හැත්තෑව දශකයේදී ශ්රී ලංකා ගුවන් විදුලිය මුල්කරගෙන දායාද වී සුභාවිත ගීත සමග ශ්රී ලාංකික ශ්රාවක සිත් සතන් තුලට පැමිණ සිංහල ගීතය වර්තමානයේදී සීමා මායිම් නොමැතිව අයාලේ යන තත්වයකට පත්ව ඇත්තේය. හොද ගීතයක් අතරින් පතර ඇසෙතත් හරසුන්, බොළද වදන් සහ ඝෝෂාකාරී සංගීතයෙන් පිරි වත්මන් ගීත සාහිත්යය තුල අසන්නට ලැබුණු මව්ගුණ ගීත කිහිපයක් පිළිබද කෙටි සටහනක් තබන්නට උත්සාහ කරන්නේ මව් වරුන්ගේ දිනය සිහිපත් කරවමිනි.
ධර්මසිරි ගමගේ විසින් රචිත නන්දා මාලිනිය ගැයු " අම්මාවරුනේ " චිත්රපට ගීතය මෙයට කදිම ප්රවිෂ්ටයක් යැයි මම සිතමි.
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කදුළු දකින දා
සුරලොව සිට අතපා
ඒ කදුළැලි පිසිනා .....
https://www.youtube.com/watch?v=ZuF4fkpaLg4
බිරිද, පෙම්වතා, පෙම්වතිය හෝ අන් අය රසායනික හෝමෝන ක්රියාකාරීත්වය මත තාවකාලිකව ආදරය කරන මුත් මවකගෙන් දරුවන්ට ලැබෙන ආදරය සදාකාලික වූවකි.
සුනිල් එදිරිසිංහයන් ගයන " දෙවෙනි බුදුන් ලෙස " ගීතය තුලින් අම්මා පිළිබදව ඇතිකරන මතකය ඉදුරාම වෙනස් එකකි.
ලොවක පිදුම් ලද - ලොවේ උතුම් ළද
අම්මා .... අම්මා .....
https://www.youtube.com/watch?v=qwjYzxsbXOw
නුවර කලාවියේ ගොවි පවුල් නියෝජනය කරමින් කටුක වියලි පරිසරය සමග පොරබදන දිරිය ගොවිකතක් පිළිබදව කරුණාරත්න දිවුල්ගනේ ගයන " ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා " ගීතය මව්ගුණ පිළිබදව වූ තවත් මානයක් පිළිබදව අප දැනුවත් කරයි.
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලාවැවේ නිල් දියවර අපෙ අම්මා ......
https://www.youtube.com/watch?v=jhslhbWS_JU
කිත්සිරි ජයසේකර ගයන සියබලන්ගමුවේ අමරදාස නම් අප්රකට ගීත රචකයෙකු අතින් ලියැවුණු " දයිවයේ අදුරු අහුමුළු පහන් කල අම්මා " ගීතයද ගැමි අව්යාජ මවකගේ උතුරා යන සෙනෙහස ප්රකට කරවන ගීතයකි.
ඉරණමේ නිය පහුරු කුඩු සිද දැමු අම්මා
ඇතුපිටේ යවා දරුවන් පයින් ගිය අම්මා
බුදුවුණේ නැද්ද තවමත් එහෙව් අපෙ අම්මා
https://www.youtube.com/watch?v=-y9uboEC-gg
. චන්ද්රසේන හෙට්ටිආරච්චි ගයන " අම්මා ජීවන උයන් තෙරේ " ගීතය නාගරික සහ අර්ධ නාගරික පෙදෙස්හි වෙසෙන මධ්යම පාන්තික අම්මා කෙනෙකුගේ චරිතය සිහිපත් කරවයි.
නොනිවී දැල්වෙන - පහනකි නිරන්තරේ
ඔබ මට සුවද ගෙනේ "
https://www.youtube.com/watch?v=Jnesdx75Qwc
සංගීත් විජේසූරිය ගයන " ගායෙන් මං මුදවලා " ගීතය පිළිබදව විවිධ මති මතාන්තර ගොඩ නැගී ඇතත් ඒ ඒ සමාජ පද්ධති තුල ජීවත් වන මිනිසුන්ගේ භාෂා භාවිතය හා විවිධ පුද්ගල පරිකල්පනයන් තුල අම්මා යන චරිතය ගොඩනැගී ඇති අයුරු පෙන්වන කැඩපතක් ලෙස සලකා බැලීමට එය කදිම නිදසුනකි.
