Saturday, September 6, 2025
ඔබ කොහිද මම හොයනවා
Saturday, August 30, 2025
කැනඩාවෙ දැව කර්මාන්තයේ විකාශනය බලන්නට අපූරුම තැන Algonquin Logging Museum
කැනඩාවේ දැව නිෂ්පාදනයේ ප්‍රමුඛයෙන් වන්නේ බ්‍රිටිෂ් කොලම්බියාව සහ කුවිබෙක් පලාත්. ඒත් 1808 දී නැපෝලියන් බොනපාට් බ්‍රිතාන්‍යය නාවික කර්මාන්තයට අවශ්‍ය දැව සැපයුම් මාර්ග අවහිර කිරීම නිසා පයින් දැව ලබා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය පාලකයන් යොමුවුණේ කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඇල්ගොන්කුවීන් ප්‍රදේශයටයි.
මිනිස් ශ්‍රමයෙන් බිම හෙළුණු සුදු පයින් ගස් අශ්වයින් භාවිතයෙන් හිම දිගේ ඇදගෙන ගිහින් විවිධ ජල මාර්ග හරහා ශාන්ත ලෝරන්ස් ගඟ වෙත රැගෙන ඒම තමයි පළමු කාරණාව වුණේ. ඊට පස්සෙ ඒවා යුරෝපයට යැවුනේ මොන්ට්‍රියල් වරායෙන් නැව්වලට පටවලයි. පසුකාලීනව අශ්වයෙන් වෙනුවට විවිධ යන්ත්‍රෝපකරණ සහ ජල මාර්ග හරහා ප්‍රවාහනය වෙනුවට මොන්ට්‍රියල් වරාය දක්වාම දුම්රිය මගින් දැව ප්‍රවාහනය සිදුවුණා වගේම ඇමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය දැව සැපයුම වුනේ දුම්රිය මගින් පංච මහා විල් ආශ්‍රිතව තිබුණු වරායන් වෙත දැව ප්‍රවාහනය කිරීමෙන්.
1800 ගණන්වල පටන් මේ දක්වා දැව කර්මාන්තයේ විකාශනය බලන්නට පුළුවන් අපූරු තැනක් ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඇල්ගොන්කුවීන් පළාත් උද්‍යානය තුල තිබෙනවා. ඇල්ගොන්කුවීන්න්ක් පළාත් උද්‍යානය ගැන මීට පෙර කතා කර තිබෙන නිසා යළිත් මෙහි ඒ ගැන සඳහන් කරන්නේ නැහැ.
ඒ තොරතුරු සඳහා මේ දිගුව බලන්න
Fall Colours බලන්නට Algonquin Park එකට ගියදා
https://ahasgawwenehalokaya.blogspot.com/2023/10/fall-colours-algonquin-park.html

