ප්රංශයේ සංස්කෘතිය හා කලාව ගැන මුළු මහත් ලෝකයේම ඇත්තේ ප්රසාදජනක හැගීමක් . කලාකාමී , විනෝදබර ප්රංශයට නෑකම් කියන්නේ කැනඩාවේ පැරණි කුවිබෙක් නගරය සහ මොන්ට්රියල් නගරය ඇතුලත් කුබෙක් පලාතයි . වීදි දිගේ ඇවිද යද්දී , අවන්හලකට ගොස් කෑමක රස විදිද්දී පමණක් නොව කතාබහෙන් පවා ඔව්න් වෙනස් . අප අද කියවන්න යන්නේ කුවිබෙක් පලාත ගැනයි . ලොම් ( Fur) සහ නව යටත් විජිත සොයා ප්රංශයෙන් නැව් නැගුණු ජාක් කාටියේ ( Jacques cartier) ශාන්ත ලෝරන්ස්
ගග දිගේ පැමිණ
ප්රංශ යටත්
විජිතයක් පිහිටවූ බව ඉතිහාසයේ සදහන් .
පසුව දේශීය ගෝත්රික නායකයාගේ පුතා සහ දියණිය ප්‍රංශ සංචාරයකට කැදවා ගෙන යාමෙන්
පසු මොන්ට්‍රියල් සහ පැරණි කුවිබෙක් නගරවල ජනාවාස පිහිටුවීමට අවසර ලැබුණා . සෙබළුන් , පුජකයන් , ගොවියන් සහ ඔවුනට
බිරින්දෑවරුන් ලෙසින් ප්‍රංශ ජාතිකයන් මෙහි
පැමිණ තිබෙන්නේ යටත් විජිතය ස්ථාවර කිරීමටයි. 1759 සැප්තැම්බර් 13 වන දින
, අද පැරණි ක්විබෙක් නගරය අසල අබ්‍රහිම් මාර්ටින් මහතාගේ ගොවිපොළ බිමේදී විනාඩි
15 කින් නිමාවූ යුද්ධයෙන් ( Battle of the Plain of Abrahims) මේ ප්‍රංශ කොලනිය බ්‍රිතාන්‍ය පාලනයට නතු වුණා . ඉතිහාසය එසේ
කියද්දී අද පැරණි කුවිබෙක් නගරය ප්‍රංශයේදී පැරිසිය මෙන් කැනඩාවේ
ප්‍රමුඛතම සංචාරක කේන්ද්‍රස්ථානය වෙනවා . මොන්ට්‍රියල් නගරය කැනඩාවේ මුල්ම බැංකුව වන බෑන්ක් ඔෆ් මොන්ට්‍රියල් (Bank of
Montreal) ඇරබි වෙළද නගරය වෙනවා .
පැරිසියේදී
අප දුටු
බොහෝ සමානකම් අත්
දකින්නට පුළුවන්
පැරණි කුවිබෙක් නගරයට අප සහ අපේ ගමන් සගයන් කිහිප වරක්ම ගොස් තිබෙනවා . ශාන්ත ලෝරන්ස් ගගේ අනෙක් ඉවුරේ
පිහිටි ලෙවිස් ( Lewis) නගරයේ නවාතැන්
ගන්නේ නම්
ගග තරණයට පාරුව යොදාගත හැකියි . ලෙවිස් නගරයේ නවාතැන් පැරණි කුවිබෙක් නගරයට වඩා බොහෝ ලාබදායකයි . වරක් අපේ
නවාතැන වුනේ පැරණි කුවිබෙක් නගරයෙන් කිලෝමීටර 30 ක් පමණ උතුරින් වූ ගොවිපොල නිවහනක්.( Farm House) පවුල් කිහිපයක් එක්ව යන්නේ නම් එවැන්නක්
ද ලාබදායක මෙන්ම
වැඩි නිදහසක්
ලබාදෙනවා .
පැරණි ක්විබෙක් නගරය ( Old Quebec City)
යුනෙස්කෝ ලෝක උරුමයක්
(UNESCO World Heritage site ) වන පැරණි කුවිබෙක් නගරයේ
ප්රධාන සංකේතය එහි වූ අතීත ප්රධාන හෝටලයයි .( Château Frontenac) පැරණි ප්රංශ ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව ඉදිවුණු පටු වීදි දිගේ ඇවිද යාම ආස්වාද ජනක අත්දැකීමක් . ගලින් අතුරා ඇති ඒ මාවත් දෙපස ඇති අවන්හල් රාත්රී කාලයට මවන්නේ අසිරිමත් දසුනක් . එළිමහනේ ආහාර ගැනීමටත් , බීර බී විනෝද වන්නටත් රාත්රී කාලයේදී සමහර වීදි රථවාහන ධාවනයට වසා තැබෙනවා .
සංචාරක
කටයුතු සදහා පහසුකම් රැසක් සකසා ඇති මෙහි සංචාරක තොරතුරු මධ්යස්ථානයකට ගොඩ වැදී බොහෝ තොරතුරු නොමිලයේම දැනගන්නටත් , අවශ්‍ය නම් නගර සංචාරයකට බස් රථයක් හෝ අශ්ව රථයක් වෙන්කරවා ගන්නත් පුළුවන් . දහවල් ළමුන් සහ වැඩිහිටියන් සමග බස් සංචාරයක් කල අප ඉන් සෑහීමකට නොවූ අපේ තරුණ පිරිස කලේ වැඩිහිටියන් සහ ළමුන් නවාතැනේ නවතා රාත්රියේදී වීදී සංචාරය කිරීමයි .වරාය ආශ්රිත ප්රදේශය බොහෝ දැකුම්කළුයි එම ඉසව්ව ඔබේ
කැමරාවලට , ජංගම දුරකථනයකට නොනවතින සේයාරූ මවාවි . එනිසා වැඩි ඉඩක්
ඇති මතක පතක් (Memory Card/ SD
card) රැගෙන යන්නට මතක තබාගන්න .
බොහෝ
දෙනෙකු කරන්නේ කඩිමුඩියේ පැරණි කුවිබෙක් නගරය නැරබීමත්, ඉන්
කිලෝමීටර 12 ක් දුරින් පිහිටි මොන්ට්මොරෙන්සි (Montmorency
Falls) දියඇල්ල බැලීමත් පමණයි . අඩි 276 ක් උස මේ දියඇල්ල ප්රධාන මාර්ගය අසලම පිහිටා තිබෙනවා . මොන්ට්මොරෙන්සි ගඟ ශාන්ත ලෝරන්ස් ගඟට වැටෙනන්නට ඔන්න මෙන්න
තිබියදී උස ගිරිකුලකින් පහලට වැටීමෙනුයි මෙය නිමැවී තිබෙන්නේ . එහෙත් ඊට අමතරව බොහෝ දර්ශනීය ඉසව් කුවිබෙක් ප්රාන්තයේ පිහිටා තිබෙනවා .
ශාන්ත ආනා අගාධය ( Canyon
Sainte-Anne )
ශාන්ත ආනා ගඟ කළු ගල් පර්වත මැද්දෙන් ගලනා මේ ආගාධය පිහිටා තිබෙන්නේ පැරණි කුවිබෙක් නගරයට විනාඩි 35 ක් පමණ දුරින් උතුරට වන්නට . අඩි 243 ක් උස දිය ඇල්ලක් ඇති මේ පරිශ්රය ක්රියාකාරකම් රැසක් ඇති මුල් පෙලේ සංචාරක ඉසව්වක්. ඇවිදින මංපෙත් වලට අමතරව ගල්වල එල්ලී කඳු නගින්නට ( Rock Climbing) , කදු අතර එල්ලුනු කේබල් වල එල්ලී රූටා යන්නට (Zip
Lining) පෝලිම් ගැසී පිරිස් එක්වන තැනක්. 2000 දී බොක්ස් ඔෆිස් වාර්තා තැබූ විද්යා ප්රබන්ධ චිත්රපටයක් වූ පෘතුවියේ යුධබිම (Battlefield Earth) රූගත කෙරුනේ මෙහිදී . මෙහි ඇති රුක් කැටයම් ඉතාමත් අගනා බව කිවයුතුයි .
