මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Saturday, August 20, 2022

වලව්වට එරෙහිව කැරලි ගැසූ බඩපිස්සා , ජයම්පති..........

 


හැමදාම නිදාගන්න කලින් සුමේධ පැය භාගයක් විතර ෆේස්බුක් එකේ කරක් ගහනවාමයි . මේ ඇබ්බැහියට එක හේතුවක් තමයි ඉස්කෝලේ, ටියුෂන් පන්තිවල, වැඩකරපු තැන්වල දී හමුවුණු එක එක චරිතවල ලොකුකම්, පුරාජේරු, වගේ දුකසැපත් දැන ගන්න පුළුවන් තැනක් හින්දා. අනික් හේතුව තමයි, ෆේස්බුක් කියන්නේ ලෝකෙ පුරා විසිරිලා ඉන්න නෑදෑ හිතමිතුරන්ව එක තැනකට එකතු කරලා, අර කවුද කියල තිබ්බ වගේ ලෝකය තනි යායක් කරලා තියෙන තැනක් හින්දා.

උමාලිට පැටලිලා රජරටම බින්න බැස්ස නදුන්, තාම වැඩ කරන්නෙ වැව් බැදි දනව්වේ හින්දා හරියට පත්තරේ ප්‍රාදේශීය වාර්තාකාරයා වගේ. ඒ පැත්තේ සිදුවෙන දේවල් සුමේධ දැනගන්නෙ නදුන්ගේ ෆේස්බුක් කුරුටු සටහන් වලින්. “සුබ ගමන්, නැවත හමුවෙමු මිතුර!” කියල නදුන් දාලා තිබුණු පෝස්ට් එකේ තිබ්බේ වයසපිරිමියෙකුගේ පින්තූරයක්. “ජයම්පති අමරරත්න කියල ලියල තිබ්බේ නැත්නම් සුමේධට ඒ කවුද කියල අඳුනාගන්න බැරිවෙනවා සත්තයි. ජයම්පති ඒ තරම් වයසට ගිහිල්ලා!

ජයම්පති ගැන සිහිකරන්න ගත්ත ගමන්ම සුමේධ ගේ සිතට ආවේ ජයම්පතිව මුණ ගැසුණු පළමුවෙනි දවස.

* * *

වැව් බැදි දනව්වේ ගම්වලට බැංකුව ගෙනියන්න චෙයාමන්ට ඕන වුණාට යුනියන් එක කළේ ඒකට කොක්ක අදින එක. කොහොමටත් බැංකුකාරයින් පුරුදු වෙලා ඉන්නෙ ඵ්සී එකක් යට වීදුරු කාමරයකට වෙලා ලොක්කො වගේ ඉන්න මිසක් එළියට ගිහින් මිනිස්සුන්ට උදව් කරන්න නෙමෙයි නෙ. ඒත් චෙයාමනුත් වැඩේ අත ඇරියෙ නැහැ. ඒ හින්ද ඉක්මනට පිටින් අය කීප දෙනෙක් අරගෙන ඒ අයව හෙඩ් ඔෆිස් එකෙන් එවල තිබ්බ නැකතට වැඩේ පටන් ගන්න කියලා.

ඒ අතරේ හිටිය හීන්දෑරි උස හාදයා තමයි ජයම්පති. සිංහල වගේ ම ඉංග්‍රීසිත් වතුර වගේ කථා කරන ජයම්පති බලාගෙන ගියාම නොදන්න මගුලකුත් නැහැ. ලොක්කට වැඩේ කෙරෙන්න ඕන වෙච්ච හින්ද කලබලේට කට්ටිය ගත්තට ඒ අයට වෙනම නවතින්න තැන් වෙන් කරලා තිබුණේත් නැහැ.

අන්තිමට වුණේ තියෙන ක්වාටස්වල, කාමරවල අලුත් කට්ටියව හවුලෙ තියාගන්න. ජයම්පති වැටුණේ සුමේධලා හිටි තැනට.

“සුමේධ, මං මේ පැත්ත ගැන දන්නෙ නැහැ. උඹ දැන් කාලයක් තිස්සෙ ඉන්න එකේ දන්නෙ නැතුව යැ. අපි යමු ද පොඩ්ඩක් ඇවිදින්න?” වැඩ ඇරිලා නවාතැනට ආපු ගමන් ඌ කිව්වා.

කාලයක් දන්න කියන යාළුවෙකු වගේ එහෙම කිව්වම කාට ද පුළුවන් බෑ කියන්න? දෙන්නම ඇවිදගෙන ගියෙ නුවර වැව කිට්ටුව තියෙන ප්‍රසිද්ධ කඩ මණ්ඩියට. ක්වාටස් එකේ ඉඳලා හූ දෙකක විතර දුරින්.

සුටුස් ගාල කඩේකට රිංගපු ජයම්පති ආවේ ටොෆි ටිකක් අතේ ගුලි කරගෙන. සාක්කුවේ සිගරට් පැකට් එකක්. “කාපන්!” කොලේ කඩල ඌම ටොපියක් කටට එබුවා. එකක් උගෙත් කටේ දා ත්තා. ටොපි කොළ දෙක විසික් කළේ රොකට් ගහනවා වගේ.

“කොහෙද බං බාර් එකක් තියෙන්නේ?” ජයම්පති අහන කොටම අජියා එතැනට ආවා. අජිත් ඒ පැත්තෙ එකෙක්. උගේ තාත්තා වාරිමාර්ගෙ වැඩට ඇවිත්, නැවතිලා හිටපු ගෙදරින් බතුත් එක්ක මැල්ලුම් කාල අම්මා සෙට් වුණා කියල තමයි කියන්නේ.

“අර මාර ගහ ගාවින් දකුණට, ලොකුවට බෝඩ් එක තියෙනවා” අජිය කිව්වා.

“ඔහොම්ම ම ඉපල්ලා මං විනාඩි පහෙන් එන්නම්!” ජයම්පති ගියා නෙමෙයි ඉගිල්ලුණා වගේ.

මෙන්න විනාඩි පහෙන් මිනිහා ඇවිත්. අතේ කඩල ගොටු දෙකකුයි, වඩේ පාර්සලයකුයි.

මං මේ නංගිව ටියුෂන් පංතියෙන් ගන්න යන ගමන්අජියා යන්න හදනවා.

“කාපන් බං මේ උණු වඩේ එකක් ජයම්පති අජියා එක්කත් යාළුවෙලා ඉවරයි.


“යමු ද අපි වැව පැත්තට?” අජියාගේ යතුරු පැදිය ඇස් මානයෙන් ඈතට යනකල් ම බලාගෙන හිටි ජයම්පති කිව්වා.

සුමේධට “හ්ම් කියවුණේ හවස විශේෂ වැඩක් නැති හින්දා. බැංකු විභාග අත ළඟ හින්දා විභාග කරන අය නම් හිටියේ පොතුත් එක්ක. කඩමණ්ඩියේ ඉන් නුවර වැවට එච්චර දුර නැහැ. කොහොමටත් නුවර වැව සුමේධට කවදත් ලස්සනයි.

උතුරන්න තරම් නැති වුණත් එදත් වැව හොට පිරිලා තිබ්බ වගේ තමයි මතක. ටිකෙන් ටික අඳුර වැටෙද්දී පෙනුණේ වැව් දිය අතරේ ඉර ගිලිලා යනවා වගේ. ඈතින් පියඹා යන කුරුලු රෑන් ඒ චිත්‍රෙ තවත් ලස්සන කරනවා.

එක පැත්තක ඈතින් ජේතවනාරාම දාගැබයි, අභයගිරි දාගැබයි උසට පේනවා. ඈතින් ඇහිච්ච හෝන් සද්දෙ ඉස්ටේසමට එන කෝචිචියකින් වෙන්න ඕනැ. හීතල හුළං රැල්ල වේලිච්ච ඇට හො සනීපයක් දුන්නා.

“මචං පොඩ්ඩක් ගමු ? මං නම් ඉතින් අමුවෙන්ම තමා!” කලිසම් සාක්කුවෙන් ගත්ත බාගෙ බෝතලේ මුඩිය කඩපු ජයම්පතී පොඩි ප්ලාස්ටික් කෝප්පෙකට අරක්කු ටිකක් වක් කරන ගමන් කිව්වා.

“තැන්කිව් මචං, මට එපා!” සුමේධ එදා එහෙම කියන්න ඇති.

“මට නම් පොඩ්ඩක් නැතුව බැහැ. ක්වාටස් එකේ බොන්න මොකක්ද වගේ!”

කිසි තනුක කිරිල්ලක් නැතුව උගුරක් කටට හලාගෙන වඩේ එකක් කාපු විදිහෙන් නම් තේරුණේ ජයම්පතියා හොඳ පලපුරුදුකාරයෙක් කියලායි.

ජයම්පති මැදිවිය ඉක්මවා යන වයසේ බව පෙනුණේ තැන තැන ඉදුණු කෙස් ගස් නිසායි. රත්නපුරේ වලව්වක ඉපදුණු ජයම්පති, ගල්කිස්සෙ සෙන්ට් තෝමස් එකේ හොස්ටල් එකේ ඉන් ඉගෙන ගත්ත කියලයි කිව්වෙ. “මං ඉගෙන ගත්තෙ නැති වුණත් මගේ අය්යලා, අක්කලා හො තැන්වල. මගෙ අය්ය කෙනෙක් තමයි ආමි එකේ අර යුනිට් එකේ ලොක්ක. මගෙ මාම තමයි අර බැංකුවේ චෙයාමන්. ඒත් මං මාමගේ බැංකුවෙන් ආවෙ අලුතෙන් ආපු කෙල්ලෙකුට කොටු පනින්න කතා කරපු මගෙ ලොක්කට හොම්බට දෙකක් ඇනල!”

ජයම්පති කියපු විදිහට මිනිහා සිගරට්, අරක්කු බොන්න පුරුදු වෙලා තියෙන්නෙ ඉස්කෝලේ ඉන්න කාලෙ දී යි.

ජංගම රථවලින් ගමින් ගමට යන වැඩේ චෙයාමන්ට ඕන විදිහට කරන්න ජයම්පති හරියට මහන්සි වුණා. වලව්කාරයෙකු වුණත් ගමේ මිනිස්සුන්ට ගැලපෙන විදිහට කතා කරන්න මිනිහා දැනගෙන හිටියා, ගොවි සංවිධාන රැස්වීම්වල දී, ගම්බද උත්සවවල දී ප්‍රදේශයේ මන්ත්‍රී එක්කත් ජයම්පති හරි හරියට වැඩ කළා. අපි ගෙදර නොයන සමහර සති අන්තවල, අවට ගම් බලන්න යන විනෝද ගමන් සංවිධාන වැඩ ගොඩක් කළේ ජයම්පති. සෙනසුරාදා දවල්ට බැංකුව වැහුවම, වැව් තාවුල්ලක් වගේ ලස්සන තැනක හවසට මොනවා හරි සෙට් කරන්න ජයම්පතිට වැඩියෙ මහන්සි වෙන්න ඕනේ නැහැ. ගම්වල තරුණ, මහලු අය කට්ටියව පිළිඅරගත්තෙ “මේ අපේ ජයම්පති මහත්තයාගේ කට්ටියනෙ!” කියල යි.

ජයම්පති හින්ද හැමෝම හරි සතුටින් තමයි හිටියෙ. ගෙවල්වලින් ඈත්වෙලා, පහසුකම් අඩු නගරෙක ඉන්න අපේ කාන්සිය මකන කතා පෙට්ටිය වුණේ ජයම්පතී. යාන් ද, අරව , මෙව්ව ද, යුරෝපයෙන් පටන් අරන් ස්ට්‍රේලියාවට යනකම් භූගෝලය වගේ, අප්‍රිකාවේ වානරයාගෙන් පටන් අරන් අගහරුවලට යන යානේ දක්වා ඉතිහාසෙත් වර්තමානෙත් එක්කහු කරලා කියන ජයම්පතිගේ කතා අපේ කට්ටිය ඉහිටලා හරි මිස් කර ගත්තේ මල් කඩන, පොලිසීවලට උත්තර බදින කෝල් එකක හිටියනම් විතරයි.

ආගමක් නැතුව කට්ටිය ම සතියකට සැරයක් රුවන්වැලි සෑයට ගියේ එක එක වැඩ ඔළුවේ තියාගෙන. මෙරිල් ගියේ ලස්සන කෙල්ලෝ බලන්න. අරුණ ගියේ සෑ මළුවේ වටේ ඇවිදින්න. කට්ටිය උපාසක මහත්තය කියපු වජිරට නම් උනන්දුව පොඩි හාමුදුරුවන්ගෙන් ධර්ම කරුණු අහගන්න. නිෂාම්ට නම් ඒක ඒ කාලෙ යාළු වෙලා හිටපු ජයනි හම්බ වෙන වෙලාව. මොනවා හරි බොරුවක් කියල ජයම්පතී මේ වැඩේට නම් ආවෙ නැහැ. හැබැයි වැවක නාන්න යනවා නම්, වාන් දානවා බලන්න යනවා නම් වගේම මළ ගෙදරක යනවා නම්, ලෙඩ වෙලා හිටියත් ජයම්පති අනිවාර්යයෙන් එතැන. වරදින්නෙ නැහැ. ඉදල හිටලා ඔය අපේ එකෙකුව මඩවන වැඩක් කත්, ජයම්පති කවදාවත් කාටවත් කේලම් කිව්වෙ නෑ. ඒ වගේ , කාටවත් අපහාස කළෙත් නෑ.

ඒත් කලක් ගතවෙන කොට ජයම්පති ටික ටික වෙනස් වුණා කියලයි කට්ටියට තේරුණේ. ජයම්පති කොහොමත් දවසට සිගරට් විස්සක්වත් බොනවා. කාලක් නම් ගහනවා ම යි. ඒ අතරෙ ඕන වෙලාවක ජයම්පති ගේ යට භාගයක් නම් වැරදුණේ නැහැ. හැබැයි එන්න එන්න ම ජයම්පති දවසට බොන අරක්කු වගේම සිගරට් ප්‍රමාණයත් වැඩි වුණා. ඒ වගේ , ජයම්පති හවසට හවසට ටික ටික අපේ කට්ටිය මග අරින්නත් පටන් ගත්තා. කට්ටිය කළේ ජයම්පතිට එළියේ කාමරයක් දෙන එක. හැබැයි ඒකෙන් වැඩේ තවත් දරුණු වුණා. පිළිවෙළැකට හිටපු ජයම්පති මැදපු නැති ෂර්ට් අදින්න පටන් ගත්තා. නිතර නිතර ලෙඩ නිවාඩු දැම්මා. හිස් බෝතල්, සිගරට් කොට, පත්තර කෑලි කාමරේ හැම තැන ම. ඉඳලා හිටලා කට්ටිය ගිහින් කාමරේ අස් කරලා දුන්නෙ, විමලාවතී ඇන්ටි “මං කොහොමද ඒ අපාය සුද් කරන්නෙ? මං ලොකු සර්ට කියනවා!” කියලා ඒ කාමරේ අස් කරන්න බෑ කියපු හින්දා.

කට්ටියම හිටියෙ හරි ප්‍රශ්නෙක. ඌ හොඳ එකා හින්දා ලොක්කට කියන්නත් බෑ. නොම්මරයක් නැති හින්ද නෝනට කතා කරන්නත් බැහැ. විමලාවතී ඇන්ටිගෙ දරුවන්ට පොත් පැන්සල් අරන් දීපු හින්ද එයා ලොකු සර්ට මේ ගැන කිව්වා කියල හිතන්නත් බැහැ.

කොහොම හරි අහල පහ උදවිය මේ ගැන ඒරියා මැනේජර්ට කියල තියෙනවා. බීල කෑ ගහනවා විතරක් නෙවෙයි, ජයම්පති රෑට සරමත් නැතුව හෙළුවෙන් ඇවිදිනවා කියලා පැමිණිලි කරලා තිබ්බා. මැනේජර් කවාටස් එකේ කට්ටියට ම එන්න කියල හොදටම දෙහි කැපුවා සුමේධට අද වගේ මතකයි.

ෆීල්ඩ් ඔෆිසර් මහින්ද පෙරේරා ගේ මෝටර් සයිකලෙත් එක්ක ජයම්පතිව පොලිස් කූඩුවට වැටෙන්නේ මේ කාලෙ. බීල හෙල්මට් නැතුව ගිහිල්ල මදිවට සාජන් එක්ක නීති කතා කළා ලු. මැනේජර් මහින්දව ඇරලා ඇප දීලා ළඟ දවසෙ ම ජයම්පති එළියට ගත්තේ ජයම්තිට තියෙන අනුකම්පාව කෙසේ වෙතත්, බැංකුවේ මෝටර් සයිකලේ හින්ද කියලයි සුමේධට හිතෙන්නෙ.

ඒ අතරේ සල්ලි ණයට ගත්තු තැන්වලින්, ෆෝන් එක, ලැප්ටොප් එක ගත්ත කඩවලින්, බ්‍රාන්ච් එකට ම ඇවිත් මැනේජර්ට පැමිණිලි කරලා. බිල ගෙවල නැති හින්ද මොබයිල් ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා. දරුණුම වැඩේ මේකයි. ඩිපොසිට් ස්ලිප් අරගෙන මිනිස්සු පෝලිමේ බැංකුවට එනවා. බැලින්නම් එකවුන්ට් වලට සල්ලි වැටිලා නැහැ. කූඩුවෙන් එළියට ආපු දවසේ ගෙදර ගියාට පස්සෙ ජයම්පති ආයෙමත් අනුරාධපුරේ ආවේ නැහැ. ඊළඟ සතියේ ආරංචි වුණා ජයම්පති අස්වුණා කියලා. මිනිස්සුන්ට සල්ලි ලැබුණා ලු.

ටික දවසකට පස්සෙ සුමේධ ට කෝල් එක්ක ආවා මතකයි.

මේ සුමේධ ද, මම වසන්ති, ජයම්පතිගේ වයිෆ්. මට ජයම්පතී ඔයගොල්ලො ගැන කියල තියෙනවා!”

කොහොමද ජයම්පතිට? කතා කරන්න පුළුවන් ද?”

බෑ එයා කතා කරන්න බෑ කියනවා. අදත් හොටම බීලා දැන් නිදි.

වසන්ති, ජයම්පතිව කසාද බැලා තියෙන්නේ කාලයක් යාළුවෙලා ඉඳලයි. ඒ බැංකුවෙ ක්ලීනින් කරපු අක්කත් එක්ක වසන්ති ගිය වෙලාවක දැකලා. අඩු කුලේක කෙනෙක් හින්දා, වසන්ති බැන්දම ජයම්පතිට ගෙදරින් දේපල මොනවත් ලැබිලා නැහැ.

අනේ සෙල්ලක්කාරයා වුණාට හරිම හො කෙනෙක්. මටත්, පුතාටත් ඇත්තට ම ආදරෙයි. ඒත් සිගරට් බීමයි අරක්කු බීමයි තමයි නරක. යාළුවන්ට බඩේ තියෙන දේ හරි දෙනවා. අයුක්තිය පෙන්නන්න බැහැ. ඒ හින්දා නිතරෝම ලොක්කො එක්ක ප්‍රශ්න තමයි. කලක් වැඩකරපු අනික් බැංකුවේ චෙයාමන් අම්මගේ මල්ලි හින්දයි බේරිලා හිටියෙ. ඒත් පහුගිය වතාවෙ බේරගන්න බැරිවුණා. අලුතෙන් ආපු සෙකට්‍රි ළමයට අයුතු යෝජනාවක් කළා කියල බැංකුවේ පාටියක දී ම සීනියර් මැනේජර්ට කම්මුලට ඇනලා. ඒ පාර නම් මාමා බේරගත්තේ නැහැ. අවනම්බුවෙන් බේරෙන්න ඉල්ලා අස්වෙන්න කිව්වා. අර මැනේජර් නඩුවක් දාපු හින්ද, තාම කිසිම දීමනාවක් ලැබුණේත් නැහැ. මම හිතුවේ මේ පාර හොඳින් ජොබ් එක කරගෙන ඳියි කියලයි. පරණ දුක තමයි කරුමෙ වගේ තවත් විඳවන්නේ!”

ඒ කිව්වෙ?” කියපු කතාව තේරුණේ නැති හින්ද සුමේධ ඇහැව්වා.

“මේක රහසක් නොවෙයි. ජයම්පති මට මේ ගැන කියලා තියෙනවා වසන්ති කතාව බාගෙට නැවැත්තුවා. සුමේධට ඇහුණේ වසන්ති නවා වගේ.

ජයම්පති ඒ ලෙවෙල් කරන කාලේ ගෙදර වැඩට හිටපු ලීලා එක්ක යාළුවෙලා ඉලා තියෙනවා. ගෙදරින් ඒක නවත්වන්න කීව ම ජයම්පති කරලා තියෙන්නෙ ඉගෙන ගන්න එක නවත්වන එක. ඒ පාර ගෙදරින් කළේ මාමගේ බැංකුවේ වැඩට දාල නුවරට යවපු එක. ඒත් දෙන්නගෙ යාළුකම නැවතිලා නැහැ. දෙන්නා බඳින්න තමයි ඉදල තියෙන්නෙ. ලීලාට දුව බඩට ආව කියල දැන ගත්තම ජයම්පතිගෙ අම්මා ලීලා වත්තෙ වැඩකරපු කෙනෙකු හොරෙන් ම කසාද බන්දලා දුන්න ලු. අම්මා මැරෙනතුරු ම, ජයම්පතී අම්මා එක්ක තරහෙන් තමයි හිටියේ. ඒ වගේ ම ඒ දුවට ආදරෙයි, නමුත් ළග තියාගන්න බැරි වෙච්ච එක ගැන දුකෙන් තමයි හිටියේ.

මට උගන්නලා මේ තැනට ගෙනාවෙත් එයාම තමයි. ඒ වගේමයි අපේ පවුලෙ හැමෝට , ලොකු අය්යා වගේ...වසන්ති ආයෙත් අඩන්න ගත්තා.

හරි, මං පස්සෙ කතා කරන්නම් සුමේධ වසන්තිට එහෙම කිව්වත් හිටියේ හරිම කුතුහලයෙන්.

ජයම්පති කියලා තිබුණා ඔයා ළඟ දී පිටරට යනවා කියලා. මං කැමති නෑ ඔය ගොල්ලො එයා ගැන වැරදි චිත්‍රයක් දකිනවට. දැන් ඒ දුව ලොකු ළමයෙක්. ලස්සනයි..., ඒත්...වසන්ති ආයෙමත් කතාව නැවැත්තුවා.

එයාට පිළිකාවක්. හො කරන්න බෑ කියලා මහරගමිනුත් ගෙදර යවලා! ලීලාට සල්ලි නැති හින්දා, එයාට බේත්හේත්වලට සෙරම වියදම දරන්නේ ජයම්පති. දුවගේ මේ තත්වය හින්දා එයා ඉන්නෙ පුදුම කලකිරීමකින්. එයා හිතන්නේ දුවට එහෙම වුණේ එයා හින්ද කියලයි.”

* * *

සුමේධ ගේ සිතේ මැවෙන්නේ කොළ කොටුවේ ඉස්ටේසන් එකේ හත්වෙනි වේදිකාව. වවුනියාවට යන ඉන්ටසිටි කෝච්චිය ප්ලට්ෆොර්ම් එකේ තියෙනවා.

ඉරිදා හවස අනුරාධපුරේට යන්න සුමේධත්, චමලුත් දුවගෙන එන්නේ අන්තිම මොහොතේ. “මචං උඹලටත් එක්ක සීට් ඇල්ලුවා කෝච්චි පෙට්ටියෙ ජනේලෙන් බෙල්ල දාලා ලොකු අය්යා වගේ කෑගහන්නේ ජයම්පති.

ඒ මුණේ තිබුණු ලෙන්ගතුකම මතක් වෙනකොට සුමේධට තාමත් දුකයි.

අනුරුද්ධ වැලිගමගේ 



මේ කතාව මා ලද අත්දැකීම් රැසක  නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් නිමැවුණු පරිකල්පනයකි. 

මගේ කතාව සංස්කරණය කොට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පලවන සිසිල 2022  අගෝස්තු  

කලාපයට එක් කලේ එහි සංස්කාරක රසික සුරියආරච්චි විසිනි. ( බ්ලොග් රචක - රසිකොලොජි ) 


හරබර විවිධ අංග ඇතුලත් සම්පුර්ණ කලාප ලබාගැනීම සදහා 
sisila.sangarawa@gmail.com ලිපිනයට
ඊ-මේලයක් යවන්න. 



සේයාරූ -  අන්තර්ජාලයෙන්  Google Images

               සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි.


මේ සටහන ගැනඔබේ අදහස් පහතින් ලියන්න.ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිර්මාණ එළිය කරාවි.

3 comments:

  1. මේක මම කියෙව්වා සිසිලෙන්. නියම කෙටි කතාව

    ReplyDelete
  2. අජිත් ඔබේ ප්‍රතිචාරයටත් , දිරි ගැන්වීමටත් ස්තුතියි.

    ReplyDelete