මව් බිමෙන් බැහැරව ශීත හිමරටක වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මතක මංපෙත ........

Friday, July 27, 2018

පහයි කාල……කෙටිකතාව.......අනුරුද්ධ වැලිගමගේ.....රේඩියෝ කෙටිකතා

මේ කෙටිකතාවක් අහන කාලයයි . අහල බලන්න ඔබ හරි ඔබ දන්න කෙනෙක් හරි මේ කතාවේ ඉන්නවද කියල ...


Image result for go train in union station

Image result for people waiting for  train in union station

Image result for go train in union station


අසංක හතරවෙනි වේදිකාවේ හිඳ මග බලන්නේ පහයි කාලේ කෝච්චිය වේදිකාවට එන තුරුය.මේ වෙලාවට එන බොහොමයක් දෙනාගේ මුහුණු අසංකට හුරුය. ඒ  වසර ගණනාවක් තිස්සේ ගමින් නගරයට රැකියාවට එන ඔහු බොහෝ දිනවලට ගෙදර යන්නේ මේ කෝච්ච්යේ නිසාය.අන්තිම මොහොතේ එන සමහරු හති හලමින් කඩිමුඩියේ පඩි නගින්නේ මේ දුම්රිය මග හැරුණොත් තව පැය කාලක් ඉන්නට වෙන නිසාය.
කාලයත්,පරිසරයත් සමග ජීවන රටාව වෙනස් වුවද දුම්රිය ගමන අසංකට නුහුරු නුපුරුදු නොවේ. ලංකාවේ සිටි කාලයේද පාසැල් සමයේ පටන් විධායක තනතුරක පත්වන තුරු රැකියාව කරන කාලයේද කාලය ඉතිරි කරන , වාහන තදබදයෙන් මිදුණු පහසු ප්රවාහන මාධ්යයක් ලෙස අසංක දුම්රිය අත් විද තිබිණි . දුම්රියෙන් යනවිට ප්රධාන නගරවලට තම රථය පදවනවාට වඩා අඩු කාලයකින් සහ තදබදයකින් , වෙහෙස අඩුවෙන් මෙන්ම  අඩු ආතතියකින් යන්නට  පුළුවන . මෙහිද බොහෝ දෙනා දුම්රිය යොදා ගන්නේ මේ හේතුව නිසා බව තේරුම් ගන්නට අසංකට වැඩි කලක් ගියේ නැත . එබැවින් අසංක   ටොරොන්ටෝවේ දුම්රිය මගියෙකු විය.

ලංකාවේ මෙන්ම මෙහිද දේශපාලකයන් හඩ නගා කියන තරමටම සේවාවක් නොතිබුණත් , මිල අධික වුවත් , ආරක්ෂාව සහ සුව පහසුව ඕනෑම දේශගුණයකදී පහසුවෙන් නගරයට ඇතුළු වීම සහ පිටවීමත් නිසා අසංක දුම්රිය  ගමන ප්රිය කළේය.

වේදිකාවේ සිට වටපිට බලන අසංකට පෙනෙන්නේ විවිධාකාර දැය . සමහරු කන් දෙකේ ඔබාගත් සංගීත නාදවලට සවන් දෙමින් ඇවිදිති.තවත් සමහරු ජංගම දුරකථනයෙන් නිමක් නැති කතාබහක යෙදෙති. ජංගම දුරකථනයෙන් ක්‍රීඩාවක යෙදෙන්නෝ , කෙටි වීඩියෝ ක්ලිපයක් දෙස නෙතු යොමා සිටින පිරිස්ද ඒ අතර වෙති.අසංක දැක පුරුදු සමහරු වචනයක් දෙකක් කථාකර සුවදුක් විමසන්නේ නැතුවාද නොවේ.විවිධ ඇදුම් විලාසිතා , ගමන් රටා මෙන්ම ගෙනයන බෑග් විලාසිතා විවිධත්වයන්ද සමගින් ගමෙන් නගරයට පැමිණෙන ජන සංස්කෘතිය අමුතුම රටාවක් නොවේදැයි අසංකට සිතුනි. තනිවම සිනාසෙන , සින්දුවක් මුමුණන මුහුණුත් ,ලෝකයම ඔළුවේ තබාගෙන අවට වටපිටාව ගැන කිසිදු හැල හොල්මනක් නොමැතිව ඇවිදින මුහුණුත් අතරේ මාරුවෙන් මාරුවට අසංක බලන්නේ අද දුම්රිය තවමත් නැත්තේ ඇයිද කියාය.එසේ ඈත දුරින් පෙනෙන දුම්රිය මාර්ගය දෙසත් ,අත් ඔරලෝසුව දෙසත් මාරුවෙන් මාරුවට බලමින් සිටින්නේ තමන් පමණක් නොවන බව ත් තව ත් බොහෝ දෙනෙකු එසේ කරන බව ත් ප්රත්යක්ෂ කරගත් අසංක තම නොඉවසිල්ල මොහොතකට සමනය කර ගත්තේය.

"ඔයාගේ හිනාවත් හරියට කුවේට් වල ඉන්න මගේ පොඩි පුතාගෙ වගේ " නිතර දකින වියපත් කාන්තාවක් සිය ජංගම දුරකථනයේ වූ සේයාරුවක් පෙන්වමින් කිවේ අදය. කට්ටිය කිවුවාට මුහුණු ගලපන්නට එච්චර හුරු නැති අසංක හීන් හිනාවකින් ඇයට ස්තුතිවන්ත විය."අද නම් කෝච්චිය පරක්කුයි වගේ " දුම්රිය වේදිකාවේ තමා අසලින් හුන් බීර කම්හලේ අන්කල් කිවේ දැන්ය . වේදිකාවන්හි කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ මාසයේ දුම්රිය පමාවිය හැකි බව සදහන් පත්‍රිකා බෙදූ හැටි අසංකට සිහිවිය. දුම්රිය පැමිණෙන විට ආරක්ෂාව පිණිස හැඩවෙන සීනු නද ළගින් ඇසෙන්නට වුයෙන් කවුරු කවුරුත් දැන් පෝලිම් ගැසුණේ  දොර හැරුණු විගසම  ඇතුලට පනින්නටය."ආසනයක් අල්ලා ගත්තොත් කරදරයක් නැතුව යතැකි " අසංක තමාටම මුමුණා ගත්තේය.

අහස සිබින තට්ටු ගොඩනැගිලි විවිධ හැඩයන් ගනිමින් අහස් කුස දෙසට විහිදී සිටින්නේ තමා කුඩා කල පේලියට හිට ගනිමින් උස බැලූ ආකාරය සිහි ගන්වමිනි.ඇගිලිවලින් එසවෙමින්, උරහිස් ඔසවමින්  අනෙකාට වඩා තමා උස බව පෙන්වන්නට එදවස කුඩාවුන් උත්සාහ කල බව අසංකට තවම මතකය . ඒවායේ හැඩයන්  සහ ස්වරුපය හරියටම විලාසිතා තරගයක් අවසානයේ පේලියට ඉන්නා නිරුපිකාවන් පෙළක් මෙන් යැයි දැයි අසංකට සිතිණි .

දුම්රියත්,  ජීවිතයත් නිරන්තරයෙන් එකට බැදී ඇති යුගලයක් බව අසංකට සිතෙන්නේ ඇයිදැයි තේරුම් බේරුම් කරගන්නටත් පෙර දොර ටුව විවර වුයේය අසංක ඇස ගසාගෙන සිටින්නේ ජනේලයක් ළග ආසනයක් අල්ලා ගන්නටය.

විවිධ වයස් සීමාවල , විවිධාකාර ඇදුම් ඇදගත් පිරිස් දුම්රියට ගොඩවිය.සමහරු කඩිමුඩියේ පරිගණක ක්‍රියාත්මක කරන්නට වු අතර. සමහරු යලිත් ජංගම දුරකථන ක්‍රියාත්මක කරමින් පෙම්බස්හි දෙවන පරිච්චේදය ආරම්භ කළහ.සමහරු කතාබහ පටන් ගත්තේ කාලගුණය හෝ දේශපාලනය ගැන .පොතක් පත්තරයක් ගෙන නිශ්ශබ්ද කලාපය වූ උඩුමහලට නැගී කියවන අයද ඒ අතර වුහ. පුංචියට නින්දක් දාගත්තානම් හොඳයි කියා සිතුණු බැවින් වේදිකාවෙන් මැත්වන දුම්රියේ දසුන සමගින්ම අසංක අසුනේ කොනකට බර වුයේය .

ශානකගේ රුව එක්වරම මතුවුයේ දුම්රිය මැදිරි යාකරන දොරටුව අද්දරිනි."මචං පරක්කු වුණා. යන්තම් අන්තිම පෙට්ටියෙ එල්ලුනේ ". කඩිගුලක් ඇවිස්සුනාක් මෙන් නිවෙස් බලා යන පිරිස් රැස්කන මේ වෙලාවට විනාඩියක් පරක්කු වුණොත් අසුනක් අල්ලා ගැනීම අසීරු කටයුත්තකි. " මේ හරියේ නම් සීට් එකක් දැක්කෙ නැහැ කට්ටිය මැද්දට යනවා දැක්ක "අසංක වචන ගොනුකළේ තමා දුටු නිරීක්ෂණ ඇසුරිනි. "හරි මචං මම ගිහින් බලන්නම් .ආයේ හම්බවෙමු "ශානක අසංකට කෝච්චියේදී හමුවන ශ්රී ලාංකික මිතුරෙකි . පමාවී පැමිණි එවන් දිනක තමන්ටත් ගමනාන්තය දක්වාම හිටගෙන යන්නට වූ හැටි අසංකට මතක් වුයේ එවිටය. ශානක ඊළග දුම්රියට නවතින්නේ නැත්තේ සිය දියණිය සංගීත පන්තියට ගෙන යා යුතු බැවිනි. කැනඩාවට අළුතින් පැමිණි ඔවුනට තවමත් ඇත්තේ එක වාහනයක් නිසා සියළු ප්රවාහන කටයුතු පැවරී ඇත්තේ ඔහුගේ පිට මතය. තමන්ටද එවන් කාලයක් තිබුණු බව  අසංකට සිහිපත් විය. වාසනාවට දෝ දැන් තවත් වාහනයක් ඇති බැවින් බිරිද ශාමිලාට දූ දරුවන්ගේ කටයුතු කළමනාකරණය කර ගන්නට පුළුවන. වේලාවකට අසංකට ශාමිලා ගැන ඇතිවන්නේ දුකකි . විටෙක එය ආඩම්බරයකි. ලංකාවේදී මෙන් උදව්වට කවුරුවත් නැති මේ ශීත රටේ බටහිර කාන්තාවන් මෙන් දිරියෙන් යුතුව රැකියාවත්, දරුවන්ගේ කටයුතුත්, ගෙදර වැඩත් කරගන්නට ඇයට ඇති යකඩ ශක්තිය නිසාය.

