මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, April 9, 2022

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .... අනුරුද්ධ වැලිගමගේ...

 


සුවද හමන අවුරුදු ....

බක් මහ අසිරිය මැවූ
හෙල අවුරුදු යලි සිහිකර
මතකය එයි නිරතුරු


කැවුම් කොකිස් සුවද හමන අවුරුද්දක් .....
කොහා නදින් ගම පුබුදුන අවුරුද්දක් .....
දස අත එරබදු මල් පිරි අවුරුද්දක් ......
වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක් .....

රබන් සුරල් හඩ පැතිරෙන ගම් මැද්දක් .....
වෙල් ඉපනැලි පුරා නටන කොළු රෑනක් ....
උණ වෙඩි සද්දෙන් පිරි ඒ පෙර දවසක් ......
ආයෙත් ඒවිද අපහට කවදාවත් ......

වටයක් කැරකී හිරුවට ලොකු රවුමක්....
ලබනා දවසට සරුවෙයි හැම නිවසක් ......
පවුලේ හැමදෙන එක්වෙන එක මොහොතක් ......
ආයෙත් ඒවිද ඒ වගෙ අවුරුද්දක් ........

වේවා ඔබ සැමටම සුබ අවුරුද්දක්........

අනුරුද්ධ වැලිගමගේ



2022  අප්‍රේල් මස ලන්ඩන් කවි කලාපයේ පලවිය.

https://londonkavi.com/

විශේෂ ස්තූතිය-  ලන්ඩන් කවිය සංස්කාරක අනුර හෑගොඩ මහතාට

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

Saturday, April 2, 2022

අවුරුදු මතක දිගේ අතීතයට ගියදා .........

 








මේ කතාව 1977- 1980 කාලයේදී මා ලද අත්දැකීම් රැසක  නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් ලියැවුනකි. 

මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල, 2022  අප්‍රේල් 

කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) 



හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා 
sisila.sangarawa@gmail.com ලිපිනයට
ඊ-මේලයක් යවන්න. 


කිරි අම්මා

වසන්තගේ ජංගම දුරකථනයට ආ එක් කෙටි පණිවිඩයකින් කියවුණේ ඔහුගේ අත්තම්මා මියගොස් ඇති බවය. මව්බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් දුරක  වෙසෙන ඔහුට ඇයගේ අවමංගල්‍යය කටයුතු සදහා සහභාගී වීමට අවකාශ ලැබුණේ නැත. කාර්යාලයේ කටයුතු නිමවා ගෙදර ගිය ඔහුගේ සිත ඈත අතීතයට දිව යයි.

ඔහුට මතක ඇති සැටියට එය හැත්තෑ ගණන්වල අවසාන සමයයි . පාන්දරින්ම මාතරින් ඇරබුණු රුහුණු කුමාරි දුම්රියේ නැගී මුහුදේ කරදිය සුවද විදිමින් කොටුව දුම්රිය පොලට පැමිණි පවුලේ උදවිය මේ යන්නේ අවුරුදු නිවාඩුව ගත කරන්නටයි. පිටිසරබද ගම්මානයක පිහිටි මවගේ මහගෙදරට යන්නට වසන්ත කැමති නගරයේ කලබලකාරී බවින් මිදී නිවාඩුව ගත කරන්නට එය කදිම තිප්පොලක් බැවිනි. මඩකලපුව බලා යන ඊලග දුම්රියේ කුරුණෑගලට ගිය පසු ඔවුන්ට තව පැය කිහිපයකින් අත්තම්මලාගේ ගෙදරට යා හැකිය. උඩරට ඌරුවට අත්තම්මා වෙනුවට එහි භාවිත වන වදන කිරිඅම්මා යන්නයි.

