නෙදර්ලන්ත සංචාරයක මතකය 1.
නෙදර්ලන්තය කියන නම ඇහෙනකොටම අපට මතක් වෙන සලකුණක් තියෙනවා. ඒ තමයි සුළං මෝල. විදුලිය නිපදවන්නට පෙර සමහර රටවල් ජලය භාවිතයෙන් කම්හල් ක්රියාත්මක කලා. නෙදර්ලන්තය එය කලේ සුළං භාවිතයෙන්. දැවැන්ත පෙති සහිත සුළං මෝල් වලින් ධාන්‍ය ඇබැරීම ඇතුළු නොයෙකුත් කටයුතු කරන්නට අතීත නෙදර්ලන්ත වාසීන් පුරුදුව හිටියා.
Zaansc Schans
සංචාරක ආකර්ශනය පිණිස රට පුරා පිහිටි ක්රියාත්මක වුනු සුළං මෝල් රැසක් එකට එකතුකොට 1955 දී මේ ස්ථානයේ සංචාරක ගම්මානයක් ඉදිකර තිබෙනවා.
ගංගාවක් අසබඩ ඉතා මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ සංචාරක ගම්මානයේ විවිධ හැඩයේ විවිධ ප්රමාණයේ සුළං මෝල් රැසක් පිහිටුවා තිබෙනවා. මේ හැම එකක්ම අදත් ක්රියාකාරීව පැවතීම විශේෂ ලක්ෂණයක්. ඒ සුළං මෝල් මගින් නිපදවෙන ශක්තිය විවිධ කර්මාන්ත සදහා යොදාගැනෙන අයුරු දැකගන්න පුළුවන්. කාලවේලාව සීමිත හින්ද අපි ගොඩවැදුණු හුළං මෝල ධානය අබරණ එකක්. ඉනිමං දිගේ උඩට ගිහින් ඒකෙ උඩ තට්ටුවට ගිහින් නැරබුම් පීටිකාවට ගිහාම ගග දිගේ පිහිටුවා තිබෙන අනෙකුත් හුළං මෝල් සහ අවට පරිසරය හොදට පේනවා. සේයා රූ ගන්න පොරකන පිරිස් අතරේ ඔබ වෙනුවෙන් ෆොටෝ කිහිපයක් ගත් අපි පහලට ආවා.
පහුගිය සියවස් වල දැවයෙන් නිර්මාණය කල ගැමි ගෙවල් සහ කුඩා ගොවිපොලක් මේ පරිශ්රයේ පිහිටුවා තිබෙනවා. දැව උදුනක සැකසෙන සාම්ප්රදායික නෙදර්ලන්ත බිස්කට් වල රහ බලන්නත් මෙය කදිම තැනක්. නිවාස වෙන්කරන වැටවල් සහ පරිසරය අපට ඒ වෙනස කියා පෑ බව කිවයුතුයි. ඒ 18 වන සහ 19 වන සියවසේ ගමක් සිහි ගන්වන පරිශ්රයක්.
ඒ
පරිශ්රයේම නෙදර්ලන්තයේ ඉතිහාසය ගැන කියැවෙන කෞතුකාගාරයක් සේම අත්කම් නිර්මාණ කෙරෙන මධ්යස්ථානයක් පිහිටුවා තිබෙනවා. තරමක් දුර ඇවිදින්නට තියෙන හින්ද ඔබට අවශ්‍ය නම් බයිසිකල් කුලියට ගන්නත් පුළුවන්. නාවික කටයුතු සදහා ඉතා ප්රසිද්ධියක් උසුලන රටක් හින්ද ගගේ විවිධාකාර බෝට්ටුවල නැගිලා ගිහින් වෙනස් අත්දැකීම් ලබන්නත් ඔබට පුළුවන්.
Dutch Countryside
අපේ රථය
ජනාකීර්ණ නගරයෙන් ටිකෙන් ටික ඈතට යනවා.ගොවිපොල, තණබිම්, කළු සුදු පැහැයෙන් ඈතට පෙනෙන
ගව රංචු නෙදර්ලන්තය කිරි සදහා සුපතල රටක් කියන එක සිහිගන්නවා. ඒ ගැන වැඩි විස්තර මීළග
ලිපියෙන් කියන්නම්.