වඩදිය බාදිය
ක්රියාවලිය නිසා ශාන්ත ලෝරන්ස් ගගේ ජල මට්ටම දවසේ එක් එක් වේලාවන්හිදී වෙනස් වෙනවා
. වැඩි වතුර
නිසා යටවන තෙත් බිම් ජලය බැසගිය පසුව මඩ සහිත කුඹුරක් ලෙසින් දිස්වෙනවා . මේ පරිශ්රයේදී මඩ සපත්තු ( Boots) ලාගෙන පරිසර සංචාරයක යෙදෙන්නත් පුළුවන්. ක්විබෙක් නගරයට කිලෝමීටර 50 ක් දුරින් පිහිටි මේ රක්ෂිතය තුල කිලෝමීටර 20 ක් ඇවිදින මංපෙත් ඉදිකර තිබෙනවා
. මනරම් පරිසර පද්ධතියක්
වන
මෙම පරිශ්‍රය පක්ෂි නිරීක්ෂණය , මල් සහ විවිධ
පැලෑටි නිරීක්ෂණ කටයුතු සදහා බොහෝ සම්පත් ඇති මනාව නඩත්තු කල පරිසර කෞතුකාගාරයක් සහිත
තැනක්. ඔබ පරිසර සේයාරූ ලෝලියෙකු නම් දිනක්ම මෙහි රැදෙනු නිසැකයි .
සගුයිනේ අතු ගඟ ශාන්ත ලෝරන්ස් ගඟ හමුවන ප්‍රදේශය සගුයිනේ ජාතික
ජල සංරක්ෂක ප්‍රදේශය(Saguenay–St. Lawrence Marine
Park) ලෙස නම්කෙරුනේ
1998 . ලොව දස අතින් මිලියනයකට අධික ජනතාවක්
තල්මසුන් නැරබීම සදහා මෙහි පැමිණ තිබෙනවා . වර්ග කිලෝමීටර 1200 කට වැඩි මේ ජල තලයේ පැය 3ක චාරිකාවක් සදහා අප මෙහි
පැමිණියේ අපේ නවාතැනේ සිට පැය 3 ක තරම් රථ ධාවනයකින් පසුවයි. මනරම් ගම් බිම්
පසුකරමින් පැමිණි මගේ විඩාව නිවන්නට
නවතින්නට තැන් රැසක්ම තිබුණා . මගීන් 300-400 පමණ ගෙනයන සුවිසල් යාත්‍රා මෙන්ම මගීන් 10-15 ගෙනයන කුඩා බෝට්ටුද අතරින් තමන් කැමති එකක් තෝරාගෙන
තමන් ලගින්ම වතුර මලකින්
මෙන් වතුර විදිමින් , පිනුම් ගසන තල්මසුන්
මෙහිදී දකින්නට පුළුවන්. නිල් තල්මසුන් මෙන් අති විශාල නොවුවත් නිව් ෆවුන්ඩ් ලන්තය , නෝවා .ස්කොෂියා ,
වැන්කුවර් සේම මෙහිදීද හොදින් මේ සුවිසල් ක්ෂීරපායි
සතුන් බලන්නට පුළුවන් .
මොන්ට්‍රියල්
කුවිබෙක්
පළාතේ වෙළද අගනුවර වන මෙයත් ඔන්ටරියෝවේ ටොරොන්ටෝ නගරය මෙන්ම ජනාකීර්නයි . එනිසා ඔබට
මෙහිදී දකින්නට ලැබෙන අංග හාත්පසින්ම වෙනස් නාගරික පන්නයේ ඒවා .
1976 ගිම්හාන ඔලිම්පික් තරගාවලිය පැවැත්වුනේ මොන්ට්‍රියල්
නගරයේදී . ඒ සදහා ඉදිකළ ක්‍රීඩා පරිශ්‍රය අද කාහට වුවත් නරබන්නට පුළුවන් . එම සංකීර්ණයේ
ඇති සුවිශේෂ අටල්ල මුදුනට විදුලි සෝපානයෙන් ගියවිට මුළු මොන්ට්‍රියල් නගරයම , ශාන්ත
ලෝරන්ස් ගඟ මැනවින් දැකගන්නට පුළුවන් .
කැනඩාවේ
වෙනස් පරිසර කලාප පිළිබදවත් , ලෝකයේ විවිධ
පරිසර පද්ධතීන් ප්‍රතිනිර්මාණය කල වටිනා පරිශ්‍රයක් ලෙස මෙය හදුන්වා දෙන්නට පුළුවන්.විශේෂයෙන්ම
පාසැල් දූ දරුවන්ට විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යන කටයුතු සදහා ජිව
විවිධත්ව මධ්‍යස්ථානය (Bio Dome) මහත් සම්පතක්.
අක්කර
190 ක් බිමක් වසා සිටින 1931 දී ඇරබුණු මොන්ට්‍රියල් උද්හිද උද්‍යානය ලෝකයේ නම දිනු
එකක් . මලින් පිරි මනරම් තුරු වදුලු ඇති මේ ඉසව්ව ඔබට ඇති
පදම් සේයාරූ ගන්නට දහස් ගණනක් පසුතල මවන බව කිවයුතුයි .
මේ පරිශ්‍ර තුනම එක ළඟ
ඇති නිසා ඔබට මේවා එකවර සංචාරය කරන්නට පුළුවන්.ගැටලුව වන්නේ හරිහැටි සංචාරය
කරන්නට නම් දිනක් ප්‍රමාණවත් නොවීමයි .
මොන්ට්රේ බ්ලොන්ට් ( Mont Tremblant )
මොන්ට්‍රියල්
නගරයේ සිට කිලෝමීටර 130 ක් පමණ දුරින් පිහිටි
මේ කඳුකර ප්‍රදේශය බලන්නට ඔබට කාලය සහ මුදල
මත තීරණය කරන්නට පුළුවන්. ඒ සදහා පැය එක හමාරක පමණ රථ ධාවනයක යෙදෙන්නට වෙනවා . ශීත කාලයට හිම ක්‍රීඩා
සදහා මහත් ප්‍රසිද්ධියක් උසුලන මේ ඉසව්ව ගිම්හාන කාලයේ වුවත් සංචාරය සදහා කදිමයි. සමහර
කාලවලදී මේ ප්‍රදේශය කරා ටොරොන්ටෝවේ සිට අඩු මුදලට ගුවන් ටිකට් පත් අලෙවි වන අවස්ථාත්
තිබෙනවා .
ඔබේ ඉල්ලීම් සහ තොරතුරු සදහා අළුත් විද්‍යුත් ලිපිනයක් පටන් ගත්තා . dasatha.sancharayakamathakaya@gmail.com විස්තර සදහා ලියන්න . ඉඩ ලැබෙන පරිදි පිළිතුරු ලියන්නම් .
සටහන අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - හෙසදී වැලිගමගේ සහ * අන්තර්ජාලයෙන්
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2017 සැප්තැම්බර් කලාපයේ පලවිය .
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට
http://dasatha.com/
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
Thank you
ReplyDeleteනොදන්නා දේවල් දැන ගත්තා.
ReplyDeleteබොහොම ස්තුතියි .... දිගටම කියවන්න .
ReplyDeleteහොද විස්තරයක් ස්තූතියි
ReplyDeleteබොහොම ස්තුතියි .... දිගටම කියවන්න
ReplyDeleteහරිම වටිනා ලිපියක් , මම ආසාවෙන් කියෙව්වා . බොහොම ස්තුතී ඔබට.
ReplyDeleteඔබ දන්නවා වෙන්නත් පුළුවන් පනස්ගණන් වල කොලබ ක්‍රමය යටතේ කැනඩා වලින් ලැබුණු ක්ලාස් ඇම් ටු එන්ජින් වලටත් කැනඩා වල ප්‍රාන්ත වල නම් තබන්නට එවකට අප පාලකයන් කටයුතු කර බව . මේ තියෙන්නේ ඒ පිළිවෙල .
M2 569 Ontario 1954
M2 570 Alberta 1954
M2 571 Saskatchewan 1954
M2 572 British Columbia 1954
M2 573 Quebec 1955
M2a 591 Manitoba 1956
M2a 592 Nova Scotia 1956
M2b 593 New Brunswick 1956
M2b 594 Prince Edward Island 1958
M2b 595 Newfoundland 1958
M2c 626 Montreal 1961
M2c 627 Vancouve 1961
පුළුවන් දවසක කැල්ගරි වල වින්ටර් වලදී Moraine Lake එක ගැනත් ලියන්න කියල ආරාධනා කරනවා . තව ,Jasper National Park ගැන Sunwapta Falls ගැන එහෙම /.
කලන බොහොම ස්තූතියි මගේ බ්ලොග් එකට ගොඩ වුනාට . පලවෙනි කාරණය මමත් දුම්රිය ලෝලියෙක් . රත්මලානේ දුම්රිය වැඩපලේ කාර්මික ශිල්පීන්ගේ දක්ෂතා හින්දයි ඔය එන්ජින් ඔය තරම් කල් දුවන්නේ . ඒත් ලංකාවේ දුම්රිය සේවයෙන් වැඩක් ගන්නේ නැතුව ඒක කාබාසිනියා කරන්නේ මාරුවෙන් මාරුවට එන දේශපාලුවෝ . හරියට ඔයා ආදරය කල තාත්තා වැඩකල සතොස කාලා දැම්ම වගේ .
Deleteදෙවැනි කාරණය ඔබ ඔය සදහන් කල තැන් ඇතුළු රොකී කදුවැටිය හරහා මම ගිය අවුරුද්දේ ගියා . ඒ ගැන දසත පත්තරයට ලියූ ලිපි 6 අවසන් වුනේ ගිය මාසෙ . දසත පත්තරේ වෙබ් අඩවියට ගොඩ වැදුණොත් ඒක බලන්න පුළුවන්. ඉදිරියේදී මම ඒවා ටිකෙන් ටික බ්ලොග් එකට එකතු කරනවා .
ඔබේ කතා අනුව ඔබ මේ වනවිට එංගලන්තයේද , කැනඩාවේ ද , ලංකාවේද කියා පැහැදිලි නැහැ . ඒත් ඔබ කැනඩාවේ නම් හමුවන්න ආසයි . ඒත් එක්කම මගේ රේඩියෝ කෙටිකථා සදහා ඔබේ කතා භාවිතා කරන්නට අවසර දෙන්න කැමතිද කියල අහන්නත් කැමතියි . මම මේ වනවිට බස්සීගේ නවාතැන , පරිවර්තන , හැලප කඩේ , තිලක සිත , කට්ටකාඩුව , සිරාගේ කාමරේ සහ ට්‍රාන්ස් සිල්වේනියා බ්ලොග් අඩවි වල පලවූ කථා වලින් නිර්මාණ කර තිබෙනවා .
ඔබේ නිර්මාණකරණයට ජය . දිගටම ලියන්න .
තවත් දුම්රිය ලෝලියෙක් බ්ලොග් ලෝකයේ දී මුණගැහුණු එකට ගොඩක් සතුටුයි . ඔව් සත්‍යවශයෙන් ම. රත්මලානේ දුම්රිය වැඩපලේ කාර්මික ශිල්පීන්ගේ දක්ෂතා නැත්තම් ඕවා මෙලහකටත් යකඩ වලට කපලා ගොඩක් කල් වෙන්න තිබ්බා . එදා දකුණු ආසියාවේ ලොකුම දුම්රිය වැඩපොළ තිබ්බේ රත්මලානේ . ඉන්දියාව එන්ජිමක් තියා නට් එකක් වත් නොහඩපු කාලේ ගල් අගුරු වලින් කෝච්චි දුවපු කාලේ ලංකාවේ රම්පාල මහත්තයාල ඩීසල් එන්ජින් ලංකාවේ හැදුවේ . අද ලංකාව ඉන්දියාවෙන් ණයට කොච්චි ගේන්නනව . අවන්කවම හිතට ගොඩක් දුකයි . එදා සතොසට වෙච්චි දේ අද රේල්ලුවට වෙලා තියෙනවා . මේ හැමදෙයකටම මුල ලංකාවේ තට්ටුමාරු තුට්ටු දෙකේ දේශපාලනය .
Deleteඔබ කියන්නේ මේ මග Icefields Parkway, Banff, Alberta ගැන වෙන්න ඕනේ . මම දසත පත්තරේ වෙබ් අඩවියට ගොඩවැදිලා ඔය ලිපි හය කියවන්නම් . මට හිතාගන්න පුළුවන් ඒ රස .
මම යම් ප්‍රතිපත්ති(http://magelokaya01.blogspot.com/2018/08/love.html) කිහිපයක් මත දැනට ඉන්නේ ලංකාවේ . මම කැල්ගරි වලට නැවත පැමිණියහොත් ඔබව හමුවන්නම් . මමත් කැමති ඔබ හමුවන්නට .
ඔව් , අනිවාර්යයෙන් ම ............ ඔබගේ රේඩියෝ කෙටිකථා සදහා මගේ කතා භාවිතා කරනවාට මම කැමති . ඒ වගේම ඔබ මේ සදහා මගේලෝකය01 තෝරාගැනීම ගැන මම පළමුව ඔබට තුති පුදන්නට කැමතී .
බොහොම ස්තුතී නැවතවරක් !
ඔබගේත් සියලු කටයුතු සාර්තක වේවා ... ජය වේවා !
මම ඉන්නේ ටොරෝන්ටෝවට නුදුරු මිසිසාගා නගරයේ . ඒත් ගෙවුණු අවුරුදු 10 ගිම්හාන කාලවල කැනඩාවෙත් , ඇමෙරිකාවෙත් ගොඩක් තැන් වලට ගියා . ඒවා දසතට ලියනවා . අපි කැල්ගරි වලට ගුවනින් ගිහින් කුලී රථයකින් බැන්ෆ් , ජැස්පර් , කැම්ලුප්ස් හරහා ආයෙමත් කැල්ගරි වලට ආවා . ඒ තැන්වලට ශීත කාලයක ආයෙමත් යන්න හිතාගෙන ඉන්නවා . ඉඩක් ලැබුණොත් කතාකරගෙන හමුවෙමු .
Deleteඅකමැත්තක් නැත්නම් ඔබේ විද්‍යුත් ලිපිනය මට එවන්න . එවිට කතා හඩපට එවන්න පුළුවන් . අවසන් නිර්මාණය යු ටියුබ් එකටත් පසුව බ්ලොග් අඩවියට එකතු කරන්නම් . ඒකට නම් ටිකක් කල් යාවි .
ahasgawwa1@gmail.com
Deleteබොහොම ස්තුතී නැවත වරක්!
Deletekalana.adp@gmail.com
++++++++++++++++++++++++++++++++++
ReplyDeleteJacques Cartier = ජාක් කාටියේ
Deleteබොහොම ස්තුතියි පැහැදිලි කිරීමට . මම ප්‍රංශ භාෂාව කථා කරන කෙනෙකුගෙනුත් ඇහුවා . ලිපියේ එය නිවැරදි කලා .
Deleteඅදයි ගොඩ උනේ මේ පැත්තෙ. ඉස්සෙල්ලම කියවපු ලිපිය බොහොම අපූරුයි. කප්ටුමෙන්තේ තෙත් බිම් රක්ෂිතයට ඇරෙන්න අනික් සියලු තැන් වලට ගිහින් තියනව. බොහොම ස්තූතී මගෙත් පරණ මතක අලුත් කලාට...
ReplyDeleteIce-fields parkway මගෙත් කැමතිම ගමන් මාර්ගයක්. හැබැයි මේ ඔක්කොම යටයි කේප් බ්‍රිට්න් නගරයේ Cabot Trail එකට :)
අපි තව විස්තර කතා කරමු...
බොහොම ස්තුතියි ගොඩ වුණාට . මගෙත් හිත ගත්ත තැනක් තමයි කැබොට් පාර . ඔබ සදහන් කල තැන් ඔක්කොම ඉදිරියේදී දකින්න පුළුවන් වේවි .
Deleteමගේ 'අධ්‍යාපන රසකතා' සටහනකට ගොඩ වීම ගැන ස්තුතියි. ඔබ ලියන ඒවාත් ආසාවෙන් කියවනවා. ඔබගේ සහෘදයන් කිහිප දෙනක්ම මගේ සටහන්ද කියවන අය. මම නම් දැන් ස්ථිර පදිංචිය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. මම බොහෝ දුරට විද්‍යා අංශයට නැඹුරුවක් ඇති විෂයය කරුණු ගැන ලියන්නේ. ශ්‍රී ලංකාවේදී විද්‍යා අධ්‍යාපනයේ සෑම අංශයකම සේවය කළ නිසා මතක සටහන් ඕනෑ තරම් තිබෙනවා. මම සීෂෙල්ස් රටෙහි කලක් වැඩකළා. එහි භාෂාව ප්‍රංශ භාෂාවට බොහෝ දුරට සමානයි. තවමත් ප්‍රංශ භාෂාවත් භාවිත කරනවා. නැවත හමුවෙමු.
ReplyDeleteඔබේ දියණියගේ බ්ලොග් අඩවියේ ඔබ ගැන කදිම සටහනක් තිබුනා . මට නම් ප්‍රංශ භාෂාව ගැන ඇත්තේ බොහොම පොඩි දැනුමක් . ඒත් තවමත් පාසැල් යන මගේ දියණියන් දෙදෙනාට හොද දැනුමක් තිබෙනවා ප්‍රංශ භාෂාව ගැන . කැනඩාවේ රාජ්‍ය භාෂා 2 කින් එකක් නිසා මෙහෙ හැම තැනකම ප්‍රංශ භාෂාව භාවිතා වෙනවා . හැම වෙළද නිෂ්පාදනයකම විස්තර ප්‍රංශ භාෂාවෙන් සටහන් කර තිබෙනවා .
Deleteඅපුරු සටහනක්..කැනඩාව ගොඩක් සිතල රටක් විදියට හඳුන්වන්නේ ඇයි.. කොහොමද දේශගුණය වෙනස් වීම එහෙම?
ReplyDeleteඒකට හේතුව භූගෝලීය පිහිටීම කැනඩාව තියෙන්නෙ උතුරු අර්ධගෝලයේ උඩින්ම . මීට අවුරුදු 18500 කට කලින් නයගරාව තියෙන තැනත් කිලෝමීටර ගාණක අයිස් තට්ටුවක් . අපට පැය 5 ක විතර ගුවන් ගමනක දුරින් තියෙන රොකී කදු මුදුන්වල තාමත් ඒවගේ අයිස් තට්ටු තියෙනවා . ඒත් දවසින් දවස ඒවා දිය වෙවී යනවා . රොකී ලිපි පෙල දිගටම බලන්න . දසත පුවත්පතේ වෙබ් අඩවියට ගියොත් ඔක්කොම එක දිගට කියවන්න පුළුවන් . ඒත් ඉඩකඩ සහ මුද්‍රිත මාධ්‍ය සදහා සේයාරූ භාවිතයේ සීමා හින්ද බ්ලොග් එකේදී මම වැඩිපුර අන්තර්ජාලයේ තියෙන ලස්සන පින්තූර ගොනු කරනවා .
Delete