්)  උසයි. බර අඩු කිරීම සඳහා Open Lattice නම් ඉංජිනේරු සැලසුමෙන් සවිමත් බව සඳහා මළකඩ කෑම අඩු දිරාපත් වීම අවම Wrought Iron යොදාගන්නටත් තීරණය කෙරුණා. . රෝමයේ  ශාන්ත පීතර දේවස්ථානයේ ඩෝම් එකටත්, ගීසා  හි පිරමිඩවල උසටත් වඩා දෙගුණයක් වූ මෙය වසර දෙකකට අඩු කාලයකදී තනා නිම කරන්නටත් නියමිතව තිබුණා. . සෙයින් ගඟට ආසන්න බිම් කඩක  ඉදි වුණු මෙහි බර දරාගන්නේ ශක්තිමත් පාදමක් මත ඉදිවුණු විශාල කුළුණු හතරකින්. පාලම් සහ ඉදිකිරීම් අංශයේ  භාවිතා වන Girder ජාලයක් මගින් මෙය එකිනෙකට යාව තිබෙනවා.  




1889 වෙළෙඳ උත්සවය අවසානයේ මෙය ඉවත් කිරීම වැළැක්වීමේ අරමුණින් අයිපල් මෙය බහු කාර්ය කුළුණක් ලෙසින් සංවර්ධනය කළ බව කියවෙනවා. ඇමෙරිකාවේ ඔටිස් ( OTIS ) ආයතනය නිපදවූ අවට පෙනෙන සේ සකස් කළ වීදුරු කාමර සහිත විදුලි සෝපාන මෙයට එක් කළේත්, තට්ටු දෙකක නැරඹුම් තට්ටු සැලසුමට එක් කළේත් ඒ නිසා කියලයි කියන්නේ. 1890  දී කාලගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් විදියටත්,  1903 දී යුද සන්නිවේදන මධ්‍යස්ථානයක් විදියටත් , 1909 දී අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසත් මෙය භාවිතා වී තිබෙනවා. 1900 , 1925,1937 යන වර්ෂ වලදී විවිධ වෙනස්කම් වලට ලක් වූ මෙයට 1920 දී මීටත් තිහක් උස රූපවාහිනි කුළුනකුත්  එක්වුනු  නිසා දැන් එය  මීට තුන්සිය තිහකට වඩා උසින් වැඩි යි .


විවාදයකින් තොරව මේ කුළුණ ලෝකයේ ඇති ජනප්‍රියම සංචාරක කුළුණ කියා කියන්නට පුළුවන්. වාර්ෂිකව එය බලන්නට මිලියන හතකට වඩා වැඩි පිරිසක් පැමිණෙන බවයි සඳහන් වන්නේ.  වානේ කොටස් දහඅටදාස් තිස් අටක් ( 18,038)  භාවිතයෙන්ම පන්දහස් තුන්සියයකට ( 5,300) වඩා වැඩි ඉංජිනේරු සැලසුම් ඇතිව ඉංජිනේරුවරු සහ සැලසුම් ශිල්පීන් පනස් දෙනකුට ( 50) වැඩි පිරිසක් එක්ක මේ වැඩේට අත ගැහුවේ පාලම් ඉදිකිරීම සම්බන්ධයෙන් නම් දරා සිටි සිවිල් ඉංජිනේරු අයිපල්.  


මේ කුළුණෙ කොටස් දහ අටදාහක් මුලින්ම නිෂ්පාදනය කෙරුණේ ඉදිකිරීම කෙරුණු බිම් කඩට කිලෝමීටර් තුනක් තරම් දුරකින් පිහිටි Lavallois Perret කර්මාන්ත ශාලාවේ දී. පාපැදී සහ මෝටර් රථ නිෂ්පාදනයේ නිරත වූ එම  සමාගම වානේ වැඩවලට නම් දරා සිටි ආයතනයක්. හරිහැටි ගණනය කිරීම් කර දශමයට නිවැරදි සේ කපා පුරුද්දා තැනූ කොටස් අශ්වයන් විසින් ඇද ගෙන ආ භාණ්ඩ ප්‍රවාහන  රථ මගින් මෙතැනට ප්‍රවාහනය කෙරුනා. ඒ  වෙනුවෙන් එකසිය පනහකට (150) වඩා වැඩි සේවක පිරිසක් කර්මාන්තශාලාවේදී තම ශ්‍රමය කැප කළා කියලයි කියන්නේ. ඉදිකිරීම් කළ පරිශ්‍රයේ  තවත් සේවකයන් තුන්සියයක් (300) විතර වැඩ කළා කියා වාර්තා වෙනවා. වානේ  කොටස් සම්බන්ධ කරන්න රිවට්  මිලියන දෙකයි දශම පහක් ( 2,500,000 ) භාවිතා කලාලු.



