මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, May 13, 2023

මුහුණු පොතේ පැරණි පතපොත ඩිජිටල් ගත කරන මෙහෙවර ....



 මා ලංකාවේ සිටියදී එකතු කල විවිධ පතපොත පිරි පොත් රාක්කයක්ද , පුවත්පත්, සගරා ආදියේ පලවූ මගේ ලිපි ඇතුලත් කබඩ් එකක් ද විය. අන්තර්ජාල පහසුකම් නොතිබූ ඒ අවධියේ අපට ලොව වටා දැනුම ලබන්නට උදව් වූයේ සතිපතා පලවූ විවිධ පුවත්පත් සහ සති අන්ත පුවත්පත් වල අතිරේකයන් ය. නවයුගය, විජය,  Little Star  පුවත්පත් සමග අතිරේක වශයෙන් දුන් විශ්වකෝෂ සහ දැනුම් පොත් සේම කුඩා කතන්දර පොත් ද අඩු වැඩි වශයෙන් අපේ දැනුම වඩවන්නට හේතු විය. පසුකාලීනව එකතු වුනු විදුසර, විදුනැණ සහ සමුදුර සතිපතා පුවත්පත් නවයුගය අපට පෙර පරම්පරාවට දුන් දැනුම ඉදිරියට ගෙනගිය ප්‍රවාහයන්ය . ලක්බිම ඉරිදා පත්තරය සමගින් ලැබුණු අතිරේක , ඒ මග ඔස්සේ අනෙක් ඉරිදා පත්තර ගිය ගමන්මගේ සහ Sunday Times  විශේෂාංග ලිපි තුලින් අපව විවිධ චාරිකා ගෙනගිය අතරේ අම්මා කියැවූ රැජින පුවත්පත හරහා වෙනස් නවකතා සහ කවි කියවන්නටද අපට ඉඩක් ලැබුණි.  

ලංකාවේ නිවෙස්වල තිබෙන ආර්ද්‍රතා ගැටළු සේම වේයන්ගෙන් සහ මීයන්ගෙන් වන උවදුරු මැද සුදු පැහැයෙන් කහ ගැන්වුණු පැරණි පත්තර දිනෙන් දින විනාශයට පත්ව නැති නාස්ති වී ගිය බව මගේ දෙමාපියන් තහවුරු කලේ මා පහුගිය වතාවේ ලංකාවට ගිය විටය. බෑග් කිහිපයකට ජීවිතය ගුලි කරගෙන මේ රටට සංක්‍රමණය වෙද්දී ඒ පොත්පත ලංකාවේ දමා ආවේ එවන් ඉරණමක් ගැන  හිතට නොදැනුනු හින්දාය. සති කිහිපයක නිවාඩුවකට ගිය එවේලේ ඉන් දින කිහිපයක් ගතකර පැරණි පුවත්පත් පිටු කිහිපයක් පිටපත් කර ගන්නට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ රස්තියාදු වෙද්දී දැනුණු වේදනාව වචන වලට පෙරැලිය නොහැකිය. සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, ලේක්හවුස් ඇතුළු ලංකාවේ පැරණි ලිපි ලේඛන ඇතුලත් ආයතන එහි සම්පත් මුද්‍රිත මාධ්‍යයෙන් ඩිජිටල් ගත කර සංරක්ෂණය කර තිබුණේ  නම් කියා සිතුණු වාර අනන්තය. එවැනි පහසුකම් හෝ සුදානමක් මේ වනතුරුත් ඇත්දැයි මම නොදනිමි. 

පහුගිය මාර්තු මාසයේ මුහුණු පොතේ සැරිසරද්දී මම අපුරු පිටු කිහිපයක් දැක ගොඩවී බැලුවෙමි . පුදුමයක මහත! . ඒවායේ වූ සේයාරූ අතරින් මම දශක ගණනක පැරණි මතක තුලට යන්නාක් සේ හැගුණි. අන්තර්ජාලයේ පිහිටෙන් තත්පර කිහිපයකින් මේ වනවිට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර හැම තොරතුරක් පාහේ දැනගන්නට හැකිව තිබුනත් පැරණි පොතපත අතරට යනවිට ඒ හා බැදුණු බොහෝ දේ සිහියට නැගෙන්නේ නොදැනීමය. 