අපි ගමන්ගන්නා
රථ පේලිය එක්වරම රතු එළියට නතර වුනා. අපි කොළ එළිය එනතෙක් බලාගෙන ඉන්නවා. එක පාරටම
අපි ඉදිරියෙන් තියෙන පාලම ඉහළට එසවුනා. විනාඩි කිහිපයකින් යාත්‍රා කිහිපයක් එහා මෙහා
ගියා. ආයෙමත් ගමන පටන්ගත්තා. කැනඩාවේ St. Catherines වල Welland Canal ප්‍රදේශයේදීත්
ඔබට මේ අත්දැකීම ලබන්නට පුළුවන්.
හුළං මෝල
පරිශ්‍රයෙන් ඇවිත් යන අපේ මීළග ගමනාන්තය මුහුදු වෙරළබඩ ගමක්. නමින් Volendam
Volendam
Wafelhuis
කියල කියන්නෙ මේ ගම්මානයේදී රහ බලන්න පුළුවන් අපූරු අතුරුපසක්. සංචාරයේදී ඒ ඒ රටවල්
සහ ප්‍රදේශ වලට ආවේණික කෑම ගැනීම සංචාරය රසවත් කරනවා කියලයි මට හිතෙන්නෙ ඒ හින්ද ඒවායේ
රහ බලන්නත් අපි අමතක කලේ නැහැ.
ඊට පස්සෙ
අපි ඇවිදගෙන ගියේ නැව් සහ බෝට්ටු තියෙන ජැටියට. පැරණි මාදිලියේ නැව් කිහිපයක් සහ බෝට්ටු
එතැන නවත්වලා තිබුනා. ඒ අතරේ නවීන පන්නයේ යාත්‍රාත් තිබුණා.
මේ ගමනේදී
ඔබට එකතුකර ගත හැකි තවත් තැන් ….
අවුරුද්දෙ මාස 2 ක් පමණක් මහජන ප්‍රදර්ශණයට
තැබෙන මේ මල්වත්ත හොදින්ම බලන්න පුළුවන් අප්‍රේල් මාසෙ මැද උදෙන්ම ගියොතිනුයි. තරමක්
මිල අධික වුණත්, ඇමස්ටර්ඩෑම් වල ඉදන් විනාඩි 40 ක තරම් දුරක තියෙන මේ ටියුලිප් පාරාදීසය
ඔබව විචිත්‍ර ලෝකයට ගෙනයනවා සිකුරුයි.
Giethoorn
Amsterdam වල ඉදන් පැය එකහමාරක තරම්
දුරකින් තියෙන මේ පුංචි ගමේ පාරවල් සහ කාර් නැහැ. හැම ගෙදරකටම යන්න තියෙන්නෙ මීට පෙර
ඉතාලි සංචාරයකදී ගිය වැනීසියේ වගේ හැම ගෙදරකටම යන්න තියෙන්නෙ බෝට්ටු වලින් පුංචි ඇලවල්
වලින් ගිහින්. ඒත් ඒ ගමේ සුන්දරත්වය දැක්කාම ඔබට මේ ගමනේ වටිනාකම තේරේවි.
Alkmaar Cheese Market
Amsterdam වල ඉදන් පැය භාගයක තරම් දුම්රිය ගමනකින් යන්නට පුළුවන් මේ වෙළදපල ක්‍රියාත්මක වන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් කාලයේදී පමණයි. සාම්ප්‍රදායික නෙදර්ලන්ත චීස් වර්ග රැසක් මේ පොලේදී ගන්නත්, වටිනා සේයා රූ රැසක් ඔබේ සේයාරූ ගොන්නට එකතු කර ගන්නත් පුළුවන් වේවි.
සාම්ප්‍රදායික චීස් සහ සපත්තු නිෂ්පාදනාගාරයකටත් Amsterdam නුවරටත් ඊළග මාසයේදී යමු.
සේයාරූ - හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්
කැනඩාවේ මාසිකව පලවන දසත පුවත්පතේ 2022 පෙබරවාරි කලාපයේ පලවිය.
විශේෂ ස්තුතිය දසත සංස්කාරිකා චමරි අබේසිංහ මහත්මියට.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
No comments:
Post a Comment