Emile Nouguier සහ Maurice Koechlin කියන ඉංජිනේරුවන්ගේ නායකත්වයෙන් Stephen Sauvestre  කියන නිර්මාණ ශිල්පියා මේ කුළුණේ  සැලසුම ඇඳ තිබෙනවා. වියදම සහ තාක්ෂණික කාරණා සලකා බලා ඔහු මුලින්ම ඇඳ තිබූ සමහර කලාත්මක නිර්මාණ කොටස් ඉවත් කළ බව කියවෙනවා. 1887 ජනවාරි 26 වැනිදා ඉදි කිරීම ඇරඹුණු මෙය 1889 මාර්තු 31 වැනිදා ද ඉදිකිරීම අවසන් වන විට වසර දෙකකුත් මාස දෙකක් සහ දින පහක කාලයක් ගතකර තිබුණා. මෙහි තිබූ අසීරුතම රාජකාරිය වුණේ කොටස් සම්බන්ධ කරන රිවට් ගහන එකලු. එය සඳහා සේවකයින් හතර දෙනාගේ කණ්ඩායම් හදලා තිබුණා. පළමුවැන්නා රිවට් එක රත් කරන්න. දෙවැන්නා එය අල්ලා ගන්න. තුන් වැන්නා රිවට්  එකේ හිස සකස් කරන්න. හතරවැන්නා මිටියෙන් එයට තදින් පහර දෙන්න. ඒ වැඩේ  කොච්චර අමාරුද කියනවා නම් මිලියන දෙකයි දශම පහක රිවට් වලින් තුනෙන් දෙකක්ම අපතේ ගිහින් කුළුණේ  සවිමත් බව දරාගෙන ඉන්නේ ශක්තිවන්ත වාසනාවන්ත රිවට් ගොන්නකින්  තුනෙන් එකක් විතරයි. මේ කුළුණට භාවිතා කල වානේ  ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයේ   දුම්රිය පාලම් පහක් හදන්න ප්‍රමාණවත් කියලත් කියනවා. 



මාස පහක් තිස්සේ ඉදි කළ කොන්ක්‍රීට් පාදමක් මත ඉදිවුණු  මේ කුළුණේ මුළු බර ටොන් දහදාස් එකසීයක්.( 10,100) . වානේ වල බර පමණක් ටොන් හත් දහස් තුන්සීයක් ( 7,300) .පළමු මහලට යාම සඳහා විදුලි  සෝපාන පහක් සහ දෙවන මහලට යාම සඳහා තවත් විදුලි සෝපාන දෙකක් තිබෙනවා.




මෙහි පාදමේ තිබෙන විවෘත ප්‍රදේශයට කියන්නේ Esplande කියලයි. එහි මැදට ගිහින් බැලුවාම ඔබට ඒ ඉදි කිරීමේ අපූර්වත්වය හොඳින් බලන්න පුළුවන්.  මේ වෙනකොට ජංගම දුරකථන QR කෝඩ් එකකින් ඔබට කළ හැකි අපූරු අත්දැකීමක් තියෙනවා. කුළුණේ නිර්මාතෘ  අයිපල් එක්ක ඔබට එයින් අතීතයට යන්නට පුළුවන්. කණු හතරෙන් උතුරු කණුව පාමුල 1929 මැයි දෙවැනි දා අයිපල් සිහි වන්නට නිර්මාණය කළ ප්‍රතිමාවක් තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේ Antoine bourdelle  විසින්.