අප කුඩා කාලයේ පත්තරය ගෙදරට ගෙන ආවේ පාපැදියක පසුපස ලගේජයේ සහ ඉදිරිපස හැඩලයට ඉදිරියෙන් වූ තට්ටුවක පත්තර ගොඩ ගසාගෙන ගෙයින් ගෙට ගිය තරමක වයස්ගත මහත්මයෙකු විසිනි. සතියේ නියමිත දිනයේ උදෑසනත්, සෙනසුරාදා උදෑසනත් අප ඇණවුම් කර තිබුණු පුවත්පත් සීනුවක් නාද කර බාරදීම ඔහුගේ කාර්යය විය. ඉරිදා සිංහල පත්තර සෙනසුරාදා දිනයේදී ලැබුණත් ඉංග්‍රීසි පත්තරය ලැබුනේ ඉරිදා දවසේමය. යම් තැන්පතු මුදලක් සහිතව එකල පත්තර ඒජන්සිය වූ නිල්මිණි ආයතනයට නියමිත මාසික පත්තර බිල ගෙව්වේද ඔහුටමය. තීන්ත සුවද පිරි අළුත් පත්තර අපට අපූරු මිහිරක් ගෙන ආ බවද මතකය. 

භීෂණ සමයේදී ලේක්හවුස් පුවත්පත් විකිණීමට තහනමක් තිබුණු නිසා , ඒ වන විට මගේ ලිපි පලවූ මිහිර, විදුනැණ, නවයුගය සහ සිළුමිණ පුවත්පත් පිටපත් ගන්නට මාතර කොටුවේ ගැමුණු හේවා බල ඇණියේ හමුදා කඩය වෙතටත්, පෙරමග සගරාව ගන්නට දුම්රියපොල අසල පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ විකිණුම් හල වෙතටත් පාපැදියකින් යන්නට සිදුවිය.  ඒ පත්තර ගෙන එන්නට සිදුවුනේ අරක්කු හෝ සනීපාරක්ෂක තුවා පැකට්ටු ලංකාවේදී එකල දමා දුන් අයුරින් කඩදාසි උරවල දමා සගවා ගෙනය. ඒ කොහේ හෝ හැංගී අප දිහා බලා හිදී දැයි නොදන්නා දේශප්‍රේමී සහෝදරවරුන් නිසාය. අද කාලය හා සසදන විට ඒ කාලයේ පත්තරවල මුද්‍රිත අකුරු රටා ඒකාකාරී වුවත්, තිබුණු සේයාරූ සහ චිත්‍ර ගුණාත්මක බවින් අඩු වුවත් අළුත් පත්තරයක් දුටු විට දැනුනු සතුට වචනයෙන් විස්තර කරන්නට  අසීරුය.  

ඒවාගේම බාලක පාසැලක ඉගැනුම ලැබූ අප  යොවුන් වියට පිය මනින කාලයේදී සංසරණය  වුනු "වල් පත්තර " කුතුහලයෙන් පිරි  දරුවන්ට වෙනස්ම වින්දනයක් ගෙන දුන් බව මතකය. ලංකාවේ පරිසරය හා ගලපා ලියැවුණු කතන්දර වලට බටහිර හෝ ආසියානු කාම ප්‍රකාශන වලින් සපයා ගත් සේයාරූ යෙදූ ඒවා ගෙදරට ගෙනයාමට හැකියාවක් නොතිබුණු නිසා හවුලේ අපි එබී බැලුවේ පාසැලේ හැංගෙන්නට පුළුවන් අහුමුළු වල මුරකරුවන් තබා මාරුවෙන් මාරුවටය. ගුරුවරයින් අතර තරමක හොද නමක් දිනාසිටි මාව පන්තියෙන් පංතියට එවැනි ප්‍රකාශන ප්‍රවාහනය සදහා යොදා ගැනුණු බැවින් වරෙක විනය පාලක ගුරු භවතාට හසු නොවී බේරුණේ අනූ නමයෙනි. ඒ වාගේම වරක් උඩුකය නිරුවත් කාන්තා රූප කිහිපයක් ගණිත ගුරුවරයාට හසුවීමෙන් පසුව ගෙන ආ කෙනා අල්වා නොදුන් නිසා විදුහලේ පිට්ටනියේ පීරියඩ් දෙකක්ම අව්වේ දණ ගසා ඉන්නට අප පන්තියටම සිදුවූ හැටි මතක් වෙද්දී අද වනවිට අන්තර්ජාලයේදී ඒවා අතිශය සාමාන්‍ය වී තිබෙන හැටි දකින විට හිනා යන්නේ ඉබේටමය.   

