මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 23, 2022

ලන්දේසි කාරයින්ගේ රටේදී, චීස් කා ලී සපත්තු දමාගත් දවසක් ......

නෙදර්ලන්තයේ සංචාරයක මතක 2.

 ලන්දේසි කාරයින් ශ්රී ලංකාවේ ඉතිරි කර ගිය දේ ගැන කතා කරන්නට ගොඩක් දේ තිබෙනවා. කදු සහ පහත්බිම් වල ජීවත් වුණු යුරෝපා ජාතීන් අතරින් තැනිතලා බිම්වල දිවි ගෙවූ මිනිසුන් හදුන්වන්නට අතීතයේදී  Dutch කියන වචනය භාවිතා වූ බවත් ජර්මනියේ සමහර කොටස් සහ නෙදර්ලන්තයට මුලින් වදන යෙදුනු බවත් අන්තර්ජාලයේ සදහන් වෙනවා. කලක් නෙදර්ලන්තය හදුන්වන්නට Holland යන වචනය භාවිතා වුනේ North Holland  සහ  South Holland කියන පලාත් දෙක හින්දයි.වර්තමානයේ භූගෝලීය වශයෙන් නෙදර්ලන්තය පලාත් 12 කින් සැදුනු රටක්

වෙනස්ම ආකාරයේ ගෘහ නිර්මාණ ශිල්පයක් තිබෙනා නෙදර්ලන්තයේ වෙනස ඔබට යුරෝපයේ අනෙක් රටවලින් එය වෙන්කර හදුනා ගන්නට පහසු කරනවා. අප මේ සංචාරයන් කලේ 2019 වසරේ ගිම්හානයේදී හින්ද අනාගතයේ දවසක ඔබ මේ ගමන් යද්දී සංචාරක ක්රමවේද වෙනස් වී තියෙන්නත් පුළුවන්. කොහොම වුණත් දසත කියවන ඔබ වෙනුවෙන් ලන්දේසිකාරයින් අතරේ ඇවිද යන්නයි මගේ මේ සුදානම.

ගම්බද පරිසර කිහිපයක සහ වෙරළබඩ ගමක සංචාරය කල අපි ආපහු නවාතැනට ආවා. අද අපේ සූදානම උදෙන්ම චීස් කර්මාන්ත ශාලාවක් බලන්න යන්න.

Clara Maria Cheese Farm/Clog Factory

Amsterdam නගරයේ ඉදන් පැය භාගයක විතර දුරින් තියෙන මේ චීස් කම්හල අවුරුදු 170 ක් විතර පැරණි එකක්. වර්තමානයේදී එය පවත්වා ගෙන යන්නේ නෙදර්ලන්තයට පෙම් බැදි ඇමෙරිකානු කතක් සහ සම්ප්රදායික නෙදර්ලන්ත ජාතිකයෙකු වුණු ඇගේ සැමියා.

ගවයින්ගෙන් කිරි ගන්නා තැන පටන් සාම්ප්රදායික ක්රමයට චීස් නිපදවන ආකාරය පියවරෙන් පියවරට දකින්නට එහිදී ඔබට පුළුවන්. වසරේ ජුනි මාසයේ සිට ඊළග අවුරුද්දේ මාර්තු මාසය තෙක් කාලය තුල ක්රියාත්මක වන ඔවුන්ගේ සංචාර වලදී ඔබට විවිධ වර්ගවල චීස් සාම්පල කිහිපයක රස බලන්නත් පුළුවන්. ගමන මතක් වෙන්නත් එක්ක අපිත් කල්ගත වුණු චීස් බෝලයක් මිලදී ගත්තා. ඔවුනට ඔබ ගුවනින් විදේශ රටකට ගෙනයන බව කියන්නට අමතක නොකල යුත්තේ චීස් රටකින් රටකට ගෙනයාමේදී පවතින ආගමන විගමන නීති රීති හින්ද විශේෂ විදිහකට ඇසිරුම් කල යුතු හින්දයි.