කාලයෙන් කාලයට තාක්ෂණයෙන් වෙනස් විදුලි සෝපාන පහක් බිම්මහලේ සිට පළමු මහලට පිරිස් ගෙන යනවා. උතුරු නැගෙනහිර සහ බටහිර කණුවල සංචාරකයන් සඳහා විදුලි සෝපාන තුනක් තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කරන  විදුලි සෝපානය තිබෙන්නේ දකුණු කුළුණේ. ජූල්ස් වර්න් භෝජනාගාරය වෙනුවෙන් වෙන මම විදුලි සෝපානයක් ක්‍රියාත්මක වෙනවා. දෙවන සහ තෙවන මහල්වලට යාම සඳහා තවත් විදුලි සෝපාන දෙකක් තිබෙනවා .




රාත්‍රී කාලයට කුළුණේ ආලෝකය දල්වන වේලාව බලන්න බොහෝ දෙනා ඒ අද්දරට එකතු වෙලා ඉන්නවා එය බලන්නට වටින අපූරු දර්ශනයක්. ඒ වගේම රාත්‍රියේ 11.45 ට හෝ ගිම්හාන   කාලයේදී රාත්‍රී දොළහයි හතළිස්පහට විදුලි පහන් නිමා දැමීමට පෙර කරන දීප්තිමත් කිරීමත් අපූරුයි.  1985 දෙසැම්බර් 31 වැනි දා ප්‍රබල ප්‍රදීප්ත  විදුලි බුබුළු 336 කින් මේ වැඩේ පටන් ගත්තෙ Pierre Bideau. මේ වනවිට සැතපුම් 25 ක් දුර විදුලි රැහැන් ජාලයක් එක්ක  විදුලි බුබුළු විසි දහසකට ( 20,000) වැඩි ප්‍රමාණයක් මේ දීප්තිමත් කිරීමට යොදවා තිබෙනවා. 





“ මාතාහාරී”  නම් නළඟන ජර්මන් ඔත්තුකාරියක ලෙස සලකා අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා පණිවිඩය යැවුනේ මේ කුළුණේ මධ්‍යස්ථානය හරහා යැයි කියවෙනවා. ඒවගේම දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය ප්‍රංශය අල්ලා ගත්තත් මෙහි සේවක පිරිස්  අයිපල් කුළුණේ විදුලි  සෝපානවල කේබල කපා තිබූ නිසා ජර්මන් සෙබලුන්ට නාසි ධජය ඔසවන්නට වුණේ කුළුණේ බඩගාගෙන ගිහින් කියලයි කියන්නේ ඒවගේම  හිට්ලර්ට තම ඓතිහාසික සේයාරුව ගන්න සිද්ධ වුණේත් අයිපල් කුළුණ පේන තෙක් මානයේ  බිම ඉදල. 1944 දී මිත්‍ර හමුදා ප්‍රංශය මුදවා ගැනීම සඳහා එද්දී අයිපල් කුළුණ විනාශ කරන්න කියා හැකි හිට්ලර් නිකුත් කළ අණ එවකට ප්‍රංශය පාලනය කල ජර්මානු  හමුදා නිලධාරියා ක්‍රියාත්මක නොකළ නිසා අදටත් අපට බලන්නට අයිපල් කුළුණ ඉතිරිව තිබෙනවා.


 


අයිපල් කුළුණ ගැන බොහෝ දෙනා නොදන්නා නිතර අහන්නට නොලැබෙන තොරතුරු පමණක් එකතු කරන්නට මම මේ සටහනේදි උත්සාහ ගත්තා.  අන්තර්ජාලයට ගියොත් ඔබට අයිපල් කුළුණ ගැන බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන්. හවසක අයිපල් කුළුණට ගිහින් සෙයින් නදියේ පාවෙන අවන්හලක රෑ කෑමක් අරගෙන රාත්‍රියේ ආලෝකමත් වන කුළුණ බලන්න පුළුවන් නම් මේ නගරය ප්‍රේම පාරාදීසයක්ම තමයි  කියල ඔබටත් වැටහේවි .  


තොරතුරු  - Encyclopedia Britannica, Wikipedia


අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Free, Google Images

සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment