එක්සත් රාජධානියේ Poldhu ප්‍රදේශය සහ කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ත පළාතේ St. Johns නගරය අත්ලාන්තික සාගරයේ දෙකොනක පිහිටා තිබෙන ප්‍රදේශ දෙකක්. දල වශයෙන් ඒ අතර දුර ප්‍රමාණය කිලෝමීටර් තුන්දහස් පන්සීයක් තරම් වෙනවා. වර්තමානයේ නම් එය මහා දුරක් නොවෙන්නේ ගුවන් යානයකින් පැය කිහිපයකින් වගේම චන්ද්‍රිකා තාක්ෂණය හරහා කරන සන්නිවේදනයකදී තත්පර කිහිපයකින් ඒ ප්‍රදේශ දෙක සම්බන්ධ කරගන්නට පුළුවන් නිසා. බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය තිබූ 1901 දී නම් එය දින 14ක තරමේ මුහුදු ගමනක්. ඒකත් කාලගුණයේ තිබෙන වෙනස්කම් මත වැඩි වෙන්න පුළුවන්.

කැනඩාවේ නිව් ෆවුන්ඩ්ලන්ත පළාතේ ශාන්ත ජෝන් ප්‍රදේශයේ 1901 දෙසැම්බර් 12 වැනි දා අඩි 500ක් උස සම්ප්‍රේෂණ කුළුණක් පිහිටුවා ඒ වන විටත් Poldhu ප්‍රදේශයේ තිබූ සන්නිවේදන මධ්‍යස්ථානයට පණිවිඩයක් යවන්නට උත්සාහ කළේ රාජකීය නාවික හමුදාවේ අනුග්‍රහය ලැබූ අපි කවුරුත් අසා තිබෙන ජනප්‍රිය චරිතයක්. ඒ වෙන කවුරුවත් නෙමේ Guglielmo Marconi රේඩියෝ සම්ප්‍රේෂණ තාක්ෂණයේ පියා විදියට සැලකෙන මාකෝනි තම සහායකයින් කිහිප දෙනෙකු එක්ක Levitor කියන සරුංගලය භාවිතයෙන් ඒ තාවකාලික කුළුණ සකස් කළා. අවශ්‍ය පහසුකම් සපයා දුන්නේ මේජර් Baden Baden Powell. මෝස් සංඥා ක්‍රමයේ එස් අකුර ( S ) භාවිතා කරමින් කිලෝ හර්ට්ස් අටසිය පනහක මධ්‍යම තරංග පණිවිඩය සාර්ථක නොවුණේ දිවා කාලයේදී අයන ගෝලයේ තිබෙන ගැටලුවක් නිසා. 
නමුත් මාකෝනි සහ බ්‍රිතානය යටත් විජිතය වැඩේ අතහැරියේ නෑ.1902 ඔක්තෝබර් මාසයේ දී Carlo Alberto කියන ඉතාලි යුද්ධ නැව කැනඩාවේ නෝවා ස්කොෂියා පළාතේ සිඩ්නි වරායට ආවේ රේඩියෝ සන්නිවේදනය සඳහා අවශ්‍ය ආම්පන්න පුරවාගෙනයි. ඒවා භාවිතයෙන් නෝවා ස්කොෂියා පළාතේ Glace Bay ප්‍රදේශයේ සන්නිවේදන මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබුවේ Marconi Wireless Telegraph Company ආයතනය විසින්. 
අක්කර හතරයි දශම නවයක බිම් කඩක විශාල ඇන්ටනා හතරක් පිහිටුවා කිලෝවට 75 ක Spark Gap Transmitter එකක් භාවිතයෙන් අත් ලාන්තික් සාගරය හරහා කැනඩාව සහ එංගලන්තය අතර පණිවිඩ හුවමාරුව සිදුවුණා. 1905 තරම් වනතුරු පර්යේෂණ මට්ටමේ තිබූ එය 1908 වන විට වාණිජ ව්‍යාපාර මට්ටමට දියුණු වී තිබුණා.පළමු සහ දෙවන ලෝක යුද්ධවලදී සහ මුල් කාලීන නාවික ගමනාගමනයේදී එය බ්‍රිතාන්‍ය යටත් විජිතයට මහත් මෙහෙයක් කල බව කියවෙනවා.
1912 අප්‍රේල් 15 වෙනිදා මුහුදුබත් වුණු RMS Titanic අනතුරේ දී මගීන් 705 දෙනෙකුට RMS Carpathia නැවට බේරාගන්නට පණිවිඩ යැවුනේ ඒ මධ්‍යස්ථානයේ උපකාරයෙන්. බ්‍රිතාන්‍ය රජයේ, ඇමෙරිකානු රජය සහ ඉතාලි රජයේ විවිධ ගරු සම්මාන වලින් සහ 1909 දී භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් තෑග්ග ලැබුණත් මාකෝනි ගේ ව්‍යාපාර , ව්‍යාපාරික අතින් එතරම් සාර්ථක වුණේ නෑ ඉතා ප්‍රකට රේඩියෝ ආයතනයක් වන BBC රේඩියෝ බිහි කිරීමේදිත් මාකෝනිගෙන් විශාල මෙහෙයක් වූ බව කියවෙනවා.
වෙනත් නවීන තාක්ෂණයන් සහ ගුවන්යානාවල ආගමනයත් එක්ක Glace Bay ප්‍රදේශයේ ගුවන් විදුලි සන්නිවේදන මධ්‍යස්ථානය 1946 දී වසා දැමුණා. Russell Cunninagham මහතා එය මිලට ගත්තා. අදත් එය පවතින්නේ පෞද්ගලික බූදලයක් විදිහට. ඉතා සීමිත අවස්ථාවලදී පර්යේෂණ කටයුතුවල යෙදෙන පිරිස් සඳහා නටබුන් වූ එම පරිශ්‍රයට ඇතුල් වන්නට ඒ පවුලේ අය අවසර දෙතත් පොදු මහජනතාවට එම පරිශ්‍රය විවෘත නැහැ.

ඒ තත්ත්වය තේරුම් ගත් මධ්‍යම රජයේ Parks Canada ආයතනය විසින් 1983 දී මුල් පරිශ්‍රයේ පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර් අටක( 8) තරම් දුරින් පිහිටි බිම් කඩක ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. ඔබ එතැනට ගියොත් අත්ලාන්තික් සාගරය හරහා වුණු පණිවඩු හුවමාරුව ගැන බොහෝ තොරතුරු සහ ආදර්ශන මගින් ඒ ගැන තොරතුරු දැනගන්නට පුළුවන්. ඔබට වැඩි උනන්දුවක් ඇත්නම් Marconi Trail එක හරහා ගිහින් මුල් පරිශ්‍රයේ මායිම් බලන්නත් පුළුවන්,

සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
.jpg)
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
No comments:
Post a Comment