වසන්තට කිරිඅම්මලාගේ ගම සුන්දර තැනකි. සෙල්ලම් කරන්නට ඇතිපදම් ඉඩ ගෙවත්තේ තිබේ. වටේට තාප්ප දමා ගේට්ටුවෙන් වටකල නගරයේ හිර ගෙදර මෙන් නොවේ. උදෑසනට ඈතින් පෙනෙන කදුපෙල මීදුම් තීරයෙන් වැසී ගොසිනි. වෙල්යාය මැදින් ගලන දිය පාර වෙත යාම බැනුම් කෝටියක් අසන්නට වන කාරණයක් වන නමුදු පුංචි මාමා සමග විනෝද වන්නට එය කදිම තැනකි . ගොයම් කපා තිබුනෝතින් එහි සෙල්ලම් කරන්නට පුළුවන . හැංගිමුත්තන් කරන්නටද ඇති පදම් ඉඩ තිබේ.

කිසියම් හේතුවක් නිසා හවස දෙකට ගමට යන රතු ලංගම බසය තවම නැත. සමහර විට තව පැය භාගයකින් ඊලග බසය එනු ඇත. වසන්තට වුවමනා කරන්නේ හැකි ඉක්මණින් ගමට යන්නටය. සෑම විනාඩි පහකටම සැරයක් වේලාව අසන නිසා තාත්තාටද තරහ ගොසිනි. අත්තම්මා  ඉදිකඩ ළග බලා සිටින අයුරු වසන්තට මැවී පෙනේ. බාගදාට කිරිඅත්තා බස් නැවතුමට එවන්නටද බැරි නැත.

බෙලෙක් හා රතු මිශ්‍ර බසය පැමිණි නැවතුමේ නතර විණි.  කලින් බසය නොතිබුණු නිසා එහි සෙනග වැඩිය. වසන්තත් අම්මාත් ඇතුලට රිංගූ නමුත් තාත්තාට එහි ඉඩ නැත.එබැවින් තාත්තා සිටින්නේ පාපුවරුවේ එල්ලිගෙනය. වසන්තට පෙනෙන්නේ පා පුවරුවේ යාම මහත් විනෝදයක් ලෙසය. ඒත් අම්මා ඊට ඉඩ නොදෙන නිසා අකැමැත්තෙන් වුවද ඇතුලට යන්නට ඔහුට සිදුවිය. වියලි කාලගුණය නිසා ඇවිද යන බොරළු පාර දූවිල්ලෙන් පිරී ගොසිනි. ඇවිද යනවිට දැනෙන වෙහෙසට වඩා බඩගින්න දැඩිය. " තව චුට්ටක් ඉවසන්න " යැයි අම්මා කිහිප වරක් කීවේ ඒ නිසාය. පාර දෙපස පිපී ඇති එරමදු මල් සහ ඉදහිට ඇහෙන කොහා නද අවුරුදු ළග ඇති බවය.  

" මේකා එනකන් අපි කොච්චර බලන් හිටියද ? මම ඒත් දරුවන්නේ අප්පච්චිට කිව්වේ අද එන්නෙ නැතිද කියලා " කිරි අම්මා වසන්ත බදා ගනිමින් කීවාය.

" එහෙනම් ඉක්මණට පහල ළිදට ගිහිල්ලා ඇගපත හෝදගෙන වරෙල්ලා. ළිදේ තාමත් නිල් කැටේට වතුර පිරිලා  "   

කොහොමටත් කිරිඅම්මාගේ කෑම රසය. නෑදෑයින් කියන්නේ ඇයගේ අත්ගුණය නිසා බවය. වසන්තට හිතෙන්නේ ඇය ඉතා ආදරයෙන් ඉයුම් පිහුම් කරන නිසා  රස කළමණා යහමින් යොදන බවය. අම්මා ඇතුළු දියණියන් කියන්නේ ඇයට උයන්නට බොහෝ වේලා ගතවන බවය. ඇය ඊට උත්තර බදින්නේ " කන දේවල් ක්‍රමේට සකස් කරන්න ඕනෑ . උබල වගේ කරදාසිය ලිපේ දානව වගේ දඩි බිඩි ගාල කෑම හදන්න බැහැ " කියමිනි. කරවලත් , තිබ්බටු ව්‍යංජනත් අලුත් මැල්ලුමත් , කිරි හොද්දත් ඇති පදම් බත් කන්නට ඇරයුම් කරයි. ඇය ළගටම වී බත් බෙදන්නට වූවාය.      

