මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, March 29, 2025

ඩිජිටල් ගත වුනු හිටිවන කවි මඩුව




හිටිවන කවි මඩු ගැන අනූවේ දශකයේ අපේ කාලය වනවිට තිබුනේ අඩු හැබෑ අත්දැකීම් ගොන්නක් . ඒකට රූපවාහිනියේ බලපෑමත් හේතු වෙන්න ඇති. කවිය ගැන සමාජයේ තිබූ උනන්දුව වගේම  පොත් කියවන,  ලියන සාමාන්‍ය මිනිසුන්ගේ අඩුවත් බලපාන්න ඇති . අතකස - අගනුවර තරුණ කවි සමාජයේ පටන් ගැනීමේ පටන් අද දක්වාම හිටිවන කවි මඩු වලට ඔවුන් දක්වන සහය ඇති මහත්. මේ තරමට හෝ හිටිවන කවිය දකින්නට ලැබෙන්න ඔවුන් කල සේවය අති මහත් වන්නේ ඒ නිසා . 

විවාදයට තුඩු දෙන මාතෘකා සහ තේමාවන් ගෙන සංවිධානය කල තැනක සීමිත පිරිසක් අතරේ පැවැත්වුණු කවි මඩු මේ වනවිට සමාජ මාධ්‍යය ඔස්සේ යූ ටියුබයට සහ වීඩියෝ කෝල් දක්වා ඉදිරියට ගොස් තිබෙනවා. කාලයත් එක්ක උපහාසය , අපහාසය පටලවා ගත් අන්තර්ගත ගැන විවිධ ගැටළු තිබුණත් එය ඉදිරියටම යාම අගය කල යුත්තක්. 

මේ යූ ටියුබයේ එවන් දිගු කිහිපයක්    






ගමේ නම එක්ක ජනප්‍රිය වන ස්වාමීන් වහන්සේලා, පාතාල සාමාජිකයින් වගේම අනෙක් පිරිස වන්නේ කවියන් . ඒ අතර හිටිවන කවියන් විශේෂයි .  

" ලන්ඩන් කවිය"  මාසික කලාපය හරහා ලොව වටා කවියට ලැදි පිරිස් වෙබ් මාධ්‍යය මගින් ඩිජිටල් අවකාශයේ එකතු කරන විල්සන් හෑගොඩ කිවිදුන්ගේ බාල පුත්  අනුර හෑගොඩ මහතා වට්සැප් හරහා "ලෝ පුරා හිටිවන කවි " නමින් ඩිජිටල් කවි මඩුවක් පටන් ගෙන තිබෙනවා.

විවාදයට තුඩු දෙන සේයාරුවක් හරහා ඔබේ නිදහස් කවි අදහස් ලිවීමයි ඔබ කලයුත්තේ. එය දකින ඒ කණ්ඩායම් සාමාජිකයින් ඔබට පක්ෂව වගේම ප්‍රති පක්ෂ වත් කවි ලියනවා. එවිට හැමටම ඒවා රස විදින්නට පුළුවන්. 

මේ එයින් උපුටා ගත් නිර්මාණ කිහිපයක් 



Elevation Above කියල බෝඩ් එකේ තියන නිසා
කෙල්ල නැගල වහල උඩට රට බලන්න ඕන නිසා
කෙල්ල වැටී අඩු කැඩෙන්න කොහොමත් ඉඩ තියන නිසා
කොල්ල නැගල අල්ලගන්න කරුනාවක් දැනුන නිසා

***************************************************

කෙල්ලගෙ කට වහා කරගන්නට මෙල්ල

මේක තමයි කොල්ලට ඇති සැනසිල්ල

මල්ලියෙ උපදෙසක් දෙන්නම් අහපල්ල

ඔතන නෙමෙයි වෙන හොඳ තැනකින් අල්ල

**************************************************

උන් කිස් කොරල  ගියාට 

ඇල්ල ගාවට

මෙහෙ ෆස ගහල නහිනව 

ඉරිසියාවට !


එකක් මට ෂුවර් ඔය 

වගෙ වෙලාවට 

අපෙ උන්ගේ වැඩ නැහැ 

ඔහොම ලාවට



බලු කතාව නවතා මදකට රසම

බලනු මැනැවි පිරිමියෙකුට වුන අරුම

ජීවිතයේ අප හට සිදුවෙන කරුම

වැලකිය හැකිද කෙරුවත් නිති පින් කෙරුම

*******************************************

දැරිවිගෙ පයේ පොඩි වණයක් තිබෙන්නේ

ඔහු වෙදැදුරෙකි, වණයට ඔසු යොදන්නේ

ඇයි මේ දෙස වපර ඇසින් බලන්නේ

කැත සිත් ඇති අයයි නිරයේ උපන්නේ



බුල්ඩෝසරය කොතරම් ලොකුවට තිබුණත්

රියදුරු නොවේ එතරම්  පෙණුමක උසුලත්

අවනත වෙන්නෙ හැකියාවට හොඳ පිරියත්

ඇංජිම තමයි ඕකෙන් වැඩිපුර බලවත්

*****************************************

කුඹුරේ තරම වල් පැලයට        ගානක්ද

ඇත් අඩි පාරවල් කැලයට        ගානක්ද

හෙන්ඩුව ළගදි මහ අලියත්      ගානක්ද

ලව් එක ප්‍රබල නං මහතත්       ගානක්ද

*******************************************

වටලා හත අටක් බඳ වටටම සාරී

අරන් ආව හැටි  මතකද නුඹ  බාරී

කන්නට බොන්න දී මේ ගත් මනමාලී

සලකා තිබෙනවා නැහැ තරහට කාරී

******************************************

කන පැළඳි කරාබුව ත්‍රිකෝනාකාරය 

කලු ලෑල්ල ගණිත සමීකරණයෙන්  බරය 

මුදු පැළඳි තරුනයත් සරසවි ලෙක්චරය

ඝන ජ්‍යාමිතිය කියා දෙන බව මට ෂුවරය

*******************************************

බුල්ඩෝසර් , රියැදුරු ගැන කිව්ව කතා අතර 

වැඩි පිරිසක් කියන්නෙ ඔය ඇඟ දැකලා නිතර 

මොකටද අපි පටලගන්නේ වරලස දිග කතුර 

අහන්නෙ අපි යමුද කියා ජිම් එකටයි මිතුර


 ඔබත් එයට සම්බන්ධ වන්නට කැමති නම්  Anura Hegoda, +44 7768 055668 ඔස්සේ  වට්ස් ඇප් පණිවුඩයක් යවන්න.  


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Pixabay Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

No comments:

Post a Comment