එහි සදහන් කර තිබෙන ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේදී මට ඒ වැඩසටහන් ශ්‍රවණය කරන්නට ඉඩක් ලැබුනේ නැති වුණත් 80 දශකයේදී යම් තරමකට ගුවන් විදුලියට සවන් දෙන්නටත්, 90 දශකයේදී යම් සුළු සම්මාදමක් දරන්නට ඉඩ ලැබුණු නිසාත් ගුවන් විදුලිය ගැන මගේ මතකය ගොනු කරන්නට සිතුණි.
අප ගුවන් විදුලිය ශ්‍රවණය කරන කාලයේ ආර්ථිකයේ වෙනස්වීම් මත සින්දු අහන්නට කැසට් යන්ත්‍ර සහ කැසට් පට බිහි වෙමින් පැවති අතර ජාතික රූපවාහිනිය පටන් ගැනීමත් සමගම ගුවන් විදුලියට පමණක් යොමුව තිබුණු මහජන අවධානය ගිලිහී රූපවාහිනී මාධ්‍යයේ කළු සුදු රූප සහ හීන් හඩ මතින් රූපවාහිනියට ගෙදර සාලයේ තැන ලැබෙමින් තිබුණු බව මතකය. සවස් වරුවේ සිට මධ්‍යම රාත්‍රිය තෙක් ගුවන් විදුලියට කන් යොමා සිටි අප දෙමාපියන්ගේ යුගය වෙනුවට අපි හුරු වූයේ හවස සිට තරමක් රෑ බෝ වන තෙක් රූපවාහිනිය ඉදිරිපිට රැදී ඉන්නටයි. ඒ නිසා "හදමාමා " , "ළමා රගමඩල " වැනි වැඩසටහන් සහ ගුවන් විදුලි පුවත් හැරෙන්නට වැඩසටහන් රැසක මතකයක් මට නැත.
එහෙත් නිවාඩු කාලයට කුරුණෑගල අම්මලාගේ ගෙදර ගියවිට විදුලි බලය නොතිබුණු එහි වූ ට්‍රාන්සිස්ටර් රේඩියෝවෙන් ගුවන් විදුලියේ ප්‍රාදේශීය සේවාවක් වූ "රජරට සේවයෙන් "ගුවන් ගතවුණු "පිලේ පැදුර ", "නව පදමාලා " වැනි වැඩසටහන් සේම මාතර පිහිටි ප්‍රාදේශීය ගුවන් විදුලිය වූ " රුහුණු සේවයේ " සමහර වැඩසටහන් ඇසු බව මතක ඇතත් ඒවාගේ නම් ගැන මතකයක් නැත.යම් තරමකට මතකය ඇත්තේ සමන් සුසිරි මහතා නිෂ්පාදනය කල " රුහුණු ළමා රගමඩල " ගැන පමණකි.
පෞද්ගලික ගුවන් විදුලි සේවාවන් සදහා ලැබුණු අවසරයෙන් බිහිවුණු " සිරස" ගුවන් විදුලිය කල සමහර වෙනස්කම් ගැන මගේ පෞද්ගලික ප්‍රසාදයක් නැතත් ජනප්‍රිය රැල්ලක් මතු කරමින් අසන්නන් සමග එවේලේම සම්බන්ධ වෙමින් කල කටයුතු නිසා යොවුන් වියට එලබෙමින් සිටි අපට එය ආකර්ෂණයක් ගෙන ආ බව කිවයුතුය. සිරසෙන් ගුවන් ගතවුණු සමහර වැඩසටහන් මා සිත් ගත අතර " ෂර්ලොක් හෝම්ස් " කථා මාලාවේ කොටස් දැනුදු ඉදහිට යූ ටියුබ් අවකාශයට රිංගා අහන්නේ ඒ මතක අවදි කරන්නටයි.
පාසැල් සමයේදී රුහුණු සේවයේ " රුහුණු ළමා රගමඩල " ඇතුළු වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වෙමින් ඉන්නා කාලයේ 1987 ඉන්දු ලංකා සාම ගිවිසුමට විරෝධය දක්වමින් දේශප්‍රේමීන් විසින් රුහුණු සේවය පිහිටුවා තිබුණු වලව්ව ගිනිබත් කරමින් රුහුණු ජනතාවට අහිමි කලේ ප්‍රාදේශීයව නගන්නට තිබුණු ජනතා සන්නිවේදනය සේම අප වැනි නවකයින්ට තිබුණු විශ්ව විද්‍යාලයක් වැනි සම්පතකි.
නිමක් නැති වෙළද දැන්වීම් මධ්‍යයේ ඉදහිට යමක් ඉදිරිපත් කරන, ගිරා පෝතකයින් සේ නිමක් නැතිව ඔහේ දොඩවන බහුතරයකගෙන් පිරි කරච්චලයක් බවට ගුවන් විදුලිය පත්ව තිබෙන්නේ ආතක් පාතක් නැතිව හැර දැමූ ආර්ථිකය නිසාද නොඑසේ නම් නිසි නියාමනයක් නැති නිසාද යන්න හොයා බැලීම වටී. අදත් විශාල ග්‍රාමීය ජනතාවක් සිටින ලංකාව වැනි රටකට ගුවන් විදුලියේ ඇති හැබෑ වටිනාකම ගැන පාලකයින්ට අවබෝධයක් තිබේද යන්නත් ගැටළුවකි.
ලංකාවෙන් දුරු රටක හිටියත්, සිංහල භාෂාව සහ සංස්කෘතිය වෙනුවෙන් තම වියදමින් කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් අන්තර්ජාල ගුවන් විදුලියක් කරන ප්‍රවීණ ගුවන් විදුලි මාධ්යවේදී වසන්ත ලංකාතිලක මහතාගේ " සවන " මෙහෙය අගය කලයුත්තේ එවන් වටපිටාවක් තුලය.
සවන රේඩියෝව ගැන ලියවුනු සටහන
http://ahasgawwenehalokaya.blogspot.com/2020/11/blog-post_29.html
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට
අපහසු වීම ගැන මගේ කණගාටුව
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි