මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 22, 2025

ඇමෙරිකානු ආක්‍රමණ නිසා තැනුණු යුනෙස්කෝ ලෝක උරුමය - Rideau Canal



Rideau Canal කියලා කියන්නේ කැනඩාවෙ අග නගරය වන ඔටවා හි පිහිටි ඔටවා ගඟ

( Ottawa River ) සහ ඔන්ටාරියෝ විල ( Lake Ontario) යා කරන කිලෝමීටර් දෙසිය දෙකක් ( 202) දිග ජල ප්‍රවාහන මාර්ගයක් . එයට ඒ නම ලැබෙන්නේ ප්‍රංශ බසින්,  තිරය ( Curtain)  කියන අරුත දෙන Rideau Falls වලින් පටන් ගෙන ඔටවා ගඟට ජලය ගෙන යන අතු ගංගාවක් වන Rideau River  මෙහි කොටසක් වන හින්දයි.



1813 අප්‍රේල් 27 වෙනිදා , එවකට වත්මන් කැනඩාව නමින් හඳුන්වන බ්‍රිතාන්‍ය පක්ෂපාත බල ප්‍රදේශයේ අග නගරය වුණු යෝර්ක් (York ) නගරයට ඔන්ටාරියෝ විල හරහා පැමිණි ඇමරිකානු භට පිරිස් වලින් බලවත් ප්‍රහාරයක් එල්ල වුණා. පාර්ලිමේන්තුව,  රාජකීය නිවස ඇතුළු යෝර්ක් නගරයේ  රජයේ ගොඩනැගිලි සහ හමුදා බැරක්ක ගිනිබත් කළ ඔවුන් ප්‍රදේශයේ බලය අල්ලා ගත්තා.  අද ටොරොන්ටෝ ( Toronto) නගරය ලෙස හැඳින්වෙන්නේ එකල යෝක් නමින් හැඳින්වුනු නගරයයි. (  Battle  of York) .  බ්‍රිතාන්‍යයන් ඊට පස්සේ තීරණය කළේ තමන්ගේ පාලන ප්‍රදේශය ඔටවා ගඟ අසබඩ ඉදි කරන්නයි . අද මෙන් අධිවේගී මාර්ග,  දුම්රිය මාර්ග,  ගුවන් සබඳතා නොතිබූ ඒ කාලයේ තිබුණු ප්‍රධානම ප්‍රවාහන මාධ්‍ය වුණේ ගංගා, ඇල සහ විල් හරහා කෙරුණු නාවික යාත්‍රා ගමනාගමනයයි. බ්‍රිතාන්‍ය නාවික ක්ෂේත්‍රයේ විශාල දස්කම් දැක්වූ රටක්.  ලෝකයේ බිම්කඩ අල්ලා ගෙන  සම්පත් කොල්ල කෑ යටත්විජිත වාද  තරඟයේදී ඉතා විශාල බල ප්‍රදේශයක් හිමිකරගෙන හිරු නොබසින අධිරාජයය යන ගෞරව නාමය දිනාගන්නටත් ඒ නාවික බලය හේතුවුනු  බව සඳහන්.




ඒ කාලයේ කැනඩාවේ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය වුනු අත්ලාන්තික් සාගරය හරහා ශාන්ත ලෝරන්ස් ගඟත්, අග නගරය ඔටවා නගරයත් සම්බන්ධ කරන්නට ඔවුන් කළ සැලසුම වුණේ රිඩෝ ඇල ඉදිකිරීමයි. ඒ හරහා තමන්ට අවශ්‍ය සියලු භාණ්ඩ හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම ඔවුන්ගේ අරමුණ වුණා. ඔවුන් සතුව ලුතිනන් Gershom French  1783 දී සකස් කළ සැලසුමක් තිබුණා.  1816 දී ශ්‍රීමත් Joshua Jebb ගේ නායකත්වයෙන් රිඩෝ ඇල ඉදිකිරීමට මැනුම් කටයුතු ආරම්භ කෙරුණා. යළිත් 1823 -1824 කාලයේදී Samuel Clowes  විසින් එහි දුර අඩු කරමින් තවත් මැනුමක් සිදු කළා.