මේ වනවිට සොයා ගන්නට නොමැති පැරණි පොත පත සහ පුවත්පත් මුහුණු පොත හරහා ජනගත කරමින් ශ්‍රී ලංකාවේ පැරණි පුවත්පත් හා සගරා සහ පැරණි පොත් ඇඩ්මින් වරුන් කරන ජාතික කාර්යභාරය අගය කලයුත්තේ ඒ සදහා ඔවුන් දරන වෙහෙස මහන්සිය දකින විටදීය. මා කුඩා කාලයේදී පැරණි පොතපත තිබූ තැන්වලදී ඒවා කියැවීමෙන් ඔබ්බට ගොස් ලද විදීම මේ වනවිට සිංහල පොතපත නැති පරිසරයක ජීවත්වන මට පිරිමසා ගන්නට පුළුවන් වන්නේ මේ ඩිජිටල් මාධ්‍යය හරහාය. ඒ සදහා ඔබට සිංහල බ්ලොග් අඩවි වලදීද යම් යම් සටහන් දකින්නට ලැබුණත් එකම තැනකදී විශාල ප්‍රකාශන තොගයක් දකින්නට ලැබෙන්නේ නැත. ඒ නිසා ඒවා කියවා ඔබේ මතක සටහන් කොමෙන්ටු ලෙස දමන්නේ නම් එහි අන්ත්ර්ගතයය අමතරව ඒවා සමග අපේ අතීත මතක සමපාත කරගන්නටද ඉඩක් ලැබෙනු ඇත. ඔබේ මිතුරන් ඒ මුහුණු පොත් සමූහයන්ට එකතු කරන අතරේම ඔවුන්ගේ මහන්සිය සොරාගන්නා අයවලුන් දුටුවොත් නියම යොමුව සදහන් කිරීමද වටී. 



ශ්‍රී ලoකාවේ පැරණි පුවත්පත් හා සගරා OLD NEWS PAPERS &MAGAZINE IN SRI L

https://www.facebook.com/groups/550428005889699


ඉසිඹුව

@Isimbuwa.fb Entertainment website

https://www.facebook.com/Isimbuwa.fb/

පක්ෂ දේශපාලනය, ආගම්,  මතවාද, වල්පල් ජනගත කරමින් කාලය කා දමන අතරේම තමන්ගේ ලොකුකම් , පුරාජේරු පෙන්වන තැනක් ලෙස හංවඩු ගැසී තිබෙන මුහුණු පොත යහපත් කාර්යභාරයක් සදහා යොදාගත හැකියැයි ඔප්පු කරනා ව්‍යාපෘති අතරේ ඉදිරි තැනක ලා මෙය තැබිය යුත්තේ ඒ සදහා තම ධනය , කාලය කැපකරන පිරිස දකිනා විටය. මේ සටහන ඔවුනට උපහාරයක්ම වේවා !.    

        

    


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

   

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ
ඉදිරි නිර්මාණ එළිය  කරාවි.

15 comments:

  1. //ඒ කාලයේ පත්තරවල මුද්‍රිත අකුරු රටා ඒකාකාරී වුවත්, තිබුණු සේයාරූ සහ චිත්‍ර ගුණාත්මක බවින් අඩු වුවත්// දැන් කාලේනම් සේයාරු විශාලෙට පිටුව පුරා තියෙනව. ලියල තියෙන දේ බොහොම අල්පයි වගේම එහි ගුණාත්මක බවත් එහෙමමයි... ඒ කාලෙට වඩා.

    පතපොත ඩිජිටල් වෙන එකටනම් මාත් බොහොම කැමතියි. ඒත් ඒවයෙන් නියමිත පාර්ශව වලට ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක් සැකසෙනවානම් ඉතා අගෙයි.

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . හැම දේම ගුණාත්මක බවේ නම් අඩුවක් තියෙනවා තමා. මිනිස්සුත් දැන් පෙන්නන තරම් හොද නැහැනෙ. ඔබේ අදහස හරියට හරි. ඒ පොත් සහ ලිපි වල හිමිකරුවන්ට නියම ප්‍රතිලාභ ලැබෙනවා නම් තමයි හොද.