Clogs (Klompen)

අපි ලී සපත්තු ගැන අහල තිබුණට කවදාවත්ම ඒවා දාල තිබුණෙ නැහැනෙ. සම්ප්රදායික විදිහට සැහැල්ලු ලී වලින් , ලී සපත්තු හදන්නෙ වගුරුබිම් සහිත නෙදර්ලන්තයේ ගොවිපොල වල කටයුතු කරන ගොවීන් සහ ගෙවිලියන් වෙනුවෙන්.  Alder, Willow හෝ  Poplar ලී කැබැල්ලකින් සපත්තුවක් නිර්මාණය කරන්න ඔවුන් භාවිතා කරන්නේ අතින් ක්රියාත්මක කරන සරල උපකරණ. ඔප දමා ගන්නා ලී සපත්තු වලට විවිධ වර්ණ වගේම සිතුවම් යොදා හැඩ කරන්නේ ඊට පස්සෙ. ප්රායෝගික භාවිතය නිසා අපි සපත්තු මිලදී නොගත්තත් කුඩා යතුරු රදවනයක තරමේ එකක් සිහිවටනයක් විදිහට ගත්තා.යෝධ ලී සපත්තු යුගලක් පය ලා ගෙන නෙදර්ලන්තයට යන සංචාරකයින් සේයාරූ ගන්නා සිරිත අනුගමනය කරමින් අපිත් ෆොටෝ කිහිපයක්ම ගත්තා.

Zuiderzee Museum

Amsterdam වල ඉදන් විනාඩි 45 තරමේ දුරක තියෙන මේ කෞතුකාගාරය නෙදර්ලන්තයේ නාවික සහ ධීවර කටයුතු පිළිබද ඉතිහාසය නිරූපණය වන තැනක්. ධීවර යාත්රා, ධීවර ආම්පන්න වගේම සම්ප්රදායික ධීවර ගම්මානයක ක්රියාකාරීත්වය නිරූපණය කෙරෙන මේ පරිශ්රයේදී මට සිහියට ආවෙ ටොරොන්ටෝවේ Black creek pioneer village   වෙත ඔබව ගෙනගිය ගමනයි. 15 වන සියවසේ ඉදිකෙරුණු පල්ලිය වගේම 17 වන සියවසේ කල නගර දොරටු සහ තාප්ප ලංකාවේදී ලන්දේසීන් ඉදිකර තිබුණු බලකොටු සිහි ගන්වනවා. නගරයේ තිබෙන Dromedaris කුළුණත් බලන්න වටින තැනක්. 

Delft and Delftware

VOC ( Vereenigde Oostindische Companie) එහෙමත් නැත්නම් ලන්දේසි සමයේදී ලංකාව පාලනය කල පෙරදිග ඉන්දීය වෙළද සමාගම යුරෝපයට ගෙනගිය චීනයේ පෝසිලේන් පිගන් නෙදර්ලන්තයේ Delft ප්රදේශයේ මැටි භාණ්ඩ කරුවන්ට අළුත් අදහස් ඇතිකලා. තවමත් ලංකාවේ දකින්නට ලැබෙන Delftware පැරණි මැටි භාණ්ඩ නිපදවුනේ අනුවයි. Amsterdam වල ඉදන්   පැයක තරමේ දුරින් තියෙන Delft ඔබ එවන් මැටි භාණ්ඩ වලට ඇළුම් කරන්නෙක් නම් යා යුතුම තැනක්. Royal Delft කර්මාන්ත ශාලාවේ චාරිකාවක් තුලින් ඔබට ඒ නිර්මාණ සකස් වෙන හැටි දැකගන්න පුළුවන්.

ඔබ කැමති නම් මේ ගමනටම හේග් සාම මාලිගාව සහ කුඩා පරිමාණයට සැබෑ නගරයක අංග ඇතුලත් කොට තනා තිබෙන Madurodam බලන්නත් සංවිධානය කෙරෙන දිනක චාරිකාවක් සදහා Amsterdam නගරයෙන් පිටත් වෙන්නත් පුළුවන්.

 

හේග් සාම මාලිගාව

Madurodam

ලබන මාසයේදී  Amsterdam නුවර නගර සංචාරයකින් හමුවෙමු.

 සටහන - අනුරුද්ධ වැලිගමගේ

 සේයා රූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්      

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2022 මාර්තු  කලාපයේ පලවිය.


     

 විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment