මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, November 7, 2026

නයිට් රයිඩර් ගේ කෘතීම බුද්ධි කාරය සොයා ඇමෙරිකාවේ පොන්ටියැක් වලට ගිය ගමනක්

 



80 දශකයේදී ලංකාවේ රූපවාහිනිය හරහා විකාශය වූ නයිට් රයිඩර් ඇමෙරිකානු ටෙලි කතා මාලාව එකල පාසැල් වයසේ සිටි අපේ සිත්ගත් එකක් . එහි තේමා වාදනය, නයිට් රයිඩර්  වෙනුවෙන් රග පෑ ඩේවිඩ් හසල්හොල්ෆ් වගේම කෘතීම බුද්ධිය ගැන දැන නොසිටි ඒ කාලයේ අපූර්වතම නිර්මාණයක් වූ  ස්වයංව  ධාවනය වුනු කාරය “කිට්”  අපේ සිත් ඇද බැද ගත් එකක් . විද්‍යා ප්‍රබන්ධයක් සේ ජනප්‍රිය ධාරාවට පැමිණි ඒ අදහසේ තාක්ෂණයට අමතරව කුතුහලය, ත්‍රාසය සහ ආදරයත් තිබුනා. ආචාර්ය ආතර් සී ක්ලාක් ගේ 2001 ස්පේස් ඔඩිසි කතාවේ එන හල්ක් 9000 පරිගණකය ආශ්‍රයෙන් කෘතීම බුද්ධි කාරය නිර්මාණය කෙරුනු අතර කිට් කාරයට හඩ කැව්වේ විලියම් ඩැනියෙල් විසින්. අදියර 4 ක් යටතේ වැඩසටහන් 90ක් නිර්මාණය වුනු මේ කතාවේ පිටපත මේ වගේ සාරාංශ ගත කරන්නට පුළුවන්. 


කෝටිපති විල්ටන් නයිට්, මාරාන්තික වෙඩි පහරකින් මුහුණට බලවත් ලෙස හානිවූ පොලිස් රහස් පරීක්ෂක ලුතිනන් මයිකල් ආතර්ව බේරා ගන්නවා. ඊට පස්සෙ ප්ලාස්ටික් සැත්කම් මගින් මුහුණ සකස් කරලා නව අනන්‍යතාවයක් සහ නමක් ලබා දෙනවා .ඔහුට ලැබෙන නම  මයිකල් නයිට්. විල්ටන්, ඔහුගේ මහජන යුක්තිය සංවිධානය වන නීතිය සහ රජය සඳහා වූ පදනමේ (FLAG) නියමු වැඩසටහනේ ප්‍රාථමික ක්ෂේත්‍ර නියෝජිතයා ලෙස මයිකල්ව තෝරා ගන්නවා . මෙම වැඩසටහනේ අනෙක් ප්‍රධාන චරිතය නයිට් ඉන්ඩස්ට්‍රීස් දෙදහස  (KITT -Knight Industries Two Thousand )  නම් අපූරු කාර් රථයයි. එය කෘත්‍රිම බුද්ධියක් සහිත පරිගණකයක් මගින් පාලනය වන ඉතා කල් පවතින කවචයක් සහ රාමුවක් ඇතුළුව බොහෝ විශේෂාංග සහිත දැඩි ලෙස වෙනස් කරන ලද, තාක්‍ෂණිකව දියුණු පොන්ටියාක් ෆයර්බර්ඩ් ට්‍රාන්ස් ඇම් ( Pontiac Firebird Trans M) වර්ගයේ රථයක්. FLAG හි ප්‍රධානියා වන්නේ ඩෙවොන් මයිල්ස් . විල්ටන්ගේ මරණයෙන් පස්සෙ  එම තනතුර භාර ගන්නා ඔහු, මයිකල්ට අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දෙනවා . KITT හි නඩත්තුව භාර ප්‍රධාන ඉංජිනේරුවන් ලෙස කටයුතු කරන්නේ සුරූපී ආචාර්ය බොනී බාස්ටෝ (1, 3 සහ 4 වන කථා මාලා) සහ අප්‍රේල් කර්ටිස් විසින් , ඔවුන් ඩෙවොන්ගේ  තාක්ෂණික සහායකයින් විදිහටත් වැඩ කරනවා.



මෙම රූපවාහිනී කතා මාලාව රූගත කිරීම සඳහා KITT මෝටර් රථ 23ක් පමණ නිෂ්පාදනය කර තිබුණත් , ඇතැම් මතවලට අනුව එම සංඛ්‍යාව 25ක් තරම් විය හැකියැයි කියැවෙනවා . රූගත කිරීම් අවසානයේදී මෙම මෝටර් රථවලින් බොහොමයක් විනාශ වී  ඉතිරි වූයේ මෝටර් රථ පහක් පමනලු.  'Universal' ආයතනය විසින් ප්‍රධාන රූගත කිරීම් සඳහා යොදාගත් මෝටර් රථයක් (hero car) සහ අභියෝගාත්මක දර්ශන (stunt scenes) සඳහා යොදාගත් මෝටර් රථයක් ඔවුන්ගේ 'Entertainment Center' හි තබාගෙන සිටියත්  පසුව ඒවා එක්සත් ජනපදයේ පෞද්ගලික එකතුකරන්නෙකුට විකුණා දමන ලද බව කියැවෙනවා  . අභියෝගාත්මක දර්ශන සඳහා යොදාගත් තවත් මෝටර් රථයක්  ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි පැවති 'World Expo '88' ප්‍රදර්ශනය වෙනුවෙන් එරට තේමා උද්‍යානයකට විකුණන ලද බවත් . වහලය ඉවත් කළ හැකි (convertible) මාදිලියේ මෝටර් රථයක් එංගලන්තයේ කම්බ්‍රියා හි කෙස්වික් (Keswick) හි පිහිටා තිබූ 'Cars of the Stars Motor Museum' වෙත විකුණන ලද බවත් , එම කෞතුකාගාරය වසා දැමීමෙන් පසු එය ෆ්ලොරිඩාවේ ඕර්ලන්ඩෝ හි පිහිටි 'Dezer Collection' වෙත අලෙවි කෙරුනු බවත් කියැවෙනවා.  පස්වන මෝටර් රථය එක්සත් රාජධානියේ පෞද්ගලික එකතුවක පවතින බව විශ්වාස කෙරෙනවා . ඩේවිඩ් හැසල්හොෆ් (David Hasselhoff) ගේ "Jump In My Car" වීඩියෝ පටයේ භාවිතා වූ, "නිල දකුණු පස රියදුරු සුක්කානම සහිත KITT" (Official Right Hand Drive KITT) ලෙස හැඳින්වෙන මෝටර් රථය, 'Wilderness Studios Australia' නම් සමාගම සතුව තිබෙන බවයි කියන්නේ.



"රූගත කිරීම් සඳහා සැබවින්ම භාවිතා කරන ලද" මෝටර් රථ අලෙවි කරන බවට ප්‍රකාශ කෙරෙන පුවත් නිතර නිතර වාර්තා වෙනවා . උදාහරණයක් ලෙස, 2007 අප්‍රේල් 4 වන දින, කැලිෆෝනියාවේ ඩබ්ලින් හි පිහිටි 'Kassabian Motors' හි ජොනී වර්හෝක් (Johnny Verhoek) විසින්, "මෙම රූපවාහිනී කතා මාලාව නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන ලද KITT මෝටර් රථ හතරෙන් එකක්" ඩොලර් 149,995ක මිලකට විකිණීමට ඉදිරිපත් කළ බව වාර්තා වුනා  2007 දෙසැම්බර් මාසයේ 'USA Today' පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව, ඝාතනයට ලක් වූ දේපළ සංවර්ධකයෙකු සහ මෝටර් රථ ලෝලියෙකු වූ ඇන්ඩෲ කිසෙල් (Andrew Kissel) සතුව ඉතිරිව තිබූ KITT මෝටර් රථවලින් එකක් තිබුණු බව සදහන් . මයිකල් ජැක්සන් විසින් ද මුල් KITT මෝටර් රථයක් මිලදී ගත් බවට සමහර වාර්තා පවසන අතර, 'NSYNC' සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙකු වන ජෝයි ෆැටෝන් (Joey Fatone) ද තමන් වෙන්දේසියකින් මෙවැනි සැබෑ KITT මෝටර් රථයක් මිලදී ගත් බව ප්‍රකාශ කර තිබෙනවා ඒ  කෙසේ වෙතත්, මෙම ප්‍රකාශවල සත්‍යතාව සැක සහිත වන්නේ  මෙම කතා මාලාව සඳහා නිෂ්පාදනය කරන ලද මුළු මෝටර් රථ සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් "මුල්" (original) මෝටර් රථ ලෙස වෙන්දේසි වී ඇති බව වාර්තා වී ඇති බැවිනුයි . 




