මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, October 3, 2026

සාඩම්බර දසවන වසර සපුරන “ ටොරොන්ටෝවෙන් නැගෙන අපේ හඬ” රූපණ ගැන ලියැවුනු සිළුමිණ සටහන

 


කැනඩාවේ ජාතික මාධ්‍යවලින්,  ලංකාවේ ජාතික මාධ්‍යවලින් ආවරණය නොවන කැනඩාවේ ටොරොන්ටෝ ප්‍රදේශයේ ජීවත්වන විප්‍රවාසී ශ්‍රී ලාංකික ප්‍රජාවක් ඉන්නවා. ඒ  පිරිසේ හද ගැස්ම,  ජීවිත අත්දැකීම් සහ දක්ෂතා සඳහා දස වසරක් පුරා සාඩම්බර සේවාවක් සපයන කදිම වේදිකාවක් තිබෙනවා. ඒ තමයි  සෑම සෙනසුරාදාවකම වෙබ් ගත වන රූපණ අන්තර්ජාල රූපවාහිනිය .මව්බිමෙන් විවිධ හේතුමත සංක්‍රමණික වී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව විවිධ බාධක කම්කටොළු මැද්දේ දිවි ගෙවද්දී මග හැරෙන අපේකම ප්‍රජාව වෙත සමීප කරවන්නට විවිධ දක්ෂතා ඇති පිරිසක් මෙහෙයවමින් සතියේ දිනවල කරන රාජකාරි, පවුල්වල කටයුතු මැද්දේ සති අන්ත කැපකරමින් කරන කාර්ය භාරය මේ වනවිට ටොරොන්ටෝව ප්‍රමුඛ කැනඩාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව තුල " අගේ ඇති අපූරු වැඩක් නම් රූපණ " ලෙසින් නම තබා ඇත්තේ කැපවීමෙන් කර ඇති අති මහත් නිර්මාණාත්මක කාර්යභාරය නිසයි.       


මේ වනවිට කැනඩාවේ  ටොරොන්ටෝ අවට සිංහල බස කතාකරන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් යාත්‍රා සහ දසත  නමින් මුද්‍රිත පුවත්පත් දෙකක් තිබෙනවා.  OMNI TV නාලිකාව  හරහා සතිපතා වැඩසටහනක් ඉදිරිපත් කරන " කලා කවය" රූපවාහිනි වැඩසටහන වගේම යූ ටියුබ් අවකාශය  ඔස්සේ වැඩසටහන් කරන  " මේපල් සිලෝන්"  නාලිකාව තිබෙනවා. සවන,  ලක්නද නමින් අන්තර්ජාල ගුවන්විදුලි සේවා 2 ක්  තිබෙනවා.


2016 සැප්තැම්බර් 19 වැනිදා රූපණ  අන්තර්ජාල රූපවාහිනිය බිහිවන්නේ තැන තැන සිදුවන සිදුවීම් වාර්තාකරණයෙන්,  ගීත හෝ සංවාද ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට හරවත් යමක් ශ්‍රී ලාංකික ප්‍රජාවට තිළිණ කරන අරමුණින් .ඒ සඳහා මූලිකත්වය ගන්නේ විරා ෆොන්සේකා විසින්. වැඩසටහනේ නම,  තේමා පාඨය,  තේමා ගීතය ලියමින් ඒ සඳහා නිර්මාණාත්මක ප්‍රවේශය ලබා දෙන්නේ ප්‍රවීණ කලාකරු බන්දුල කුරුවිට ආරච්චි විසින්. එහි පළමු වැඩසටහන් 20  අධ්‍යක්ෂණය කරන්නෙත් ඔහුයි.  දිනේෂ් පීරිස්,  සංජීව අබේරත්න කලක් අධ්‍යක්ෂණය කළ මේ වැඩසටහන් මේ වනවිට  අධ්‍යක්ෂණය කරන්නේ ජාතික රූපවාහිනියේ හිටපු ප්‍රවීණ වැඩසටහන් අධ්‍යක්ෂක එරංග හිදෙල්ල ආරච්චි  විසින් . අනුරුද්ධ වැලිගමගේ එහි නිර්මාණ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරනවා.


සෑම සතියකම අළුතින් වැඩසටහනක් වෙබ් අඩවියට එකතු කරන රූපණ ගෙන එන වැඩසටහන් පෙළක්ම තිබෙනවා. කාන්තා හමුව, අපේ පුදබිම්, පැන්චන්ගේ සාදය, නොමැකෙන ගී රස, අමයුරු කවි රස, පොත්  පිටු අතරින්,  ගමනක මතකය  ලෝකෙ වටේ, යෞවනයේ චමත්කාරය,  මොනවද මන්දා. ජයේ මාමගෙන් අහන්න. රස  සරණිය , Youth Inspirations ,  සඳැල්ල, සුමියුරු ගී නද, ලබැඳි , සති අග සාදය ඒ  අතුරින් කිහිපයක්.  ඊට අමතරව නව වසර , සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද,   මව්වරුන්ගේ දිනය,  පියවරුන්ගේ දිනය , කැනඩා දිනය,  නත්තල වැනි විශේෂ අවස්ථාවල  රූපණ කණ්ඩායම විවිධ  වැඩසටහන්  ඉදිරිපත් කරනවා. කෝවිඩ්  වසංගත සමයේදී සූම්  තාක්ෂණය භාවිතා කරමින්ද වැඩසටහන් ඉදිරිපත් කළ රූපණ  තම වැඩසටහන් වලින් බහුතරයක් පටිගත කරන්නේ ඔෂවා නගරයේ පිහිටි රූපණ මැදිරියේදී.  රූපණ වැඩසටහන් සංස්කරණය කරන්නේ ලංකාවේ  සිටින දක්ෂ සංස්කරණ ශිල්පියකු වන පුබුදු වනිගසේකර ඇතුළු කණ්ඩායම විසින්.  