ඇල්ගොන්කුවීන් පළාත් උද්‍යානයේ හයිවේ 60 දිගේ යනකොට කිලෝමීටර් පනස් හතරයි දශම පහ සටහන් වන ස්ථානයේ වෙනස්ම කෞතුකාගාරයක් පිහිටුවා තිබෙනවා. සැබවින්ම මෙය කිලෝමීටර් එකයි දශම තුනක ( 1.3 Km ) ඇවිදින මං පෙතකින් ගමන් කළ යුතු විශාල එළිමහන් කෞතුකාගාරයක් විදියටයි සකස් කර තිබෙන්නේ. වාහනය නවත්වලා ප්‍රධාන මධ්‍යස්ථානයේ ඇති කුඩා සිනමාහලෙන් කැනඩාවේ දැව කර්මාන්තයේ ඉතිහාසය ගැන කෙටි වාර්තා චිත්‍රපටයක් බලලා ඔබට ගමන පටන් ගන්නට පුළුවන්.
මුලින්ම එක්දහස් 1800 ගණන්වල දැව කර්මාන්තයේ යෙදුණු පිරිමි සේවකයින් නවාතැන් ගත් කැම්බූස් කෑම්ප් ( Camboose Camp) එකක් දකින්නට ලැබෙනවා. හිම මතින් ලී කොටන් ගෙන යන එක පහසු නිසා බොහෝ විට මේ කටයුතු කරලා තියෙන්නේ දැඩි ශීතලක් තිබෙන වසරේ ඔක්තෝබර් සිට මාර්තු කියන මාස වලයි. ඉතා දැඩි ශීතල කාලගුණය යටතේ අවම පහසුකම් තුළ ඔවුන් රාත්‍රිය ගත කර තිබෙන්නේ ලී කොටන් අහුරා තැනු ලී මඩුවලයි. Camboose කියන වදනට සමාන Shanty කියන වචනයත් ප්‍රංශ භාෂාවේ යෙදුම්. තට්ටු ගැසූ ලී ඇඳවල් වටේටත් මැද ගිනි උදුනක් සහිතවත් සකස් කර තිබුණු ඒ මඩුවල කෑම උයා තිබෙන්නේත් පිරිමි කෝකියෙක්. දහවල ඇඳි තෙත ඇඳුම් එල්ලෙන්නට දමා , බූට් සපත්තු වේලෙන්නට වටේට වනල , කතා ,සිංදු කියමින් පොඩියට මධුවිතක් තොලගාමින් ඔවුන් කෑම ගත්ත බවයි කියන්නේ. තනිකරම මිනිස් සහ අශ්ව ශ්‍රමයෙන් වැඩි වැඩ කොටසක් කෙරුණු ඒ කාර්ය වල දවසේ අධික මහන්සිය හින්ද ඔවුන් වැඩි වෙලාවක් නොගිහින් නින්දට වැටෙන්න ඇති.
ඊළඟට ඔබ යන්නෙත් දැව කොටන් අදින්නට සහ වෙනත් කටයුතු සදහා භාවිතා කළ අශ්වයෙන් රඳවා තැබුණු ස්ථාල බලන්නටයි. අශ්ව ස්ථාලත් පෙලට ගොඩගැසූ විශාල ලී කොටන් වලින් තැනුණු මඩු තමයි. පොරෝ පහර වලින් බිම දමන ගස් චෝක් කුරූ වලින් සලකුණු කරන ප්‍රමාණවල කොටන් ලෙස කපා දමා තිබෙනවා .සමහර ඒවා පොතු ගසා හතරැස් කුට්ටි බවටත් පත් කෙරුණා. ඒ කොහොම වුනත් ඒ දැවවල හිමිකාරිත්වය දරන සමාගමේ සලකුණක් ඒ දැවැන්ත කොටන් මත සටහන් කරන්නට ඔවුන් විශේෂ මිටියක් යොදාගෙන තිබුනා.දැව කැපු තැන පටන් ජල මාර්ගයක් වෙත දැව ප්‍රවාහනය කෙරුණේ කොටන් කිහිපයක් එකතු කර තනාගන්නා Sleigh එකක් ශක්තිමත් අශ්වයෙන් දෙදෙනෙකු යොදවා අයිස් මතින් ඇදගෙන යාමෙන් . එසේ ඇඳීමෙන් පල්ලමේ ඇදගෙන යන කොටන් පොකුර අශ්වයන් මතට පෙරළීම වළක්වන්නට කඳු මුදුනේ සවිකර තිබුණු යකඩ කේබල් යෙදූ තිරිංග පද්ධතියක් ක්‍රියාත්මක වුණා.
කාර්මික විප්ලවයේදී වැදගත් වුනු වාෂ්ප බෝට්ටු නිෂ්පාදනය කරන්නට කලින් ජල මාර්ග හරහා කොටන් ප්‍රවාහනයට පෙර ඒවා සකස්කිරීමට යොදා ගත්තේ අශ්වයින් දෙදෙනෙකු සෙක්කුව වටේ කැරකෙන ක්‍රමයට බලය උත්පාදනය කළ පාරුවක් ගොඩ ඇති විශාල ගසකට ගැටගසා සකසා ගත් උපක්‍රමයක්. පස්සේ ඇලිගේටර් වාෂ්ප බෝට්ටු මේ වෙනුවෙන් යෙදවුනා. ඇල්ගොන්කුවින් දැව මධ්‍යස්ථානයේ ඔබ දකින විලියම් එම් (William M ) යාත්‍රාව ලෝකේ එහෙම සංරක්ෂණය වෙලා තියෙන යාත්‍රා තුනෙන් එකක්.