වසන්ත නොඉවසිල්ලෙන් බලා සිටියේ පුංචි මාමා එන තෙක්ය. කිරිඅත්තා සමග හරක් බදින්නට ගිය ඔහු තව ටිකකින් එන බව කිරිඅම්මා කීවාය. ගෙදරදී කරන ඒකාකාරී සෙල්ලම් රටාවෙන් මිදී කරන්නට දහසකුත් එකක් වැඩ මෙහි ඇත. විශේෂයෙන් අවුරුදු නිවාඩුවේදී වැඩි පිරිසක් මුණ ගැසෙන්නටද පිළිවන.

ගොක්කොළ නලාවක් අතින් ගෙන පුංචි මාමා ගෙට ගොඩ විය. අම්මා මාමාව බදා ගත්තාට මට වුවමනා කලේ ඔහුගෙන් නලාව ගන්නටය. " අද හොදට සෙල්ලම් කරතැකි " පුංචි මාමා කියූ විට කිරි අම්මා කීවේ " ඔය ළමයට පොඩ්ඩක් ඉන්න දීපන් .තවම මහන්සි ඇති උදේ පාන්දරින්ම ඇවිල්ලා" ලෙසිනි . 

ලොකු මාමාගේ දූවරුන් දෙදෙනාත් ඇතුළු පවුලේ සියළු දෙනා සාමාන්‍යයෙන් හැම අවුරුද්දකදීම මහ ගෙදර දී එක්වෙති. ගෙදරදී අවුරුදු වත් පිළිවෙත් සමරා ගමේ පන්සලෙහි ඇති අවුරුදු උත්සවයට යාම සාමාන්‍ය පිළිවෙතයි. " අය්යලා හෙට උදේට එනවයි කිව්වා " තාත්තා කිරි අම්මාට කීවේ දැන්ය. හිසතෙල් ගාන නැකත අවසන් වනතෙක් සියළු දෙනා මහගෙදර රැදෙයි.

හෙට උදේට කරන්නට ඇති වැඩසටහන පුංචි මාමා සකස් කර හමාරය. උදේම උඩහ වත්තේ කජු අහුලන්නට යාමත් දවල්ට පහල වෙලේ ක්‍රිකට් ගැසීමත් ඒ අතර ප්‍රධානය. බණ්ඩාර මාමා කලියෙන් ආවෝතින් අපට උණ වෙඩිල්ලක්ද බැදිය හැකිය. තරමක අවදානමක් ඇති කටයුත්තක් නිසා උණ වෙඩි පත්තු කරනවාට වසන්තගේ තාත්තා අකමැතිය.ලොකු මාමා හෙට රතින්ඥා රෝලක් ගෙනෙන බව සිකුරුය. ඒත් වැඩිහිටියන්ට හොරා පුංචි මාමාත්  වසන්තත් කරන අවදානම් වැඩවලින් තවමත් අනතුරක් නැත්තේ පූරුවේ පිනකටය. ටින් බෙලෙක්කවලින් වසා රතින්ඥා දැල්වීම ඉන් එක් අවස්ථාවක් පමණි. 

ගේ පිලිකන්නේ ලිප් බැද කිරිඅම්මාත් , අම්මාත් , පුංචි අම්මාත් කැවිලි හදනු වසන්ත බලා සිටියේ මහත් සතුටිනි. වියපත් වුවද කිරි අම්මාගේ දෑත් කඩිසරය. අම්මාටත්, පුංචි අම්මාටත් සැර වෙන හඩද විටින් විට ඇසේ. කැවිලි සුවදත් ඉදුණු කජු පුහුලම් සුවදත් අවුරුද්දේ අසිරිය නාස්පුඩු තුලට රිංගවනු දැනේ  

පරණ අවුරුදු දා උදෑසන වසන්ත නැගිටින විට කිරිඅම්මා ගෙදර සිටියේ නැත. අම්මාගෙන් ඇසූවිට ඇය කීවේ  කිරි අම්මාවරුගේ දානයකට ගිය බවය. අඩ හෝරාවකට පමණ පසු මහ නියර දිගේ සුදු ඇදුමින් ආ කිරිඅම්මා ගෙට ගොඩ වූයේ " මේන් මේවා පොඩි එවුන්ට දීපල්ලා " කියාගෙනය. කිරි අම්මා දානයෙන් ගෙනෙන " කිරි කෑලි " කන්නට අප පුල පුලා බලා සිටින බව ඇය හොදාකාරව දනී.

අළුත් අවුරුද්දේ වැඩ කටයුතුවල මූලිකයා කිරිඅත්තා වුවද වසන්තට වීරයා වූයේ කිරි අම්මාය. හැම දෙයක්ම පිලිවෙලකට කරන්නට පාන්දර සිට රෑ මැදියම දක්වා කිරි අම්ම කරන මෙහෙවර වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. නැකත් පරිදි කෑම මේසයේ  වැඩ අහවර කල වසන්ත වැඩිහිටියන්ට වැන්දේ කලබලයෙනි. දැන් වසන්ත පුල පුලා බලා ඉන්නේ පුංචි මාමා සමග කෑම බෙදන්නට යාමටය. කිරි අම්මා බෙදා දෙන කැවිලි පිගාන දෝතින්ම ගෙන නියර දිගේ , බඩවැටි දිගේ නෑදෑ ගෙවල්වලට යාම වසන්ත ආසම කටයුත්තකි.

පන්සලෙහි පැවති අවුරුදු උත්සවයත්, හිස තෙල් ගෑමත් හමාර වූයේ හිතුවාටත් කලින් දැයි වසන්තට සිතේ. හෙට උදේම ආපසු මාතර බලා යායුතුය . වසන්ත ගොස් කිරි අම්මා ළග දැවටුනේ යන්නට බෑ කියන්නාක් මෙනි. " මේකව තියල පලයල්ලා. අපි පස්සෙ එක්කරගෙන එන්නම් " කිරි අම්මා කිව්වත් අම්මා ඊට කැමැති නැත. තාත්තා අනිද්දා සිට වැඩට යායුතු බැවින් හෙට ඔවුන් යා යුතුය.

" උබ ඉතින් මේවා කන්න හරි ආසයිනේ "  පසු දිනයේ උදෑසන ඔවුන් යන්නට සුදානම් වෙද්දී කිරි අම්මා වැලිතලප පාර්සලයක් වසන්ත අත තැබුවාය.      

බිරිදගේ කටහඩින් වසන්තගේ මතකය පියවි ලොවට ආවේය. දශක කිහිපයකට පෙරාතුව සිදුවූ මේ සිදුවීම් පෙල පැරණි චිත්‍රපටයක රූපරාමු පෙලක් බදුය. වසර කිහිපයකින් කිරිඅත්තා මියගිය අතර විවුර්ත ආර්ථිකයේ සංවර්ධනය නිසා මහගෙදර හා ගම මහත් සේ වෙනස්කම් වලට බදුන් විය. වසන්ත එදා දුටු ගම අද නැත. පුංචි මාමා සහ පුංචිලා විවාපත් වී නගරයේ වෙන්දේසි ඉඩම් වල පදිංචියට ගොස්ය.

දුරකථන ඇමතුම් කිහිපයක් ගත් වසන්ත අවමංගල්‍යය කටයුතු පිළිබදව විමසා බැලුවේය. අන්තර්ජාලය හරහා කිරි අම්මාගේ නිසල දේහයත් , වැලපෙන මාමලා , පුංචිලාත් මල්ලී පෙන්වූවා වුවද වසන්තට සිතෙන්නේ කිරි අම්මා තවමත් ජීවමානව සිටින බවය.

අනුරුද්ධ වැලිගමගේ 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.





Saturday, March 26, 2022

දොයි දොයි දොයි බෝනික්කෝ ... බයි බයි බයි බෝනික්කෝ




 තරු එක්කොට මාලයකට

 නුබේ ගෙලේ පලදන්නම්

දේදුන්නේ පාටවලින්

 ගවුම් පොඩිය සරසන්නම්

දොයි දොයි දොයි බෝනික්කෝ .

