ෂෙඩියැක් ( Shediac) කියලා කියන්නේ අත්ලාන්තික් සාගරයට මුහුණලා තිබෙන මත්ස්‍ය කර්මාන්තයේ නියුතු බොහෝ දෙනෙකු ජීවත් වන නගරයක්. කැනේඩියානු අත්ලාන්තික ආදිවාසී මික්මැක්වරුන් ( Mi’kmaq ) මේ ප්‍රදේශයට කිව්වේ ES- ED- EI_IK .( Running Far in) කියලයි. යුරෝපා ජාතිකයින් කරදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා සහ නව යටත් විජිත සොයා ලෝකයේ වෙනත් ප්‍රදේශ කරා සංක්‍රමණය වූ කලයේදී ආකේඩියන්වරුන් ( Arcadian - ප්‍රංශ ජාතික සම්භවයක් ඇති පිරිසක් ) මේ පළාත් අත්පත් කරගත්තා. ඔවුන් මුලින්ම මේ ප්‍රදේශයට La Batture. කියල කිව්වත් පසු කාලීනව ඒ නම ෂෙඩියැක් කියල වෙනස් කරගත්ත ස්වදේශිකයන් පෙටිට් කෝඩියැක්( Petitcodiac) ගඟට සම්බන්ධ මේ ප්‍රදේශයෙන් ගලන අතු ගංගාවට ෂෙඩියැක්( Shediac) කියල කියූ හන්දයි.

මේ ප්‍රදේශය ලෝකය පුරා බොහෝ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ පොකිරිස්සන් ( Lobsters ) හින්දයි. සෑම අවුරුද්දකම ජූලි මාසයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන Shediac Lobster Festival බලන්න වටින එකක්. අළුත්ම පොකිරිස්සන් එක්ක Potine Rapee, Potato dumpling, Beurre De Homard,Bouilli Acadian , Tourtieres වගේ කෑම ගන්න මේ පැත්ත නම් දරලා තියෙනවා. ඊට අමතරව මත්ස්‍ය කර්මාන්තය සහ විශේෂයෙන්ම පොකිරිස්සන් ඇල්ලීම ගැන දැනගන්න ඔබට බෝට්ටු සංචාරයක් යන්නත් මේ නගරයේ පහසුකම් තියෙනවා. සමුද්‍ර ජීවීන් සහ පොකිරිසන් පිළිබඳ විද්‍යාත්මක දැනුම ලබා දෙන ක්‍රියාකාරකම් රැසක් Homarus Eco Centre. එකෙන් ලබාගන්න පුළුවන්. එය පාසැල් සහ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට සංචාරය සමඟ අමතර දැනුම ලබාගන්නට කදිම තැනක්.
උතුරු ඇමරිකාවේ අත්ලාන්තික් සාගරයට මුහුණලා තිබෙන Parlee Beach වෙරළ තීරය ගිම්හාන කාලයට උණුසුම් කරදිය තිබෙන පිරිසිදු Blue Flag තත්ත්ව සහතිකය ලැබූ වෙරළ තීරයක්. කුඩා දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාම එක්ක විනෝද වෙන්න එය කදිම තැනක්. පීනන්න, අව්ව තපින්න, සෙල්ලම් කරන්න, ඇවිදින්න කිලෝමීටරයක් තරමේ දිග වෙරළක් තිබෙන එයට මේ නම ලැබී තිබෙන්නේ පළාතේ හිටපු ඇමැතිවරයෙකු වුනු T. Babbitt Parlee සිහි වෙන්නයි. ශීත කාලයේදී සිදුවන වෙනස්කම් හන්දා හැම අවුරුද්දකම වැලි යොදා එය ගිම්හානයේ භාවිතයට සකස් කෙරෙනවා. වාහන 1000 කට පමණ නැවත්වීමට පහසුකම් ඇති එහි ජීවිතාරක්ෂක නිලධාරීන් සේවයේ යෙදෙනවා. ඔබට කුඩාරම් ගසා කාලය ගතකරන්නට පහසුකම් ඇතුළුව සේවා රැසක් Parlee Beach Provincial Park තුලදී පළාත් රජය සංචාරකයින්ට සපයා තිබෙනවා. ඔබ RV එකකින් ගමන යනවා නම් ඒ වෙනුවෙන් පහසුකම් සැලසූ ඉඩකඩ 200 ක් තරම් මෙහි තිබෙනවා. ඉඩකඩ සීමිත නිසා ඒවා කලින් වෙන්කරවා ගන්නවා නම් හොඳයි.
ප්‍රදේශයට ලෝකයේ පොකිරිස්සන්ගේ අගනුවර ( Lobster Capital of the World ) කියන නම යෙදෙන හින්දා ප්‍රදේශයේ රොටරි සමාජය තීරණය කළේ යෝධ පොකිරිසකුගේ ප්‍රතිමාවක් හදන්නයි. වැඩේ බාර දුන්නේ ප්‍රතිමා ශිල්පී වින්ස්ටන් බ්‍රොනම් ( Winston Bronnum) ටයි. ඔහු මීට කලින් කොන්ක්‍රීට් සත්ව ප්‍රතිමා හදල නමක් දිනාගෙන සිටි ප්‍රාදේශීය ප්‍රතිමා ශිල්පියෙක්.1990 දී ඔහු කොන්ක්‍රීට් වලින් නිර්මාණය කළ ප්‍රතිමාව අඩි 36 ක් (මීටර් 11ක්) දිග සහ උස අඩි දාසයක් ( මීටර් 5 ක් ) ප්‍රමාණයේ එකක්. ඒ වගේම එය ටොන් අනූවක්( 90) බරයි.
පර්වතයක් උඩ ඉන්නා පොකිරිස්සකු අසලින් ඈත බලා ඉන්නා ධීවරයෙකු එහි නිරූපණය වෙනවා. වසර තුනක කාලයක් මේ නිර්මාණය කරන්නට ගතවී තිබෙන අතරේම කැනේඩියානු ඩොලර් 170,000 මුදලක් එයට වියදම් වූ බව කියවෙනවා. මේ ප්‍රතිමාවේ නිල නාමය " The World’s largest Lobster " වූනත් ඇත්තටම ලෝකෙ ලොකුම පොකිරිස්සකුගේ ප්‍රතිමාව මේ වෙනකොට තියෙන්නේ චීනයේ Qianjiang ප්‍රදේශයේ. ඒ කොහොම වුණත් අවුරුද්දකට සංචාරකයෙන් ලක්ෂ පහක් විතර මේ ප්‍රතිමාව බලන්නේ එන බවයි වාර්තා වෙන්නේ. මේ ප්‍රතිමාව අද්දර ප්‍රදේශය විවේක ගන්න එක එක විදියට ප්‍රතිමාව එක ෆොටෝ ගන්න වගේම සමරු සිහිවටන ගන්න සංචාරක කලාපයක් විදියට සංචාරය කරල උද්‍යානයක් විදිහට සංවර්ධනය කරලා තියෙන හින්දා ගෙන් ගිම්හාන කාලයේදී ඔබට විවේකීව යම් කාලයක් ගත කරන්න කියාපු තැනක්.
අනුරුද්ධ වැලිගමගේ
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි.
No comments:
Post a Comment