      Delete
    2. ඉසිඹුව සම්බන්ධයෙන් නම් මා ඔබට කිව යුත්තේ අප එහි දී ප්‍රකාශන අයිතීන් පිළිබඳ සැලකිලිමත් වන බවත් ලේඛකයන් ප්‍රකාශයන් විරුද්ධ නම් එවැනි කිසිවක් පළ නොකරන බවත් ය. එසේ ම එය බොහෝ දෙනෙකු බලා සතුටු වනවා දැක ලබන ආත්ම තෘප්තිය හැරෙන්නට අපට සතපහක මූල්‍ය ලාභයක් නොලැබෙන බවත් කාලය ධනය සහ ශ්‍රමට ඒ සඳහා එමට කැප කරන්නට සිදු වී ඇති බවත් එය රස විඳින අය ඒ පිළිබඳ දන්නා බවත් ය.පසුව දීර්ඝ ලිපියකින් කරුණූ කියමි. ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
    3. රවින්ද්‍ර ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ පැරණි පතපොත ඩිජිටල් ගත කිරීම මහත් සේ අගය කරන්නේ ඒ වෙනුවෙන් කරන්නට වන කැපවීම ගැන අදහසක් ඇති බැවිනි. ඔබේ මේ සම්පත් වලින් බ්ලොග් අඩවියක් පටන් ගන්නේ නම් ඔබේ මහන්සිය තවත් වැඩි රසික පිරිසකට ගෙන යා හැකිය. ඒ සදහා වැඩිපුර වැඩි කාලයක් යොදන්නට අවශ්‍ය නොවන්නා සේම බ්ලොග් සටහන් සතියකට වතාවක් මතුවන සේ කලින් ලියා තැබිය හැකිය. අදහසක් පමණි. ප්‍රකාශන අයිතිය සුරැකීම මහත් සේ අගය කරමි . ඒ සමගම කියවන්නාට බාධා නොවන සේ යම් Watermark එකක් යොදා පල කරන්නේ නම් කිසිම මහන්සියක් හෝ හිරිකිතයක් නැතුව ඒවා තමන්ගේ වැඩක් සේ යලි පලකරන අයගෙන් ඔබේ මහන්සිය බේරා ගත හැකිය. යම් කෙනෙකුට ඔබ වෙත ඒ පත පොත ලබා දිය හැකි මගක් වේ නම් එයද සදහන් කරන්න.

      Delete
  2. https://web.facebook.com/%E0%B6%89%E0%B7%83%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B7%80-100736565770871/

    ReplyDelete
    Replies
    1. නමියා ඔබේ මුහුණු පොත් දිගුවට ස්තුතියි. එහි ඇඩ්මින් වරයාට පණිවුඩයක් යැව්වා. අවසර දුන්නොත් මගේ ලිපියට ඒ දිගුවත් අමුණලා තියන්නම්.

      Delete
    2. ඉසිඹුව මුහුණු පොත් දිගුව සටහනට එකතු කලා. බොහොම ස්තුතියි. ඔබ හෝ දන්නා අය ලග පැරණි පොත් සහ පත්තර තියෙනවා නම් ඒවා ඩිජිටල් ගත කරන්නට ඔවුන් කැමතියි.

      Delete
    3. ඔබට බොහොම ස්තුතියි අප පිළිබඳ තැබූ සටහනට...

      Delete
    4. රවින්ද්‍ර ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete
  3. මා හිතා හිටියේ පත්තර කාරයෙක් වෙන්න! (එහෙම නොවුනු එක කොයිතරම් දෙයක්දැයි ඔබට සිතෙනවාට සැකයක් නෑ!)
    ඒ නිසාම මම "කවදා හරි වැඩක් වෙයි!" කියන පදනමේ සිට එකතු කරමු පත්තර පොත් බොහොමයක් තවමත් මා ලඟ!
    විදුසර, නවයුගය වැනි පත්තරත් තිබුනා.
    වර්ක් මම් අමාරුවෙන් නොම්මරේ හොයාගෙන අපේ බ්ලොග් මල්ලි කෙනෙකුට ගෙනියන්න කිව්වත් එයා ආවේ නෑ.

    පරණ ලිපි ලේඛණ ඩිජිටල් ගත කරණවානම් ඒක අනර්ඝ වැඩක්.
    ඒත් කෝ ඊට වෙලාව, මිළ මුදල් හා යන්ත්‍ර සූත්‍ර!?

    ReplyDelete
    Replies
    1. මංජුල ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි . මට නම් හිතෙන්නෙ ඔබ පත්තර කාරයෙක් වුනා නම් අපට ලංකාවේ ගවේෂණාත්මක සංචාරක සටහන් ගොඩක් දකින්න ලැබෙන්නට තිබුනා කියලයි. ඒ වගේම පත්තර කරුවන් අතරේ සුහද නිර්මාණාත්මක තරගයක් ඇති වේවි කියලයි. ඔබේ පත්තර එකතුව වැඩක් තියෙන කෙනෙකුට වටිවී. පුළුවන් කමක් තියෙන වෙලාවට ඉන් ටිකක් හරි වෙබ් ගත කරන්න.

      Delete
    2. ඔබතුමාගෙ නවයුගයඑකතුව තවම තිබෙනවාද ? ඉසිඹුව පටන්ගත්තේ මමයි. මට මතකයි ඔබතුමා ලිව්වා. ඒත් මට පසුව ලියන්න බැරිවුණා. මගේ අංකයමම ඔබතුාට එවන්නම්. හැකියාවක් ලැබුණොත් කතා කරන්න.

      Delete
  4. Replies
    1. නවීන් හැමදාමත් වගේ ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.

      Delete