 බයි බයි බයි බෝනික්කෝ ..

 මට පොත් පාඩම් කරන්න

 නිදාගන්න බෝනික්කෝ .......

 

අම්ම එක්ක කඩේ ගිහින්

 වළලු ටිකක් ගෙන දෙන්නම්

 ජම්බු ගහේ ඉදුණු ජම්බු

 තෝරල කඩලා දෙන්නම්

දොයි දොයි දොයි බෝනික්කෝ ...

 බයි බයි බයි බෝනික්කෝ .

නාඩා ඉතින් නිදියගන්න

මගේ පුංචි බෝනික්කෝ

 

චක්කරේ පාඩම් කරන්න

කවි පන්තිය කියවගන්න

හරියට පාඩම් නොකරොත්

 සැවොම හිනාවෙවී ඔන්න

දොයි දොයි දොයි බෝනික්කෝ ...

 බයි බයි බයි බෝනික්කෝ

මට දැන් පාඩම් කරන්න

 නාඩා ඉතින් නිදියගන්න//

 

අනුරුද්ධ වැලිගමගේ



1991-1994  වකවානුවේදී ජාතික රූපවාහිනියේ ළමා ගී සහ උදාර වැඩසටහන් වෙනුවෙන් ලියැවුනකි.

දෘශ්‍ය පිටපත් හෝ විකාශ දින  වකවානු පිළිබද තොරතුරු නොමැත.

මේ ගීත ගායනා කල හෝ සංගීත නිර්මාණ  කල ශිල්පීන් හෝ දෘශ්‍ය පිටපත් ඇතොත් අමතන්න. 


සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියිසිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයිසමහර විටෙක මට අවශ් අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ

 කණගාටුව

මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්නඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි


Saturday, March 19, 2022

වරෙන් වරෙන් හුළං පොදක් මෝල උඩින් වැදීලා .....නෙදර්ලන්ත සංචාරයක මතක 1....

 

නෙදර්ලන්ත සංචාරයක මතකය 1.

නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර  සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන් ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා.


Zaansc  Schans

සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී  මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා.

ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ  ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා.

පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට වෙනස කියා පෑ බව කිවයුතුයි. 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්රයක්.       

පරිශ්රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ් නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.



Dutch Countryside

අපේ රථය ජනාකීර්ණ නගරයෙන් ටිකෙන් ටික ඈතට යනවා.ගොවිපොල, තණබිම්, කළු සුදු පැහැයෙන් ඈතට පෙනෙන ගව රංචු නෙදර්ලන්තය කිරි සදහා සුපතල රටක් කියන එක සිහිගන්නවා. ඒ ගැන වැඩි විස්තර මීළග ලිපියෙන් කියන්නම්.

අපි ගමන්ගන්නා රථ පේලිය එක්වරම රතු එළියට නතර වුනා. අපි කොළ එළිය එනතෙක් බලාගෙන ඉන්නවා. එක පාරටම අපි ඉදිරියෙන් තියෙන පාලම ඉහළට එසවුනා. විනාඩි කිහිපයකින් යාත්‍රා කිහිපයක් එහා මෙහා ගියා. ආයෙමත් ගමන පටන්ගත්තා. කැනඩාවේ St. Catherines වල Welland Canal ප්‍රදේශයේදීත් ඔබට මේ අත්දැකීම ලබන්නට පුළුවන්.

 

හුළං මෝල පරිශ්‍රයෙන් ඇවිත් යන අපේ මීළග ගමනාන්තය මුහුදු වෙරළබඩ ගමක්. නමින්  Volendam



Volendam


හරිම ලස්සන මුහුද අද්දර පිහිටි ගමක්. විවිධ පාටින් හැඩගැන්වුණු මුහුදට මුහුණලා තියෙන ගෙවල් පුදුම ලස්සනයි. අපි රථ ගාලේ ඉදන් කඩ මණ්ඩියට ඇවිදගෙන ගියා. ඔබට කැමති නම් එවෙලේම පිලියෙල කරලා තියෙන මුහුදු ආහාර සුදානමින් තියෙනවා. තරමක මිල අධික වුණත් නැවුම්බව පිරිලා එන රසය වෙනස්ම එකක්. අපේ දවල් කෑම ගත්තේ එහෙන්. ඔක්කොම මුහුදු ආහාර. බෙල්ලො, දැල්ලො,ඉස්සො සහ කොඩ් මාළු.