වතුරට ගෙන යන දැව කොටන් ජලයේ පා කිරීම පාලනය කරමින් කුඩා ඇලමාර්ග හරහා ගෙන යන්නට කුඩා වේල්ලක් වැනි ඉදි කිරීමක් කර තිබුණා. එවැනි ආදර්ශකයක් ඔබට මෙතැනදී දකින්න පුළුවන්.
පසුකාලීනව ක්‍රම ක්‍රමයෙන් විවිධ යන්ත්‍ර උපකරණ, ට්‍රක් රථ, ට්‍රැක්ටර් දැව කර්මාන්තයට එකතු වුනු හැටිත්, ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දුම්රිය එයට එකතු වුණු හැටිත් ඔබට දකින්නට මෙහි පහසුකම් සලසා තිබෙනවා.ඒ වගේම කර්මාන්තයේ යෙදුණු සේවකයින්ගේ නවාතැන් පවා ක්‍රමිකව දියුණුවට පත්වූණා.
ඒ වෙනස්කම් එක්ක ශීත කාලයට ඇදගෙන ගිහින් ජල මාර්ග හරහා වරායන් වෙත දැව ප්‍රවාහනය වෙනුවට වසර පුරාම දුම්රිය මගින් දැව ප්‍රවාහනය සිදුවුණා. මෙම ස්ථානයේ දී ඔබට දකින්නට ලැබෙන දුම්රිය එන්ජිම 1911 දී මොන්ට්‍රියල් වල නිෂ්පාදනය වුනු එකක්. Saddleback නම් එය මුලින්ම දැව දහනයෙන් ක්‍රියාත්මක වුණු අතර පසුව ගල් අඟුරු දහනයෙන් ක්‍රියාත්මක වන ලෙස වෙනස් කල බව කියවෙනවා.
පරිසර සංවිධාන විරුද්ධ වුවත් අදත් ඇල්ගොන්කුවීන් උද්‍යානයේ කොටසක අළුතින් වන වගාව කරමින් වාණිජමය දැව කර්මාන්තය සිදුවෙනවා. අතීතයට සාපේක්ෂව වර්තමානයේ දැව අවශ්‍යතා අඩු වුණත් කැනඩාවේ සහ ඇමරිකාවේ නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතුවලදී තවමත් දැව වලට විශාල ඉල්ලුමක් තිබෙනවා.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
Saturday, August 23, 2025
ඇමෙරිකාව මහා බලවතෙක් වුනේ කොහොමද ? The Mega-Brands That Built America
ඩොනල්ඩ් ට්‍රුම්ප් ජනාධිපතිවරයාගේ "MAGA " ( Make America Great Again) ගෝලීය වශයෙන් විපර්යාස රැසකට මුලපිරූ දේශපාලන කතාවක්. දේශපාලන මති මතාන්තර පැත්තක තිබ්බත් අපේ අසල්වැසි මහා රාජ්‍යය නිසා කැනඩාවේ ඉන්නා අපටත් ඉන් ඇති වී තිබෙන ආර්ථික බලපෑම සුළු පටු නැහැ. ඒ අතර රැකියා සුරක්ෂිතභාවය පිළිබද ගැටළු , බඩු මිල ඉහල යාම, සංචාරය වගේම නිවාස උකස් ණය වාරික මිල අඩු නොවීමක් තියෙනවා.
තාක්ෂණික හා මානව දැනුමේ සංවර්ධනය නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව අත්පත් කරගත් සුපිරි බලවත්භාවය දියාරු වී චීනය,ඉන්දියාව, බ්‍රසීලය වැනි රටවල් ඉදිරියට පැමිණීම නිසා ලෝක වෙළඳපොලේ ඇමරිකානු ආර්ථිකය හිමිකරගෙන සිටි වෙළෙඳ ගනුදෙනු ප්‍රතිශතය අඩු වී තිබෙනවා.දෙවන ලෝක යුද්ධ සමයේ ඒ වෙනුවෙන් කළ ආයෝජන, නාසි ආක්‍රමණ හමුවේ ඇමෙරිකාවට පලා ආ විද්වතුන්ගේ දැනුම මෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමෙරිකාව අත්පත් කර ගත් රත්රන්, මුදල් සහ වෙනත් සම්පත් සියල්ල ඇමෙරිකාව ලෝකයේ සුපිරි බලවතා වීමට බලපෑ බව කිව යුතුයි.