ඒ කොහොම වුනත් මට” කිට්”  රථයක් ඉදිරියේ ෆොටෝ එකක් ගන්නට පුළුවන් වුනේ ඇමෙරිකා එක්සත් ජනපදයේ  නගරයේ පොන්ටියැක් ප්‍රවාහන කෞතුකාගාරයේදී (Pontiac Transportation Museum) .  ඔවුන් කියන හැටියට  ඇමරිකාවේ ප්‍රවාහන ඉතිහාසය, නවෝත්පාදනය සහ ජයග්‍රහණය පිළිබඳ ගැඹුරුම උරුමයක් ඇත්තේ මිචිගන් ප්‍රාන්තයේ  පොන්ටියැක් ප්‍රජාවටයි . පොදු භාවිතයේදී ඩෙට්‍රොයිට්  "මෝටර් නගරය" ලෙස හැඳින්වුවත් , 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේදී පොන්ටියැක් හි සමාගම් අශ්ව කරත්ත සහ මැදිරි නිෂ්පාදනයේ වඩාත්ම සාර්ථක නිෂ්පාදකයින් ලෙස වාර්තා ගත වී තිබෙනවා. ඒවායින්  සමහරක් ඇමෙරිකාවේ මුල්ම මෝටර් රථ සහ ට්‍රක් රථ සමාගම් බවට පරිණාමය වුනා.දේශීය මූලයන් සහිත එවැනි සමාගම් දුසිම් ගණනක් තිබුනත් අතර, අවසානයේ විශාලතම සමාගම් දෙකක් රජයේ අනුග්‍රහය ලැබූ ජෙනරල් මෝටර්ස් මහා සමාගම යටතේ පැවති ප්‍රසිද්ධ පොන්ටියැක් මෝටර් අංශය සහ GMC ට්‍රක් සහ කෝච් අංශය බවට පත්වුනා. 






මේ වනවිට පොන්ටියැක් සමාගම ව්‍යාපාර වලින් ඉවත්ව සිටිනවා. ඔවුන් සතුව තිබූ ඒ ආයතනයේ නිෂ්පාදිත බොහෝ  මාදිලිවල රථ වාහන විශාල සංඛ්‍යාවක් ඉදිරියේදී සංරක්ෂණය කිරීමට නියමිතයි. ව්‍යාපාර මාදිලියෙන් මේ කෞතුකාගාරය තවමත් එතරම් සාර්ථක නෑ වගේම ඉඩකඩ සීමිත බවකුත් දකින්නට තිබෙනවා.  අශ්ව රථවලින් පටන් ගෙන විවිධ වාහන යුගයෙන් යුගයට පරිණාමනය වූ අයුරු පියවරෙන් පියවරට මෙහි නිරූපණය කර තිබෙනවා. ඇමෙරිකාව ලෝක බලවතා කරන්නට දෙවන ලෝක යුද්ධයේදී ඇමෙරිකාව තාක්ෂණයෙන් ඉහලට ගිය හැටිත් , අධිවේගී දුම්රිය සංවර්ධනය නොවූ ඇමෙරිකාවේ දුර ගමන් මාර්ග ප්‍රවාහනයට බස් රථ සංවර්ධනය වූ හැටිත් , ජංගම මෝටර් නිවහන් සංවර්ධනය වූ හැටිත් මෙහිදී දකින්නට පුළුවන්.


අනුරුද්ධ වැලිගමගේ






සේයාරූ -  අනුරුද්ධ වැලිගමගේ
අන්තර්ජාලයෙන්  Google Images,  සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.



මගේ සටහන් උපුටන හෝ ඩිජිටල් හුවමාරු වෙනුවෙන් කවරෙකු හෝ භාවිතා කරනවාට මම කැමතියි. අමුවෙන්ම එය තමන්ගේ නමින් පලකරනවාට අකමැතියි. ඒ නිසා උපුටන භාවිතයේදී බ්ලොග් අඩවියේ නම සහ යොමුව සටහන් කරන්නට කාරුණික වන්න.  මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය  කරාවි.