Wafelhuis කියල කියන්නෙ මේ ගම්මානයේදී රහ බලන්න පුළුවන් අපූරු අතුරුපසක්. සංචාරයේදී ඒ ඒ රටවල් සහ ප්‍රදේශ වලට ආවේණික කෑම ගැනීම සංචාරය රසවත් කරනවා කියලයි මට හිතෙන්නෙ ඒ හින්ද ඒවායේ රහ බලන්නත් අපි අමතක කලේ නැහැ.

ඊට පස්සෙ අපි ඇවිදගෙන ගියේ නැව් සහ බෝට්ටු තියෙන ජැටියට. පැරණි මාදිලියේ නැව් කිහිපයක් සහ බෝට්ටු එතැන නවත්වලා තිබුනා. ඒ අතරේ නවීන පන්නයේ යාත්‍රාත් තිබුණා.


මුහුදු තීරයත්, ජැටියත් එක්ක පැරණි මාදිලියේ කඩ මණ්ඩිය හරි අපූරු බවක් ගෙන එනවා. ඒ අතරේ හරක් හමින් බුමුතුරුණු හදන්න ගෙවල්වල ඒවා වේලෙන්න දාල තියෙනවා. නෙදර්ලන්තේ වෙරළේ රැල්ල පාගන්න පුංචි වෙලාවක් ගත කරපු අපි ආයෙමත් වාහනයට ආවා.

මේ ගමනේදී ඔබට එකතුකර ගත හැකි තවත් තැන් ….


Keukenhof  Gardens

අවුරුද්දෙ මාස 2 ක් පමණක් මහජන ප්‍රදර්ශණයට තැබෙන මේ මල්වත්ත හොදින්ම බලන්න පුළුවන් අප්‍රේල් මාසෙ මැද උදෙන්ම ගියොතිනුයි. තරමක් මිල අධික වුණත්, ඇමස්ටර්ඩෑම් වල ඉදන් විනාඩි 40 ක තරම් දුරක තියෙන මේ ටියුලිප් පාරාදීසය ඔබව විචිත්‍ර ලෝකයට ගෙනයනවා සිකුරුයි.

Giethoorn

Amsterdam වල ඉදන් පැය එකහමාරක තරම් දුරකින් තියෙන මේ පුංචි ගමේ පාරවල් සහ කාර් නැහැ. හැම ගෙදරකටම යන්න තියෙන්නෙ මීට පෙර ඉතාලි සංචාරයකදී ගිය වැනීසියේ වගේ හැම ගෙදරකටම යන්න තියෙන්නෙ බෝට්ටු වලින් පුංචි ඇලවල් වලින් ගිහින්. ඒත් ඒ ගමේ සුන්දරත්වය දැක්කාම ඔබට මේ ගමනේ වටිනාකම තේරේවි.

Alkmaar Cheese Market

Amsterdam  වල ඉදන් පැය භාගයක තරම් දුම්රිය ගමනකින් යන්නට පුළුවන් මේ වෙළදපල ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් කාලයේදී පමණයි. සාම්ප්‍රදායික නෙදර්ලන්ත චීස් වර්ග රැසක් මේ පොලේදී ගන්නත්, වටිනා සේයා රූ රැසක් ඔබේ සේයාරූ ගොන්නට එකතු කර ගන්නත් පුළුවන් වේවි.

සාම්ප්‍රදායික චීස් සහ සපත්තු නිෂ්පාදනාගාරයකටත්  Amsterdam නුවරටත් ඊළග මාසයේදී යමු.

සටහන - අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන් 

කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ  2022 පෙබරවාරි කලාපයේ පලවිය.


විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.

සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.

මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව. 


මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.