ඇමෙරිකාව ලෝකය පුරා තම බල පරාක්‍රමය විහිදුවාලු ඉතිහාසය ගැන ඉතිහාස නාලිකාව (The History Channel ) නිෂ්පාදනය කළ වැඩසටහන් මාලා කිහිපයක් බලන්නට මට ඉඩ ලැබුණා. මේවා අයත් වන්නේ "ඩොකියූ ඩ්‍රාමා" ( Docudrama ) ගණයටයි. ඒ යටතේ ඉතිහාසය හුවා දැක්වීම සඳහා නළුවන් භාවිතා කරමින් සිද්ධි ප්‍රතිනිර්මාණය කරන එම වැඩසටහන් තුල විවිධ ක්ෂේත්‍රවල විද්වත් සම්පත් දායකයින් කිහිප දෙනෙක් පැහැදිලි කරදෙන තොරතුරු ඉතිහාසය සහ පසුබිම් කතා තේරුම් ගන්නට හොඳ අත්වැලක්.
දෙවන ලෝක යුද්ධයේදී ලොව පුරා විවිධ තැන්වල ස්ථානගත වී සිටි ඇමෙරිකානු භටයන්ට අවශ්‍ය දෑ සැපයීම සඳහා දියුණු වූ ආහාර කල් තබා ගැනීමේ තාක්ෂණය, සම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහනය වෙනුවට බහාලුම් (Container- කන්ටේනරය) සොයා ගැනීම, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිවුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන හරහා ඇමෙරිකාව පැතිරවූ ආධිපත්‍යය, ලොව පුරා පිහිටුවා තිබෙන ඇමරිකානු හමුදා කඳවුරු සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇමෙරිකාව ලෝකය පුරා තම අධිරාජවාදය වාදය පිහිටවූයේ භූමිය අත්පත් කර ගනිමින් ක්‍රියාත්මක වූ පැරැණි අධිරාජවාදය වෙනුවට ඇමෙරිකානු සමාගම් හරහා කළ වෙළද අධිරාජවාදය තුළින්.
මේ සම්පූර්ණ වැඩසටහන් පෙළ තුල වැඩසටහන් විශාල සංඛ්‍යාවක් තිබෙන නිසා මම තවමත් ඒවා බලමින් ඉන්නා බව ලියන්නට කැමතියි. ඒ වගේම ඒවා සමහරක් තවමත් නිෂ්පාදන සහ විකාශන අවධියේ තිබෙනවා.
Sun, Jul 23, 2023
Sun, Jul 30, 2023
Sun, Aug 6, 2023
Sun, Aug 13, 2023
Sun, Apr 28, 2024
Sun, May 5, 2024
Sun, May 12, 2024
Sun, May 19, 2024
Sun, Jun 2, 2024
Sun, Jun 9, 2024
Sun, Jun 30, 2024
Sun, Jun 23, 2024
Sun, Jun 1, 2025
Sun, Jun 8, 2025
Sun, Jun 15, 2025
Sun, Jun 22, 2025
Sun, Jun 29, 2025
Sun, Jul 6, 2025
Sun, Jul 13, 2025
Sun, Jul 20, 2025
Sun, Jul 27, 2025
Sun, Aug 3, 2025
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට
මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා
උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ
එළිය කරාවි.

















.jpg)
.jpg)

.jpg)




.jpg)

.jpg)

.jpg)






.jpg)