"ජීවිතයත් හරියට කෝච්චිය වගේ " නෙරංජන් අන්කල් කියූ කතාව අසංකට සිහිවිය. " බලන්නකො  අසංක මිනිස්සු එක එක රස්සාවල් කරනවා, එක එක නගරවල පදිංචි වෙනවා. දවසින් දවසට වයසට යනවා. හරියට මේ කෝච්චිය වගේ." කාරණාව හරිහැටි පැහැදිලි නොවුයෙන් අසංක ඒ කොහොමදැයි ඇසුවේය  " කෝච්චියත් එක තැනක ඉදන් තවත් තැනකට යනවා.දවසින් දවස එක එක පාරවල් වල එක එක නගරවලට.හැබැයි එකේ යන මිනිස්සු වගේම වයසට යනවා.පෙනුමින් වෙනස් වුණත් චර්යාවෙන් වෙනස් වෙන්නේ නැහැ. මේ කෝච්චි පෙට්ටි එන්ජින් පරණ වුණාම ඒ වෙනුවට අළුත් කෝච්චියක් මේ වෙලාවට මෙතනට එනවා." තම අදහස් අසා සිටින්නට කෙනෙක් සිටිනා වග දැනීමෙන් නෙරංජන් අංකල් ගේ මුවගට සිනාවක් නැගිණි. කෙමෙන් කෙමෙන් දුම්රිය නගරයෙන් බැහැර වූ බව දැනෙන්නේ තට්ටු ගොඩනැගිලි අතර වැසී තිබුණු හිරු බැසයන  දසුන ගහකොළ අතරින් දිස් වන්නට වූ බැවිනි.

මේ සිතුවිලි අතරේ අසංකට ඇහැ පියා ගන්නට ඉඩක් ලැබුනේම නැත. මේ වෙලාවේ අම්මාත්, තාත්තාත් කුමක් කරනු ඇත්දැයි ඔහුට සිතිණි. එක් අතකින් ඔවුන් දමා තමා කල අභිනික්මන කෙතරම් අසාධාරණ එකක් දැයි ඔහුට සිතිණි . ඒත් ගිය වසරේ ඔවුන් මෙහි සංචාරයකට වේලේ තමා ඔවුන්ට නවතින්නට එන්නට කියා කී බව ඔහුට සිහිපත් විය. "අපි දෙන්න තව ටික කලක් ඔය පුරුදු විදිහටම ඉන්නම්  " අම්මා කීවේ අමනාපයෙන් දැයි අසංකට තවමත් ගැටළුවකි."අපි දෙන්නට දැන් හරි පාළුයි .මුළු ගෙදරම හිස්වෙලා වගේ.මල්ලියි ඔයයි ඉන්නකොට ගෙදරම පිරිලා තිබුණා . තාත්ත නම් කියනවා දැන් මේක විකුණලා දාල පොඩි ගෙදරකට යමු කියල " ගිය සතියේ අම්මා කියූ වචන අසංකට මේ දැන් කිවුවා සේ මතකය.
නැවතුම් පල කිහිපයක නතර කල බැවින් දුම්රියේ සැහෙන සෙනගක් දැන් බැස ගොසිනි.කතාබහ කරමින් සිටි පිරිස් වෙනුවට දැන් දකින්නට ඇත්තේ තැන් තැන් වල නිදන සහ සංගීතයට සවන් දෙන කිහිප දෙනෙකු පමණි.වටින් ගොඩින් ඝන කළුවර වැටීගෙන එන බවද පෙනේ.


දුම්රිය නැවතුම් පලේ නතර කල සැනින් දුවන්නට පටන් ගන්නා පිරිසත් , කලබලයක් නැතුව හතර වටේ බල බලා යන කිහිප දෙනෙකුත්,තමන්ගේ නැවතුමට යන්නට තව කොපමණ වේලා ඇත්දැයි වෙලාව බලන පිරිසත් අතරේ අසංක කෝච්චියෙන් බැස්සේ කඩිනමින් වාහනයට යන අදහසිනි.

  අනුරුද්ධ වැලිගමගේ

Image result for go trainand CN tower


මෙම කෙටිකතාවේ ශ්‍රව්‍ය රසවින්දනය



https://www.youtube.com/watch?v=Wi6ufGQLR-k


දින නැති දිනපොත .... සවන රේඩියෝ කෙටිකතාව ...



කැනඩාවේ සවන අන්තර්ජාල රේඩියෝව



http://sawana.ca/



විශේෂ ස්තූතිය කැනඩාවේ සවන අන්තරජාල රේඩියෝවේ නියමු ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදී වසන්ත ලංකාතිලකයන්ට


No comments:

Post a Comment