ඒ  වනවිට සක්‍රීය සේවයෙන් විශ්‍රාම ලබා සිටි දක්‍ෂ කරනල්වරයෙකු  වූ Jhon By යලි සේවයට කැඳවා ව්‍යාපෘති නායකත්වයට පත්කර කොන්ත්‍රාන්කරුවන් තුන් දෙනෙක් ( Jhon Redpath, Thomas Mckay, Robert Drummond)  භාවිතයෙන් ඇලේ ඉදිකිරීම් පටන් ගත්තේ 1926 දී. හරියටම අවුරුදු හයක වෑයමෙන් පස්සෙ 1832 දී එය ඉදිකර අවසන් කෙරුණා. “.පම්පර්” ( Pumper)  කියන වාෂ්ප බෝට්ටුවෙන් කින්ස්ටන් නගරයෙන් 1932 මැයි 22 වෙනිදා පටන් ගෙන  දවස් හතක ගමනකින් කර්නල් පවුල ඔටවා නගරයට ආවේ 1832 මැයි 29 වැනිදා රිඩෝ  ඇලේ ප්‍රථම ගමන සටහන් කරමින් . නියමිත මුදලට වඩා වැඩි මිලක් වූ,  එකල මුදලින් පවුම් 822,824 ක් වියදම් වුනු නිසා  බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කර්නල් ජෝන් බයි ව නිසි ඇගයීමකට ලක් නොකල  බව කියවෙනවා.




ආරක්ෂක හේතු පදනම් කරගෙන ඉදි කෙරුණත්,  ඉන් පසුව රිඩෝ ඇල භාවිතා වුනේ යුරෝපයෙන් කැනඩාවට සංක්‍රමණය වී වගාබිම් සොයා ගිය යුරෝපීය සංක්‍රමණිකයන් ගෙනයාම සහ වෙළඳ කටයුතු සඳහායි.  ධාන්‍ය,  ඛනිජ වර්ග සහ දැව  වාෂ්ප බෝට්ටු සහ වෙනත් යාත්‍රාවන් මගින් මේ හරහා ප්‍රවාහනය කෙරුණා.



මේ ඇලේ ඔටවා ගඟේ සිට Catarqui  ගඟට අඩි දෙසිය හැත්තෑ දෙකක ( 272) උස නැග්ම සහ කැටරාකි ගඟේ සිට ඔන්ටාරියෝ විලට අඩි 164ක බැස්ම සඳහා අගුල් හතළිස් හයක (46) ජල පඩිපෙළ පද්ධතියක් තිබෙනවා.  පසුකාලීනව දුම්රිය මාර්ග සහ අධිවේගී  මාර්ග ඉදිවීම නිසා විනෝදාස්වාදන බෝට්ටු වල සේවය සඳහා පමණක් මේ වන විට මෙය භාවිතයට ගැනෙනවා. ඒ  සඳහා වසරේ මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මෙය ක්‍රියාත්මක කරන්නේ Parks Canada මගින්. 



1970-1971  කාලයේ  පටන් දෙසැම්බර්- ජනවාරි මාසවල සිට මාර්තු මාසයේ මුල දක්වා  රිඩෝ ඇලේ කොටසක් හිම පදම් කර ස්කේටින් කිරීම සඳහා  Skating rink එකක් ලෙස සකස් කෙරෙනවා. නගරයේ මැදින් රිඩෝ ඇලේ කිලෝමීටර් හතයි දශම අටක (7.8 Km  ) කොටසක් එලෙස සකස් කෙරුණු විට එහි තැනෙන ස්කේටින් පරිශ්‍රය  ඔලිම්පික් අයිස් හොකී පරිශ්‍ර  අනූවක් තරම් වන බව කියවෙනවා. ඒ දිගින් දෙවැනි වන්නේ ලෝකයේ දිගම Skating rink එක  ලෙස වාර්තා තැබුණු කැනඩාවේ Winnipeg  වල කිලෝමීටර් අටයි දශම පහයි හතරක( 8.54 km)  Skating rink එකට පමණයි. ශීත කාලයට විවිධ පාට කබා ඇදගත් පිරිස් උද්යෝගයෙන් මෙහි ක්‍රීඩාකරන ආකාරය සුලබ දසුනක්. 



https://en.wikipedia.org/wiki/Rideau_Canal





සේයාරූ - 

අන්තර්ජාලයෙන්  Google Images, සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.    

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.


2 comments:

  1. හොඳ විස්තරයක් . ඇමෙරිකානු හමුදා කැනඩාවට පහර දෙන්න ආවා කියල දැනන් හිටිය නැහැ . ට්‍රම්ප් එයිද දන්නේ නැහැ නේද

    ReplyDelete
    Replies
    1. අජිත් ඔබේ ප්‍රතිචාරයට ස්තූතියි. ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාවට ප්‍රබල ප්‍රහාර දෙකක් කර තිබෙනවා The United States invaded Canada in two wars:Invasion of Canada (1775), American Revolutionary War.Invasion of Canada (1812), War of 1812. ඒ අතර කැනඩාව පාලනයට විවිධ බලපෑම් කරනවා. ට්‍රම්ප් ගේ වැඩෙත් ඒ වගේ . කැනඩාවේ තියෙන ඛණිජ සම්පත් සහ විශාල ඉඩ ගැන බොහෝ දෙනෙක් උනන්දුයි.

      Delete