යාවත්කාලීන  තාක්ෂණික වෙනස්කම් හමුවේ දින දින අලුත්වන රූපණ  සතුව ඩ්‍රෝන කැමරා පාවිච්චි කරමින් කරන සජීවී විකාශයන්ද කිරීමේ හැකියාව තිබෙනවා . රූපණ සතු වටිනාම සම්පත වන්නේ ඒ හා එක්ව කටයුතු කරන ස්වේච්ඡා කණ්ඩායමයි.  සංජීව අබේරත්න, සම්පත් පෙත්තාවඩු,  මංජුලා වික්‍රමරත්න, සුනිමල් බාලසූරිය,  සුනිල් තෙන්නකෝන්,  කල්ප සමරතුංග, නිරංග විජේසූරිය, අනූෂා කිංස්ලි ,යෙනුලි කොතලාවල , තරින්දි ෆොන්සේකා,දිනුක හේරත් , මල්ෂා පෙරේරා  යන සහ රූපණ කණ්ඩායමේ සාමාජිකයින් මේ වනවිට වැඩසටහන් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරනවා.ඒ වගේම අද  නිර්මාණවලට සහභාගී නොවුනත් අනුෂ්කා ගම්මුදලි, රනුක ප්‍රභාෂිත, පියුමලී ජයසිංහ, අනූෂා සිල්වා, රමාල් සිල්වා, විජිත් විතාන, අජිත් ජිනදාස මහත්ම මහත්මීන් රූපණ වෙනුවෙන්  කළ දායකත්වයත් වැදගත්. 


රූපණ මේ  වන විට මාධ්‍ය ජාලයක් බවට පත්ව තිබෙන්නේ 2024  පටන් ගත් ශ්‍රී Srilancan News සහ ප්‍රසංග සංවිධානය සහ චිත්‍රපට  ප්‍රදර්ශනය  වෙනුවෙන් කටයුතු කරන Srilancan Events  ආයතන එක්කයි.  ළඟදීම ශ්‍රී Srilancan Radio  ත් මේ ලැයිස්තුවට එක්වෙනවා . 


රූපණ දශකයක ගමන සමරමින් 2026 නොවැම්බර් මස 28 වැනි දා කැනඩාවේ යොවුන් සංගීතවේදීන්  පස් දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආදර සුළඟ නමින් ප්‍රසංගයක් පැවැත්වෙනවා. ලෝකෙ කොහේ හිටියත් https://rupane.com/  හරහා අන්තර්ජාලයෙන් ඔබට දස වසරක් පුරා රූපණ එක් රැස්කළ වැඩසටහන් බලන්නට පුළුවන්. 




ඔබ කැනඩාවේ කුමන ප්‍රදේශයක හිටියත් රූපණ  සියලු වැඩසටහන් සහ මාධ්‍ය ටොරොන්ටෝව අවට සහ කැනඩාවේ වෙසෙන සියලු දෙනා වෙනුවෙන් විවෘතයි, ඒවාට සම්බන්ධ වෙන්න ඔබට ඕනෑම වෙලාවක පුළුවන්. ඔවුන්ගේ  හොඳ, නරක, අඩුපාඩු  සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට කියන්න.  රූපණ මාධ්‍ය ජාලයේ  වැඩසටහන් ගැන ඔබේ හිත මිතුරන්ට කියන්න. මුහුණු පොතේ සමාජ මාධ්‍යවල ඒවා ගැන සටහනක් තියන්න අමතක කරන්න එපා. ඔබට හමුවන අයගේ දක්ෂතා හඳුන්වා දෙන්න ඔවුන් ඉදිකළ වේදිකාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ වැඩවලට මුදලින්, වෙළද දැන්වීමකින් , ටිකට් පතකින් ඔබටත් උදව් කරන්න පුළුවන්. ඔබ වෙනුවෙන් ඔවුන් බොහෝ මහන්සි වෙනවා. ඒ ලංකාවෙන් සැතපුම් දහස් ගණනක් දුරින් හිටියත් ශ්‍රී ලාංකික උරුම රැකගැනීම වෙනුවෙන්. ඔවුන්ට උදව් කරන එක ඔබේ ප්‍රජාවට  වගේම මේ වැඩසටහන් දිගට කරගෙන යන්නත්  මහත් රුකුලක් වේවි.



රුවන් හරිස්චන්ද්‍ර 


2026 සැප්තැම්බර් මස 27 වැනිදා සිළුමිණ පුවත්පතේ පලවූවකි.

විශේෂ ස්තූතිය සි‍ළුමිණ ප්‍රධාන උප කර්තෘ ජයත් පියදසුන් මහතාට














මේ දිගුවෙන් ඔබට ලිපිය විද්‍යුත් පුවත්පතින් කියවන්න පුළුවන්

https://www.silumina.lk/2026/09/27/rasanduna/67573/%e0%b6%a7%e0%b7%9c%e0%b6%bb%e0%b7%9c%e0%b6%b1%e0%b7%8a%e0%b6%a7%e0%b7%9d%e0%b7%80%e0%b7%9a-%e0%b6%bb%e0%b7%96%e0%b6%b4%e0%b6%ab-%e0%b6%bb%e0%b7%96%e0%b6%b4%e0%b7%80%e0%b7%8f%e0%b7%84/




සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google  images                                  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.

No comments:

Post a Comment