කෝලම් කර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා - මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කලා
https://www.youtube.com/watch?v=f_OwLuuzx8w
රූකාන්ත ගුණතිලකගේ " උකුලට නාවත් එදා වගේ " ඇතුළු ගීත විශාල සංඛ්යාවක් මේ විෂය සදහා උදාහරණ කොට ගත හැකි වුවත් ඉඩකඩ සීමාසහිත නිසා වැඩිපුර කතා නොවුණු ගීත රචනා කිපිපයක් ඇසුරින් මේ කතිකාවත සීමා කරන්නට සිදුව තිබේ .
https://www.youtube.com/watch?v=LP_qDtIue54
මේ ලිපිය නිමා කරන්නට පසුගිය වසරේ අතිශ්‍ය ජනප්රිය වූ කැළුම් ශ්රීමාල් ලියු අසංක ප්රියමන්තගේ " ඇතුල් හිතේ හිත පතුලේ " ගීතය තෝරා ගතිමි .
ඇතුල් හිතේ හිත පතුලේ පරිස්සමට හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදිකරවා
පතුල් පවා සිබ සිබ නිදුකින් මා කර පින්නා
නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා
https://www.youtube.com/watch?v=Y1qIXsALwI4
අනුරුද්ධ වැලිගමගේ
2014 මැයි මස දසත කලාපයේ පලවිය.
සේයාරූ - අන්තර්ජාලයෙන් Google Images
සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි
මගේ ලිපි අතර ඇති අකුරු වැරදි ගැන අදහස් දක්වන ඔබට ස්තුතියි. සිංහල භාෂාවෙන් ලිවීම සදහා මා භාවිතා කරන්නේ ගූගල් ආදාන මෙවලමයි. සමහර විටෙක මට අවශ්‍ය අකුරු සොයාගැනීමට අපහසු වීම ගැන මගේ කණගාටුව.
මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න. ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.
එළ!
ReplyDeleteමට මගේ අම්මා අහිමි වෙන්නේ මා උසස් පෙල හදාරද්දී.
ඇය තමා අපේ ගෙදර කැණි මඬළ!
මුදුන් මුල!
ඒ වියෝව ගැනවත් අම්මා ගැන වත් මම නොලියන්න පරිස්සම් වෙනවා!
මං දන්න්නෑ!
ඇයි මම එහෙම කරණ්නේ කියලා!
මගේ හිතගත් මව් ගුණ ගීත දෙකක් තියෙනවා.
ඔබගේ ලැයිස්තුවේ මම ඒ ගීත දෙක හෙව්වා.
ඒත් හමු නොවූ නිසා මෙතන සඳහන් කරලා නික්ම යන්නම්.
1.
දුණුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දනෙනවා
පසලොස්වක සඳවාගේ එළිය ගෙනෙනවා
මගෙ අම්මා මට ජීවන සුවය ගෙනෙනවා
සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකුහට මවක් සේ ලදී
අම්මා යන සමාධියට සිටිමි සම වැදී
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී
සිව් බුදුවරු දුටු ලෙස එක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක් ගිණි නිවෙනව අම්මේ
සක්විති රජවරුණගෙ දන ඔබ ලඟ නැම්මේ
සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ
සුජාතා / වී. හේමපාල පෙරේරා / ප්‍රේම්
2.
මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා
නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා
තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා
සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා
සොලොස් කලා පිරි පුර හඳ එළිය කරණ අම්මා
සඳ නැති රෑ සක්වල තරු එළිය කරණ අම්මා
උදා ගිරෙන් ලොවට වදින ළහිරු මඬල අම්මා
නන්දා මාලනී
ඔබේ සටහන හරිම සංවේදීයි. ඔව් මමත් ඒ ගී දෙකටත් ආසයි. රූපන රූපවාහිනිය වෙනුවෙන් කල තවත් නිර්මාණ වලදී මිහි මඩලේ ගීතයත් තවත් මව් ගුණ ගී කිහිපයකුත් එක් කර තිබෙනවා.
Deletehttp://ahasgawwenehalokaya.blogspot.com/2019/05/blog-post_11.html
දෙවන වැඩසටහන - සිංහල ගීතයේ මව් ගුණ ලකුණ
අන්තර්ජාලයට මුදා හැරියේ - 2017 මැයි 20
http://rupane.com/vimeo-video/rupane-episode-37-may-20-2017/
වටිනා ලියැවිල්ලක් අයියේ.එමෙන්ම දැනුම් සමුහයක් ඇතුලත් වටිනා විග්‍රහයක්. ස්තුති ඔබට
ReplyDeleteනිලක්ෂි ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි.
Delete